ටෙලි තරු ගොසිප්වලට අද ‘හාට්’ එකේ ලියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර රූපයක් හිමි සුහන්දි ගැනයි. සුහන්දි කියනවට වැඩිය කවුරුත් ඈව හරියටම හඳුනන්නේ මන්දාරම් කතාවේ ‘විදු’ කිව්වමයි. කවියන් කවි පදවල සුන්දර යුවතියන්ගෙ රුව වර්ණනා කරලා තියෙන තාලෙ අනුවම සුහන්දිට තියෙන්නේ සුන්දරම රූපයක්. හැබැයි කවදාවත් ඈ ඒ ගැන ආඩම්බර කතාවක් හෝ කයිවාරුවක් කියලා නැහැ.
සුහන්දි හරි සුන්දර, කා එක්කත් සුහදව ඇසුරු කරන චරිතයක්. කාටවත් සැරෙන් කතා කරන්නවත් ඇය දන්නේ නැතිලු. කතා කරන්නෙත් ලතාවට වාගෙ හරි හෙමිහිට. ටෙලිවල රඟපාන්න ආපු අලුත ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරු ඇයට කියනවලු විවේක ඇති වෙලාවක හයියෙන් සින්දුවක් කියන්න කියලා. සද්දෙට කතා කරන්න පුරුදු වෙන්න කියලා. ටෙලි ඩ්‍රාමා බලන බොහෝ අය කියන්නේ සුහන්දිට නිළි රැජින මාලනී ෆොන්සේකාගෙ පෙනුම තියෙනවා කියලයි. සුහන්දි නම් ඒ කතාවට කැමැති නැතිලු. ඊට හේතුව ඇය මාලනීගේ පෙනුමට සමාන වෙනවා තියා හිතන්න, මාලනිය ඉදිරියේ තමා කොයි තරම් ඇබිත්තන් එකියක්දැයි කියන හැඟීම ඇයට දැනෙන නිසාලු.
පැහැපත් ලස්සන පෙනුමක් තිබුණට මේ සුන්දර යෞවනිය කවදාවත් ඕනෑවට වැඩිය අඟපසඟ නිරාවරණය වෙන විදියට ඇඳුම් අඳින්නෙ නැහැලු. ලස්සන ඇඳුම් ඇඳලා ඉන්න ආසා වුණාට ඈ ඒ ඇඳුම් තෝරාගන්නේ එයාගේ ප්‍රතිරූපයට හානියක් නොවන විදියටලු. සමාජ මාධ්‍යවල වුණත් සුහන්දි ගැන කටකතා හැදෙන අවස්ථා අඩුයි.
‘බොහොමයක් මිනිස්සු කා ගැන හෝ කතාවක් හදලා, ඒවා තමන්ටම ඕනෙ විදියට නිර්මාණය කරලා සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කරනවා. හැබැයි තමන් හොඳ නම් කවුරුවත් හදන හෝ නිර්මාණය කරන බොරු කතාවලට කලබල වෙන්න නරකයි…’
සුහන්දි සමාජ මාධ්‍ය ඕපාදූප ගැන දරන මතය ඒකයි. නිළියක් වෙන්න හීන මැව්වට තරුවක් වෙන්න කියා තරගයකට මැදිවෙන්න වෙහෙසෙන්නෙ නැති සුහන්දි ටෙලිනාට්‍ය ගොඩක් එකපාර බදාගන්නත් කැමැති නෑ. කොහොමත් සුහන්දි කියන්නේ කා එක්කවත් තරගයක් නැති, තමන්ගේ ගමන බොහොම රිලැක්ස් එකේ යන ලස්සන නිළි කෙල්ලක් හොඳේ….
මල්මි කෞශල්‍යා











