ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම ඇගයීම සඳහා බ්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් 17 වන වරටත් පැවැත්වූ ඇගයීමේදී මෙරට ශක්තිමත්ම සන්නාම 10 අතරට තේරී පත්වෙමින් ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස නම් වීමට සෙලින්කෝ ලයිෆ් සමත්වී තිබේ.
මෙහිදී සෙලින්කෝ ලයිෆ් සන්නාමයේ වටිනාකම රුපියල් මිලියන 3,658ක් යැයි බ්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ගණනය කර තිබෙන අතර සන්නාමය AA+ ලෙස වර්ගීකරණය කර තිබෙන්නේ මෙරට ශක්තිමත්ම රක්ෂණ සන්නාමය බවට පත් කරමිනි. මෙහිදී සමස්ත සන්නාම වටිනාකම් ශ්‍රේණිගත කිරීම තුළ සෙලින්කෝ ලයිෆ් 33 වැනි ස්ථානයට පත්වී තිබේ.
මෙම වර්ගීකරණය පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුෂාර රණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘සන්නාමය නියෝජනය කරන ව්‍යාපාරයේ ප්‍රධාන වටිනාකම් ඉස්මතු කර පෙන්වීමට සන්නාමය අනිවාර්යෙන්ම සමත්විය යුතුයි. සෙලින්කෝ ලයිෆ් සතු ප්‍රධාන වටිනාකම් වන්නේ විශ්වාසය, පක්ෂපාතීත්වය, අවංකත්වය සහ ශක්තිය මෙන්ම ස්ථාවරත්වයයි. මේ අනුව, අපි විශ්වාස කරන්නේ බ්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සෙලින්කෝ ලයිෆ් සන්නාමයට ලබාදුන් වටිනාකම සහ ශක්තිය පිළිබඳ ඇගයීම තුළින් අපගේ ප්‍රධාන වටිනාකම් සමස්ත කාර්යසාධනය සඳහා ලබාදුන් දායකත්වය පිළිබිඹු කර තිබෙන බවයි.’











