ප්‍රධාන පෙළේ විදේශීය පොල්තෙල් ආනයනකරුවන් 4 දෙනෙක් සම්බන්ධ වී වැට් හා ආරක්ෂණ බද්ද නොගෙවා රුපියල් බිලියන 5කට අධික බදු මුදලක් සැඟවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය මාධ්‍ය වෙත පවසා තිබේ.Sri Lanka Latest News
බදු මුදල් නොගෙවූ බව කියන අදාළ ආයතන මොනවා ද යන්න සෙවීමට විමර්ශන ආරම්භ කර ඇති බව ත් පසුගිය සතියේ සිට අදාළ තොරතුරු සොයමින් සිටින බව ත් කොමසාරිස් ජනරාල්වරිය පැවැසුවාය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ආනයන කළ දේ ගැන තොරතුරු ලබාගෙන ඇති බව ත් ඒ අනුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව ත් ඇය කීවාය.
සියයට 18ක වැට් බද්ද සහ සියයට 2.5ක ආරක්ෂණ බද්ද (Security levy) අදාළ ආනයනකරුවන් 4දෙනා පැහැර හරින ලද බව ත් රුපියල් බිලියන 5ක් පමණ රජයට අහිමි වී ඇති බව ත් දේශීය පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.
මෙසේ ආනයනය කළ පිරිපහදු නොකළ පොල්තෙල්, ලේබල් නොකර පිරිපහදු කළ බව හඟවමින් වෙළෙඳපොළට නිකුත් කරන බවටත් එම පැමිණිල්ල මගින් සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් මව්රට පුවත්පත පසුගිය සතියේ පළමුවරට රටට හෙළිදරව් කළේ මෙසේය.










