රජුන්, සිටුවරුන් සේ ජීවත් වුවත් එදිනෙදා ජීවිතය ගතකිරීමට පවා නොහැකිව අන්ත දරිද්‍රතාවට ඇදවැටුණු අවස්ථා වර්තමානයේදී නිතර අසන්නට ලැබේ. සුරාව, සූදුව වැනි දුරාචාරවලින් තොර පුද්ගලයන් පවා බංකොළොත් තත්ත්වයට පත්වීමට හේතු විමසා බැලීම වටී. සිටුවරුන්, රජුන් පවා යාචකයන් කරන වාස්තු දෝෂ පිළිබඳ අද අප උදාහරණයක් ඇසුරෙන් සාකච්ඡා කරමු. සංචාරක හෝටලයක් සහ මාළු ව්‍යාපාර, පොල්වතු ආදී දේපොළ ගෘහමූලිකයාට හිමිවිය. තමන්ට උරුම වූ දේපොළවලටත් වඩා තවත් වත්කම් විවාහය සමඟ ඔහුට ලැබිණි. මහගෙදර ජීවත් වෙච්ච ගෘහමූලිකයාට අවුරුදු ගණනක් හිටපු සමාජ පරිසරය වෙනස් කරන්න ලොකු වුවමනාවක් තිබුණා. සල්ලි තිබුණත් බැබළීමක් නැහැයි කියලා සිතූ ගෘහමූලිකයා කොළඹ ප්‍රදේශයේ ධනවතුන් ගැවසෙන නගරයකින් ඉඩමක් මිලදී ගෙන සුවිසල් නිවෙසක් ඉදිකළා.
මා එහි වාස්තු පරීක්‍ෂා කිරීමට යන විට ඔවුන් නිවෙසේ පදිංචි වී අවුරුදු 10ක්. මිදුලේ කෝටි 2කට ආසන්න වටිනාකමින් යුත් වාහන 2ක් නවතා තිබුණා. අලංකාර ගෙවත්තක්, පිහිනුම් තටාකයක් මෙන්ම කෝටි ගණනක නිවෙස දකින විට නිවැසියන්ගේ ජීවිත පාරට වැටිච්ච විත්තිය කවුරුත් විශ්වාස නොකරන බව විශ්වාසයි. රජෙක් වගේ නිවෙසට පැමිණි ඔහු ඒ වන විට හිඟන්නෙක් බවට පත්වෙලා. හෘදයාබාධ වගේ අසනීප ගෘහමූලිකයාට විතරක් නෙවෙයි බිරියටද වැලඳී තිබුණා. දරුවන්ටත් හැමදාම ලෙඩ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිතූ තරම් සාර්ථක වුණේ නැහැ. කෝටි ගණනක දේපොළ විකුණා ණය පියවීම මෙන්ම බංකොළොත් වූ ව්‍යාපාරය ඇදගෙන යන්නත් මුදල් යෙදෙව්වා. ඒ වන විට ඔවුන් සතුව පැවතුණේ පදිංචි නිවෙස සහ ඉඩකඩම් කිහිපයක් විතරයි. නිවෙසේ වාස්තු දෝෂ පරීක්‍ෂා කිරීමට හේතු වුණේ එයයි. නිවැසියන්ගේ ඇදවැටීමට හේතු වූ වාස්තු දෝෂ හඳුනාගෙන පිළියම් යෙදුවේ මෙසේය.
යාචක පාදයේ දොර
මෙම නිවෙසේ ප්‍රධාන දොර උතුර දිශාවට මුහුණලා යොදා තිබුණේ ධන වාසනාව ඇති වෙන්න. නමුත් ලංකාවේ ගොඩක් අය තේරුම් නොගත්ත දෙයක් තමයි සුබ දිශාවකට ප්‍රධාන දොරටුව තැබීමෙන් පමණක් සුබපල උදා නොවන බව.
ගෙදර ප්‍රධාන දොරටුව පිහිටා තිබුණේ පාද බෙදීම අනුව යාචක පාදයේ. යම්කිසිවකුගේ නිවෙසේ යාචක පාදයේ දොර තැබුවොත් ඔහු කොතරම් ධනවත් වුණත් පසුකලකදී හිඟන්නකු වන බව ඉන්දියානු වාස්තු ගුරු කුලවල උදාහරණ සහිතව දක්වනවා. දෝෂය නිරාකරණයට ප්‍රධාන දොර, උළුවස්ස ගලවා ඉතා සුබ වූ ඉසුරු පාදයේ තැබුවා.
බ්‍රහ්ම පාදය පිහිටි නාන තටාකය
ගඟේ, මුහුදේ පිහිනීමේ සමත්කම් දැක්වූ ගෘහමූලිකයා තමන්ගේ ආශාවට පෞද්ගලික පරිහරණයට නාන තටාකයක් තම නිවෙසේ ඉදිකළා. නිවෙසේ හරි මැද හෙවත් බ්‍රහ්ම පාදය තිබුණේ නාන කටාකය තුළ. මෙය මිනිසුන්ගේ ජීවිත බරපතළ ලෙස විනාශයට ලක්කරන ඉතාමත් අසුබ දෝෂයක්. ඒ වගේම කර්දිම දෝෂයේ එක් අවස්ථාවක්. කිසිදු දිනෙක ජීවිතයට සැනසීමක් ඇති වන්නේ නැහැ. පවුල් ජීවිතය සීසීකඩ ඉහිරී යන අතර, දැඩි ආර්ථික හානි, හෘදයාබාධ වැනි පපුව ආශ්‍රිතව දරුණු රෝගාබාධ ඇති කිරීමට සමත්.
ටික කලකින් මෙලෙස නිවෙස්වල ඉදිකරන නාන තටාක බොහෝමයක් නිසිලෙස නඩත්තු නොකරන අතර, ඒවා අබලන් වී අලුත්වැඩියා නොකර පවතිනවා. නාන තටාක වසා දමන අවස්ථාද තිබෙනවා. නිවෙසට කොටසක් එකතු කොට මෙම දෝෂය ඉවත් කළ නොහැකි නිසා නාන තටාකයෙන් අඩි කිහිපයක් වසා බ්‍රහ්ම පාදය නිවෙස තුළට එන පරිදි සකස් කළා.
දුර්මුඛ වූ නාන කාමරය
බ්‍රහ්ම පාදයට ඍජුව එල්ල වන සේ යම් නිවෙසක නාන කාමරයක් පවතිනවා නම් අප එය දුර්මුඛ වීම ලෙස හඳුන්වනවා. එහි ප්‍රතිඵල තමයි නිවැසියන් කායික, මානසික මෙන්ම ආර්ථික පිරිහීමටද ලක්වීම, එකතැන පල් වූ පහතට වැටෙන ජීවන ස්වභාවයක්ද ඇති වෙනවා. නිවෙසට සම්බන්ධ කොට කුඩා සේවක කාමරයක් ඉදිකොට එම දෝෂය දෝෂ භංග කළා.
මේ වන විට වාස්තු දෝෂ නිරාකරණය කොට වසර කිහිපයක් ගතවී ඇති අතර, ගෘහමූලිකයාගේ වැඩිමල් දියණිය මුදල් ආයෝජනය කරමින් ආරම්භ කෙරූ මත්ස්‍ය අපනයන ව්‍යාපාරය සහ අවන්හල් ව්‍යාපාරයෙන් ඔවුන් නැවැත සාර්ථකත්වයට පත්ව දැන් සතුටින් දිවි ගෙවයි. ඔබ සැමට තෙරුවන් සරණයි.
ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ











