මාධ්‍ය සමඟ ඉතා සුහදව කතාබහ කරන රංගන ශිල්පිනියන් අතර ශලනි තාරකාද එක් කලාකාරියකි. ටෙලි කලාවේ ජනප්‍රියතම තරු අතර පළමු පෙළෙහි සිටින ශලනි කෙදිනකවත් එම ජනප්‍රියත්වය තුළ හිස උදුම්මා නොගත්තාය. කෙතරම් කාර්යබහුල මොහොතක වුවද මාධ්‍යය වෙනුවෙන් සිය හඬ අවදි කරන්නට ශලනි බොහෝ අවස්ථාවල අඩු වශයෙන් හෝ කාලය වෙන්කළාය. මෙයද එවන් වූ අවස්ථාවකි. ‘හාට්’ වෙනුවෙන් විනාඩි 10ක් ඇති යැයි අප කීවද ඉතාම නිහතමානීව ශලනි විනාඩි 15කටත් වැඩිය ‘හාට්’ වෙනුවෙන් තිළිණ කළේ ‘කිඳුරි’ චිත්‍රපටයෙහි රූගත කිරීම් අතරතුරය. දැනගන්නට අවැසි සුවිශේෂීම තොරතුර වූයේ, මේ දිනවල මුහුණ පොත හරහා විටින් විට පෙළ ගැසෙන ශලනිගේ වෙනස්ම තාලේ පෙනුම ගැනය. සිරුර පුරා ඈ කෙටූ ටැටූස් ගැන පමණක් නොව, අමුතුම තාලේ හෙයා ස්ටයිල් එක වගේම, දෙතොල සහ නහය විද අමුණා තිබූ කරාබු විලාසිතාවද කාගෙත් කතාබහට ලක්ව තිබිණි.
එනමුදු…,
මොකක්ද ශලනි මේ අමුතු වෙනස? යැයි එක්වනම ඇසීම හොඳ මදි නිසා, පළමුවෙන් අහන්නම්,
මොනවද ශලනි අලුත් තොරතුරු? යන පැනය මම හා හාපුරා කියා ඇය හමුවේ තබමින් කතාව ආරම්භ කළෙමි?
තොරතුරු නම් සතුටුදායකයි. නැවැතත් අපි කලා කටයුතු අතර කාර්යබහුලව සිටිනවා. විශේෂයෙන්ම මේ දිනවල මම මගේ අලුත්ම ටෙලිනාට්‍යවලත්, චිත්‍රපටයෙත් රූගත කිරීම් අතර කාලය ගෙවනවා.
චිත්‍රපටය ගැන තොරතුරු ටිකක් කියන්න පුළුවන්ද?
චිත්‍රපටය ‘කිඳුරි’ ලෙසයි දැනට නම් කර තිබෙන්නේ. එහි අධ්‍යක්‍ෂ ලෙස රොහාන් පෙරේරා කටයුතු කරනවා. මේ දිනවල එහි අවසාන රූගත කිරීම් සිදුකෙරෙනවා.
‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලි කතාව නිසා ඔබ අසීමිත ජනප්‍රියත්වයකට බඳුන්ව සිටින බව ආරංචියි?
ඇත්තටම ඒ ආරංචිය හරි. සිහින ගෙනෙන කුමාරියේහි නතාෂාගේ චරිතයට ප්‍රිය කරන ප්‍රේක්‍ෂකයන් අතර බාල, තරුණ, වැඩිහිටි හැමෝම ඉන්නවා.
මටම පුදුමයි, මම හිතුවේ නැහැ ඒ තරමටම නතාෂා ඔවුන්ගේ හිතට සමීප වෙයි කියලා.
ගිරිදේවි හී ‘ආශා’ ගැන ප්‍රේක්‍ෂකයන් එතරම් සතුටු නැතිද ශලනි?
ඇයි එහෙම කියන්නේ, ගිරිදේවි කියන්නෙ මගේ ටෙලිනාට්‍ය කලාවේ හැරවුම් ලක්‍ෂ්‍යය කියලා මට දෙගිඩියාවක් නැතුවම කියන්නට පුළුවන්.
පාට පාට සළුපිළි නැති, ලස්සන හීන නැති, බොළඳ පෙම් වදන් නොදොඩන ‘ගිරිදේවි’ කතා පුවත, පොළොවේ පය ගසා සිටින, අව්වට, වැස්සට පීඩා විඳින ‘පීඩිත පන්තිය’ ගැන ලෝකයට හොඳ පණිවුඩයක් දෙන කතාවක්.
ඒ වගේම ලස්සන හීන ලෝකවල තනිව සිටි, ආලින්දයේ සිනමාවට සමීපව හුන් ප්‍රේක්‍ෂකයන්ව ඒ හීනවලින් මහ පොළොවට බස්සවන්නට ගිරිදේවිට පුළුවන් වුණා.
වෙනසකට කැමැති ප්‍රේක්‍ෂකයා හට ඒ වෙනස දෙන්නට ගිරිදේවිට පුළුවන් වුණා. අදටත් මේ මොහොතෙත් මම ඉන්දික ධර්මරත්නටත්, ශාන්ති දිසානායක නම් ප්‍රවීණ සම්මානනීය ලේඛිකාවටත් ස්තුති කරනවා. මාව ඒ චරිතයට තෝරා ගත්තාට.
අමුතු පන්නයේ වෙනසකට බඳුන් වූ ඔබේ සේයාරූ පෙළක් මේ දවස්වල ‘මුහුණු පොත’ කලඹනවා. එහෙමද?
මම දන්නෙවත් නැහැ එහෙම කැලඹීමක් ගැන ඇත්තටම.
ටැටූ ගහලා, මුහුණ පුරාම කරාබු අමුණලා, ඇත්තටම ශලනි පුරුදු පෙනුම ‘වෙනස්’ කරන්න හිතුණද?
‘වෙනස’ කියන වචනයට නම් මම හරිම කැමැතියි. හැබැයි ඔය කියන ‘වෙනස’ නම් සිදුවුණේ මට ඕනෑවට නෙවෙයි.
එහෙනම් කාගේ හරි ඉල්ලීමකටද ඔබ ටැටූ ගහළා නහයටයි, නිකටටයි කරාබු දැම්මේ?
නැවැතිල්ලෙ හිතලා බලනව නම්, ඒකත් එක්තරා ඉල්ලීමක් තමයි. ඉල්ලීම කළේ ශිව ගුරුනාදන් කියන ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයා.
එහෙම නම් ඔබ තවත් වෙනස්ම චරිතයකට මැදිවෙලා?
ඔව්… එහි මම රඟපාන්නේ කළු චරිතයක්. තවත් පැහැදිලිව කියනව නම් මම පාතාලයේ කෙල්ලක්.
නාහෙට නාහන දරදඬු චරිතයක්. සරල නැහැ. සුන්දර නැහැ. ආදරය හඳුනන්නෙ නැහැ. ඇත්තටම හරිම අපහසු චරිත නිරූපණයක්. සද්ධා මංගල සූරිය බණ්ඩාරගේ තිර පිටපතට අනුව තමයි ශිව ගුරුනාදන් මෙය අධ්‍යක්‍ෂණය කළේ.
ටෙලිනාට්‍යයෙ නම, ඔබ සමඟ රඟන අනෙක් රංගවේදීන්?
ටෙලිනාට්‍යයේ නම නම් අපිවත් තවම දන්නේ නැහැ. මා සමඟ මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ සාරංග දිසාසේකරයි.
හැබැයි ඒ පෙම්වතුන් විදියට නම් නෙවෙයි. දෙන්නට දෙන්නා පෙන්නන්ට බැරි තරමට වෛරයෙන් පිරුණු චරිතවලටයි අප මැදිව සිටින්නේ.
ඇත්තටම ගිරිදේවි ටෙලි කතාවේ චරිතයට වාගේම මේ රස්තියාදුකාර කෙල්ලගේ චරිතයටත් මම ප්‍රිය කරනවා.
ප්‍රේක්‍ෂක ප්‍රතිචාරය කොහොම වෙයිද. ඒ රස්තියාදුකාර කෙල්ලට?
බලමු… නොබෝ දිනකින් එය විකාශනය වීමට නියමිතයි.
කොහොමත් දැන් දැන් ප්‍රේක්‍ෂකයන් වෙනසක් හොයනවා. ඒ හොයන වෙනස මම ඔවුනට තිළිණ කරනවා. ඉතින් නිසැකවම මම කියනවා මේ පාතාල කෙල්ලටත් ඔවුන් හොඳ ප්‍රතිචාරයක් දෙනවාමයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











