‘තණමල්විල කොල්ලෙක්’ ටෙලිනාට්‍ය ගැන කතා කරන කොට අමතක නොකළ යුතු සුවිශේෂී චරිත කිහිපයක් තියෙනවා.
ඒ කිහිපයක් වූ චරිත අතර, පතෝලයාද සුවිශේෂීය.
‘තණමල්විල කොල්ලෙක්’ නරඹන බොහොමයක් දෙනා ‘පතෝලයා’ ගැන කතා කරන නිසා අපටද ඔහු ගැන කතා කරන්නට සිත් විය.
‘පතෝලයා’ ලෙස ඉතා සරල රංගනයක යෙදෙන අංජන ප්‍රේමරත්න ‘හාට්’ වෙත ගොඩවැදුණේද අප කළ ඒ සුහද ආරාධනය නිසාය.
ඉතින් අංජන, කොහොමද ජීවිතේ?
මේම්… වරදක් නැහැ. අපි ආයේ ටෙලිනාට්‍යවල වැඩ කරන්නයි සූදානම.
ඒ කියන්නේ කෝවිඞ් විරාමයට තිත තබන්නයි සූදානම?
ඔව්… සියල්ල සමථයකට පත්ව එන බැවින් නැවැත්වූ තැන සිට නැවැත වැඩකටයුතු අරඹන්නට ලකලැහැස්ති වෙනවා අපි.
අපි කිව්වේ, ‘තණමල්විල කොල්ලෙක්’ නාට්‍ය කණ්ඩායමද?
නැහැ… නැහැ… ‘තණමල්විල කොල්ලෙක්’ රූගත කිරීම් අවසානයි. මම කතා කළේ මා රංගනය සඳහා එක්ව සිටි වෙනත් ටෙලි නාට්‍ය ගැනයි.
ඒ අතර, ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ අලුත්ම ටෙලිනාට්‍ය සහ ‘ඇය’ ටෙලිනාට්‍යන්වල වැඩකටයුතු පළමුව ඇරැඹීමට නියමිතයි.
පතෝලයා ගැන ටිකක් කතා කරමුද?
කතා කරමු, ඇත්තටම මේ වන විට බොහොමයක් වූ දෙනා ‘පතෝලයා’ ගැන කතාබහ කරනවා.
ඇත්තටම පතෝලයා කියන්නේ ඕනෑම ගමක වෙසෙන ඕනෑම මිතුරු කණ්ඩායමක නියෝජනයක් වූ සරල ගැමි චරිතයක්.
පතෝලයා කාටවත් බය නැහැ. ඕනෑම හයිරංකාරයෙක් ඉස්සරහ වුණත් ඇත්ත කතා කරනවා. තමන්ගේ යාළුවෙක් වෙනුවෙන් පණ ටික වුණත් දෙනවා. උණුවන හිතක් තියෙන හොඳ නරක හොඳින් හඳුනන පතෝලයා හිත හොඳ සරල ගැමියෙක්.
‘පතෝලයා’ ටිකක් විතර කලහකාරී වැඩි නැද්ද අංජන?
කලහකාරී නොවන කෙනකුට සාධාරණය වෙනුවෙන් හඬක් නඟන්න කවදාවත් බැහැ.
පතෝලයා කලහකාරී වෙන්නෙත් අයුක්තිය නුරුස්සන නිසයි.
‘තණමල්විල කොල්ලෙක්’ කතාවෙදී ‘පතෝලයා’ යන නම ප්‍රියන්තගේ චරිතයට ආරූඪ වුණේ ඇයි?
කතාවේ හැටියට ප්‍රියන්තගේ තාත්තට පතෝල වගාවක් තිබුණා. පුංචි කාලේ ප්‍රියන්තත් ඒ පතෝල වගාවට තාත්තා එක්ක සම්බන්ධ වෙනවා. ඒ නිසා ගමේ කොල්ලන් කාණ්ඩය අතර ඔහු ‘පතෝලයා’ වෙනවා.
‘පතෝලයා’ගේ චරිතය ඔබට ලැබුණේ රොෂාන් සමඟ තිබෙන ඇයි හොඳයිය නිසාද?
අපොයි නැහැ. එය වැරැදි වැටහීමක්. රොෂාන් අයියා කවදාවත් යාළුකමට චරිතයක් දෙන කෙනෙක් නොවෙයි. මම සහ රොෂාන් රවීන්ද්‍ර හොඳ යාළුවෝ. ඒක වෙනම කතාවක්. හැබැයි සුසිත විජයමුණිගේ සාර්ථක තිර පිටපතට අනුව රොෂාන් අයියා එයට අවැසි චරිත අනුව ඒ ඒ ගැළපීම කුමක් දැයි හොඳින් අධ්‍යයනය කළා. තිරපිටපත ඉල්ලන අය කවුද? අන්න ඒ අයව තමයි රොෂාන් රවීන්ද්‍ර කියන අධ්‍යක්‍ෂවරයා හොයාගෙන ගියේ. එතැනදී ඔහු නෑකම් හෝ මිතුරුකම් බලන්නට ගියේ නැහැ. අන්න ඒ නිසයි ‘තණමල්විල කොල්ලෙක්’ මේ තරමට සාර්ථක වුණේ.
ඔබ රඟපෑ වෙනත් වෙනත් චරිතයනට වඩා ‘තණමල්විල කොල්ලෙක්’හි ‘පතෝලයා’ ඔබට සුවිශේෂීද?
‘තණමල්විල කොල්ලෙක්’ නාට්‍යයම මට සුවිශේෂියි. එහි චරිත, අප හැමකෙනකුම දැඩි කැපවීමෙන් එයට එක්වූ ආකාරය, ‘කණ්ඩායමක්’ ලෙස මට ඔවුන් ගැන දැනුණු හැඟීම හරිම විශේෂයි.
රොෂාන්ගේ තේරීම හරහා ඔබ ඔහුට සාධාරණයක් කළාය කියන හැඟීම ඔබට දැනෙනවද අංජන?
අනිවාර්යයෙන්ම මම ඉන්නේ ඒ හැඟීම තුළමයි. දෙවැනි දවසේ රූගත කිරීම කළාට පස්සේ රොෂාන් අයියා මගේ ළඟට ඇවිදින් කිව්ව අංජන උඹව හදන්න දෙයක් නැහැ උඹ වැඬේ අල්ලගත්තා ඔහොම යං මල්ලි කියලා. ඇත්තටම මට ඒ මොහොතේ මාරම සතුටක් දැනුණා. සුසිත විජයමුණි පවා මට ඉතා සාර්ථක ප්‍රතිචාරයක් දැක්වූවා.
ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයත් ඒ වාගේම නොමඳව ලැබුණා?
ඉතාම නිහතමානීව කියනවා සමාජජාලා වෙබ් අඩවි හරහා පතෝලයට ලැබෙන ප්‍රතිචාරයන් අසීමිතයි. ඇත්තෙන්ම මට විශාල තෘප්තියක් දැනෙනවා.
කලාකාරයෙකුට ලබා ගන්නට පුළුවන් ලොකුම සම්මානයද ඒ ආධ්‍යාත්මික ආත්ම තෘප්තියයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











