මේ දිනවල විකාශය වන ජනප්‍රියම ටෙලිනාට්‍යයක් වන ‘ඇය’ ටෙලිනාට්‍ය ගැන බොහෝ දෙනෙක් කතාබහ වන්නේ ඔවුන්ගේ රසාස්වාදයට වුණු අසාධාරණයක් ගැනයි. ‘ඇය’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ මහේෂී මදුෂිකාත් (ප්‍රාර්ථනා), ‘රිතු’ චරිතය රඟපෑ නවක නිළියක්ද එම චරිතවලින් ඉවත්වීම ගැන සොයා බැලීමට අප හිතුවා. එම චරිත රඟපෑ රංගන ශිල්පීන් අප සම්බන්ධකර ගැනීමට අප කිහිප සැරයක්ම උත්සාහ කළත් එයට කිසිම ප්‍රතිචාරයක් නොලැබුණු අතර, ‘ඇය’ ටෙලිනාට්‍යයේ අධ්යක්ෂ සමන් කුමාර ලියනගේ සහ අලුතෙන් ප්‍රාර්ථනා චරිතයට එකතු වුණු ජනප්‍රිය නිළි මේනකා පීරිස් අපේ කතාබහට සම්බන්ධ කරගත්තේ මේ විදියටයි.
ප්‍රාර්ථනා ඉතින් කොහොමද?
ප්‍රාර්ථනාට ජීවය දීලා වැඩි දවසක් නැහැ තවම. නමුත් හැමෝම මේ දවස්වල ප්‍රාර්ථනා කියලා තමයි මට කතා කරන්නේ. ඒ සතුට එක්ක මම සතුටින් ඉන්නවා.
ඒ කියන්නේ හිතුවාට වඩා ප්‍රාර්ථනාට සාර්ථක ප්‍රතිචාර ලැබෙනවා?
මට ආදරය කරන මගේ ආදරණීය ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඒ වගේම ඇය ටෙලිනාට්‍යයට බැඳුණු තවත් ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඉතින් ඒ හැමෝම දැන් මට ආදරය කරනවා. මොකද මම ඇය ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන කොටත් සෑහෙන ප්‍රේක්ෂක පිරිසක් එකතුවෙලා හිටියේ. ප්‍රාර්ථනාගේ අහිංසකකමට හැමෝම ආදරය කරනවා.
මේනකා ඔබ සුවිශේෂී රංගන ශිල්පිනියක්, නමුත් තව කෙනෙක් අතරමඟ දාලා ගිය චරිතයක් ඔබ නිරූපණය කිරීමට විශේෂ හේතුවක් ඇති?
අනිවාර්යයෙන්ම විශේෂ හේතු සාධක තිබෙනවා.
මොනවද ඒ විශේෂ හේතු?
‘ඇය’ ටෙලිනාට්‍යයේ අධ්යක්ෂ සමන් කුමාර ලියනගේ අයියා තමයි මාව නිළියක් කළේ. ඔහු නිර්මාණය කළ ‘මොණරතැන්න’ මගේ පළමු ටෙලිනාට්‍ය. මම 2011 ඒ ටෙලිනාට්‍යය වෙනුවෙන් අභිෂේක ලැබුවා. ඉතින් ඔහු මගේ ජීවිතයේ සුවිශේෂී පුද්ගලයෙක්.
ඔබේ සමකාලීන සහෝදර රංගන ශිල්පිනියක් තමයි මෙයට පෙර ප්‍රාර්ථනා චරිතය නිරූපණය කළේ. ඇය ඉවත්වීම ගැන සොයා බැලීමක් කළාද?
මහේෂි මගේ හොඳ මිතුරියක්. ඒ වගේම ඇය ප්‍රාර්ථනා චරිතය හොඳට නිරූපණය කර තිබුණා. ඇය ඉවත් වුණු හේතුව මට සමන් අයියා කිව්වා. ඇයගේ පෞද්ගලික හේතුවක් මත තමයි ඒ ටෙලිනාට්‍යයෙන් ඉවත්වෙලා තියෙන්නේ. මම ඒ තැන හිටියත් මම වුණත් ඉවත් වෙයි. නමුත් මම කරපු චරිතය තව කෙනෙක් තෝරාගෙන කරනවානම් මම සතුටු වෙනවා.
යම්කිසි ප්‍රශ්නයක් මත මහේෂිව ‘ඇය’ ටෙලිනාට්‍යයෙන් ඉවත් කළානම් ඔබ එම චරිතය නිරූපණය කරනවාද?
කිසිසේත්ම නැහැ. ප්‍රශ්න, ගැටලු මත චරිතයක් අතරමඟ දාලා ගියානම් මම එවැනි චරිතයක් නිරූපණයක් කරන්නේ නැහැ. මම තව කෙනෙක් කපාගෙන යන කෙනෙක් නොවේ. හැමෝම සමඟ සුහදව කටයුතු කරන්නේ.
මෙයට පෙරත් මෙවැනිම අතරමඟ දාලා ගිය චරිත නිරූපණය කරල තියෙනවද?
කවදාවත්ම නැහැ. මට කලින් පැවසූ පරිදි මේ චරිතය මට නිරූපණය කිරීමට විශේෂ හේතු තිබුණු නිසා තමයි මම ‘ඇය’ ටෙලිනාට්‍යයේ ‘ප්‍රාර්ථනා’ චරිතය බාරගත්තේ.
ඔබට හිතෙන්නැද්ද ඔබ හදාගත්ත වටපිටාවට ඔබට හානියක් සිදුවෙයි කියලා මේනකා?
කිසිසේත්ම නැහැ. මහේෂිත් මට ඕන උදවුවක් කරන්නම් කිව්වා. මේ චරිතය වෙනුවෙන්. ඇය මම සමඟ කිසිම තරහක් නැහැ. අපි දෙන්න නිරූපණය කරන්නේ එකම චරිතය. නමුත් මට ඇයව වෙන්නත් බැහැ. ඇයට මම වෙන්නත් බැහැ. මට කළ හැකි උපරිම අයුරින් ප්‍රාර්ථනාට මම සාධාරණයක් ඉෂ්ට කරනවා.
වසන්ත විතාරණගේ











