ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් හෙට (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කළේය.Sri Lanka Latest News
ඒ, ප්‍රතිදේහ එන්නත් සම්බන්ධ නඩුව අද මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
අමාත්‍යවරයාට විදෙස් ගමන් තහනමක් පැනවීමටද එහිදී මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේය.
ව්‍යාජ ලේඛන සකස්කරමින් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් මාත්‍රා සැපයීම, මිලදීගැනීම සහ මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීම සම්බන්ධයෙන් වූ නඩුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවීය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට CIDය හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දන්වා තිබියදී ඔහු නොපැමිණීම සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය එහිදී කරුණූ ඉදිරිපත් කළාය.
“ස්වාමීනි, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ඊයේ දින ප්‍රකාශයක් ලබාදෙන ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට CIDය දැනුම්දී තිබුණා. නමුත් ඔහු ප්‍රකාශයක් ලබාදීමට පැමිණියේ නැහැ. පසුව ඔහු ලිඛිතව දැනුම්දී තිබුණා මහාධිකරණයේ පැවති නඩු කටයුත්තකට සහ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවකට සහභාගී වූ නිසා පැමිණීමට නොහැකි වුණා කියලා.”
“ස්වාමීනි ඒ සම්බන්ධයෙන් අපි විමර්ශනයක් කළා. ඔහුගේ නඩුව අවසන් වෙලා තියෙන්නේ පස්වරු 1.05ට. එමෙන්ම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවට ඔහු සහභාගී වී නැහැ. එබැවින් ඔහු හිතාමතා ප්‍රකාශ ලබාදීම පැහැර හැර ඇති බැවින් හෙට දින පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දෙන්නැයි නියෝග කරන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”
මෙම කරුණු දැක්වීම සැලකිල්ලට ගෙන මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය පැවසුවේ, කෙහෙළිය රඹූක්වැල්ල මහතා නිසි උද්යෝගයකින් පරීක්ෂණවලට සහය ලබානොදෙන බව පෙනීයන බැවින් වහාම හෙට පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසය.
එමෙන්ම අමාත්‍යවරයාට රටින් පිටවීම වළක්වාලමින් විදෙස් ගමන් තහනමක් පනවන ලෙසද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර මහෙස්ත්‍රාත්වරිය එම ඉල්ලීමට අවසර ලබාදෙමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදෙස්ගත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.
පැය 5කට ආසන්න කාලයක් ඉදිරිපත් වූ කරුණු සලකාබැලීමෙන් පසු මෙම නඩුවේ 5 වැනි සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලක සුජිත් කුමාර නමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළාය.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු සෙසු 6 දෙනා පෙබරවාරි 15 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කෙරුණි.










