මේ දිනවල රූපවාහිනියෙන් ඔබගේ නෙත් අද්දරට එන සුවිශේෂ ටෙලි චරිතයක් සමගයි අද අපි කතාකරන්නේ. ‘ඉර හැංගිලා’ ටෙලිනාට්‍යයෙන් කාගේත් සිත් දිනාගත් ‘බක්මී’ චරිතයට පණ පොවන ඇය කසුනි කාවින්දියි. අපි ඇයගෙන්ම දැනගමු බක්මීගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැන.
කසුනි මේ දවස්වල ඉර හැංගිලා නේද?
ඉර නම් හැංගිලා. හැබැයි ඉතින් ඒ සැඟවුණු ඉර යට තරු පොකුරක් එළිය දෙනවා. මමත් ‘බක්මී’ ලෙසින් තරු පොකුරු සමග සතියේ දිනවල රාත්‍රි 8.30ට ජාතික රූපවාහිනියේ ‘ඉර හැංගිලා’ ටෙලිනාට්‍යය තුළින් අදාරණීය ප්‍රේක්ෂකයන් අතරට එනවා.
ඔබ මේ දවස්වල තවත් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා නේද?
ඇත්තටම මම එහෙම කාර්යබහුල රංගන ශිල්පිනියක් නෙවෙයි. ඒත් මේ දවස්වල භාරගත්තු වැඩකටයුතුවල එක දිගට රූගතකිරීම් සිදුවෙන නිසා ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. ස්වර්ණවාහිනියේ විකාශය වන ‘පැබ්ලෝ’ ටෙලිනාට්‍යයේ සහ වාසවබදුගේ හීරා චිත්‍රපටයේත් මම සුවිශේෂ චරිතයක් රඟපානවා. ඒ වැඩකටයුතු සියල්ල එක්ක තමයි මේ දවස්වල කාලය ගතකරන්නේ.
බක්මී චරිතය ගැන කතා කළොත්?
ටෙලිනාට්‍ය පිටපත කියවලා බලද්දී මට ගොඩක් ආසා හිතුණා බක්මී චරිතයට. ඒ චරිතය මට අභියෝගාත්මක චරිතයක් වුණා. මම මෙයට පෙර මේ වගේ චරිතයක් රඟපාලා නැහැ. කෙටියෙන්ම කිව්වොත් බක්මී චරිතය කොල්ලෙක් වගේ චරිතයක්. දඟකාර, ශක්තිමත් පෞරුෂයක් තියෙන, අසාධාරණයට අකැමැති චරිතයක්. බක්මී චරිතය තුළින් මටත් ඉගෙනගන්න ගොඩක් දේවල් තිබුණා. ලැබෙන ප්‍රතිචාරත් සමග ප්‍රේක්ෂකයන් ඉර හැංගිලා ටෙලිනාට්‍යය වැලඳගෙන තිබෙනවා.
අත්ට්‍රැක්ටරය සමග ගෙවපු කාලය කොහොමද?
මම ජීවිතේටවත් අත්ට්‍රැක්ටරයක් පදවලා නැහැ. එය මට වෙනස්ම අත්දැකීමක් වුණා. පොඩි කාලයක් තුළ මට කියලා දුන්න විදියට මම පදවන්න පුරුදු වුණා. දැන් ඉතින් මට අත්ට්‍රැක්ටර් පදවන්නත් පුළුවන්. ඒ වගේ අභියෝගාත්මක චරිත කරන්න මම ගොඩක් කැමැතියි. මම නිතර දෙවේලේ රූපවාහිනියේ දකින රංගන ශිල්පිනියක් නෙවෙයි. හිතට දැනෙන මටත් දෙයක් කරන්න පුළුවන් මගේ දක්ෂතාවන් ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න පුළුවන් හොඳ නිර්මාණවලට මම සම්බන්ධ වෙනවා.
මෙතෙක් ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටුයි. හැබැයි මම ආවේ සුන්දර ගමනක් නෙවෙයි. අභියෝග සියල්ලට මම තනියම මුහුණ දීපු කෙනෙක්. මගේ මවුපියන්ට නිතරම මගේ පස්සෙන් රූගත කිරීම් සඳහා යන්න එන්න අමාරුයි. ඔවුන් දුන්න මගපෙන්වීම, පාසලෙන්, ගුරුවරුන්ගෙන් ලැබුණු අවවාදවලින් මගේ ආරක්ෂාව මම රැකගෙන යනවා. මගේ ගෞරවය රැකගනිමින් අද ඇවිත් ඉන්න තැන ගැන ආපසු හැරිලා බලද්දී මට තියෙන්නේ පුදුමාකාර සතුටක්.
වසන්ත විතාරණගේ











