මැයි මස 24දා සිදුවුණු බුධ ග්‍රහයා මිථුන රාශියට පැමිණීමත් සමඟ 2020 වසරේ ඉදිරි කාලයේ නව ආරම්භය සනිටුහන් කරන අයුරු පෙනී යයි. ඒ අනුව මැයි 24 වැනිදායින් පසුව ග්‍රහ තත්ත්වය රටටත්, ජනතාවටත් බලපාන්නේ කෙසේද යන්න සලකා බලමු. බුධගේ මිථුන රාශි ගතවීමත් සමඟ රටේ තත්ත්වය යහපත් අතට හැරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කෙරේ. පසුගිය මාස කිහිපය පුරා රටේ පැවැති තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙමින් සුබදායී වටපිටාවක් ගොඩනැඟෙනු ඇත.
ජනතාව අතර උත්සාහය, උනන්දුව සහ උfiා්ගය ඇති වන කාලයකි. බොහෝ දුරට අත-මිට මුදල් ඉතිරි වීමට හේතු කාරණා ඇති වෙයි. තැන්පත් ධනය තරවනු ඇත. එකමුතුකම සහජීවනය හේතුවෙන් එකිනෙකාගේ උදව්වෙන් අරමුණු ජයගැනීමේ ශක්තිය ජනතාව තුළ ඇති කරනු ඇත.
සිතන දේ නොවන නොසිතන දේ සිදුවන කාලයකි. දේශපාලනයේ සැලකිය යුතු වෙනස්කම් සිදුවෙයි. ජනප්‍රිය පිරිස් ප්‍රතික්‍ෂේප වෙනු ඇත. අලුතින් සිතන, පතන පිරිසකගේ අරමුණු ජයගනු ඇත. ප්‍රසිද්ධ පුද්ගලයකුගේ මරණයක් අසන්නට ලැබෙන කාලයකි. කලාව දේශපාලනය හෝ වෙනත් ජනප්‍රිය තලයක කෙනකු සම්බන්ධව ආන්දෝලනාත්මක පුවතක් අසන්නට ලැබෙන කාලයකි. මහාපරිමාණ දූෂණ, වංචා හෙළිදරව් කෙරෙන විශේෂ සිදුවීම් සිදුවනු ඇත. ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රසිද්ධියට පත්වන සිදුවීමක් හෝ පුද්ගලයකු කරළියට පැමිණේ. පෙර වසරවලට වඩා ස්වාධීන විපත් අඩුවන අතර, ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යෑමට සුදුසු වාතාවරණයක් අවසන් මාස කිහිපය පුරාම දැකිය හැකිය. රටේ තත්ත්වය එසේ වෙද්දී ලග්නෙන් ලග්නෙට ඉදිරි කාලය කෙලෙස බලපාවි දැයි සලකා බලමු.
මේෂ
ඔබට පසුගිය කාලය පුරා පැවැති තත්ත්වය ඉදිරි මාස කිහිපයේදී වෙනස් වෙමින් යහපත් ප්‍රතිඵල ඇති කරනු ඇත. ධන ලාභ විශේෂ තිළිණ, වැඩි වැටුප් සහ ස්ථාවර තැන්පතු වර්ධනය කෙරෙන සුබ කාලයකි. වටිනා කියන ලෝහ ලැබෙනු ඇත. ව්‍යාපාර දියුණුවී වැඩි ආදායම් ලැබෙනු ඇත. අවසන් මාස තුනේදී මේ තත්ත්වය යම් තරමක වෙනසකට හේතු වනු ඇත.
වෘෂභ
2020 වසරේ ඉතිරි කාලය ඔබට යම් තරමක සුබ – අසුබ මිශ්‍ර කාලයකි. වසර මුලදී තිබූ ආර්ථික අපහසුතා යම් තරමකට යහපත් වෙයි. අනිසි වියදම් යෙදෙන බැවින් කල්පනාකාරී වෙන්න. තැන්පත් ධනය අඩු වනු ඇත. ව්‍යාපාර කරන්නේ නම් නව ආයෝජන සඳහා සුබ නැත. ඒ සඳහා 2021 දක්වා ඉවසීම වැදගත්ය. අන් අය සමඟ කරන කටයුතුවලදී ප්‍රවේශම් වෙන්න. හැකි අයුරින් ඥාති, හිතමිත්‍රාදීන් සමඟින් සමඟියෙන් සිටීමට උත්සාහ ගතයුතුය.
මිථුන
මේ වසරේ ඉතිරි මාස හතක කාලය ඔබට වඩාත් තීරණාත්මක ප්‍රතිඵල ලබාදෙනු ඇත. කලක සිට බලාපොරොත්තුව සිටි කටයුත්තක් ඔබේ උත්සාහය සහ කැපවීම මත සාර්ථක කරගැනීමට හැකිවෙයි. හවුල් කටයුතු සඳහා ආයෝජනය සුදුසු නොවේ. සොර සතුරන්ගෙන් ප්‍රවේශම් විය යුතු කාලයකි. තරමක් කලබලකාරී ගතිගුණ ඉස්මතු වනු ඇත. කලක සිට තමා ළඟින් ඇසුරු කළ මිතුරන් අමනාප වීමට කරුණු යෙදේ.
කටක
මේ ඉදිරි කාලය ඔබට එතරම් යහපත් නොවනු ඇත. රැස්කර ගත් ධනය වියදම් වීමට කරුණු යෙදේ. දේපොළ හානි, සොර සතුරු උවදුරු අධික වියදම් ඇති විය හැකි කාලයකි. රැකියා ස්ථාන වෙනසක් හෝ නව රැකියා මාරුවකට අවස්ථාව උදාවෙයි. තමා සතු ස්ථානය රැක ගන්නට උනන්දුවෙන් සහ උත්සාහයෙන් කටයුතු කළහොත් අසුබ පල අඩුකරගත හැකිය. නඩුහබවලට පැටලීම බොරු චෝදනාවලට ලක්වීම වැනි කාරණා සඳහා ඉඩකඩ ඇත.
සිංහ
මේ වසරේ ඉදිරි මාස කිහිපය සිංහ ලග්න හිමියන්ගේ බලාපොරොත්තු නව මාවතකට ගෙන යන කාලයකි. කලකට පෙර තමන් සතුව තිබූ දෙයක් අහිමිව තිබී යළිත් තමා සතුවීම සිදුවෙයි. ධන ලාභ, ව්‍යාපාර ලාභ මෙන්ම සිතූ – පැතූ සියල්ල ලබා ගැනීමට වාසනාව හිමිවෙයි. තැන්පත් ධනය වර්ධනය වන කාලයකි. නිලතල ලාභ මෙන්ම කීර්ති, ප්‍රශංසාද ලැබෙනු ඇත. තමා හැරගොස් සිටි පිරිස් යළි පැමිණීමක් සිදුවන කාල පරිච්ඡේදයකි.
කන්‍යා
ඔබට මේ වසරේ ඉදිරි කාලය තරමක් දුරට කලබලකාරී සුබ – අසුබ සමව ලැබෙන කාලයකි. වසරේ අවසන් මාස තුනෙහි ධන හානිවලට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතුය. රැකියා ස්ථානවල ගැටුම් උසස් අය සමඟ අමනාපකම්, එකට සිටින අයගේ හිරිහැර, කරදර සිදුවන කාලයකි. ගිවිසුම්, පොරොන්දු කඩවීමෙන් පාඩු සිදුවෙයි. පුංචි පුංචි දේ ලොකුවට නොගෙන සහයෝගයෙන් කටයුතු කරන්න. එයින් යහපත උදාවෙයි.
තුලා
මේ වසරේ ජුනි මාසයෙන් පසුව උදාවන මාස කිහිපය වාසනාවන්ත කාලයක් නොවනු ඇත. මේ කාලය තුළ ඔබගේ ආදායම් යම් තරමකින් හෝ අඩු වනු ඇත. ආරවුල්වලට පැටලීමට වැඩි ඉඩකඩක් ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතුය. කෙසේ නමුත් අවසන් මාස තුනේදී යම් ධන වාසියක් ලැබීමටද වාසනාව ඇත. තුලා ලග්න හිමි කාන්තා පක්‍ෂයට දරුවන් සම්බන්ධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනු ඇත.
වෘශ්චික
වෘශ්චික ලග්න හිමි ඔබට වසරේ ඉදිරි කාලයේදී වඩාත් හොඳ ප්‍රතිඵල ලැබෙනු ඇත. අතපසු වූ වැඩකටයුතු යළි අරඹන්නට අවස්ථාව ඇති අතර, අත-මිට මුදල් ගැවසෙන කාලයකි. නොසිතූ ආකාරයේ ධන වාසි යෙදෙන අතර, ලොතරැයි මිලදී ගැනීමට හොඳම කාලයකි. වැඩි වැටුප්, උසස් තනතුරු ඉල්ලුම් කළ අයට ඒවා ලැබේ. සතුරන් පරාජයට පත්වෙයි. මංගල යෝග, දරු සම්පත් මෙන්ම සමාජයෙන් ගරු බුහුමන්ද ලැබේ.
ධනු
2020 වසරේ ඉදිරි කාලය ඔබට සුබ – අසුබ මිශ්‍රව ලැබෙනු ඇත. අන්සතු වස්තුව ඔබ සතුවනු ඇත. අධික වියදම්, අනවශ්‍ය ගමන් – බිමන් බහුල වන කාලයකි. ස්ථානීය ප්‍රශ්න නිසා රැකියා එපා වෙයි. එහෙත් ඉවසීමෙන් යුතුව කටයුතු කරන්නේ නම් වසරේ අවසන් මාස කිහිපයේදී සියලු පැතුම් ඉටු වීමට වාසනාව උදාවෙයි. සොර සතුරු කරදර, සිතෙහි බිය ඇති විය හැකි මාස කිහිපයකි. ගින්නෙන්, අලාභහානි ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වෙන්න.
මකර
මේ වසරේ ජුනි මාසයෙන් පසු එළැඹෙන කාලය මකර ලග්න ඔබටත් මිශ්‍රපල ගෙන දෙන කාලයකි. වියදම් කටයුතු සඳහා නිතර මුදල් වියදම් වෙයි. නොගැළපෙන ආකාරයේ වියදම් යොදා ගැනීමෙන් ප්‍රශ්න ඇතිකර ගනී. රැකියා ස්ථානවල ගැටුම් ඇතිකර ගනී. එයින් පාඩුද සිදුවෙයි. වෙළෙඳ ව්‍යාපාර කරන අයට යහපත්ය. ලාභ ලැබෙන කාලයකි. දුරබැහැර ගමන්-බිමන් යෙදේ. ඉවසීමේ ගුණය අඩුවන කාලයක් නිසා අනවශ්‍ය කතාබහට යෑමෙන් වළකින්න.
කුම්භ
මේ වසරේ ජුනි මාසයෙන් පසු කාලය ඔබගේ ආර්ථික අරමුණු ජය ගන්නට සුදුසුම කාලයයි. නව ආයෝජන සඳහා අවස්ථාව ඇත. එහෙත් ජුනි – ජූලි මාසවලදී කල්පනාකාරීව මුදල් සම්බන්ධ කටයුතු කළ යුතුය. නැතහොත් වංචාවලට හසුවිය හැකිය. මේ කාලය සතුරන් පරාජයට පත්වන කාලයකි. තම අරමුණු ජයගැනීමට උත්සාහ ගන්නා අයට සුබදායී ප්‍රතිඵල ලැබෙනු ඇත. උසස් අය සමඟ ගැටුමට නොයා යුතු කාලයකි.
මීන
2020 වසරේ ජුනි මාසයෙන් පසු ඉදිරි කාලය ඔබට වඩාත් සුබදායී කාලයකි. ඉදිරි මාස ඔබගේ අරමුණු ජය ගැනීමට අවශ්‍ය පසුබිම සකසා ගන්නට කටයුතු පිළියෙල වෙයි. දේපොළ, යාන-වාහන මිලදී ගැනීමට අවස්ථාව උදාවෙයි. ව්‍යාපාර ආරම්භයට මෙන්ම කරගෙන ආ ව්‍යාපාරවලින් ලාභ ලැබීමටත් හොඳ කාලයකි. නව රැකියා ලැබේ. තනතුරු උසස් වෙයි. භූමියෙන් ලාභ ලැබෙන ව්‍යාපාරවලට වඩාත් සුබයි. උත්සාහය මත ජය ගන්නට හැකිවන කාලයකි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර










