කොරෝනා වෛරසය මධ්‍යයේ වුවද රට සාමාන්‍යකරණය කිරීම සඳහා සඳුදා සිට විවෘත කිරීමට ආණ්ඩුව මේ වන විට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ. ආණ්ඩුව කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් මර්දනය කර නොමැතිව මෙසේ රට විවෘත කිරීමට සූදානම් වන්නේ තවදුරටත් රට මේ අයුරින් වසාගෙන සිටියහොත් රටේ ආර්ථිකයට සිදුවෙමින් තියෙන විනාශය හොඳහැටි කිරලා බලලාය. දැනටමත් රට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ආර්ථිකය බිමටම සමතළා වී අවසන්ය. අප රට පමණක් නොව ලෝකයේ අනෙකුත් රටවල්ද මේ වන විට කොරෝනා දැඩි ලෙස ව්‍යාප්තව තිබියදීත් රට විවෘත කිරීමට පියවර ගෙන තිබේ. ඒ වෛරසය මධ්‍යයේ වුවද රටේ ආර්ථිකය යළිත් කෙළින් කටින් සිටවාගත යුතු නිසාය.
මේ අනුව අප මෙම සතියේ සිට ආර්ථික වශයෙන් කඩාවැටී ඇති අප රට යළි ගොඩනැඟීම සම්බන්ධයෙන් පක්ෂ, විපක්ෂ බේදයකින් තොරව ආර්ථික විශේෂඥයන්ගෙන් අදහස් විමසීමට කටයුතු කළෙමු. ඒ අනුව මෙවර අප අදහස් විමසා සිටින්නේ හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවි කරුණානායක මහතාගෙනි. වැටී ඇති ආර්ථිකය යළි ගොඩනැඟීම සම්බන්ධයෙන් රවි කරුණානායක මහතා ‘මව්රට’ සමඟ දැක්වූ අදහස් මෙසේය.
හිටපු මුදල් ඇමැති විදිහට ඔබ මේ කොරෝනා වෛරසයෙන් රටේ ආර්ථිකයට සිදුව ඇති බලපෑම දකින්නෙ කොහොමද?
මේක ලංකාවට විතරක් නෙමෙයි අද මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක්. කොරෝනා වෛරසයන් මතුවෙච්ච ආර්ථික අර්බුදය හමුවේ අද මුළු ලෝකයම පළමු වතාවට එකවර පරාජයට පත්වුණා. අපේ රටේ ආර්ථිකයත් දැන් අඳුරු යුගයකට ඇදීයමින් තියෙන්නෙ. අපේ රටේ තියෙන්නෙ ඇමෙරිකන් ඩොලර් බිලියන 80ක විතර ආර්ථිකයක්. ඩොලර් බිලියන 50ක් විතර උපයන ආර්ථිකයක්. හැබැයි දැන් අපි ජාතික ව්‍යසනයකට මුහුණදීලයි තියෙන්නෙ. මෙතැනදි එක එක්කෙනාට ඇඟිල්ල දික්කරල, ඒ පැත්තට මේ පැත්තට ඇදල වැඩක් නෑ. දැනටමත් ඇඳිරි නීතිය ඉවර වෙන දවසක් හරියටම කියන්නත් බෑ. මේ වෙද්දි ඇඳිරි නීතිය දාලා දවස් 50ක් වෙනවා. ඒ හින්දා මේ වැටුණු රට යථා තත්ත්වයට ගන්න නම් මාස හයක්, අවුරුද්දක් විතර කාලයක් යාවි. නිර්පාක්ෂිකව හිතනව නම් මේ කොරෝනා අර්බුදය නිසා අපිට විතරක් නෙමෙයි ලෝකෙටම ආයෙත් ගොඩනැඟෙන්න හොඳ අවස්ථාවක් උදාකරල දීල තියෙනවා. මම දකින්නෙ මේක දෙවැනි ලෝක යුද්ධෙන් පස්සෙ යළිත් නැඟී සිටින්න ලෝකෙට දුන්න අවස්ථාව හා සමානම අවස්ථාවක් හැටියටයි.
මොන මොන ක්ෂේත්‍රවලට මේ අර්බුදයේ තරම බලපාල තියෙනවද?
වැඩියෙන්ම ගත්තොත් දෛනිකව එදිනෙදා වැටුප් සොයාගන්න ජනතාවට විශාල අර්බුදයකට මුහුණදෙන්න සිදුවෙලා තියෙනවා. මිලියන 2ක ජනතාවක් මේ විදියට දෛනික වැටුප් ලබනවා. ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. සංචාරක ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම ඉවරයි. ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම ඉවරයි. බැංකු ක්ෂේත්‍රය කඩාගෙන වැටිලා. බැංකු ශේෂපත්‍රයේ ණය දීමේ හැකියාව අඩුවෙලා. පිටරටින් එන ආදායම සම්පූර්ණයෙන්ම නැවතිලා. විරැකියාව ඉහළ යෑම පටන් අරගෙන. අපේ අපනයන ක්ෂේත්‍රය බිලියන 16ක්. ඒක දැන් බිලියන 10කට විතර අඩුවේවි. හැබැයි ගෙවුම් ශේෂ හිඟයත් 50%කින් විතර අඩුවේවි. ඒක මේ ප්‍රශ්න ඇතුළෙ තියෙන සුබවාදී දෙයක්.
මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ආණ්ඩුව මේ වෙනකොට අරන් තියෙන පියවර සාධනීයද?
මේක ගෝලීය වශයෙන් බලපෑ වසංගතයක්. ඒ හින්ද ඒක ආණ්ඩුවකට බැර කරන්න බෑ. මෙහෙම වසංගතයක් ආවට පස්සෙ ඒකට ආණ්ඩුවක් විදිහට අපි මුහුණදෙන්න ඕනෙ. මට පේන විදිහට ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් මේ අර්බුදයට යම් විදිහයකින් මුහුණදෙන දිශාවකට ආණ්ඩුව අරගෙන යන්න උත්සහයක් දරනවා. නමුත් ඇතැම් පිරිස් කකුලෙන් අදින බවක් පේන්නත් තියෙනවා. දැන් මහබැංකුව දිහා බලන්න. ආණ්ඩුව මේ අර්බුදය පටන්ගත්දා සිට ජනතාවට දෙන සහන ගැන විශාල යෝජනාවලියක් ඉදිරිපත් කළා. නමුත් මහබැංකු නිලධාරීන් ඒව කිසි දෙයක් කරන්නෙ නෑ. ආණ්ඩුව කිව්ව සහන ජනතාවට ලබල දෙමින් කටයුතු කරන්නෙ නෑ. ඒක ආණ්ඩුවේ කළමනාකරණයේ වැරැද්දක්.
ජන ජීවිතය නඟාසිටුවන්න ආණ්ඩුව ගන්න පියවර සාර්ථක වෙයි කියල හිතන්න පුළුවන්ද?
මේ වෙලාවෙ ආණ්ඩුව ජනතාවගේ පැත්තෙන් බලලා ඔවුන්ට නැඟී සිටින්න අවශ්‍ය පරිසරය සකස් කර දෙන්න ඕනෙ. ඒක ආණ්ඩුවෙ වගකීමක්. කුඩා පරිමාණ ව්‍යාපාරවලට අත දෙන්න ඕනෙ. මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන දෙන්න ඕනෙ. ඒ සඳහා බැංකුවලට අවශ්‍ය උපදෙස් ලබාදෙන්න ඕනෙ. විශේෂයෙන්ම පොලී අනුපාත අඩු කරල අඩු පොලියට ණය ගැනීමේ ක්‍රමවේදයක් සකසන්න ඕනෙ. මේ වෙලාවෙ ඉතාම සීමිත පිරිසකට විතරයි තමන් අතේ තියෙන ප්‍රාග්ධනය ඒ ව්‍යාපාරවලට යොදවල ඒව නඟාසිටුවන්න පුළුවන් වෙන්නෙ. අනෙක් ඒව දුවවන්න ආණ්ඩුව ඔවුන්ට ශක්තියක් දෙන්න ඕනෙ. මොකද මේක ජාලයක්. ඒ ජාලය එක තැනකින් කඩාවැටුණොත් ආයි ඒක නැඟිට්ටවන්න ලේසි නෑ. අනෙක් පැත්තෙන් රාජ්‍ය සේවකයන්ට මාසිකව වැටුප් ගෙවන්න බිලියන සියයකට ආසන්න ප්‍රමාණයක් ඕනෙ. විශ්‍රාම වැටුප් ගෙවන්න ඕනෙ. දැනටමත් රාජ්‍ය සේවය මාස දෙකක් වැඩ නෑ. පෞද්ගලික අංශයෙන් එකතු කරගන්නා බදු මුදල් පෞද්ගලික අංශය නඟාසිටුවන්නම යොදවන්න උත්සාහ කරන්න ඕනෙ.
හැබැයි දැන් රාජ්‍ය සේවය ඇතුළෙත් ප්‍රශ්නයක් ඇතිවෙලා නේද? ජනාධිපති ලේකම්වරයාම කියනවා රාජ්‍ය සේවයේ වැටුප් කපාදැමීමක් සිදුකරන්න වේවි කියලා. එතුමගෙත් වැටුප බාගයකින් කපාගන්න එතුම සූදානම් කියලත් කියනවා. මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?
මමත් දැක්ක ජනාධිපති ලේකම්වරය එහෙම ඉල්ලීමක් කරල තිබුණ. එතුමා මේ ආර්ථික අර්බුදය තේරුම් අරගෙනයි එහෙම කියන්න ඇත්තෙ. පෞද්ගලික ආයතනයක් වුණත් මේ විදියේ ආර්ථික අර්බුදයකට මුහුණදෙන්න අමාරුයි. පළමුවැනි මාසෙ පඩි ගෙවයි. දෙවැනි මාසෙ අමාරුවෙන් බාගයක් හරි දෙයි. ඊළඟ මාසවල් කොහොමද යන්නෙ. හැබැයි ආණ්ඩුව කියනව නම් රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් අඩුකරන්න ඕනෙ කියල අනෙක් පැතිවලින් ආණ්ඩුව ඔවුන්ට සහන දෙන්නත් කටයුතු කරන්න ඕනෙ. උදාහරණයක් විදිහට ණයක් අරන් තියෙනව නම් ඒවට සහන දෙන්න ඕනෙ. ඒවගෙ පොලිය අඩු කරන්න ඕනෙ. වාරිකය අඩු කරන්න ඕනෙ. හැබැයි දැන් මොකක්ද කරන්නෙ. දැන් සහන කාලයක් දෙනව කියල බැංකුවලින් පොලී ප්‍රමාණය අයකර ගන්නවා. ඒක සහනයක් නෙවෙයි.
ඒ අතර වාරයේ මුදල් අච්චු ගහල හරි මේ අර්බුදයෙන් ගොඩ එන්න ඕනෙ කියල ආණ්ඩුවෙ ඇතැම් පුද්ගලයන් කරන ප්‍රකාශත් අපි දැක්ක. මේ විදිහට මුදල් අච්චු ගහල මේ ආර්ථිකය ගොඩගන්න පුළුවන්ද?
මම ඇත්තටම පුදුම වුණා ඒ ප්‍රකාශය දැකල. ඒ ප්‍රකාශය කරපු කෙනෙක් නීතිඥවරයෙක්. හැබැයි සාමාන්‍යයෙන් ළඳ, බොළඳ මොන්ටිසෝරි ළමයෙක්වත් ඔය වගේ කතාවක් කියන්නෙ නෑ. රටක මුදල් අච්චු ගහන්නෙ රටේ වත්කම් එක්ක. වත්කම් නැතුව ඔය විදිහට සල්ලි අච්චු ගහන්න ගියොත් මේ රට ඉතියෝපියාවක්, සිම්බාබ්වේ රාජ්‍යයක් වෙලා තමයි නතර වෙන්නේ. අපිට ආරංචියි දැනටමත් බිලියන 305ක් අච්චු ගහලයි කියලා. පාර්ලිමේන්තුව වහල තියෙන නිසා මේව ගැන හොයන්නත් බෑ. මේවට සාමාන්‍ය නිලධාරීන් පවා වගකියන්න ඕනෙ.
මෙහෙම ගියොත් රට අන්තිමට කොතන්ටද වැටෙන්නෙ?
අපට විපක්ෂයක් විදිහට කියන්න පුළුවන් මේ රට අඳුරු යුගයකට යනව කියල. හැබැයි මේ වගේ අර්බුදකාරී අවස්ථාවක අපි පක්ෂ දේශපාලනය කළ යුතු නෑ. නිල්, කොළ, රතු කණ්ණාඩි දාගෙන මේ ප්‍රශ්නය දිහා බලන්න බෑ. සියලුම පාර්ශ්ව මීට වඩා උනන්දුවකින් වගකීමෙන් කටයුතු කරන්න ඕනෙ. රට කඩාවැටිල තියෙද්දි එක පාර්ශ්වයක් විතරක් ජයගන්න සැලැසුම් හදනවට වඩා සියලුදෙනාම එකමුතුව මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න කටයුතු කරන්න ඕනෙ. සියලුදෙනාම ඒකරාශි කරගන්න එක ආණ්ඩුවෙ රාජකාරියක්.
ආණ්ඩුවෙන් ඒ විදිහෙ යෝජනාවක් ආවොත් ඔබතුමාල සූදානම්ද එකතු වෙලා මේ රට ආර්ථිකමය වශයෙන් ගොඩදාන්න?
ආණ්ඩුව එහෙම කිව්වත් මාස තුනකට හරි, මාස හයකට හරි තනතුරු අරගෙන ආණ්ඩුවත් එක්ක එකතු වෙන එක නෙමෙයි මෙතැනදි කරන්න ඕනෙ. ආණ්ඩුව ඉස්සෙල්ලාම මේ අර්බුදයෙන් ගොඩඑන්න තියෙන තමන්ගෙ න්‍යායපත්‍රය හරියට රටට ඉදිරිපත් කරන්න ඕනෙ. එහෙම ඉදිරිපත් කරල අපිට කිව්වොත් අපි මෙහෙම රටට ගැළපෙන දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරල තියෙනව ඒකට සහය දක්වන්න කියල අපිත් සූදානම් ඒක අධ්‍යයනය කරල ආණ්ඩුවට සහයෝගය දෙන්න. ඒ වගේ දෙයක් තමයි මේ මොහොතේ වෙන්න ඕනෙ. ඒක මේ මොහොත වෙන බවක් පේන්න නෑ. හැබැයි අපි මෙහෙම කිව්වහම අපිට කියයි ඩීල්කාරයෝ කියලා. අපිට නිකරුණේ බැනල වැඩක් නෑ. හැමෝටම පැහැදිලියි නිල නිවාස, නිල කාර්යාල, නිල වාහන ගත්ත ඩීල්කාරයො කවුද කියල.
මේ යන විදිහට ආයෙමත් රටේ හැමෝටම පටි තදකර ගන්න වෙයිද?
අපි හැමදාමත් කිව්වෙ ඔය කතාවමනෙ. අපි දැන් නිදහස ලබාගෙන අවුරුදු 73ක් වෙනවා. ඊට පස්සෙ බලයට පත්වුණු හැම ආණ්ඩුවක්ම කිව්වෙ රටේ ආර්ථිකය වැටිල. ටික කාලයක් යනකන් පටි තදකර ගන්න කියලයි. අපි 2015 මේ රට බාරගනිද්දි ආර්ථිකය විනාශ වෙච්ච රටක් තමයි භාරගත්තෙ. මුදල් ඇමැති විදිහට මට ලැබුණෙ බංකොළොත් ආර්ථිකයක්. හැබැයි එහෙම වුණා කියල මම රටේ ජනතාවට පටි තදකර ගන්න කිව්වෙ නෑ. මම රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක වැටුප් වැඩි කිරීමක් කළා. පොලිසියෙ, හමුදාවෙ රණවිරුවන්ට 35%කින් පඩි වැඩි කළා. විශ්‍රාම වැටුප් වැඩිකළා. මේව මම කළේ අවුරුදු ගණන් අරගෙන නෙමෙයි. දවස් 37ක් ඇතුළත. ඒවට අපි නිර්මාණශීලීව හිතන්න පුරුදු වෙන්න ඕනෙ. නිර්මාණශීලීව හිතනව නම් මේ අර්බුදයෙන් ගොඩ එන්න මාර්ගයකුත් තියෙනවා. අවුරුදු 11ක් තිස්සෙ රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් වැඩි කරන්න බැරිවුණ ආණ්ඩුව ඉවත් කරල අපි දවස් 37කින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කළේ එහෙම නිර්මාණශීලීව හිතලයි. එහෙම කරලත් ඒ රාජ්‍ය සේවයේ 73%ක් අපට විරුද්ධවයි ඡන්දෙ දුන්නෙ. දැන් ඒකෙ ප්‍රතිඵලය රටේ හැමෝටම දැනෙන්න පටන් අරන් තියෙනවා.
කපිල පුංචිමාන්නගේ











