කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් නිවෙස්වලට සීමා වී සිටින කොමර්ෂල් බැංකුවේ ගිණුම්හිමියන්ට ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර මගින් මුදල් ලබාගැනීමේ අවස්ථාව ලබාදෙමින් ඔවුන්ගේ නිවෙස් අසලටම ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ඒකක කොමර්ෂල් බැංකුව මේ වන විට යොදවා තිබේ.
මෙම ජංගම මුදල් සේවා ඒකක විවිධ මාර්ග 119 ඔස්සේ ගමන් කරමින් සති තුනක් තුළ ස්ථාන 672ක් ආවරණය කරමින් ඇඳිරි නීතිය නිසා බැංකු කටයුතු සඳහා බැහැරට යාමට නොහැකි ගනුදෙනුකරුවන් වෙනුවෙන් සේවා ලබාදුන් බව බැංකුව සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වාර්තා කරන්නේ මෙම කාල සීමාව තුළදී මෙම ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ඒකක ගනුදෙනු 6000කට වැඩි ප්‍රමාණයක් සිදුකර තිබෙන බවයි.
මේ තුළින් සිය නිවෙස්වලටම වී සිටින ගනුදෙනුකරුවන්ට රජය විසින් නිවේදනය කර තිබෙන ආරක්ෂක ක්‍රියා මාර්ග අනුගමනය කරන අතරම මුදල් ආපසු ගැනීමට සහ මුදල් තැන්පත් කිරීමට මෙන්ම තම ගිණුම්වල ශේෂය පරීක්ෂා කිරීමට අවස්ථාව හිමිවුණි.
මෙම ජංගම ඒකක මගින් ගනුදෙනුකරුවන් රුපියල් මිලියන 100කට වඩා වැඩි මුදල් ආපසු ලබාගත් බවත් මීට අමතරව ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවල එයට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලයෙන් ලබාගත් බවයි.











