ඉකුත් වසර කිහිපය ඇතුළත ලංකාව වටෙන්ම මිල අධිකතම දේපොළ මිලට ගත් යුවළක් මුදල් විශුද්ධිකරණ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කොට ඇත්තේ රියන්සි මහේෂ් කුමාර එඩ්වඩ්ස් සහ ඔහුගේ බිරිය වන පුණ්‍යා ප්‍රියංජි මැණිකේ එඩ්වර්ඩ්ස්ය.
මොවුන් දෙදෙනාට ජාත්‍යන්තරව මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වී ඇති අතර විදෙස් මුදල් නීතිවිරෝධී සහ සැකසහිත අයුරින් ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇත.
මේ දෙදෙනා එක්ව පසුගිය කාලයේ කොළඹ හෝර්ටන් පෙදෙසේ ආසිරි රෝහලට අයත්ව තිබූ වටිනාම ඉඩමක් රුපියල් බිලියන 2.7කට මිලට ගෙන ඇති බව කියවේ.
මීට අමතරව කොළඹ 7න් ඉඩම් 4ක්, නුවර ඉඩමක්, හාරිස්පත්තුවෙන් ඉඩම් 3ක්, ත්‍රිකුණාමලයෙන් ඉඩම් 3ක්, ගාල්ලෙන් ඉඩම් 3ක්, අනුරාධපුරයෙන් ඉඩමක් සහ නුවරඑළියෙන් ඉඩම් 3ක් යනාදී වශයෙන් රට වටෙන්ම ඉතා වටිනා දේපොළ මිලට ගෙන ඇති බව පැවසේ.
මේ ආකාරයට ලංකාවෙන් දේපොළ මිලදී ගැනීම සදහා Chang Yau Hung Alexander, Golding Associates, Big Shoe World LLC, John De Here, Jerry M Bond, Yingjun Liang, Ng Chi Man, John Dudley Hare, Mong Wing Nin, Decagon Company Ltd, Ho Mei Mehi Trindy, C T Andy, Irani Mozaad and Carbogen Mining යන නම්වලින් යුත් පුද්ගලයන්ගෙන් සහ සමාගම්වලින් මෙම යුවලට මුදල් එවා ඇති බව රහස් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
එසේ අමෙරිකානු ඩොලර් 55,084,865.50 මුදලක්ද පවුම් 255,101.22.ක මුදලක්ද එවා ඇති අතර එය ලංකාවේ මුදලින් රුපියල් බිලියන 7.24කි. ඉන් රුපියල් බිලියන 5.82 යොදවා මෙම යුවල ලංකාව වටෙන්ම දේපොළ මිලදී ගෙන ඇති බව පැවසේ.
කෙසේවෙතත් 2017 වසරේදී මෙම යුවල ඇතුළු තවත් පස් දෙනකුට එරෙහිව අමෙරිකානු ඩොලර් මිලියන 50ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අමෙරිකානු අධිකරණය හමුවේ නඩු පැවරීමක්ද සිදු කොට තිබේ.
2015න් පසු පිහිටුවූ සමාගම් රැසකම මෙම යුවල අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කර ඇති බවද පැවසේ.
මෙම මුල්‍ය ගනුදෙනු පසුපස පැවැති යහපාලන ආණ්ඩුව සමග කටයුතු කළ දේශපාලන ප්‍රබලයකුද සිටින බවට තොරතුරු හෙළවී ඇති බවද පරීක්ෂණ පවත්වන කණ්ඩායම් මේ වනවිට තොරතුර හෙළිදරව් කරගෙන ඇති අතර ඉදිරියේදී එම ප්‍රබලයාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.










