සිබිල් වෙත්තසිංහ මහත්මිය එහෙම නැත්නම් සිබිල් නැන්දා ගැන ලංකාවේ කාටවත් අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. කුඩා දරුවකුගේ පටන් මැදි වයස දක්වා ඕනෑම කෙනෙක් සිබිල් නැන්දා ගැන දන්නවා. ඇය දශක හතකට ආසන්න කාලයක් ලංකාවේ ළමා පරපුර වෙනුවෙන් අපමණ කාර්යභාරයක් ඉටු කළා. ලෝකයට යහපත් පරපුරක් දායාද කරන්න ඇය ගත්ත ක්‍රියාමාර්ගය අති විශිෂ්ටයි.
ලංකාවේ හැමෝගෙම ආදරය දිනා ගෙන හිටිය සිබිල් නැන්දා පසුගිය ජුනි මස 30 වැනිදා රාත්‍රියේදී අප අතරින් සමුගෙන ගියා. දින කිහිපයක් තිස්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරෙදි තමයි ඇය ජීවිතයෙන් සමුගත්තේ. ඒ වන විට ඇය 93 වැනි වියේ පසු වුණා.
දකුණු ලකේ ගාලු පුරයේ සිට අවුරුදු පහළොවේදී චිත්‍ර සහ කතන්දර කලාවට පිවිසුණු සිබිල් වෙත්තසිංහ මහත්මිය ලංකාවේ බොහෝ දෙනෙක් දැන ගත්තේ 1956දි. ඒ “කුඩ හොරා” ළමා කතා පොතත් එක්ක. එහි ඇතුළත් වූ චිත්‍ර සහ කතාව ළමා පරපුරට අලුත්ම අත්දැකීමක් වුණා. එම කෘතියට ජාත්‍යන්තර සම්මාන පවා ලැබුණා වගේම 1987 වසරේදී ජපානයේ වැඩියෙන්ම අලෙවි වූ විදෙස් කෘතිය බවට පත්ව තිබුණේ සිබිල් නැන්දගේ “කුඩ හොරා”. ඒ විතරක් නෙවෙයි “කුඩ හොරා” චීනය, කොරියාව, නෝර්වේ, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු තවත් රටවල් ගණනාවක මුද්‍රණය කර තිබීමත් අපේ පුංචි ලංකාවට ලැබුණු ගෞරවයක්.
සිබිල් නැන්දගේ චිත්‍ර කතා බලන්න ළමා පරපුර වගේම තරුණ, වැඩිහිටි පරපුරත් එක වගේම ආස කෙරුවා. පුංචි තිරය ඉදිරියේ සිබිල් නැන්දගෙන් චිත්‍ර ඉගෙන ගන්න ඒ දවස්වල පුංචි පැටව් මඟ බලමින් හිටිය හැටි අපට මතකයි. ළමයින් සම්බන්ධයෙන් පමණක් නෙවෙයි ලංකාවේ කාන්තා පරපුර වෙනුවෙනුත් චිත්‍ර කලාව හරහා ඇය ලබා දුන් දායකත්වය ඉතාම සුවිශේෂීයි.
සිබිල් නැන්දා ගැන තව කතා කරන්න දේවල් ගොඩක් තිබුණත් මේ ඒකට වෙලාව නෙවෙයි. නමුත් පසුගිය කාල වකවානුවේදී ඇය සම්බන්ධ වූ සුවිශේෂී කාර්යභාරයක් පිළිබඳවත් මෙහිදී සඳහන් කළ යුතුමයි. දශක හතක් පුරා විවිධ මාධ්‍ය ඔස්සේ ළමා පරපුරට කතා කෙරුව ඇය 90 වැනි විය පසු කරමින් සිටියදීත් ඒක නතර කෙරුවේ නැහැ. ඒ වගේම කාලයෙන් කාලයට අලුත් වන තාක්ෂණය එක්කත් ඇය හරි හරියට වැඩ කෙරුවා. 90 වැනි විය පසු කර සිටියදී ඇය සමාජ මාධ්‍ය ඔස්සේ අපූරු වැඩපිළිවෙළක් දියත් කෙරුවා. ඒ සඳහා ලංකාව පුරා කුඩා දරුවන් 20,000ක් යොදා ගන්න ඇයට පුළුවන් වුණා. ඒ සියලුම දෙනා එකතු කර ගනිමින් “කුඩා පුළිඟුව” කෘතියත් ඇය රචනා කළා. මේ වසරේ මුල් භාගයේදී තමයි එහි වැඩ කටයුතු අවසන් වුණේ. ඇය තමන්ගේ මුළු ජීවිත කාලයම ලංකාවේ ළමා පරපුර වෙනුවෙන් කැප කළ බවට තවත් උදාහරණ ඕනෑ වෙන්නේ නැහැ.
කොහොම වුණත් මේ වෙද්දී අපි හැමෝම ආදරය කෙරුව සිබිල් නැන්දා අපි අතර නැහැ. ඇයට ආදරය කෙරුව හැමෝම එක්ක අපි ඇයට නිවන සුව ප්‍රාර්ථනා කරනවා.
චන්දන පොන්නම්පෙරුම










