ඉන්දීය නව මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (27) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
එහිදී දෙරට අතර ද්වීපාර්ශවීය ආර්ථික සබඳතාවය වැඩිදියුණු කරගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ලැබ තිබේ.
ඉන්දීය මහකොමසාරිස්වරයා මෙහිදී සඳහන් කලේ කොවිඞ් 19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව ඉන්දීය රජය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ පැසසුම ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට හිමිවන බවයි.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ආගමික සබඳතාවන් සම්බන්ධයෙන්ද මෙම හමුවේදී වැඩි අවධානයක් යොමු කෙරුණු අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ඉන්දියාවේ කෞතුකාගාරවල තැන්පත් කර ඇති බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා බෞද්ධ සිද්ධස්ථාන වෙත යොමු කරන්නේ නම් ලෝකවාසී බෞද්ධයින්ට එම ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීමටත් එම ධාතූන් වහන්සේලාට පුද සත්කාර කිරීමටත් අවස්ථාව හිමිවන බවයි.
පවතින කොවිඞ් 19 වසංගත තත්ත්වය හමුවේ ඉදිරියේදී ඇතිවන ආර්ථික අවපාතයට සහ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඉතා හොඳ අවබෝධයකින් සහ එකඟතාවයකින් කටයුතු කිරීමටද මෙහි දී දෙපාර්ශ්වයම අවධානය යොමු කරනු ලැබීය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, හිටපු අමාත්‍ය ජි. එල්. පීරිස් මහතා, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් සහ සංස්කෘතික හා බුද්ධශාසන අමාත්‍යංශ ලේකම් බංදුල හරිස්චන්ද්‍ර මහතා එක් වූහ.













