ඇගේ ‘සිනාව’ දුටු දනන් සිත දැහැන්ගත කරවන තරමට සොඳුරු විය. විටෙක ඈ ‘වරාමලක්’ ලෙස ඔහේ සුළඟට පාව යන මුදු සිතැති බරිත නිරූපණයක නියැලුණාය. ඕලු යන නාමය ඇයට සුවිශේෂී විය. ඕලු ක්‍රියේෂන් නමින් ටෙලිනාට්‍ය නිෂ්පාදන ආයතනයක් ඈ වෙතින් බිහි වූයේ එනිසා වන්නට ඇත. කවුද මේ ‘ඈ…’ මේ කියන ඈ ‘මජුලා කුමාරිය…’ මීට වසර ගණනකට පෙරාතුව ‘ඕලු’ ටෙලි කතාව තුළන් රසික සිත් අමන්දානන්දයක ගිල්ලවාලූ ලස්සන ටෙලි නිළිය ඇයය.
කොහොමද මංජුලා ඉතින් ජීවිතේ?
සතුටුනි දවස් ගෙවී යනවා, මා අරඹයා… මා වටා සිදුවන දේ ගැන මම තෘප්තිමත්.
‘සිහින ගෙනෙන කුමාරියේ’ තුළින් නැවැත ඔබ ටෙලි කලාවට නැවැත ඇවිදින්?
සුහද ආරාධනයක් මතයි එය සිදුවුණේ. ඒ වගේම ඒ චරිතය මම බාර ගත්තෙ බොහොම සතුටින්.
කාලයක් ටෙලිනාට්‍යවලින් බැහැරව සිටියා ඔබ?
ඔව්… මට මගේ පුංචි දරුවන් සමඟ නිතර රැඳෙන්නට ඕනෑ වුණා. මවකගේ සෙනෙහෙස දරුවකුට අවශ්‍යයම කාලයේ එතැන හිස්තැනක් නොතියන්න, ඔවුන් සමඟ නිතර රැඳෙන්නට මට ඕනෑ වුණා.
නැවැත ටෙලි කලාවට අවතීර්ණ වීමෙන්, ඔබ ඉහත කී හිස් බව දරුවනට ඇති වන්නේ නැතිද?
මගේ ජීවිතයේ පළමු තැන මගේ පවුල, ටෙලි කලාව එහි දෙවැනි තැන, නැවැත එයට යොමුවුණේ කාලය පමණට වඩා වැය නොකරන යම් සීමාවන් තුළයි. ඒ වගේම ගිවිසුම් සඳහා මම අත්සන් තබන්නේ හොඳින් හිතාමතා තෝරා බේරාගත් ටෙලි නාට්‍යවලට පමණයි.
ඒ කියන්නේ දිගින් දිගටම ඔබට ආරාධනා ලැබෙනවා?
ඔව්… ආරාධනා ලැබෙනවා. හැබැයි දුර බැහැරක යායුතු සමහර රූගත කිරීම් නිසා ඇතැම් ආරාධනාවන් ප්‍රතික්‍ෂේප කරන්නට සිදුවෙනවා.
රඟපෑමේදී කවදත් ඔබ තුළ යම් සීමාවන් තිබුණා?
සත්තකින්ම, මම රංගනය සඳහා යොමුවුණේ යම් සීමාවන් මතයි. එම සීමාවන් නිසා පසුගිය කාලයේ ඉතා හොඳ මට්ටමේ නිර්මාණ මගෙන් ගිලිහී ගියා.
ඒ ගැන පුංචි හෝ කනගාටුවක් දැනෙන්නෙ නැද්ද?
කනගාටුවක් දැනෙනවා.., හැබැයි ප්‍රේක්‍ෂකයන් ‘මංජුලා කුමාරි’ කියන රංගවේදිනිය ගැන මවාගෙන සිටින ප්‍රතිරූපයටත් මවක සහ හොඳ බිරියක ලෙස මා මගේ පවුල මුල්කොට තබාගෙන සිටින ප්‍රතිරූපයටත් කිසිදුම පලුද්දක් කරන්නට ඒ කනගාටුව ප්‍රබල වුණේ නැහැ.
ප්‍රේක්‍ෂකයන් හමුවේ ඔබේ ප්‍රතිරූපය ගොඩනැඟුණේ ‘ඕලු’ ටෙලි කතාවෙන්?
හරියටම හරි.., ඕලු මගේ ජීවිතයට ගෙන ආ වාසනා මහිමය අසීමිතයි. ‘ඕලු’ කියන්නේ මගේ රංගන ඉසව්වේ හැරවුම් ලක්‍ෂ්‍යයි.
වාස්තු විiාව ඔස්සේ ඔබ වංහුං හෙව්වලු ‘ඕලු’ යන නම ඔබට ‘ලකී’ද කියලා.
ඔව්. ඕලු කියන නම මට ලොකු ලක්එකක් කියන සිතුවිල්ල මට අනුමානයක් විදියට දැනිලා තිබුණා. එය තහවුරු කරගැනීමට වුවමනා නිසා මම ඒ ගැන ඇස්ට්‍රොලොජිවලින් එහෙමත් හොයලා බැලුවා. කාරණය ඇත්තක් බව තහවුරු වුණා.
‘ඕලු’ කියේෂන් බිහිවුණේ ඒ තහවුරු වීම හරහාද?
ඔව්… ටෙලිනාට්‍ය නිෂ්පාදන ආයතනයක් පටන් ගන්න මගේ හිතේ පුංචි හීනයක් තිබුණා. ගැළපෙන නමක් ගැන හිතන කොට මගේ මනසේ නිතර ලැගුම් ගෙන ඉන්න ‘ඕලු’ මට ඒ සඳහා අවශ්‍ය හොඳම උත්තරය දුන්නා.
‘ඕලු’ ක්‍රියේෂන් ආයතනය සාර්ථකද?
අති සාර්ථකයි. ‘ඕලු ක්‍රියේෂන්’ අනුසාරයෙන් බිහිවූ ප්‍රවීණ ටෙලි නිර්මාණයන් කිහිපයක් සම්මානයටද පාත්‍ර වුණා.
තවමත් බොහෝ ප්‍රේක්‍ෂකයන් ‘ඕලු’ට ප්‍රතිචාර දක්වනවා?
ඔව්, මගතොටේ යන විට වුණත් මාව දකින කෙනෙක්. අද වුණත් ළඟ ඉන්නා කෙනකුට මාව පෙන්නන්නේ අන්න ‘මංජුලා කුමාරි යනවා’ කියල නෙවෙයි. ‘අන්න ඕලු යනවා’ කියලයි. ඇත්තෙන්ම අවුරුදු 10කට වැඩිය ඈත මතකයක තවම මම ‘ඕලු’ ලෙස ඔවුන්ගේ සිත තුළ ඉන්නවා කියන එක මට ආඩම්බරයක්. ඒ වගේම සතුටක්.
‘ඕලු’ට පෙම් කරන්නට බොහෝ අය ඒ දවස්වල පෙරුම් පිරුවලු?
විදේශගතව ඉන්න අය පවා ලියුම් ගෝනි ගණන් එව්වා. යන යන තැන ප්‍රේක්‍ෂකයන් මාව වටකර ගත්තා. රූගත කිරීම් කරන්නට පවා සමහර විට අපහසු වෙන තරමට ඒ තැන්වලට බාල, තරුණ, වැඩිහිටි හැමෝම මාව සොයාගෙන ආවා. අන්තිමේදී නාට්‍ය අධ්‍යක්‍ෂතුමා කිව්වා ‘මංජුලා මේ වැඬේ ටිකක් කට්ටියට පහදවන්න, නැත්නම් සූටින්වලට බාධාවක් වෙයි කියලා.
විවාහ යෝජනා පවා ආවේ ‘ඕලු’ගේ අහිංසක පෙනුමට නේද?
ඔව්… ඒ ගැමි අහිංසක පෙනුමට තමයි හැමෝම ආදරය කළේ. මල් වැටුණු අත්බෝරිච්චි ගවුම ඇඳලා, කොණ්ඩ දෙක ගොතලා හිටපු මගේ ඒ චාම් ප්‍රතිරූපය තරුණ පිරිමි හිත්වලට ලොකු ආකර්ෂණයක් වුණා. ඒ නිසා තමයි මාව විවාහකර ගන්නට කැමැතිති කියලා ඔවුන් යෝජනා ගෙන ආවේ.
ඒ ඒක යෝජනාවකට හෝ කැමැති නොවුණේ ඇයි මංජුලා…?
විවාහ කරගත්තේ රසිකයෙක්ම තමයි. චානුක කියන්නේ ‘ඕලු’ගේ අහිංසක ප්‍රතිරූපයට බොහෝ ඇලුම් කළ රසිකයෙක්. පළමුව අප හොඳ මිතුරන් වුණා. ඉන්පසු තමයි එය ආදරයකට හැරුණේ. චානුකගේ ගෙදර ඒ දවස්වල ගිය වේලාවක මම දැක්කා ඔහුගේ කාමරය සහ ඇඳුම් අල්මාරිය පුරාම මගේ පින්තූර අලවලා තියෙනවා. එදා ඒ මොහොතේ මට මා ගැන මහා ආඩම්බරයක් දැනුණා කිව්වොත් හරි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











