‘අහමුද ටැටූ එක’. ටිකක් අමුතුයි වගේ නේද. කොහොම හරි ටැටූ කතාව කිව්වෙ මේ ළඟදි ලිරීස් වුණු සංඛගෙ සින්දුව නිසා. මෑතකදී ජනප්‍රිය වූ ගීත රාශියකම හිමිකරුවා වන සංඛ දිනෙත් එළිදක්වපු ඔහුගේ අලුත්ම ගීතය ‘ටැටූ වළලු’ මේ වන විට හිට් එකක් වෙලා. සංඛ නවපරපුරේ ජනප්‍රිය ගායකයෙක් වගේම දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ අලුත්ම නිර්මාණය ගැන අපිත් සමඟ කතා කළේ මේ විදිහට.
සංඛ කතා කරමුද ‘ටැටූ වළලු’ ගැන?
ඔව්. ටැටූ වළලු කියන්නෙ මගේ අලුත්ම සින්දුව.
කොහොමද සින්දුව හැදෙන්නෙ?
මේ සින්දුව ලියන්නෙ චින්තන ධර්මදාස. මෙලඩිය මගේ. කොවිඞ් ප්‍රශ්නයත් එක්ක අපි ගෙවල්වලට වෙලා ඉන්නකොට චින්තන මට ටිකක් අමුතු වචන ටිකක් එවනව. ඒ වචන දැක්කට පස්සෙ මට එන ෆීලින් එකත් එක්ක තමයි සින්දුව හැදෙන්නෙ.
සින්දුවෙ තීම් එක මොකක්ද?
සෙක්ස් ගැන තමයි සින්දුවෙන් කතා කරන්නෙ.
ඇයි මේ සින්දුවෙන් සෙක්ස් ගැන කතා කරන්න හිතුවෙ?
ඔය ශුංගාරය කියන කාරණා ගැන නොයෙක් විදිහට කතා කරන අවස්ථා අපි දැකල තියෙනව. එක එක කාලෙට ඒ ගැන අපි වෙනස් විදිහට තමයි කතා කරන්න උත්සාහ කරන්නෙ. අපි සෙක්ස් ගැන කතා කරන්නෙ අපිට දැනෙන දේවලුත් එක්ක. සමහරු ඒක ව්‍යාංගාර්ථයෙන් කතා කරනව. මමත් ඉතින් බොහොම සරල විදිහට සෙක්ස් ගැන කතා කරන්න ගත්ත උත්සාහයක් තමයි මේ.
මේ හරහා වෙනස්ම විදිහෙ මියුසික් වීඩියෝ එකක් එළියට එනවා?
ඒකට සම්පූර්ණයෙන් වගකියන්න ඕනෙ චින්තන ධර්මදාස තමයි. ‘ස්මෝකින් ආෆ්ට සෙක්ස්’ කියන තීම් එක තමයි ඔහු මේකට පාවිච්චි කරන්නෙ. චින්තනගෙ අයිඩියා තමයි සම්පූර්ණයෙන්ම විඩියෝ එක ඇතුළෙ තියෙන්නෙ. චානක වීජමුණිගේ වෙනස්ම විදිහේ කැමරාකරණයක් අපිට ඕකෙදි දැකගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් ස්තුති කරන්න ඕනෙ මේකෙ ඇක්ට් කරන චුලක්ෂිට. එයාගෙන් ලැබෙන සපෝට් එක අනුව තමයි මේ වැඬේ සාර්ථක කරගන්න පුළුවන් වුණේ.
යූටියුබ් ඕඩියන්ස් එක ටාගට් කරගෙන මියුසික් වීඩියෝ කරන එක දැන් ටේරන්ඩ එකක් වෙලාද?
නෑ ඇත්තටම යූටියුබ් හරහා නිර්මාණ එළිදක්වන්න නිර්මාණකරුවන්ට තියෙන පහසුව නිසා තමයි ගොඩක් වෙලාවට ඒ සඳහා යොමුවෙන්නෙ. අනිත් එක තමයි ඉතාම කෙටි කාලයක් තුළ ලොකු ඕඩියන්ස් එකකට අපිට කතා කරන්න පුළුවන් වීම. ඒ වගේම ඔවුන්ගෙ ප්‍රතිචාරත් අපිට ඒ වෙලාවෙදිම දකින්න ලැබීම යූටියුබ්වල අපිට තියෙන වාසියක්. ඒ වගේම මේ හරහා අපිට අපේ කර්තෘභාගය ලැබෙනව. නිර්මාණකරුවන්ට ලැබෙන ලොකුම වාසිය තමයි ඒක. ඔය හේතු නිසා තමයි ගොඩක් ආටිස්ට්ල යූටියුබ්වලින් තමන්ගෙ නිර්මාණ එළියට දාන්න කටයුතු කරන්නෙ.
සින්දුවට මේ වෙද්දි ප්‍රතිචාර ලැබෙනවද?
ඇත්තටම ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනව සින්දුවට. මම මීට පෙර කරපු නිර්මාණවලට වඩා වෙනස් නිර්මාණයක් තමයි ‘ටැටූ වළලු’ කියන්නෙ. ඉතින් කලින් මට හැදිල තිබුණට වැඩිය වෙනස්ම ඕඩියන්ස් එකක් මේ හරහා හැදීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා.
ඉන්දික වික්‍රමරත්න











