‘සරාගයේ’, ‘පෙරවදනක් වී’, ‘ඉතිං මං ඉන්නවා’ වැනි හිතට දැනෙන නිර්මාණ රැසක් බිහිකළ නව පරපුරේ කඩවසම් ගායකයකු මෙන්ම කාගේත් මුවඟ රැඳුණු තරුවක් සමග ‘මව්රට’ ‘හාට්’ අපි කතාබහක නියළුණා. ඒ සනුක වික්‍රමසිංහ.Sri Lanka Latest News
‘ඉතිං මං ඉන්නවා’ ගීතයෙන් පස්සේ සනුක පේන්න නැහැනේ?
අලුත් සින්දු කීපයක්ම කම්ප්ලීට් කරගෙන යනවා. මගේ සින්දුවකුත් ඉක්මනින් රිලීස් වේවි. ඊට කලින් වින්ඩිගේ අලුත් සින්දුවක් රිලීස් වේවි.
සනුකගේ බර්ත්ඩේ එකත් අත ළඟ එකේ අපි හිතුවා අලුත් නිර්මාණයක් දකින්න ලැබෙයි කියලා?
කියන්න බෑ. අපි බලමු.
අලුත් නිර්මාණයක් කරන්න මේ තරම් කල් ගන්නේ ඇයි?
මම කොහොමත් නිර්මාණයක් කරන්න වැඩි කාලයක් ගන්න කෙනෙක්. මොකද මගේ නිර්මාණයක් මුලින්ම මට සැටිස්ෆයි වෙන්න ඕනෙ. ඊට පස්සේ තමයි ප්‍රේක්ෂකයාට ලබා දෙන්නේ.

සනුකගේ නිර්මාණ මේ තරමට ප්‍රේක්ෂකයාට දැනෙන රහස ඒකද?
මම මේ මොහොතේ තියෙන රටාවට වඩා වෙනස් දෙයක් කරන්න කැමැති කෙනෙක්. මමත් දෙයක් ඉගෙන ගන්න ගමන් එක්ස්පරිමන්ට් කරමින්, අලුත් මියුසික් ස්ටයිල් අත්හදා බලමින් බෙස්ට් ෆයිනල් ප්‍රඩක්ට් එකක් ගේන්න මහන්සි වෙනවා. ඒක තමයි රහස.
මහන්සිය කැපවීම වගේම පියාගේ ආභාෂයත් ඔබේ සාර්ථකත්වයට බලපානවා නේද?
ඔව්. පොඩි කාලෙ ඉඳන්ම තාත්තගෙ මියුසික් වැඩ කටයුතු දකිනවා. තාත්තගෙ මගපෙන්වීම යටතේ මියුසික්වලට යොමු වෙනවා. හොඳ ගායකයෙක් සංගීත අධ්‍යක්ෂවරයෙක් වීමේ හීනය ඔස්සේ තමයි වැඩකටයුතු ඉදිරියට කරගෙන යන්නේ.
ඒ හීනය දැන් ඉටුවෙලා නේද?
ඔව් ඇත්තටම. මම කැමැති දේ තමයි මම රස්සාව විදියට කරගෙන යන්නේ. මට එපා වෙනකම්ම දිගටම කරගෙන යනවා.
ප්‍රසංග වේදිකාවේ වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල ප්‍රසංග වේදිකාවෙත් අලුත් වැඩ කීපයකටම සම්බන්ධ වෙලා ඉන්නවා.
ඉදිරියේදී ඔබව දකින්න ලැබෙන විශේෂ නිර්මාණ මොනවද?
ඇත්තටම ‘බයිලා’ කියලා දකුණු ඉන්දියානු චිත්‍රපටයකට සහ දකුණු ඉන්දියානු නිර්මාණ කීපයකටම සම්බන්ධ වෙලා ඉන්නවා. දකුණු ඉන්දියානු ප්‍රසිද්ධ ගායික ගායිකාවන් සමග එම නිර්මාණවලට සම්බන්ධ වෙන්න මටත් වින්ඩිටත් ඉදිරියේදී අවස්ථාව ලැබේවි.
සංගීත ක්ෂේත්‍රයේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
නිර්මාණකරණයේම නියැළෙන්න තමයි බලාපොරොත්තුව. මේ ක්ෂේත්‍රයේ ආටිස්ට්ලගේ නිර්මාණවලට පුෂ් එකක් දීලා ඔවුන් ඉදිරියට යනවා දකින්න කැමැතියි. නමුත් කාර්යබහුලත්වය තමයි ප්‍රශ්නෙ.
ඒ කියන්නෙ ඉදිරියේදී සනුක ගායනයෙන් මිදිලා පද රචනයටත් සංගීත අධ්‍යක්ෂණයටත් යොමු වෙන්නද කල්පනාව?
දන්නෑ ඉතින්. සිං කරන්න මම ගොඩක් කැමැතියි. ඒ වගේම දැක්මක් තියෙන දේශීය විදේශීය වෙනස්ම මියුසික් ස්ටයිල්ස්වල නිර්මාණකරුවන් සමග සම්බන්ධ වෙලා වැඩකරන්නත් කැමැතියි.
සෝලෝ කොන්සර්ට් නැත්නම් ෆැමිලි කොන්සර්ට් කරන්න අදහසක් නැද්ද?
ෆැමිලි කොන්සර්ට් එකක් විදියට රූකාන්ත අංකල් සහ චන්ද්‍රලේඛා ආන්ටි දෙන්නා කරන ‘රූ සඳ රෑ’ කොන්සර්ට් එකට මමත් සම්බන්ධ වෙලා ඉන්නවා. මගේ ස්වං නිර්මාණවලින් මගේම කියල කොන්සර්ට් එකක් කරන්න බලාපොරොත්තුවකුත් තියෙනවා.
රසාංජලි වාසල











