අනුරාධපුර රුවන්මැලි මහා සෑයට නොගිය කෙනෙක් ලංකාවේ නැති තරම්. මහ සෑයට පිවිසීමට පෙර ඔබට හමුවන තොරණ දෙසට මුහුණලා සිටින විට ඔබගේ වම් අත පැත්තෙන් දකින්න ලැබෙන්නේ මල් ඇතුළු පූජා භාණ්ඩ අලෙවි කරන කඩ සමූහයක්. මේ කඩ පේළිය පසුකරගෙන ඉදිරියට යන විට හමුවෙන දොළොස්මහේ දන්සල අසලින් මඳක් ඇතුළට හැරෙන විට නටබුන් වී ගිය චෛත්‍යයක් ඔබට දකින්න ලැබෙනවා. ඒ තමයි කුජ්ජතිස්ස සෑය. එහෙමත් නැත්නම් සිලා චේතිය. කුජ්ජතිස්ස මහරහතන්වහන්සේගේ ධාතුන්වහන්සේලා තමයි මෙම සෑයේ තැන්පත් කර තිබෙන්නේ. උන්වහන්සේ සසර බොහෝ කාලයකට පෙර මී පැණි වෙළෙන්දෙක්. ඔහුට තවත් වැඩිමහලු සහෝදරයන් දෙදෙනකු සිට ඇති අතර, තිදෙනාම එකතු වී කැලයෙන් මීපැණි කඩාගෙන ඇවිත් වෙළෙඳාම් කර තිබෙනවා. දවසක් බාලම සහෝදරයා මීපැණි පෙළෙඳසලේ නවත්වා අනෙක් සහෝදරයන් දෙදෙනා මීපැණි කඩන්න කැලයට ගියා. ඒ අතරතුර පසේබුදුරජාණන් වහන්සේ නමක් මීපැණි සොයාගෙන පිඬුසිඟා වැඩියා. ඒ වෙලාවේ දිය ගෙන ඒමට ගිය දාසියක් උන්වහන්සේව දැක වන්දනා කරලා, ‘ස්වාමීනි අවේලාවේ පිඬුසිඟා වඩින්නේ කුමන දෙයක් අපේක්ෂාවෙන්දැ’යි විමසා සිටියා. උන්වහන්සේ මී පැණිවල අවශ්‍යතාව සඳහන් කළ නිසා දාසිය මීපැණි වෙළෙඳසල පෙන්නුවා. (Sri Lanka Latest News)
පසේබුදුරජාණන් වහන්සේ වෙළෙඳ සලට වැඩිය පසු බාල සහෝදරයා උන්වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන පාත්‍රයෙන් පැණි උතුරා යන තෙක්ම සිත් සේ පැණි පූජා කළා. ‘මේ මීපැණි දානය හේතුවෙන් මට මේ දඹදිව තනි රජෙක් වෙන්නට ලැබේවා. මගේ ආඥාව ආකාසයෙහි යොදුනක් දුර පැතිරේවා. පොළොවේත් යොදුනක් දුර පැතිරේවා’ යැයි ඔහු මීපැණි පූජා කරමින් ප්‍රාර්ථනා කළා. අනෙක් වැඩිමහල් සහෝදරයන් පැමිණි පසු මේ පින ඔහු ඔවුන්ටද අනුමෝදන් කළා. පළමුව අසතුටු වුණත් ඔවුන් පසුව සතුටු වී පින අනුමෝදන් වුණා.
ඒ කළ පින්කමේ ආනුභාවයෙන් එසේ මීපැණි සියතින්ම පූජා කළ ඔහු දෙව්ලොව ඉපදී දිව්‍ය සැප සම්පත් විඳ එයින් අනතුරුව ඉන්දියාවේ ඉපදී ධර්මාශෝක නමින් අග රජු බවට පත්වූවා. ඔහුගේ අණසක අහසේ යොදුනක් දුරද, පොළොවේ යොදුනක් දුරද පැතිරුණු අතර, මහානුභාවසම්පන්න තේජස් ඇති රජකු බවට ඔහු පත්වුණා. අශෝක අධිරාජ්‍යයා බුදු සසුන කෙරෙහි පැහැදී අසූහාර දහසක් වෙහෙර විහාර සාදවා පූජා කළා. මහින්ද නම් තමන්ගේ පුත් කුමාරයාද සංඝමිත්තා නම් දූ කුමරියද ගෞතම ශාසනයට පූජා කළා. බුදු සසුන බැබැළවීමට අපමණ වූ කැපවීමකින් අවුරුදු 41ක් රාජ්‍ය කළ ඔහු පසුව මරණයට පත්වුණා. අවසාන මොහොතේ සේවිකාවකගේ උකුල මත හිස තබාගෙන සිටි ඔහුට සේවිකාව කකුල සෙලවීම නිසා සිතේ කේන්තියක් හටගත්තා. එලෙස ද්වේශසහගත සිතින් මරණයට පත්වීම නිසා පසුව රජු ප්‍රේත ආත්මයක් ලද බවයි අසන්නට ලැබෙන්නේ. පසු කලෙකදී ලංකා දීපයේ උපත ලැබූ ඔහු නිසි වයසට පැමිණි පසු බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලබා උතුම් රහතන් වහන්සේ නමක් බවට පත්වුණා. උන්වහන්සේ ප්‍රසිද්ධියට පත්වුණේ මංගන වැසි කුජ්ජතිස්ස මහ රහතන් වහන්සේ යන නමිනුයි.
දිනක් සද්ධාතිස්ස රජතුමා විසින් ‘සත්කාර කළ යුතු, වැඳිය යුතු රහතන් වහන්සේ නමක් මට කියනු මැනවැ’යි මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටියා. භික්ෂුන්වහන්සේ මංගන වැසි කුජ්ජතිස්ස තෙරුන් වහන්සේ ගැන රජුට කියා සිටියා. රජතුමා පිරිවරද කැටුව යොදුන් පහක් දුර ගෙවා තෙරුන් වහන්සේ මුණගැසීමට ගියා. මහ පිරිසේ ශබ්දය ඇසුණු තෙරණුවෝ මේ කුමන ශබ්දයක් දැයි අසා උන්වහන්සේ දැකීමට රජු පැමිණෙන්නේ යැයි දැනගත්තා. මහලු කල මට රජ මැඳුරේ කවර වැඩක්දැයි සිතූ උන්වහන්සේ දහවල් වේලාවේ ඇඳෙහි වැතිර බිම ඉරි අඳිමින් සිටියා. රජතුමා තෙරණුවන් කොහේ දැයි විමසා දිවා ස්ථානයේ බව දැනගෙන එහි යන විට තෙරණුවෝ බිම ඉරි අඳිමින් ඉන්නා ආකාරය දැක ‘රහතන් වහන්සේලා අතින් විකාර වැඩ නොකෙරෙති. මොහු රහතන් වහන්සේ නමක් නොවේ’ කියා නොවැඳම පිටත්ව ගියා. පසු කලෙකදී තමාගේ ආයු සංස්කාරය පිරිහී ගිය බව දත් තෙරණුවෝ සද්ධාතිස්ස රජුගේ කලකිරීම දුරුකිරීම සඳහා අධිෂ්ඨානයක් කළ යුතු යැයි සිතා මෙසේ අධිෂ්ඨාන කළා. ‘එසේ නම් මාගේ සිරුර කළු ගෙයක තබා ආදාහනය කිරීම පිණිස පූජාව පවත්වන කල්හි ඒ සිරුර සහිත කුළුගෙය මිනිසුන්ගේ අතින් මිදී අහසේ රජගෙට ගොස් රජු විසින් දුටු විටක බිම පිහිටාවා’ යන්නයි. පිරිනිවන් පාන්නට මත්තෙන් මාගේ මාගේ කුළුගෙයි වෙනත් ආසනයක්ද පිළියෙල කරන්න යැයි උන්වහන්සේ අනෙක් භික්ෂුන්වහන්සේලාට පැවැසුවා. පසුව උන්වහන්සේ එක් ආසනයක පිරිනිවන්පා වදාළා.
රන්සිවිගෙය පස් යොදුන් මග අහසින්ම ගියා. ඒ යන මාර්ගයේ ගස්ද පඳුරුද කුළුගෙය දෙසට නැමී ගියා. කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ පිරිනිවුණු බවත්, කුළුගෙය අහසින් එන බවත් දන්වා රජුට පණිවුඩ එවූවද එය රජු විශ්වාස කළේ නැහැ. ඉන් පසු එම කුළුගෙය ථූපාරාමය පැදකුණු කොට ශිලා චෛත්‍යය පිහිටි තැනට ගිය කල්හි චෛත්‍ය භූමියත් සමග උඩට නැගී කුළුගෙට උඩින් පිහිටියා. එවිට දහස් ගණන් මිනිසුන් සාධුකාර දුන් අතර, ලෝවාමහාපායේ සත්වැනි මහලේ විනය කර්මයක් කරමින් උන් මහා ව්‍යග්ග නම් තෙරණුවෝ ‘මේ කවර ශබ්දයක් දැ’යි ඇසුවා. ‘ස්වාමීනි, මංගන වැසි තෙරුන්වහන්සේ පිරිනිවන් පා වදාළා. රන්සිවි ගෙය අහසින්ම වැඩියා. මේ ඒ සාධුකාර නාදයයි’ යනුවෙන් පැවැසුවා. එවිට උන්වහන්සේ ‘පින්වතුන් නිසා මමත් සත්කාර ලබන්නෙමි’යි සිතා අතවැසියන් කතාකරවා අහසින් වැඩමකොට සිවුගෙයට පිවිස දෙවැනි යහනේ හිඳ පිරිනිවන් පෑවා.
කුජ්ජතිස්ස තෙරණුවන් සමග එකට පිරිනිවුණු මහා ව්‍යග්ග තෙරුන් වනාහි මීපැණි පූජා කළ පින අනුමෝදන් වූ එක් සහෝදරයෙකි. ඉන් පසු දෙව්ලොව ඉපදී පසුව ලංකාවේ දේවානම්පියතිස්ස නමින් රජ වී බුද්ධ ශාසනයට තම ලංකාද්වීපය පූජා කරමින් මහත් සේවයක් කර කලුරිය කළාට පසු නැවත ලංකාවේම උපත ලබා සසුන්ගත වී මහා ව්‍යග්ග රහතන් වහන්සේ නමින් ප්‍රසිද්ධ වූයේ උන්වහන්සේයි. පසුව සද්ධාතිස්ස රජු පැමිණ මල් සුවඳ ආදිය රැගෙන ගොස් අහසේ තිබුණු කුළුගෙයට පූජා කළා. ‘ස්වාමීනි, ඔබවහන්සේ ජීවමාන කාලයේ මට කරුණා නොකළහ. ඔබවහන්සේගේ ගුණය සැඟවූහ. දැන් මා කෙරෙහි අනුකම්පාවෙන් මෙහි වැඩි සේක. මට සමාවනු මැනැවැයි’ සමාව අයැද සිටියා. එවෙලේම සිවුගෙය පහතට බැස භූමියේ පිහිටියා. රජතුමා මහත් පූජා සත්කාර කොට ආදාහන කටයුතු නිමවා ධාතුන්වහන්සේලා ගෙන සෑයක් කෙරෙව්වා. කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ ඍද්ධි ප්‍රාතිහාර්ය පාමින් පිරිනිවන් පෑ ස්ථානය අදටත් අනුරාධපුරයේ ගඩොල් පමණක් ඉතිරි වුණු සෑයක් ලෙස මෙසේ දක්නට ලැබෙනවා. එය කුජ්ජතිස්ස පබ්බත ලෙසත් හඳුන්වනවා.
මේ උතුම් පුදබිම බොහෝ දෙනාගේ අවධානයට ලක්වන්නේ නැහැ. මහ සෑය වන්දනා කරන්න එන ඔයාලා හැමෝම දැන් මේ ස්ථානය ගැන දන්න නිසා අනිවාර්යයෙන්ම මෙම ස්ථානයට පැමිණ වන්දනා කරගන්න. මේ සංසාර ගමනේ එකටම පින් කොට නැවත අවසන් ආත්මයේදී එකටම ලංකාවේ ඉපදී බුදු සසුනේ පැවිදි වී මහරහත්භාවය ලැබූ උන්වහන්සේ දෙනමම සිහි කරගන්න. ඒ වගේම මෙම ස්ථානය ප්‍රතිසංස්කරණය වනු දැකීම අපේ ප්‍රාර්ථනාවයි.
Life with Merits යූටියුබ් නාලිකාවෙනි









