පසුගිය කාලවකවානුවේ ආ බාධක මැද ‘සේද මාවත’ නැවැත තිරගත වෙනවා නේද හර්ෂ?
පෙබරවාරි මාසයේ තමයි මුලින්ම ‘සේද මාවත’ චිත්‍රපටය තිරගත වුණේ. ඒ කාලසීමාව තුළ විශාල ප්‍රේක්‍ෂක පිරිසක් සේද මාවත සමඟ එකතු වුණා. ඒත් ලෝකයටම බලපාපු කොරෝනාව නිසා සිනමාශාලා පවා වසා දැමුවා. ඉතින් ඒ සියලුම බාධක මැද ‘සේද මාවත’ චිත්‍රපටය නැවැත තිරගත වෙනවා. සිනමාශාලාවල අඩු ප්‍රේක්‍ෂක පිරිසක් තමයි දකින්නට ලැබුණේ අපට. බොහෝ දුරට ලබන වසරේ මුල් කාල වකවානුව වෙනකම් සිනමා කර්මාන්තයට මේ ප්‍රශ්නය බලපාවි.
මෙයට පෙරත් ඔබ නිර්මාණය කළ ‘ගෝරි’ චිත්‍රපටයටද මෙවැනි ප්‍රශ්නයකට මුහුණ පෑමට සිදුවුණා නේද?
ඇත්තටම ඔව්. ‘ගෝරි’ චිත්‍රපට තිරගත වුණු කාලවකවානුව තුළත් පාස්කු ප්‍රහාරය බලපෑවා. ඒත් මේ තරම් ලොකු ඛේදවාචකයකට මුහුණ පෑමකට සිදුවුණේ නැහැ. මේ සිදුවුණු කොරෝනා වසංගතය නිසා ලෝක ආර්ථිකය පවා කඩාවැටුණා.
හිතුණේ නැද්ද මේ ප්‍රශ්න සමථයකට පත්වූ පසු ‘සේද මාවත’ තිරගත කළා නම් හොඳයි කියලා?
මම අභියෝගවලට මුහුණ දීමට කැමැතියි. ඉතින් චිත්‍රපටය තිරගත කිරීමට සුදුසු කාලය මෙය තමයි කියලා මම හිතුවා. තවත් කාලයක් බලන් ඉඳලා තිරගත කිරීමට හිටියා නම් නැවැත ප්‍රචාර කටයුතු සඳහා ලක්‍ෂ ගණනක් වියදම් කිරීමටද සිදුවෙනවා.
ඔබේ දැකපු විශේෂත්වයක් තමයි අලුත් පිරිසට අවස්ථාව ලබා දීම. ඉතින් වර්තමාන නළු නිළියන් ගැන ඔබේ අදහස?
මගේ හැම නිර්මාණයකින්ම අලුත් පිරිසක් සමඟ එකතුවෙලා තමයි වැඩ කරන්නේ. ‘සේද මාවත’ චිත්‍රපටයටත් අලුත් පිරිස සම්බන්ධ කරගත්තා. නමුත් ‘සේද මාවත’ චිත්‍රපටය එළියට ආවට පසු එහි ප්‍රචාර කටයුතු සඳහා ඒ කිසිම කෙනකු අප සමඟ සම්බන්ධ වුණේ නැහැ. හැමෝම බැලුවේ නිර්මාණය ගැන නෙවේ මුදල ගැනයි. මගේ ‘සේද මාවත’දී එහෙම හිතපු අලුත් පිරිසක් මට හමුවුණා. එය ගැන තියෙන්නේ මට ලොකු කලකිරීමක්. කිසිම කෙනෙක් මම නිකම් රඟපාන්න ගත්තේ නැහැ. සමහර විට මේ සිනමා කර්මාන්තය නැති වීමට මේ හේතු බලපානවා ඇති.
ඉදිරියේදී කොරෝනා වසංගතය මූලික කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සැලසුම් කරන බව ආරංචියි?
බොහෝ දුරට ලබන වසරෙදි එය සිදුවෙයි. ‘සේද මාවත-2’ විදියට තමයි. අපි ඒ කතාව මූලික කරගෙන නිර්මාණය කිරීමට සැලසුම් කරගෙන තියෙන්නේ. ‘සේද මාවත’ චිත්‍රපට නැරැඹුවා නම් ඒ වෙනස තේරෙයි.
වසන්ත විතාරණගේ











