මේ යාළු මොකද වෙන්නේ මේ දවස්වල?
මොනව කරන්නෙයි ඉතිං දැන් මේ මාස දෙකක් තිස්සේ නිකං ඉඳලා ඉඳලා මේ ෂූටිං පටන් ගන්න යන්නේ හොඳේ. හොඳ වැඬේ. අපිට නැත්තං තවත් ගෙදරට වෙලා හිටියා නම් අම්මට හික්කඩු යන්න වෙයි. හොඳ වැඬේ.
මේ දෙබස කියවපු ගමන්ම මේ කතා කරන්නේ කා ගැනද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. කොරෝනා වසංගතය හින්දා ගෙදරට කොටු වෙලා හිටිය මාස දෙක ඇතුළේ ලංකාවේ වැඩියෙන්ම ජනප්‍රිය වුණු එක් චරිතයක් තමයි නාරද. නාරද කියන චරිතය අපිට හමුවන්නේ ටෙලි නාට්‍යයකදී වුණත්, ඒ චරිතය අතිශයින් ජනප්‍රිය වෙන්නේ සමාජ මාධ්‍ය හරහා. යූ ටියුබ් සහ ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය වුණු නාරදගේ දෙබස් බොහෝ දෙනෙක් ආදරයෙන් වැලඳ ගත්තා. ඒ වගේම කවුද මේ නාරද කියලත් ගොඩක් අය හොයන්න ගත්තා. ඒ හින්දා අපි නාරදව හොයා ගෙන ගියා. නාරද විදියට ගොඩක් අය අඳුර ගත්තු ඉසුරු ලොකුහෙට්ටිආරච්චි අපිත් එක්ක නාරද ගැන කිව්වේ මෙහෙමයි.
නාරදගේ චරිතයත් එක්ක ඉසුරුට මේ දවස්වල විශාල ජනප්‍රියත්වයක් හිමි වෙලා. නාරද ගැන ඉසුරුට මොනවද කියන්න තියෙන්නේ?
ඇත්තටම කියනවානම් නාරද කියන චරිතය අඩංගු වුණේ “සඳ හැංගිලා” ටෙලි නාට්‍යයේ. ඒ ටෙලි නාට්‍යය ස්වාධීන රූපවාහිනියේ විකාශනය වෙලා දැන් අවුරුදු එකහමාරකටත් වැඩියි. ලාල් වසන්ත කරුණාරත්න රචනා කරපු ඒ චරිතය හරිම තාත්වික එකක්. ගමේ ඉඳන් ගෙන්දගම් පොළොවට පය ගහපු තරුණයෙක් ජීවත් වෙන්න දෙන ගේම් එක තමයි එහි පෙන්නුවේ. ටෙලි නාට්‍යය විකාශනය වුණු දවස්වලත් ඒ චරිතය ජනප්‍රිය වුණා. ඒ වගේම ඒ කාලෙත් සමාජ මාධ්‍ය හරහා එහි කොටස් ප්‍රචාරය වුණා. නමුත් දැන් ඊටත් වඩා ඒ නාරදගේ චරිතය ජනප්‍රිය වෙලා තියෙනවා.
ටෙලි නාට්‍ය විකාශනය පවා නවත්වලා තියෙන වෙලාවක ඒ චරිතය මේ තරම් ජනප්‍රිය වුණු හේතුව ඔබ දකින්නේ කොහොමද?
ඉස්සර කාර්යබහුලත්වය මැද්දේ මිනිස්සු ටෙලි නාට්‍ය බැලුවා නෙවෙයි බැලුනා. සමාජ මාධ්‍ය බැලුවා නෙවෙයි බැලුනා. නමුත් කොරෝනා එක්ක මිනිසුන්ට විරාමයක් ලැබුණා. ඒ විරාමයේදි මිනිස්සු දේවල් හොයා ගෙන බැලුවා. එක් එක් නළුවගේ දක්ෂතාවයන් හඳුනා ගන්න, හඳුනගෙන ඔවුන් පිළිබඳව හොයන්න මිනිස්සු උනන්දු වුණා. සඳ හැංගිලා නාට්‍යයේ නාරදගේ චරිතයත් නැවත ඉස්මතු වෙන්නේ ඒ අනුවයි.
ටෙලි නාට්‍යයක් විකාශනය වෙලා අවුරුදු එක හමාරකට පස්සේ එහි චරිතයක් නැවත ඉස්මතු වීම විශේෂත්වයක් නේද?
ටෙලි නාට්‍යයක් නැවත විකාශනයේදී පෙර තිබුණු ජනප්‍රියත්වය නැවත හම්බ වෙන්නේ නැහැ. මං දන්න තරමින් ලෝකයේ කොහෙවත් එහෙම වෙලා නැහැ. නමුත් මේ චරිතය විකාශනය වෙලා අවුරුදු එකහමාරකට පස්සෙත් චරිතය විකාශනය වුණු කාලෙට වඩා වැඩි ප්‍රතිචාර ලැබෙනවා. හැබැයි ඒ නැවත විකාශනයක් හරහා නෙවෙයි. ඒක මිනිස්සු විසින්ම වැලඳ ගැනීමකුයි වෙන්නේ. මගේ රංගන ජීවිතයේ එහෙම දෙයක් වුණේ පළමුවැනි වතාවට.
මං හිතන්නේ නාරද කතාබහ කරන විදියේ තියෙන වෙනස තමයි ඒ ජනනප්‍රියත්වයට ගොඩක් බලපෑවේ. ඒ වගේම ඉසුරුගේ ගමත් මාතර. ඒත් නාරද කතා කරන භාෂාව මාතර ජනතාවගේ භාෂාවට වැඩිය වෙනස්?
මේක ඇත්තටම එක ප්‍රදේශයක ජනතාව කතා කරන භාෂාවක් නෙවෙයි. අපේ රට පොඩි රටක්. ඒත් මේ පුංචි රටේ විවිධ ප්‍රදේශවල ජනතාවට වෙන් වෙන් වූ භාෂාමය වෙනස්කම් තියෙනවා. මේක මාතරවත්, ගාල්ලෙවත්, හම්බන්තොටවත් භාවිතා කරන භාෂාව නෙවෙයි. සමස්තයක් විදියට දකුණේ ජනතාව භාවිතා කරන වචන ගොඩක් එකතු කරලා හැදුව එකක්. හැබැයි මේක කාවවත් අපහාසයටවත්, උපහාසයටවත් ලක් කරන්න හැදුව එකක් නෙවෙයි. ඒ වචන තුළ තියෙන ආදරණීය බව මතු කරන්න තමයි අපි උත්සාහ කළේ. දැන් ඒ චරිතය බලන්න. ඒ චරිතයේ නාරදට කොයිම අවස්ථාවකවත් කේන්ති යන්නේ නැහැ. නාරද කාටවත් බනින්නේ නැහැ. “ඒ යාළු මක්කැයි මං ඔයැයිට කරපු වැරැද්ද, ඔයැයි මට මක්කැයි කරේ, ඔයැයි මාර වැඬේනේ මට කරේ.” අන්න එහෙම තමයි නාරද කියන්නේ.
ඔබ ඒ භාෂාව පිළිබඳ හැදෑරීමක් කරලද චරිතයට ඇතුළු වුණේ?
ඔව්. ඇත්තටම මේකේ තිරපටපත ලියලා නාට්‍යයේ අධ්‍යක්ෂවරයා, පිටපත් රචකයා එක්ක මම ඒ භාෂාවට පුරුදු වුණා. ඒකට හැඩගැහෙන්න මට කාලයක් ගියා. මං හිතනවා මම සාර්ථක වුණා කියලා. මොකද ඒක ආයාසයෙන් කරනවා කියන එක කොයිම තැනකදිවත් ඉස්මතු නොවන විදියට අපි ඒක කෙරුවා. ඒ වගේම ඒ චරිතය කොළඹ ඇවිල්ලා ටික කාලයක්. එතකොට එතැනට කොළඹ භාවිතා කරන වචනත් එකතු කරන්න අපි පරිස්සම් වුණා. ඒක වඩාත් සාර්ථක වුණේ ඒ හින්දා. හැබැයි ඒ පුහුණුවීමත් එක්ක දැන් මට නිරායාසයෙන්ම ඒ භාෂාවට මාරු වෙන්න පුළුවන්. ක්ෂණිකව ස්විච් එක මාරු කරන්න පුළුවන්.
ඔබේ ඒ උත්සාහය ඉතාම සාර්ථකයි.?
ඇත්තටම. මගේ රංගන ජීවිතයේ වැඩිම රසික ප්‍රසාදයට ලක් වුණු චරිතයක් තමයි නාරදගේ චරිතය. විකාශනය වෙලා අවුරුදු එකහමාරකට පස්සේ ඊට ලැබෙන ප්‍රතිචාර තවත් වැඩිවෙලා තියෙනවා. “හොඳ වැඬේ” කියන එක සමාජයේ නිතර භාවිතා වෙන වචනයක් වෙලා තියෙනවා. සමාජයේ මිනිස්සු ඒ භාෂාව කතා කරන්න හුරු වෙලා තියෙනවා. ඇත්තටම ඒක දැන් හොඳ වැඩක්ම වෙලා තියෙනවා.
අපි නාරදගෙන් පොඞ්ඩක් එහාට ගිහින් කතා කරමු. ඉසුරු කලා ක්ෂේත්‍රයට යොමු වුණු විදිය ගැන මතක් කළොත්?
පාසල් වේදිකාවේ නාට්‍ය කළා. ඊට පස්සේ කොළඹ ඇවිල්ලා වේදිකාවේ සුළු චරිත කර කර, හඬ කැවීම් කර කර ඉඳලා දණගාලා බඩගාලා තමයි දැන් මේ අල්ලන් ඇවිදින මට්ටමට ඇවිත් තියෙන්නේ.
ඉසුරු සම්බන්ධ වුණු අනෙක් ටෙලි නාට්‍ය ගැන මතක් කළොත්?
ගිනි අවි සහ ගිනි කෙළි ටෙලි නාට්‍යයට මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. පැහැසරා, දේදුන්නයි ආකාසේ, පිනි, වගේ හුඟක් චරිත හරහා මට ප්‍රේක්ෂක ආදරය හිමි වුණා.
ඉසුරුගේ සිනමා ගමනේ සුවිශේෂී සංධිස්ථානය “හුස්ම” කියලා කිව්වොත්?
හුස්ම කියන්නේ මගේ දොළොස්වැනි චිත්‍රපටය. නමුත් ඒ රංගනයට තමයි විශාල රසික ප්‍රතිචාරයක් ලැබුණේ. මම සිනමාවට ඇවිත් දැන් අවුරුදු 10ක් වෙනවා. ඒත් මම රඟපෑ චිත්‍රපට බොහොමයක් තවම ප්‍රචාරය වුණේ නැහැ.
මේ ආව ගමන ගැන ඉසුරුට මොකද හිතෙන්නේ?
ඇත්තමට මෙහෙමයි. මම මේ වෙනකම් ප්‍රධාන චරිත රඟපාලා තියෙන්නේ කිහිපයයි. මාව ජනප්‍රිය වුණු එක චරිතයක්වත් ප්‍රධාන චරිතය නෙවෙයි. මම හිතන්නේ නළුවෙක් හෝ නිළියකට ජනප්‍රිය වෙන්න ප්‍රධාන චරිතයම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් තියෙන්නේ චරිත රාශියක් වටා දිවෙන කලාවක්. ඒ හින්දා තමන්ට ලැබෙන පොඩි චරිතය හරි උපරිමයෙන් කරන එක තමයි කරන්න ඕනෑ. මං ආව ගමන සාර්ථක වුණේ ඒ හින්දා කියලයි මම හිතන්නේ.
චන්දන පොන්නම්පෙරුම











