මීට වසර දෙකකට පෙර දිගන සහ තෙල්දෙණිය ප්‍රදේශවල සිදුවූ ගැටුම්වවලදී මුස්ලිම් විරෝධය ඇවිස්සීමට දායක වීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම සමාව අයැද තිබේ.
ෆේස්බුක් පුරා පැතිරුණු කටකතා හා වෛරී ප්‍රකාශ, මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වයට හේතුවක් විය හැකි බව විමර්ශනයකින් අනාවරණය වීමත් සමග වසර දෙකකට පෙර ලංකාව සසල කළ මාරාන්තික වාර්ගික ප්‍රහාරය තුළ සිය භූමිකාව සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම මෙලෙස සමාව ඉල්ලා ඇත.
දිගන සහ තෙල්දෙණිය ප්‍රදේශවල 2018 වසරේදී සිදුවූ ප්‍රචණ්ඩ සිදුවීම්, සමාජ ජාල තුළ මුස්ලිම් විරෝධී වෛරය අවුළුවමින් පැතිර ගිය අතර එය පාලනය කිරීම සදහා හදිසි නීතිය පැනවූ රජය ෆේස්බුක් සමාජ ජාලයට ඇතුල් වීම තාවකාලිකව නවතා දැමීමටත් සිදුවිය.
ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් අනාවරණය වී ඇත්තේ ෆේස්බුක් හරහා හුවමාරු වූ වෛරය අවුලුවන සුලු සටහන්, මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වයට හේතුවීමට ඉඩ ඇති බවයි.
“අපගේ සමාජ මාධ්‍ය වේදිකාව අවභාවිතය සම්බන්ධයෙන් අපගේ බලවත් සංවේගය පළ කරනවා, මේ හේතුවෙන් මානව හිමිකම් සම්බන්ධයෙන් සැබවින්ම සිදුවූ බලපෑම අප පිළිගන්නා අතර, ඒ සම්බන්ධයෙන් සමාව අයදිනවා.” යනුවෙන් අඟහරුවාදා (12) සිය වාර්තාව නිකුත් කිරීමෙන් අනතුරුව ෆේස්බුක් සමාගම ප්‍රකාශ කර තිබේ.










