නියරේ පියනඟලා, රන් රස වාගේ, පුංචි කුරුලු කූඩුවේ, හඬවලා සිතක් හඬවලා, පුන්සඳ පායා මොරටුව දිලෙන්නා, රුවල් නැවෙන් ගොඩබැහැලා, සුරූපී, විරූපී’ රසික හදවත් තුළ සදා නොමැකෙන මේ ගීතාවලියේ හිමිකරුවා මෙන්ම ප්‍රසංග වේදිකාව දිග්විජය කළ සංගීත කණ්ඩායම් තුනක එකම හිමිකරුවා වන්නේත් ප්‍රවීණ ගායක සමන් ද සිල්වාය. තණ නිල්ල දිගේ ඇදී ආ ජනප්‍රියත්වය අදටත් එකසේ පවත්වාගෙන යන මේ ගැඹුරු කටහf`ඞ් හිමිකරුවා අපත් සමඟ තම අතීතය හාරා ඇවිස්සුවේ මේ ආකාරයටයි.
ඔබ සංගීත ක්ෂේත්රයට ආවෙ කොහොමද?
මම පාසල් ගියේ කොළඹ නාලන්ද විද්‍යාලයට. ඒකෙ යාළුවොත් එක්ක පොඩි පොඩි මියුසික් වැඩ කරල තමයි මට මුලින්ම මියුසික් ගැන ආසාවක් ඇතිවෙන්නෙ. ඒ හරහා තමයි මම ටිකෙන් ටික සංගීත පැත්තට යොමුවෙන්නෙ.
ඔබට සංගීතය පිළිබඳ කිසිදු පවුල් පසුබිමක් නැද්ද?
නෑ. අපේ පවුලෙ කවුරුත් මියුසික්වලට සම්බන්ධ වෙලා හිටියෙ නෑ. මම තමයි අපේ පවුලෙන් මුලින්ම මියිසුක්වලට සම්බන්ධ වෙන්නෙ.
එතකොට ඔබ කොහොමද ක්ෂේත්රයෙ ජනප්‍රිය වෙන්නෙ?
මුලින්ම මම ගල්කිස්සෙ සංචාරක හෝටල්වල සින්දු කියන්න පටන්ගත්ත. ඒ ඔස්සේ ලැබෙන ජනප්‍රියත්වයත් එක්ක තමයි මට ගුවන්විදුලියෙ ගීත පටිගත කරන්න ලැබෙන්නෙ. ගුවන්විදුලියෙ මගේ ගීත ප්‍රචාරය වීමත් එක්ක තමයි සමන් ද සිල්වා කියන නම ජනප්‍රිය වෙන්න ගන්නෙ. මම තමයි ගුවන්විදුලියෙ අන්තිමටම තැටිවල ගීත පටිගත කරපු ශිල්පියා. ඒ වගේම ලංකාවේ පළමුවෙනිම සි.ඩී. එක කළෙත් මම.
ඔබ කණ්ඩායම් සංගීත ක්ෂේත්රයටත් පිවිසෙනව?
1973 – 74 කාලෙ තමයි මම මුලින්ම ‘කැන්ඩි රෙඞ් ක්ලබ්’ කියන බෑන්ඞ් එකේ සින්දු කියන්නෙ. එතැනින් පස්සෙ ‘සියැස්’ කියන බෑන්ඞ් එකට එකතු වෙලා කාලයක් වැඩ කනව. පස්සෙ ඒ බෑන්ඞ් එක මමම සල්ලි දීල අරගන්නව. මේ වෙද්දි ‘සමන් ඇන්ද ක්ලෑන්’ සහ ‘සුපර් ක්ලෑන්’ කියන සංගීත කණ්ඩායම් දෙක මම පවත්වාගෙන යනවා.
වොලී බැස්ටියන්ගෙ ගීතවලින් තමයි ඔබ ජනප්‍රිය වෙන්නෙ?
වොලී බැස්ටියන් මහත්මය මියයන්න කලින් මම තමයි එතුමගෙ සින්දු රෙකෝඞ් කරල දුන්නෙ. ‘අයරින් ජොසපින්’, ‘මතකයි අම්මේ’ කියන සින්දු කිව්වට පස්සෙ ඒකෙන් මට ලොකු ජනප්‍රියත්වයක් ලැබෙනව.
ඒත් එක්කම ඔබේ කැසට්පට කීපයක් එළියට එනවා?
ඔව්. හැබැයි මම ඔය ගොඩක් ගායකයො වගේ කැසට්පට ගොඩක් කරල නෑ. මට මතක විදිහට කැසට් පට 10ක් 12ක් වගේ තමයි මම කරල තියෙන්නෙ. ඊට අමතරව මම ටෙලිඩ්රාමාවලට, ෆිල්ම්වලට සින්දු කියල තියෙනව. ඔක්කොම ගත්තොත් මම හිතන්නෙ සින්දු 800ක් විතර මම කරල තියෙනව.
‘තණ නිල්ල දිගේ’ ගීතයෙන් ඔබට ලොකු ජනප්‍රියත්වයක් ලැබෙනව?
රූපවාහිනියෙ විකාශය වුණු ‘හද රැඳි ගී’ කියන වැඩසටහනෙ තමයි ගීතය තමයි මුලින්ම ප්‍රචාරය වුණේ. වර්ණන් පෙරේරා ලිව්ව සින්දුව සංගීතවත් කළේ ක්ලැරන්ස් විජේවර්ධන. ආනන්ද – නාල්නද මැච් එකක් යන වෙලාවක ඒකට බැක් කරල තමයි ඒකෙ වීඩියෝ එක හැදුණෙ. ඒ හරහා ගීතයට හිතාගන්න බැරි ජනප්‍රියතාවත් ඇතිවුණා. අදටත් ප්‍රසංග වේදිකාවෙ නැතිවම බැරි ගීතයක් තමයි මේ ගීතය.
මියුසිකල් ෂෝ සංවිධානය කරන්න අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?
ඔව්. මුලින්ම මට අවස්ථාව ලැබෙනව මහපොළ එකෙන් කරපු මියුසිකල් ෂෝ ටික කරන්න. ඔය කාලෙ ලංකාවෙ වැඩිම මියුසිකල් ෂෝ කළේ මගේ ‘සමන් ඇන්ද ක්ලෑන්’ සංගීත කණ්ඩායම. ඊට පස්සෙ මැදපෙරදිග රටවල්වල මම බෑන්ඞ් එකත් එක්ක ෂෝ ගණනාවක් සංවිධානය කරනව.
මියුසික් එක්ක සමන් ද සිල්වා දේශපාලනය පටලවගත්තද?
මම 1973 එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙලා වැඩ කරනව. ඊට පස්සෙ මම යූ.ඇන්.පී. කලාකරුවන්ගේ සංගමයේ සභාපති වෙනව. ඔය අතරෙ පළාත් සභාවට මම එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දෙත් ඉල්ලනව. හැබැයි දැන් නම් මම දේශපාලනයට සම්බන්ධ වෙලා වැඩ කරන්නෙ නෑ. දැන් දේශපාලනයට සම්බන්ධ වෙනවට වැඩිය හොඳයි ගෙදරට වෙලා ඉන්න එක. මම වසර හතක් විතර ගායක ගායිකා සංගමයේ සභාපති වශයෙන් වැඩ කරනවා. ඒ හරහා මට ක්ෂේත්රයේ කලාකරුවන්ට විශාල වැඩ කොටසක් කරන්න අවස්ථාව ලැබෙනව.
කලාකාරයෙක්ට දේශපාලනය ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද?
නෑ. මම යූ.ඇන්.පී. එකත් එක්ක වැඩ කළත් යූ.ඇන්.පී. එක පැරදුණ කාලෙ මට වැඩියෙන්ම උදව් කළේ මහින්ද රාජපක්ෂ මහත්තය. ඒ වගේම ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලෙ මහත්තයත් ඒගොල්ලන්ගෙ ලොකුම ප්‍රසංග මට ලබාදීල ලොකු සහයෝගයක් දුන්න.
ඔබ වගේ ප්‍රවීණ ආර්ටිස්ලට අද මාධ්‍යයෙන් තැනක් තියෙනවද?
ඇත්තම කියනව නම් මේ ක්ෂේත්රය ඒ කාලෙ වගේ දැන් සුන්දර නැහැ. මොකද මාධ්‍ය තමයි හැමදෙයක්ම හසුරුවන්නෙ. අපි වැඩක් කළත් ඒව ප්‍රචාරය නොවන තත්ත්වයක් තමයි දැන් තියෙන්නෙ. අලුත් ගායකයො තමයි ඒවයෙ පුම්බන්නෙ. පරණ ආර්ටිස්ලට මාධ්‍යවලින් ලැබෙන ඉඩ ඉතාම අඩුයි.
ඔබ අලුතෙන් කරපු වැඩ ගැනත් කියමු?
කේන්දරේ කියල අලුත් ගීතයක් කළා. ඕස්ටේ්රලියාවේ ප්‍රඩක්ෂන් එකක් විදිහට ‘ටොයියයි, බයියයි’ කියල සින්දුවක් කළා. ඒ වගේම චන්දන ෆොන්සේක මහත්තයත් එක්ක මම එංගලන්තෙ ‘සුද්දො බලන්න’ කියල ගීතයක් කළා. ඔය වගේ මම කරපු නිර්මාණ ඉදිරියෙදි දැකගන්න ලැබෙයි.
ඉන්දික වික්‍රමරත්න











