දේශගුණ විපර්යාසවලින් ජනතාව පීඩාවට පත්වීම අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් නොකිරීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්: 08) අවසර දුන්නේ ය.Sri Lanka Latest News
පෙත්සම ගොනු කරනු ලැබුවේ, පරිසර යුක්ති කේන්ද්‍රය විසිනි.
ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම අද කැඳවනු ලැබිණි.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ඇති වන තත්ත්වයන් නිරාකරණය කර ගැනීම සඳහා රජයන් විසින් නිසි වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මහ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වන බව පෙන්වා දුන්නේ ය.
ජලගැලීම්, නියඟය, නාය යාම්, ඇතුළු පාරිසරික විපර්යාස නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාවගේ ජීවිත අහිමිවීම, වාසස්ථාන අහිමිවීම, රැකියා අහිමිවීම ඇතුළු ව්‍යසනයන් රාශියකට මුහුණ දීමට සිදුවන බවත් ඔහු සඳහන් කළේ ය.








