ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා විසින් යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව සමාජ මාධ්‍යයේ පළකළ සටහනක් මේ වනවිට ඉතිහාසය, පුරාවිද්‍යාව සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ පුළුල් සංවාදයකට මග පාදා තිබේ.Sri Lanka Latest News
ඩෙල්ෆ්ට් දූපතේ පිහිටි පාෂාණමය ලක්ෂණයක් නිරීක්ෂණය කළ මහකොමසාරිස්වරයා සිය ඞ ගිණුමේ “Visited Hanumanji’s footprint at Delft Island (Tamil name – Neduntheevu), Sri Lanka” යනුවෙන් සටහනක් පළකළේය. එම ප්‍රකාශයත් සමගම සමාජ මාධ්‍ය තුළ දැඩි ප්‍රතිචාර රැසක් මතුවිය.
විවේචකයන්ගේ ප්‍රධාන තර්කය වන්නේ, ඩෙල්ෆ්ට් දූපතේ පිහිටි අදාළ පාෂාණමය සලකුණ හනුමාන්ගේ පා සලකුණක් බවට පිළිගත හැකි පුරාවිද්‍යාත්මක හෝ විද්‍යාත්මක සාක්ෂි නොමැති තත්ත්වයක් තුළ, එය නිශ්චිත කරුණක් ලෙස ඉදිරිපත් කිරීම ගැටලුකාරී බවයි.
ඉතිහාස ගවේෂකයන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ නිල පුරාවිද්‍යා වාර්තා, මහාවංශය ඇතුළු සම්ප්‍රදායික ඉතිහාස මූලාශ්‍ර හෝ විද්‍යාත්මක පර්යේෂණ කිසිවක් මගින් ඩෙල්ෆ්ට් දූපතේ හනුමාන්ගේ පා සලකුණක් ඇති බව තහවුරු කර නොමැති බවයි. ඔවුන්ගේ මතය වන්නේ මෙවැනි ප්‍රකාශ විශ්වාස සහ ඉතිහාසය අතර සීමාවන් අපැහැදිලි කළ හැකි බවයි.
රාමායන මහා කාව්‍යය ඉන්දියානු සංස්කෘතික සහ ආගමික උරුමයේ වැදගත්ම කෘතියක් ලෙස සැලකේ. එහි විස්තර වන රාම, සීතා සහ හනුමාන් සම්බන්ධ සිදුවීම්වලට අදාළ ස්ථාන ලෙස ශ්‍රී ලංකාවේ ස්ථාන රැසක් සංචාරක ව්‍යාපෘති තුළ හඳුන්වා දී ඇත.
කෙසේ වෙතත්, බොහෝ ඉතිහාසඥයන්ගේ මතය වන්නේ රාමායනය සාහිත්‍යමය හා ආගමික මහා කාව්‍යයක් වන අතර එහි සියලු සිදුවීම් ඓතිහාසික සත්‍යයන් ලෙස පිළිගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.
අනෙක් අතට, හින්දු භක්තිකයන් සහ රාමායන සම්ප්‍රදාය අනුගමනය කරන පිරිස් පවසන්නේ මෙම ස්ථාන ආගමික හා සංස්කෘතික වැදගත්කමක් සහිත පූජනීය ස්ථාන බවයි. ඔවුන්ගේ අදහස වන්නේ මහකොමසාරිස්වරයාගේ ප්‍රකාශය එම ආගමික සම්ප්‍රදාය පිළිබඳ ගෞරවාන්විත සඳහනක් පමණක් බවයි.
Visited Hanumanji’s footprint at Delft Island (Tamil name – Neduntheevu), Sri Lanka pic.twitter.com/ngCROz8IQQ
— Santosh Jha (@santjha) June 3, 2026










