රාජ්‍යතාන්ත්‍රික අර්බූදයක් රට එළිපත්තේ!
රනිල්ට එන්න තියෙන චාන්ස්!
සජිත් පෙන්වන්න යන ගෑස්!
බැසිල් නාමල්ට පෙරළපු බාල්දිය!
ජනාධිපතිවරණය ඔක්තෝබරයේ
ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම පළමු වරට විශේෂ ප්‍රකාශයක් කරමින් පසුගිය සතියේ කියා සිටියේ ලබන සැප්තැම්බර් 17 වැනි දිනත්, ඔක්තෝබර් 17 වැනි දිනත් අතර දිනෙක ජනාධිපතිවරණය පැවැත්වීමට කොමිසම සූදානමින් සිටින බවත්, ජූලි අග සතියේ හෝ අගෝස්තු මුල සතියේ ඊට අදාළව නාමයෝජනා කැඳවීමට පියවර ගන්නා බවත්ය. ඊට පෙර මහමැතිවරණය පැවැත්වීමට සිදුවුවහොත් ඊටද සූදානම් බව කියා සිටි මැතිවරණ කොමිසම මහමැතිවරණය කලින් පැවැත්වුවද නියමිත පරිදි ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් කියා සිටියේය. ඒ අනුව, කවුරුන් මොන මොනවා කීවද නියත වශයෙන්ම ජනාධිපතිවරණය ලබන ඔක්තෝබර් මාසය වන විට පවත්වා අවසන් කිරීමට සිදුවන බවත්, ඔක්තෝබර් මාසයෙන් පසු මේ රටට ජනවරමක් සහිත ජනාධිපතිවරයකු බිහිවන බවත් හොඳහැටි පැහැදිලිය.Sri Lanka Latest News
තුන් කොන් සටන යළිත්
මේ ආකාරයට තීරණාත්මක මැතිවරණයකට මුහුණ දීමට තවත් මාස 6ක පමණ කාලයක් ඉතිරිව තිබියදී නැවත වතාවක් ලංකාව ජාත්‍යන්තර අර්බුදයක සිරවන ලකුණු පසුගිය සති කිහිපය තුළ මතුවෙමින් පැවැති ආකාරයක් දැකගැනීමට තිබිණ. අප එසේ කියන්නේ ඉකුත් සති දෙක තුන තුළ සිදුවූ එකිනෙකට සම්බන්ධයක් නොමැති සිදුවීම් රැසක් මුල්කරගෙන ලංකාව, ඉන්දියාව, චීනය අතර නැවත වතාවක් සීතල තුන්කොන් සටනක් ක්‍රියාත්මක වන ආකාරයේ ලකුණු පහළ කරමින් තිබීම නිසාය.
මේ තුන්කොට සටනට ඇත්තේ එසේ මෙසේ ඉතිහාසයක් නොවේ. බලගතු ජනාධිපතිවරුන් ගෙදර යැවූ ඉතිහාසයකි. 2015 වසරේදී එවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හට සිය පක්ෂ මහලේකම්වරයා හමුවේ පරාජයට පත්වී ගෙදර යාමට සිදුවූයේ මේ තුන්කොන් සටනේ එක ප්‍රතිඵලයක් ලෙසටය. මන්ද එවකදී මහින්ද රාජපක්ෂ රජය කටයුතු කළේ චීනයට අතිශය හිතවත් ස්ථාවරයක පිහිටාය. කුමන ආයෝජන පැමිණියද ඒ සියල්ල චීනය හරහා සිදුවිය. ඉන්දියාවේ දැඩි විරෝධය මධ්‍යයේ හම්බන්තොට වරාය ඉදිකිරීම චීනයට ලබාදුන්නේය. නමුත් අවසානයේදී රාජපක්ෂ පවුල ප්‍රසිද්ධියේම කියා සිටියේ මහින්දගේ පරාජය පසුපස ඉන්දියාවද සිටියා යැයි කියාය.
චීනයෙන් ගැලවුණා
කෙසේ වෙතත් ගෝඨාගේ කාලයේ සහ ඉන් පසුකාලයේ චීන ආධිපත්‍යයෙන් තරමක් මිදී ඉන්දියාව සමග සමීපව ලංකාව කටයුතු කළ ආකාරයක් දැකගත හැකි විය. ඉන්දියාවද ලංකාවට වෙනදාට වඩා උදව් උපකාර කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම කොරෝනාවලින් පසුව ලංකාවේ ආර්ථිකය කඩාවැටී බංකොලොත්භාවයට පත්ව තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල ජනතාව දින ගණන් නිදි වර්ජිතව සිටියදී ලංකාවේ පිහිටට ආවේ වෙන කවුරුවත් නොව ඉන්දියාවය. ඉන්දියාව ඒ අවස්ථාවේදී කිසිදු පැකිලීමකින් තොරව ඩොලර් බිලියන 4.5ක දැවැන්ත ණය මුදලක් ලංකාවට ලබාදීමට පියවර ගත්තේ අනෙක් රටවල් අහක බලාගෙන සිටිද්දීය. ජනතාවට බෙහෙත් ටික, තෙල් ටික, ගෑස් ටික, ආහාර ලැබුණේ ඒ සල්ලිවලට පින්සිදුවන්නටය.
මේ ආකාරයට ඉන්දියාව හා ලංකාව අතර පැවැති හොඳ හිත යළි පළුදු වීමට පසුබිම සැකසුණේ වත්මන් රජය චීන පර්යේෂණ නෞකාවන්ට ලංකාවට ඇතුළු වීමට ඉඩ දීමත් සමගය. විශේෂයෙන්ම ඉන්දියාවේ දැඩි විරෝධය නොතකා චීන නෞකාවන්ට ලංකා මුහුදු සීමාවට ඇතුළු වී හම්බන්තොට නැංගුරම් ලෑමට අවසර ලබාදීම හරහා ඉන්දියාව ප්‍රසිද්ධියේම විරෝධය පළකරමින් නිවේදන නිකුත් කළේ වරක් දෙවරක් නොවේ. ඉන්දියාව පමණක් නොව ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකොට සිටින ඇමෙරිකාව, ඔස්ටේ්රලියාව, ජපානය වැනි රටවල්ද ඒ අවස්ථාවේ ඉන්දියාව සමග එකට සිටගනිමින් ලංකාවට විරෝධය පළකළ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඉන්දියාව මෙහිදී ප්‍රසිද්ධියේම කියා සිටියේ සිය රටේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු ක්‍රියාකාරකමක් ලංකාව විසින් සිදු නොකළ යුතු යැයි කියාය.
දිනේෂ්ගේ චීන ගමන
කෙසේ වෙතත් මේ ආකාරයේ කෙනිත්තිලි සිදුවුවද ඉන්දියාව ලංකාව වෙනුවෙන් පෙනී සිටීම අතහැරියේ නැත. කවුරුත් නොදන්නවා වුණාට ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලද්දී එම අවස්ථාව හිමිකර දීමට ඉන්දියාව තිරය පිටුපස හිඳිමින් විශාල කාර්යභාරයක් සිදුකළේ ඉන්දියාවය. ඒ නිසාමදෝ ආරක්ෂාව සම්බන්ධ කාර්යය මුල් කරගෙන ඉන්දියාවෙන් ආ විරෝධය පිළිගනිමින් පසුගිය කාලයේදී ආණ්ඩුව චීන පර්යේෂණ නෞකාවන්ට ලංකාවට ඇතුළු වීමට අවසර ලබා නොදීමේ තීන්දුවක් ගැනීමට කටයුතු කළේය.
කෙසේ වෙතත් එළියට නොපෙනුණද නැවත වතාවක් මේ සීතල තුන්කොන් සටන ආරම්භ වී ඇති ආකාරයක් දැකගන්නට ලැබුණේ හිටිහැටියේ ලංකාවේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ හදිසි චීන සංචාරයත් සමගය. චීනයේ පැවැත්වෙන ‘බොආවෝ’ සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වීමට දිනේෂ් පසුගිය 24 වැනිදා චීනය බලා පිටත්ව ගියද බොහෝ දෙනා කියන්නේ දිනේෂ්ගේ මේ චීන සංචාරය පසුපස ඊට වඩා වැඩි දෙයක් පවතිනවා යැයි කියාය. මෙහිදී මුලින් මාධ්‍ය වාර්තා පළවී තිබුණේ මෙම සංචාරයේදී දිනේෂ් ද්වීපාර්ශ්වික ගිවිසුම් 13කට අස්සන් තැබීමට නියමිතව සිටි බවකි. එහිදී වැඩේ පත්තු වූයේ චීන නැව්වලට ලංකාවේ සාගර කලාපයට ඇතුළු විය හැකි ලෙසට සඳහන් ගිවිසුමකටද අස්සන් තැබීමට දිනේෂ් කටුයතු කරනු ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමගය. ඉන්දියාව නමැති නිදාගෙන සිටි කොටියා ඇවිස්සුණේ මෙම තොරතුරු වාර්තා වීමෙන් පසුවය.
ඉන්දීය විරෝධය ඇවිළෙයි
මේ අතරතුරේදී හිටිහැටියේම දැවැන්ත ඉන්දීය විරෝධයක් රට ඇතුළේ සංවිධාන වන ආකාරයක් දැකගන්නට ලැබිණි. විවිධ නම්වලින් විවිධ සංවිධාන හදිසියේම වාගේ කලඑළි බැස ඉන්දීය ආයෝජනවලට එරෙහිව සහ ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිව දැඩිව හඬ නගන ආකාරයක් මේ හරහා පෙනෙන්නට තිබිණි. නගර මධ්‍යයේ දැවැන්ත විරෝධතා ව්‍යාපාර සංවිධාන වූ අතර, ඉන්දියාවට එරෙහිව තැන් තැන්වල පෝස්ටර් ඇලවෙන ආකාරයක්ද, සමුළු සම්මන්ත්රණ පැවැත්වුණු ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
චීන කොන්සල් විමල් හමුවේ
ඒ අතරවාරයේ තවත් විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කොන්සල්වරයා වන චෙන් ෂියැන් ගුවෑන් මහතා හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අතර විශේෂ හමුවක් සිදුවීමය. මෙම හමුව සඳහා චීන කොන්සල්වරයා විමල්ගේ කෝට්ටේ පාරේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ පිහිටි ප්‍රධාන කාර්යාලයටම පැමිණ තිබීමද විශේෂ සිදුවීමක් විය. සාමාන්‍යයෙන් විමල් සැලකෙන්නේ සිය දේශපාලනය ආරම්භ කළ සමයේ සිටම ජවිපෙ න්‍යායක් වූ ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහි සටනේ සිටි අයකු ලෙසටය. පසුගිය දිනෙක ජවිපෙ එම ඉන්දීය ව්‍යාප්තවාදය පසෙක තබා ඉන්දීය සංචාරයක නිරත වුවද විමල් දිගටම ඒ මතයේ සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව, විමල් පසුගිය දිනෙක මහරගමදී ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහි දැවැන්ත සමුළුවක්ද පැවැත්වීමට පියවර ගෙන තිබිණි.
දිනේෂ්ට ඇමතුම්
මේ සියලු සිදුවීම් හරහා ජනාධිපතිවරණය කටමුල තිබියදී චීනය විසින් රට පුරා චීන දැලක් එලමින් සිටින බවක් දැකිය හැකිය. හදිසියේම විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා චීනය බලා පිටත්ව යන්නේද මෙහි එක් දිගුවක් ලෙසටය. අපට ඇති ආරංචිවලට අනුව දිනේෂ්ගේ චීන ගමනට දින කිහිපයකට පෙරාතුව මෙරට පිහිටි එක්තරා විශේෂ තානාපති කාර්යාලයක නිලධාරීන්ගෙන් දිනේෂ්ට දුරකතන ඇමතුම් කිහිපයක්ම ලැබිණි. දිගින් දිගටම ලැබුණු මෙම දුරකතන ඇමතුම්වලින් කියැවුණේ එම තානාපති කාර්යාලයේ නිලධාරීන් හට දිනේෂ්ව මුණගැසී සාකච්ඡා කිරීම සඳහා වේලාවක් ලබාදෙන ලෙසටය. නමුත් දිනේෂ් එහිදී වඩාත් පරිස්සම්සහගත වෙමින් එවැනි සාකච්ඡාවක් පැවැත්වීම සඳහා වේලාවක් ලබාදීමට පියවර ගෙන තිබුණේ නැත. ඊට හේතුව යම් හෙයකින් අදාළ සාකච්ඡාව සඳහා එම තානාපති නිලධාරීන් හට වේලාවක් ලබාදුන්නේ නම් නිසැකවම ඔවුන් සිය චීන සංචාරයට විරෝධය දක්වමින් බාල්දියක් පෙරළනු ඇති බව දිනේෂ්ට වැටහී ගොස් තිබුණු නිසාය. ඒ අනුව, දිනේෂ් එම ඉල්ලීම් මගහැර යමින් කටයුතු කළ ආකාරයක් දැකගන්නට තිබිණි. මේ හරහාද දිනේෂ්ගේ චීන සංචාරය ඉතා තීරණාත්මක එකක් බව වටහා ගැනීමට පුළුවන.
චීනයත් අවුලෙන්
කෙසේ වෙතත් චීන නැව්වලට ලංකාවේ සාගර කලාපය වසාදැමීමට ලංකාව ගත් තීන්දුවත් සමග චීනයද සිටියේ ලංකාව සම්බන්ධයෙන් එතරම් හිත හොඳකින් නොවේ. ඔවුන්ද ඍජුවම ලංකාවේ එම තීරණයට එරෙහිව විරෝධය පළකළ ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම චීන නෞකා තහනම මැද ඉන්දීය සබ්මැරීන ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමද මෙම චීන විරෝධය උත්සන්න කරලීමට ප්‍රධාන හේතුවක් වී තිබිණි. ඔවුන් මෙහිදී ආණ්ඩුවේ බලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබුණේ ලංකා මුහුදු සීමාවේ නැව් තහනම බලපාන්නේ ඉන්දියාවට පමණක්දැයි කියාය.
එවැනි තත්ත්වයක් මතුව තිබියදී හදිසියේම දිනේෂ්ගේ චීන ගමන පිළිබඳවද මේ වන විට දේශපාලන ක්ෂේත්රයේ බොහෝ සැක සංකා මතුව තිබේ. එම සංචාරයේදී දිනේෂ් චීන අගමැතිවරයා මෙන්ම චීන ජනාධිපති ෂී ජින්පින් මහතාද මුණගැසීමට කටයුතු කළේය. ගිවිසුම් නවයකට අස්සන් තැබීමටද පියවර ගත්තේය. මුලදී ගිවිසුම් 13කට අස්සන් කරනු ඇති බව සඳහන් වුවද, ගිවිසුම් 9කට පමණක් අස්සන් තැබීමට හේතුව කුමක්ද යන්න මේ වනතෙක් අනාවරණ වී නොමැත. එමෙන්ම චීන අගමැතිවරයා හමුවීමෙන් පසු චීනය පැත්තෙන් නිකුත් වූ නිවේදනයකින් කියැවුණේ චීනය ලංකාවේ ආර්ථික වර්ධනයට දායකත්වය සැපයීමට සූදානම් බවත්, ලංකාවේ වරාය සහ ගුවන් තොටුපළ දියුණු කිරීමට කටයුතු කරන බවත්ය. නමුත් මෙම නිවේදනයේ සඳහන්ව තිබූ විශේෂම කාරණාව වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් විශේෂ තීන්දුවක් ගැනීමට චීනය කටයුතු කරන බවට සඳහන්ව තිබීමය. ඒ අනුව ලංකාවේ ණය සම්බන්ධයෙන් චීනය ගනු ලැබීමට නියමිත විශේෂ තීන්දුව කුමක්ද?
ණය ගැන තීන්දුවක් ගනී
අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ලබන අප්‍රේල් 12 වැනිදා සිට නැවත ණය ගෙවීම ආරම්භ කරන ලෙසට චීනය ලංකාවට දැනුම් දීමට මීට පෙරාතුව කටයුතු කොට ඇතැයි කියාය. 2022 වසරේදී කොරෝනා වසංගතය සහ ආර්ථික අවපාතය හේතුකොට ගෙන චීනය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සහනයක් වශයෙන් ණය වාරික සහ පොලිය ගෙවීම වසරකට කල් දැමීමට පියවර ගත්තේය. එමෙන්ම ගෝඨාගෙන් පසු රනිල් ජනාධිපති පුටුවේ අසුන්ගත් විටද චීනය තවත් වසරකින් එම ණය ගෙවීම කල් දමමින් 2024 දක්වා එම සහනය දීර්ඝ කිරීමට පියවර ගත්තේය. එම ණය සහනයේ කාලසීමාව අවසන් වන්නේ ලබන 12 වැනි දිනය. ඒ අනුව චීනය මේ වන විට ආණ්ඩුවට දැනුම් දී ඇත්තේ ලබන 12 වැනිදායින් පසු චීනයට හිඟ ණය මුදල වන ඩොලර් බිලියන 26.4ක ණය මුදලෙහි වාරික ගෙවීම ආරම්භ කරන ලෙසටය.
ආණ්ඩුවන් ඉල්ලීමක්
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව තවදුරටත් ණය සහන කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවත්, ඊට චීනයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. චීනය එහිදී දැනුම් දී ඇත්තේ යම් හෙයකින් ලංකවට පමණක් එවැනි ණය සහනයක් ලබාදුනහොත් ඩොලර් බිලියන 600ක පමණ ණයගැතිභාවයකින් යුත් අනෙකුත් රටවල්ද චීනයෙන් එම ණය සහනය ඉල්ලා සිටිනු ඇතැයි කියාය. ඒ අනුව, පළමුව ණය ගෙවීම ආරම්භ කරන ලෙසත්, ඉන් අනතුරුව යම් සහනයක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවත් චීනය එහිදී ආණ්ඩුවට දැනුම්දී ඇති බවක්ද ආරංචිය.
දිනේෂ්ගේ හදිසි චීන සංචාරය පසුපස මේ කරුණද ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයය. ජනාධිපතිවරයා සැලසුම් කොට ඇත්තේ කෙසේ හෝ තවත් වසර 6ක පමණ කාලයක් චීනයෙන් ණය නොගෙවා සිටීමේ සහන කාලයක් ලබාගැනීමටය. එසේ කොට එය ලංකාවේ විශාල ජයග්‍රහණයක් ලෙස පෙන්වා ජනාධිපතිවරණ මෙහෙයුමේදී යම් ප්රචාරක වාසියක් ලබාගැනීම රනිල්ගේ සැලසුම වී ඇති බව පැවසේ. ‘රට ආර්ථික බංකොලොත්භාවයෙන් මුදාගත්තා’, ‘රටේ ආර්ථිකය හදන්න පුළුවන් එකම කෙනා’, ‘රනිල් තමයි ආර්ථික ඔස්තාර්’, ‘රට හදන්න පුළුවන් එකම මිනිහා රනිල් විතරයි’ යනුවෙන් කියමින් ජනාධිපතිවරණය ඉලක්ක කොට දැවැන්ත ප්රචාරක ව්‍යාපෘතියක් මේ හරහා දියත් කිරීම ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ සැලසුම වී ඇති බවක්ද ආරංචිය. මෙම වාසිය ලබාගැනීම සඳහා රනිල් හදිසියේම චීනය පැත්තට හැරී චීන හිතැති මාර්ගයක ගමන් කිරීමට ගියහොත් චීන විරෝධී රටවල් ඊට කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇද්ද යන්න පිළිබඳ බොහෝ දෙනා තුළ ඇත්තේ විශාල සැකයකි. මන්ද යත් චීන ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය මේ වන විට ඉන්දීය සාගර කලාපයේ සහ දකුණු ආසියානු කලාපයේ ප්‍රබල තැනක සිටීම හේතුකොට ගෙන එහි ප්‍රතිඵල ඉතා දරුණු විය හැකි බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
මෛත්රීපාලගේ බෝම්බය
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ප්‍රහාරකයන් පිළිබඳ තමන් දන්නා බවට මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේද මෙවැනි පසුබිමක් මධ්‍යයේය. එමෙන්ම එම ප්‍රකාශය මේ වන විට දේශපාලන ක්ෂේත්රය එක් වරම ගිනිගැනීමකට පත්කොට ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබුණු පැමිණිලි හේතුකොටගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෛත්‍රීට කැඳවීමක් කළ අතර, එම කැඳවීමට අනුව මෛත්‍රී පසුගියදා එහි ගොස් පැය පහමාරක ප්‍රකාශයක් ලබාදීමටද පියවර ගෙන තිබිණි. නමුත් ඒ ප්‍රකාශයේ අඩංගු වූයේ මොනවාද යන්න පිළිබඳ කිසිදු පාර්ශ්වයකින් තොරතුරු එළියට ආ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. එසේ වුවත් එදිනම සවස පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා හිරු නාලිකාවේ දේශපාලන වැඩසටහනකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් කිරීමට පියවර ගත්තේය. එහිදී චමුදිත සමරවික්‍රම කළ ප්‍රශ්නකිරීම් හමුවේ ගම්මන්පිල කියන්නේ යම් රාජ්‍යයක් හෝ යම් සංවිධානයක් පාස්කු ප්‍රහාරය පසුපස සිටින බවට මෛත්‍රීපාල සිතනවා යැයි කියාය. චමුදිත ඒ සම්බන්ධයෙන් හාර හාර ප්‍රශ්න කරද්දී මෛත්‍රී කළ ප්‍රකාශවල යම් යම් තොරතුරු ගම්මන්පිල අනාවරණ කළ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. ඒ අනුව, මෛත්‍රී කළ ප්‍රකාශය පිළිබඳ ගම්මන්පිලට කොහෙන් හෝ තොරතුරු ලැබී ඇති බවක් ඉන් පැහැදිලිවම දැකගන්නට ලැබිණ.
පත්තරේ හෙළිදරව්ව
එසේම ඊට පසු දිනම එක්තරා දෙමළ පුවත්පතක් ‘අතිවිශේෂ‘ යනුවෙන් සඳහන් කළ සිරස්තලයක් යටතේ මෛත්‍රී විසින් රහස් පොලිසියට ලබාදී තිබූ ප්‍රකාශය පළකිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව, මෛත්‍රී කළ එම ප්‍රකාශය බොහෝ ආන්දෝලනයකට තුඩුදෙන එකක් වීමට ඉඩ ඇති බව අපගේ විශ්වාසයය. කෙසේ වෙතත් මේ වන විට අධිකරණය නියෝග කොට ඇත්තේ ලබන 04 වැනි දින මෛත්‍රීට අධිකරණය හමුවේ පෙනී සිට මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙසටය.
චීන තානාපති පොලොන්නරුවේ
මේ ආකාරයට මෛත්‍රී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට පෙර තවත් විශේෂ පුද්ගලයකු මීට සති දෙකකට ඉහතදී පමණ මෛත්‍රීගේ පොළොන්නරුවේ නිවෙසට පැමිණ සිටි බවක් වාර්තා විය. ඒ, වෙන කිසිවකුත් නොව, ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා වන කී සෙන්හොං මහතාය. මෙහිදී චීන තානාපතිවරයා මෛත්‍රීගේ ඉල්ලීමට අනුව පොළොන්නරුවේ පාසල් ගණනාවකම දරුවන්ට අධ්‍යාපන උපකරණ පිරිනැමූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ‘රාජ්‍ය රහස්’ තීරයට ඇති තොරතුරුවලට අනුව චීන තානාපතිවරයා දින තුනක් පොළොන්නරුවේ ගත කොට ඇති බවත්, පොළොන්නරුවේ ක්‍රියාත්මක තවත් ව්‍යාපෘති රැසකට සහාය දැක්වීමට මෛත්‍රීට එකඟතාව පළකොට ඇති බවත් ආරංචිය. මෛත්‍රීගේ ආන්දෝලනාත්මක පාස්කු ප්‍රහාර කතාව එළියට ආවේ මෙම හමුවෙන් සති දෙකකට පමණ පසුවය.
ඒ අනුව, මෙම සියලු සිදුවීම් දෙස එකවර බලන කල්හි ඉදිරි මාස කිහිපය ලංකාවට ඉතා තීරණාත්මක කාලපරිච්ඡේදක් වනු ඇති බවක් දැකගන්නට තිබේ. විශේෂයෙන්ම පසුගිය කාලයේදී චීනය හා ඉන්දියාව අතර මතුවෙමින් පැවැති සීතල යුද්ධය යම් තරමකට සමනය කරගැනීමට ආණ්ඩුව සමත් වුවද, පසුගිය සති දෙක තුන තුළ සිදුවූ සිදුවීම් මුල්කරගෙන යළිත් එම ගැටුම අළු යට ගිනි මෙන් පුපුරු ගසන්නට පටන්ගෙන ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ හරහා ලංකාව බරපතළ රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට තල්ලු වෙන ආකාරයේ යම් යම් ඉඟි දැකගැනීමට හැකි බව බොහෝ දෙනාගේ අදහසය.
ආණ්ඩුවේ අපේක්ෂකයා
ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය සිය පක්ෂවල නායකයන් අපේක්ෂකයන් ලෙස දැනටමත් ප්‍රකාශ කොට තිබුණද, ආණ්ඩුව පැත්තෙන් සහ පොහොට්ටුව පැත්තෙන් තවමත් සිය අපේක්ෂකයා සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගෙන නොමැති ආකාරයක් දැකගන්නට තිබේ. අප මීට පෙර අවස්ථා කිහිපයකදීම ‘රාජ්‍ය රහස්’ තීරයෙන් පෙන්වා දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමට තීන්දු කොට නොමැති බවත්, ඉදිරිපත් වන බව පෙන්න පෙන්නා අවසන් මොහොතේදී එම සටනෙන් ඉවත් වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවත්ය. එමෙන්ම සජබ සහාය හෝ පොහොට්ටුවේ සහාය නිල වශයෙන් ජනාධිපතිවරයාට ලැබෙන්නේ නම් පමණක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි අනාවරණ කළෙමු. මීට අමතරව පවතින තත්ත්වය දිනෙන් දින විමසා බලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන් සිටින බවද අපි එහිදී කියා සිටියෙමු.
එන්න තියෙන චාන්ස්
ඒ අනුව, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා රනිල්ට ඇති අවස්ථාවන් මොනවාද? එහි ඉදිරියෙන්ම ඇත්තේ කෙසේ හෝ සජබය එජාපයට එක්කර ගැනීමය. මේ සඳහා අප කලින් සතියේ අනාවරණ කළ පරිදි එජාපයේ උප නායකයකු වන රුවන් විජයවර්ධන සජබ ජ්‍යෙෂ්ඨයකු සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි. මෙම සාකච්ඡාවේ සියලු තොරතුරු ඉකුත් සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කරමින් අප කියා සිටියේ සජබ ජ්‍යෙෂ්ඨයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, එවැන්නක් සිදුවුවහොත් ජවිපෙ එහි වාසිය ගෙන ඡන්ද ප්‍රතිශතය ඉහළ නංවාගනු ඇති බවත්ය. සාකච්ඡාවේ තොරතුරු සජබ ජ්‍යෙෂ්ඨයා සජිත්ට වාර්තා කළ බවද අපි එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නෙමු. ඒ අනුව, දැනට ජනාධිපතිවරයා තීරණය කොට ඇත්තේ ලබන මැයි මාසය තෙක් සජබ කොටසක් කඩාගැනීමේ මෙහෙයුම ඉදිරියට ගෙන යෑමටත්, එසේ කළ නොහැකි වුවහොත් ජනාධිපති සටනෙන් ඉවත් වීමටත්ය.
ගේමේ ඉන්නේ මේ අය
මුල සිටම ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවට අනුව සජබ කඩන වැඩේ බාරගෙන සිටියේ නුවර පැත්තේ ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයෙකි. මේ කෝටිපති ව්‍යාපාරිකයා ඒ සඳහා සජබයේ සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ මන්ත්‍රීවරියක අල්ලාගෙන සජබය කැඩීම සඳහා කුමන්ත්‍රණ ගණනාවක් සිදුකළේය. මේ සාකච්ඡාවල ප්‍රතිපලයක් වශයෙන් වරෙක ඔහු ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණේ අයවැය ඡන්දයේදී සජබයෙන් කොටසක් කඩාගෙන ආණ්ඩුවට පක්ෂව ඡන්දය දීමට සූදානම් කර ඇතැයි කියාය. නමුත් එම මෙහෙයුම අතරමග කඩාකප්පල් විය. කිසිදු සජබ මන්ත්‍රීවරයෙක් අයවැයේදී ආණ්ඩුවට එක්වූයේ නැත.
ඒ අනුව, පසුගිය කාලයේදීද මේ කෝටිපති ව්‍යාපාරිකයා මේ කියන සජබ මන්ත්‍රීවරුන් දෙදෙනා සහ මන්ත්රීවරි සමග අවස්ථා කිහිපයකදීම සජබය ආණ්ඩුවට එක්කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට කටයුතු කොට තිබිණි. එහිදී අපට ඇති ආරංචිවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් එම සාකච්ඡා සඳහා අවසන් කාලසීමාවක් ලබාදී ඇති බවකි. ලබන මැයි මාසය වන විට සජබය ආණ්ඩුවට ගත යුතු බවත්, එසේ නොමැති වුවහොත් ජනාධිපතිවරයාට අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමේ අවස්ථාව අහෝසි වී යනු ඇති බවත් එහිදී අවධාරණය කොට ඇති බව ආරංචිය.
ඒ සඳහා එම මෙහෙයුම භාරදී ඇති සජබ මන්ත්‍රීවරුන් තිදෙනාගේ නම්ගම් අප පැහැදිලිවම දන්නා නමුත්, සදාචාරාත්මක හේතූන් මත මේ මොහොතේ එය හෙළිකරන්නට අපි කටයුතු නොකරමු. නමුත්, තීරණාත්මක අවස්ථාවක මෙම මන්ත්‍රීවරුන් තිදෙනාගේ ක්‍රියාකලාපය සජබ පාක්ෂිකයන් මෙන්ම රටද දැනගත යුතු නිසා ඔවුන්ගේ නම් ඒ මොහොතේදී හෙළිකරන බව පමණක් මෙහිදී සඳහන් කළ යුතුව තිබේ.
හොර මාධ්‍ය මෙහෙයුමකුත්
මෙම සජබ තිදෙනාට අමතරව මේ සඳහා විශාල මාධ්‍ය මෙහෙයුමක්ද ආණ්ඩුව පැත්තෙන් දියත් කොට ඇති බවක්ද දැනගන්නට තිබේ. ඒ සඳහා පත්තර කිහිපයකම කර්තෘවරුන් එක්කොට හොර මාධ්‍ය කමිටුවක් අටවාගෙන ඇති බවද ආරංචිය. එම මාධ්‍ය කමිටුවේ මෙහෙයුම වී ඇත්තේ විපක්ෂය දෙකට තුනට බෙදී ඇති ආකාරය හුවාදක්වමින් දිනපතාම පාහේ බොරු පුවත් පැළකිරීමය. එමෙන්ම සජබ නව සන්ධානය බිහි නොවන තැනට පුවත් පළකිරීමය. ඒ සඳහා සජබ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු යොදාගැනීමටත්, ඔවුන් ලවා විවිධ ප්‍රකාශ කරවා ගැනීමටත්, සන්ධානයේ සෙසු නායකයන් කලකිරවන ආකාරයේ පුවත් පළකිරීමටත් මෙම මාධ්‍ය කමිටුවට උපදෙස් ලබාදී ඇති බවක් දැනගන්නට ඇත.
වෙනදා මෙම පුවත් පළකරන හොර මාධ්‍ය කමිටු මාසයකට වරක් රැස්වී සාකච්ඡා කළද, මේ වන විට එය සතියකට දෙතුන් වතාවක් හමුවන තැන දක්වා වර්ධනය වී ඇති බවක්ද දැනගන්නට තිබේ.
දෙවැනි අවස්ථාව
ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇති දෙවැනි අවස්ථාව කුමක්ද?
එම දෙවැනි අවස්ථාව වන්නේ සජබය නොමැතිව පොහොට්ටුවෙන් කොටසක් කඩාගෙන නව සන්ධානයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමය. මේ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේදී පැවැත්විණි. ඊට කංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, ශෙහාන් සේමසිංහ, සාගල රත්නායක, වජිර අබේවර්ධන, නිමල් ලංසා මෙන්ම තවත් ප්‍රබල ලේකම්වරයකුද සහභාගි වී සිටියහ. මෙහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට ලක්වූයේ ජනාධිපතිවරයා කුමන ආකාරයකට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුද යන්න පිළිබඳවය. එහිදී බොහෝ දෙනා කියා සිටියේ සියලු දෙනාටම ගොඩවිය හැකි ලෙස ස්වාධීන වේදිකාවක් මේ සඳහා නිර්මාණය කළ යුතු යැයි කියාය. විශේෂයෙන්ම පොහොට්ටුවේ නම නොමැතිව මෙම නව ස්වාධීන වේදිකාව නිර්මාණය කළ යුතු බවත්, ඊට මහින්දගේ සහයෝගය ලබාගත හැකි විය යුතු බවත් එහිදී බොහෝ දෙනා පෙන්වා දුන්හ. ඒ ආකාරයට පොහොට්ටුවේ සහාය මෙම නව සන්ධානයට ලබාගැනීම සඳහා පූර්ණකාලීන පුද්ගලයකු පත්කළ යුතු බව කියැවුණු අතර, එම තැනැත්තාට පොහොට්ටුවේ පිරිස් කැඩීමේ හැකියාවද, මහින්දගේ සහයෝගය ගැනීමේ හැකියාවද තිබිය යුතු බවද කියැවිණි.
ප්‍රබල නමක් කියවෙයි
මෙහිදී එක් ප්‍රබල පුද්ගලයකුගේ නමක්ද සාකච්ඡා මේසයට පැමිණියේය. මෙම ප්‍රබලයා මහින්ද රාජපක්ෂ යටතේද, ගෝඨාභය රාජපක්ෂ යටතේද කටයුතු කොට රාජපක්ෂවරුන් සමග අතිශය සමීප සබධතාවක් සහිත ප්‍රබල ලේකම්වරයෙක් ලෙස සැලකේ. එමෙන්ම මෙම තැනැත්තා රනිල් සමගද ඉතා සමීපව කටයුතු කරමින් දේශපාලන ගනුදෙනු රැසක් සිදුකළ අයකු ලෙසද ප්රකටය. නමුත් අපට ඇති ආරංචිවලට අනුව කියැවෙන්නේ මෙම ප්රබලයාගේ නම සඳහන් වූ විට ජනාධිපතිවරයා නිහඬව සිටියත් සාකච්ඡාවේ සිටි ලංසා එම නමට දැඩි විරෝධයක් පළකර ඇති බවකි.
ලන්සා යකා නටයි
‘නෑ නෑ ඔය කියන ලේකම් සම්පූර්ණයෙන්ම ඉන්නේ රාජපක්ෂවරු එක්ක. අපි හිතනවට වඩා එයාට රාජපක්ෂවරු එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. එයාව මේ තනතුරට දාලා අපිට පොහොට්ටුව කඩන්න බෑ. මහින්දගේ සපෝට් එක ගන්නත් බෑ…’ යනුවෙන් කියමින් ලංසා මෙම ප්රබලයාගේ දේශපාලන ඉතිහාසය පිළිබඳ දීර්ඝ විස්තරයක් සාකච්ඡාව හමුවේ තැබීය. ලංසාගේ මෙම හෙළිදරව්ව සියලු දෙනාම පුදුමයෙන් යුතුව වචනයක් හෝ නොකියා අසා සිටියේ ඒ සියල්ලම පිළිගත් ආකාරයටය. ලංසාගේ මේ විරෝධයත් සමග එම නම එතැනින්ම කැපී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.
තුන්වැනි අවස්ථාව
ඒ අනුව ජනාධිපතිවරයාගේ තුන්වැනි අවස්ථාව වී ඇත්තේ කුමක්ද?
අප පෙර කී පරිදිම ජනාධිපතිවරයාගේ තුන්වැනි අවස්ථාව වී ඇත්තේ චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමග ගැටගැසීය. එසේ ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට අවස්ථාව ලැබුණහොත් ඒ හරහා ලොකු ෂෝ එකක් දමා ජනාධිපතිවරණයට ගැම්මක් ගැනීම ජනාධිපතිවරයාගේ සැලසුම වී තිබේ. නමුත් මේ කියන අවස්ථා තුනම අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා නොහොත් ‘වැසි වැස්සොත් ගඟ පිරේවි’ යන ආකාරයේ සිදුවීම්ය. නැතහොත් සිදුවීමට වඩා සිදු නොවීමේ සම්භාවිතාව වැඩි අවස්ථාය. ඒ නිසා අප දැනටත් කියන්නේ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ නිශ්චිත තීන්දුවක් තවමත් ගෙන නැතැයි කියාය.
වෙසක්වලට කල් ගිහින්
සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා ඕනෑම වැඩකදී ප්රකටව ඇත්තේ කල්මැරීමේ රුසියකු ලෙසටය. ජනාධිපතිවරයා මුලින්ම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට කියා සිටියේ ජනවාරියේදී ඡන්ද සටන පටන්ගත යුතු යැයි කියාය. ජනවාරිය පැමිණියද ජනාධිපතිවරයා ඡන්ද සටන පටන්ගත් ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඒ පිළිබ` මැතිඇමැතිවරු විමසද්දී අනතුරුව ජනාධිපතිවරයා කියා සිටියේ සිංහල අවුරුද්දේ වැඩ පටන්ගමු යැයි කියාය. නමුත් දැනට යන ආකාරයට සිංහල අලුත් අවුරුද්දට පෙර හෝ ආණ්ඩුව පැත්තෙන් ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයක් පටන්ගන්නා ආකාරයක් දැකගන්නට නැත. ඒ අනුව, දැන් ජනාධිපතිවරයා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට කියන අලුත්ම කතාව වී ඇත්තේ ලබන වෙසක් පොහොය පසුකොට ජනාධිපතිවරණ ඡන්ද සටන පටන්ගමු යැයි කියාය. ඒ හරහාද පේන්නට ඇත්තේ ජනාධිපතිවරයා ඡන්ද සටනට එනවාට වඩා නොඑන තැනක සිට කටයුතු කරන බවය.
පොහොට්ටුව ගේම පටන්ගනී
අනෙක් පැත්තෙන් පොහොට්ටුව ගතහොත් පසුගිය සතියේදී එහි අභ්‍යන්තරයේද සිදුවීම් කිහිපයක් වර්ධනය වූ ආකාරයක් දැකගත හැකි විය. මේ සියලු සිදුවීම් පොහොට්ටුව ඇතුළේ සිදුවූයේ ඍජුවම බැසිල්ගේ අනුදැනුම මතය. මීට පෙර අවස්ථා කිහිපයකදීම අප ඉතා පැහැදිලිවම කියා සිටියේ ඇමෙරිකාවේ සිට බැසිල් පැමිණියේ පොහොට්ටුව ගමන්ගත යුතු මාර්ගය පිළිබඳ පැහැදිලි මාර්ග සිතියමක් සකස් කරගෙන යැයි කියාය. ඒ සඳහා බැසිල් විසින් ගමමට්ටමින් සිදුකළ මත විමසුමක ප්‍රතිඵල උපයෝගී කොටගත් බව අපි මීට පෙර වාර්තා කර සිටියෙමු. ඒ අනුව, බැසිල් පක්ෂ අභ්‍යන්තරයේ ඇති සාකච්ඡාවලදී කිසිදු පැකිලීමකින් තොරව සජබය ඉදිරියෙන් සිටින බව ප්‍රකාශ කළ අතර, තව මහන්සි වුවහොත් පොහොට්ටුවට දෙවැනි ස්ථානය දක්වා යාහැකි බවද සඳහන් කොට ඇති බව ආරංචිය. ඒ සඳහා පැහැදිලිවම පොහොට්ටුවට අවස්ථාවක් ඇති බවත්, එම දෙවැනි ස්ථානයට ගමන් කිරීමෙන් පසු ඉන් ඉදිරියට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ සාකච්ඡා කළ යුතු බවත් බැසිල් එම සාකච්ඡාවලදී සඳහන් කොට ඇති බවද දැනගන්නට ඇත.
අපේක්ෂකයෙක් එනවා
බැසිල්ගේ එම සැලසුමට අනුව අප කලින් අනාවරණ කළ පරිදිම ඉහළින්ම ඇත්තේ ජනාධිපතිවරණයට නියත වශයෙන්ම පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමය. පසුගිය සතියේ පැවැති රැස්වීමේදී බැසිල් පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ රනිල් යනු පරාජිත චරිතයක් යැයි කියාය. ඒ අනුව රනිල්ට සහාය දෙනවා යනුවෙන් කියද්දීම පොහොට්ටුවටද ඡන්ද සටන ආරම්භ කිරීමට සිදුවන්නේ පරාජිතව බවද බැසිල් එහිදී කියා ඇත. එමෙන්ම පළමු වතාවට බැසිල්ගේ කටින් පැන්න අලුත් කතාවක්ද මෙහිදී සඳහන් කළ යුතුව ඇත. ඒ, අලුත් අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම හරහා පොහොට්ටුවට දෙවැනි තැන දිනා ගැනීමේ අවස්ථාව ඇතිවා පමණක් නොව, ඉන් ඉදිරියට යෑමට අවස්ථාවද ඇති බවය. ඒ අනුව, දැන් ප්රශ්නය වී ඇත්තේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරාද, නාමල් රාජපක්ෂද යන්න පිළිබඳවය.
නාමල් අවුට්
කෙසේ වෙතත් පසුගිය සතියේ සිදුවූ එක්තරා සිදුවීමකින් පසු පොහොට්ටුවේ අපේක්ෂකයා මේ දෙදෙනාගෙන් කවුරුන්ද යන්න පිළිබඳ සියල්ලන්ටම යම් ඉඟියක් ලැබිණ. එහිදී බැසිල්, නාමල්ට අතිශය සමීප පුද්ගලයකු කැඳවා නාමල් සම්බන්ධයෙන් විශේෂ උපදෙසක් ලබාදීමට කටයුතු කොට තිබේ. එහිදී බැසිල් කියා ඇත්තේ නාමල් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා යනුවෙන් තැන් තැන්වල කියමින් යන වැඩේ සම්පූර්ණයෙන්ම නවත්වන ලෙසටය. පොහොට්ටුවේ අපේක්ෂකයා නියම වෙලාවට ඉදිරිපත් කරන බවත්, නාමල්ට ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා තව කල් ඇති බවත්, එතෙක් නාමල්ට පොහොට්ටුවේ ලොකු තනතුරක් ලබාදී ගමන් මාර්ගය සකස් කරගැනීමට ඉඩ ලබාදෙන බවත් බැසිල් මෙම පුද්ගලයාට සඳහන් කොට තිබේ. ඒ අනුව, නාමල් මෙවර පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නොවන බව හොඳටම පැහැදිලිය.
නාමල්ට දුන් තනතුර
පසුගිය සතියේ බදාදා පොහොට්ටුවේ විධායක සභාව රැස්වූයේ බැසිල් ඉඟි කළ පරිදිම නාමල්ට පක්ෂයේ ඉහළ තනතුරක් ලබාදීම සඳහාය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විධායක සභා රැස්වීමට රට වටෙන්ම කැඳවූ නිලධාරීන් සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය. විධායක සභාවේදී සිදුවූ ප්‍රධානම සිදුවීම වූයේ නාමල් රාජපක්ෂට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය ලබාදීමය. මෙහිදී ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා නාමල්ගේ නම යෝජනා කර සිටියේය. ජයන්ත කැටගොඩ යනු බැසිල් රාජපක්ෂගේ සමීපතමයෙකි. ඒ අනුව, ඒකමතිකව මෙම යෝජනාව සම්මත වීමත් සමග නාමල් පොහොට්ටුවේ ජාතික සංවිධායක ලෙසට පත්විය.
මීට පෙර ජාතික සංවිධායක ලෙස නාමිකව කටයුතු කළේ පොහොට්ටුව නිර්මාතෘ බැසිල් රාජපක්ෂය. නාමල් ඇත්තටම පැමිණ සිටියේ මැයි දිනය පිළිබඳ කතා කිරීමට වුවත් තමන්ට එදිනම ජාතික සංවිධායක ධුරය ලැබේ යැයි නාමල්ගේද බලාපොරොත්තු නොවීය. කෙටියෙන්ම කිවුවොත් නාමල් තමාට මෙම තනතුර ලැබේයැයි හාංකවිසියක්වත් දැන සිටියේ නැත. සියලු දෙනාම නාමල්ට සුබ පැතූ අතර බැසිල්, කංචන විජේසේකර, ජොන්ස්ටන්, ඩබ්.ඩී. වීරසිංහ, ජානක තිස්සකුට්ටිආරච්චි ඇතුළු මැති ඇමැතිවරු මේ අතර වූහ. මෙහි පැමිණ සිටි ප්‍රාදේශීය සභා සහ පළාත් සභාවල හිටපු මන්ත්‍රීවරු නාමල්ගේ පත්වීම ගැන සතුටට පත්ව සිටියහ.
එළියේ වළියක්
කෙසේ වෙතත් හොඳම සිද්ධිය සිදුවූයේ මෙම පොහොට්ටු විධායක සභාව රැස්වී මන්ත්‍රීවරුන් පිටතට පැමිණෙද්දීය. එහිදී පොහොට්ටුවේ ප්රචාරක කටයුතු සිදුකරන අයකු ලෙස සැලකෙන එරන්ද ගිනිගේ කංචන විජේසේකරට කළ විහිළුවක් දුරදිග ගොස් අතපය දික්කර ගන්නා තැනට පත්වූ ආකාරයක් දැකගත හැකි විය. මෙහිදී ගැටුමට මුල් වූයේ එරන්ද ගිනිගේ කංචන පැමිණෙද්දී ‘මේ රනිල්ගේ පුතාලා‘ යැයි කළ ප්‍රකාශයකි. මීට පෙරද එරන්ද සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ රනිල් සමග සිටින පොහොට්ටුවේ කංචන, ප්‍රමිත, ශෙහාන් වැනි අය ‘තාත්තලාගේ පුතුන්‘ නොව, ‘රනිල්ගේ පුතුන්‘ බව සඳහන් කොට තිබිණි. පක්ෂය සමග සිටින නාමල් රාජපක්ෂ තාත්තාගේ පුතකු යැයිද එරන්ද එහි සටහන් කොට තිබිණි. ඒ අනුව යමින් එරන්ද කංචනට ‘මේ රනිල්ගේ පුතාලා‘ යැයි කීමත් සමග යක්ෂාරූඪ වූ කංචන, ‘මොකක්ද කිව්වේ’ යැයි කියමින් එරන්දගේ කමිසයෙන් අල්ලා සොලවනු දැකගත හැකි විය. නමුත් වටපිටාවේ සිටි පිරිස් මැදිහත් වී දෙන්නා දෙපැත්තට කිරීම නිසා ඇතිවන්නට ගිය විශාල ගැටුමක් නවතාගත හැකි විය.
සන්ධානය පස්වැනිදා
මේ සියල්ල අතරවාරයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සතිය වන විට ඕනෑම මැතිවරණයක් ජයගැනීමට හැකි ආකාරයට ගොඩනගන විපක්ෂයේ දැවැන්ත සන්ධානය අත්සන් කරන දිනය පසුගිය සතියේ තීන්දු කළේය. ඒ, ලබන 05 වැනිදාය. එදිනට සමගි ජන බලවේගය සමග සිටින සියලු පක්ෂ, සංවිධාන හා ආණ්ඩුවේ සිට විපක්ෂයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග එදා මෙදාතුර විපක්ෂයක් විසින් නිර්මාණය කළ දැවැන්තම සන්ධානය බිහිකිරීමට සජිත් මේ වන විට සියලු සැලසුම් සකස් කොට ඇත.
විශේෂ පණිවුඩයක්
එමෙන්ම මෙම සන්ධානය බිහිකිරීමෙන් පසු තවත් විශේෂ පණිවුඩයක්ද සජිත් සිය මන්ත්‍රීවරුන් වෙත දැනුම් දීමට තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ. ඒ, ජනාධිපතිවරයා සමග සහ රාජපක්ෂ ආණ්ඩුව සමග යම් යම් දේශපාලන ගනුදෙනු සිදුකරන මන්ත්‍රීවරුන්ට තවදුරටත් සජබයේ නොසිට ජනාධිපතිවරයා සමග එක්ව දේශපාලනය සිදුකරන ලෙසටය. මීට පෙරද එක් අවස්ථාවකදී සජබ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී සජිත් මෙම පණිවුඩය සිය මන්ත්‍රීවරුන්ට ලබාදීමට පියවර ගෙන තිබිණි. එහිදී සජිත් කියා තිබුණේ ඕන කෙනකුට සජබයෙන් ඉවත්වී ජනාධිපතිවරයා සමග දේශපාලනය කිරීමට යෑමට දොර විවෘත බවත්, තමන් කිසිසේත්ම රාජපක්ෂලාගේ පිහිටෙන් බලයට පැමිණි රනිල් සමග හෝ රාජපක්ෂලාව ආරක්ෂා කරන රනිල් සමග හෝ දේශපාලනය සිදු නොකරන බවත්ය. තමන් සමග ඉතිරිව සිටින්නේ දහදෙනකුද, ඒ දහදෙනා සමග විපක්ෂයේ සිට දේශපාලනය කිරීමට තමන් සූදානම් බවද සජිත් එදා මන්ත්‍රී කණ්ඩායම හමුවේ ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව සන්ධානය ගොඩනැගීමෙන් පසුව නැවත වතාවක් සජිත් සූදානමින් සිටින්නේ ආණ්ඩුව සමග සහ ජනාධිපතිවරයා සමග හොරෙන් හොරෙන් ඩීල් දමන කිහිප දෙනා ඉලක්ක කොට මෙම ප්‍රකාශය නැවත වතාවක් සිදුකිරීමටය.
තවත් මෙහෙයුමක්
මීට අමතරව සන්ධානය ගොඩනැගීමෙන් පසු ආණ්ඩුවට එරෙහිව තවත් දැවැන්ත වැඩකට අතගැසීමටද සජිත් මේ වන විට තීන්දු කොට ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, වෙන මොකක්වත් නොව වත්මන් ජනාධිපතිවරයා යටතේ ආණ්ඩුව ඇතුළේ සිදුව ඇතැයි කියන මහාපරිමාණ දූෂණ වංචා රටට හෙළිකිරීමේ යන්ත්‍රණයක් සකස් කිරීමටය. මීට පෙර අවස්ථා කිහිපයකදීම සජිත් ආණ්ඩුව ඇතුළේ සිදුව ඇතැයි කියන මහාපරිමාණ වංචා කිහිපයකම තොරතුරු පාර්ලිමේන්තුවේදී රටට හෙළිකිරීමට පියවර ගෙන තිබිණි. ඉන් එකක් වන්නේ මත්පැන් නිෂ්පාදනයේදී සිදුව ඇතැයි කියන මහාපරිමාණ දූෂණ වංචාය. එහිදී සජිත් කියා සිටියේ ආණ්ඩුව වෘත්තිකයන්ට බදු පිට බදු ගැහුවද අරක්කු සමාගම්වල ගජ මිතුරන්ට බදු නොගසන බවත්, මේ නිසා බිලියන 50ක සුරාබදු ආදායමක් රටට අහිමිව ඇති බවත්ය. එමෙන්ම කෝටි ගණන් බදු නොගෙවූ අරක්කු සමාගම් හිමිකරුවන්ට එරෙහිව ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක නොකරන බවද සජිත් පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ඔක්කොම එළියට
සජිත් කළ මෙම හෙළිදරව්වෙන් පසු ඊට අදාළව තවත් විශේෂ තොරතුරු රැසක් විවිධ පාර්ශ්වයන්ගෙන් සජිත් වෙත ලැබෙන්නට විය. එහිදී මෙම ගනුදෙනුව පසුපස සිටින එක්තරා මන්ත්‍රීවරයෙක් පිළිබඳවද, කප්පම් මුදලක් ඉල්ලා සිටි පුද්ගලයෙක් පිළිබඳවද, ප්‍රබල නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු තවත් පුද්ගලයන් කිහිප දෙනකු පිළිබඳවද සජිත්ට තොරතුරු වාර්තා විය. ඒ අනුව සජිත් මේ වන විට සූදානමින් සිටින්නේ අරක්කු ගනුදෙනුව පසුපස සිටින මේ සියලු දූෂිතයන්ගේ තොරතුරු නම්ගම් සහිතව පාර්ලිමේන්තුවට හෙළිකිරීමටය.
මීට අමතරව පසුගිය කාලයේ තෙල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක සිදුව ඇතැයි කියන ගනුදෙනුවලදී මහාපරිමාණ වංචාවක් සිදුව ඇති බවටද සජිත් වෙත තොරතුරු ලැබී තිබිණි. සක්වළ වැඩසටහන හේතුවෙන් පසුගිය සතියේදී සජිත් කොළඹින් දුර බැහැරව සිටියද මේ ලැබුණු තොරතුරුත් සමග සජිත් වහාම කළේ සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සහ සජබ නොවන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එකවර දුරකතනයට සම්බන්ධ කොට ගෙන ඒ සියලු දෙනා සමග මේ පිළිබඳ සාකච්ඡා කිරීමය. එහිදී එම මන්ත්‍රීවරුන්ද සජිත්ට පෙන්වා දුන්නේ තවත් මහාපරිමාණ ගනුදෙනු කිහිපයක්ම පසුගිය කාලයේදී ආණ්ඩුව ඇතුළේ සිදුව ඇති බවත්, එහිද බරපතළ වංචා දූෂණ රැසක්ම සිදුව ඇති බවත්ය. නැගෙනහිර පළාත මුල්කරගෙන මේ වනවිට සිදුවන මහාපරිමාණ ඉඩම් අල්ලාගැනීමේ මෙහෙයුමක් සම්බන්ධයෙන්ද මෙහිදී සජිත් මන්ත්‍රීවරුන්ට දැනුම් දී සිටියේය.
ඊළඟ සන්ධානය
ඒ අනුව සාකච්ඡා අවසානයේදී තීන්දු වූයේ සන්ධානය ගොඩනැගීමෙන් පසු සජබ මන්ත්‍රීවරුන්, සජබ නොවන මන්ත්‍රීවරුන් සහ නීතිඥවරුන්, සිවිල් සංවිධාන ක්‍රියාකරුවන් එක්කොට පසුගිය කාලයේදී වත්මන් ජනාධිපතිවරයා යටතේ ආණ්ඩුව තුළ සිදුව ඇතැයි කියන මහාපරිමාණ වංචාවන් පිළිබඳ රටට තොරතුරු ශෙලිකරන මධ්‍යස්ථානයක් ගොඩනැගීමටය. ඊට ඇතුළත් විය යුතු මන්ත්‍රීවරුන්ගේ හා නීතිඥයන්ගේ නම් කිහිපයක්ම එහිදී සඳහන් වූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. ඒ සඳහා සජබ මූලස්ථානය නොවන වෙනත් ස්ථානයක් සකස් කළ යුතු බවද සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් විය. ඒ, ඕනෑම කෙනකුට එම ස්ථානයට පැමිණ ආණ්ඩුවේ වංචා දූෂණවල තොරතුරු ලබාදීමට හැකි වන ආකාරයටය.
අලුත්ම මතවිමසුම
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මත විමසුම් සිදුකරන ආයතනයක් මගින් සිදුකළ මත විමසුමක ප්‍රතිඵල අප පළමු වතාවට රටට හෙළිකළේ මීට දෙසතියකට ප්‍රථමයෙන්ය. එහිදී අප අනාවරණ කළේ මෙම මත විමසුමේ ප්‍රතිඵලවලට අනුව සජිත් ප්රමුඛ සජබය 39%ක් ලබා ඉදිරියෙන්ම සිටින බවත්, අනුර ප්රමුඛ ජා.ජ.බ.ය 20%ක් ලබා දෙවැනි තැන පසුවන බවත්, පොහොට්ටුව 9%ක් ලබා තුන්වැනි ස්ථානයේ පසුවන බවත්ය. ජනාධිපතිවරයා ප්රමුඛ එජාපයට 5%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවනු ඇති බවට අනාවරණ කොට ඇති බවද අපි කියා සිටි අප 24%ක ප්‍රතිශතයක් තවමත් ඡන්දය භාවිත කරනු ලබන්නේ කුමන පාර්ශ්වයකටද යන්න තීරණය කර නොමැති බවද සඳහන් කළෙමු. මේ මත විමසුමෙන් පැහැදිලිවම ආණ්ඩුව ජනතාව අතර කඩාවැටී සජබය ප්රමුඛ විපක්ෂය ඉදිරියෙන් සිටින බව අනාවරණ කොට ඇති බවද අපි පෙන්වා දුන්නෙමු. එමෙන්ම සදාචාරාත්මක හේතු මත අපි මෙම මත විමසුම සිදුකළ ආයතනයේ නම සඳහන් නොකිරීමටද පියවර ගත්තෙමු.
තවත් වැටෙනවා
කෙසේ වෙතත් මෙම මත විමසුම රටට අනාවරණ කිරීමෙන් පසු ඉකුත් සතියේදී තවත් විශේෂ මත විමසුමක තොරතුරුද කීර්තිමත් ආයතනයක් මගින් රටට අනාවරණ කිරීමට පියවර ගෙන තිබිණි. ඒ, වෙරිටේ රිසර්ච් ආයතනය මගිනි.
වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය මෙරට ජනතාවගෙන් 85% අනුමත නොකරන බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශයට පත්කළ ‘රට හිතන හැටි’ නවතම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය ඔක්තෝබර් මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී පහළ ගොස් තිබෙන බව ‘රට හිතන හැටි‘ නවතම සමීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය අනාවරණය කොට තිබිණ. ඔක්තෝබර් මාසයේදී 9%ක් වූ ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය පෙබරවාරි මාසයේදී 7%ක් දක්වා පහළ වැටී ඇති බව එම සමීක්ෂණයේ නවතම වාර්තාවෙන් හෙළිවූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
මෙරට ආර්ථිකය දුර්වල තත්ත්වයක පවතින බව 91%ක ජනතාවගේ අදහස බව රට හිතන හැටි නවතම සමීක්ෂණ වාර්තාවෙන් හෙළිවී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. එසේම 90%ක ප්‍රතිශතයක් රටේ ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින බවට එම සමීක්ෂණයේදී අදහස් දක්වා ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය. රටේ ආර්ථිකය හොඳ හෝ විශිෂ්ට මට්ටමක තිබෙන බවට අදහස් දක්වා ඇත්තේ 9%ක ප්‍රතිශතයක් පමණක් බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.