ඩොලර් බිලියන 9.5ක දේපොළක් තියෙනවා… ලංකාවේ උපන් තාත්තා මැලේසියාවේ දෙවැනි ප්‍රධානතම ධනකුවේරයා… පැවිදි ජීවිතයේ දැන් අවුරුදු 20ක් සම්පූර්ණ කළා…
මාධ්‍යවේදියා(Sri Lanka Latest News)
ඔබවහන්සේගේ ජීවිතය වරක් සමාජය විසින් හඳුන්වා දී තිබුණේ ඔබ නූතන ලෝකයේ සිද්ධාර්ථ ගෞතම විදියටයි. එකල බුද්ධත්වය පතා ගිය සිද්ධාර්ථ කුමාරයාත් තමන්ගේ ගිහි ගෙයින් නික්මිලා ගියේ තමන්ගේ පරම්පරාවට අයත් මහා ධන නිධානයක් අතහැරලා. මේ විදියට පසු සමාජයේදීත් ධනවත් පවුල්වල දරුවන් ගිහිගෙය අතහැර යනවා අප දැකලා තියෙනවා. එහෙත් ඔබගේ කතාව ඊට වඩා බොහෝ වෙනස් එකක්. ඔබ මැලේසියාවේ සිටින දෙවැනි මහා ධනකුවේරයාගේ පුතා. ඔබ තායිලන්තයේ ආරණ්‍ය සේනාසනයක බණ භාවනා කරන්න ගියේ කෝටි දහස් ගණනක දේපළක් අතහැරලා?
පූජ්‍ය අජාන් සිරිපාන්යෝ හිමි
ඒ අතිඋත්තම සිද්ධාර්ථ ගෞතම විදියට මා හඳුන්වා දීම අවශ්‍ය නැහැ. එහෙත් සැබෑ ලෙසම මනුෂ්‍ය ජීවිතයේ නිසරුභාවය ගැන කලකිරී තමයි මම පැවිදි වන්නට තීරණය කළේ. මගේ මවුපියන්ට තිබෙන ධනවත්කම් ගැන ලෝකයම දන්නවා. එහෙත් මට ඒවායින් වැඩක් නැහැ. පිරිසිදු ථෙරවාදී බුදු දහම අවබෝධ කරගෙන ඒ අනුව ජීවත් වීමයි මගේ ප්‍රාර්ථනය. ඒ සඳහා මම සියලු සැප සම්පත් අතහැරලා දාලා ආවා. වන සෙනසුනක ආරණ්‍යගතව බෞද්ධ භාවනාවන් සිදුකරමින් ජීවත්වීම තරම් සතුටක් මට තවත් නැහැ. ඒ අතරේ මම ලබාගන්නා බොදු දැනුම අනෙක් අයටත් ලබාදීමට කටයුතු කරනවා.
මාධ්‍යවේදියා
ඔබවහන්සේ පැවිදි ජීවිතයට පිවිසිලා දැනට වසර 20ක පමණ දීර්ඝ කාලයක් ගතවෙලා. ඔබ බොහෝ ප්‍රකටව මෙම කාලය තුළදී ධර්ම ප්‍රචාරක කටයුතු සිදුකරනවා. ඔබට දස දහස් ගණනින් අනුගාමිකයන්ද සිටිනවා. මෙම අතීතය තුළ ඔබගේ ශාසනික මෙහෙවර කුමන එකක්ද? එසේම ඔබවහන්සේ මෙම ජීවිතයට මුලින්ම පිවිසියේ කුමන වටපිටාවක් යටතේද?
පූජ්‍ය අජාන් සිරිපාන්යෝ හිමි
මගේ තාත්තා මුලින්ම ශ්‍රී ලාංකික සම්භවයක් තිබුණු මැලේසියානු ජාතිකයෙක්. මගේ අම්මා තායිලන්ත ජාතික කාන්තාවක්. මේ අනුව මම මැලේසියාවේ හිටියත් අම්මාගේ රට වන තායිලන්තයටත් බොහෝ පිය කළා. මම තරුණ වයසේදී එංගලන්තයේ තමයි අධ්‍යාපනය හැදෑරුවේ. තාත්තා මමත්, නංගිලා දෙන්නත් එංගලන්තයේ අධ්‍යාපනයට යොමුකරලා තිබුණේ. මට වයස අවුරුදු 16-17 වගේ කාලයේදී අම්මත් සමග තායිලන්තයට ගියාම එහේ තිබෙන කැලෑබද ආරණ්‍යවල මම තාවකාලික බණ භාවනා කළා. එහෙම කරලා මම නැවත ගිහි ජීවිතයට ඇවිත් කටයුතු කරනවා. මෙහෙම ජීවත් වන අතරවාරෙදී මට අවුරුදු 18 පමණ වන විට ලෝකයේ අතිශයින්ම ප්‍රකට ආරණ්‍ය සේනාසන නායක භික්ෂුවක් වන තායි ජාතික අතිගරු අජාන් චා ස්වාමින්වහන්සේගේ වන සෙනසුනේ පැවිදි විය යුතුයි කියලා. එවිට උන්වහන්සේ අපවත්වී සිටියත් තවත් ප්‍රධානතම ගෝල හිමිවරුන් කිහිප නමක් සිටියා. ඒ අනුව මම එහි පැවිදි වුණා.
මාධ්‍යවේදියා
ඔබවහන්සේ සසුන්ගත වුණු අතිපූජ්‍ය අජාන් චා හිමිනම මුලින් ආරම්භ කළ වන සෙනසුනෙහිද ඔබ තවම වැඩඉන්නේ? අජාන් චා නායක හිමියන් මාර්ගඵලලාභී භික්ෂුවක් යැයි පැවැසෙනවා. උන්වහන්සේට ලොව වටා මිලියන ගණනක අනුගාමිකයන් සිටිනවා?
පූජ්‍ය අජාන් සිරිපාන්යෝ හිමි
ඒක ඇත්ත. අජාන් චා හිමියන් මාර්ගඵල කිහිපයක්ම ළඟාකරගත් ඉතා සිල්වත් භික්ෂුවක්. උන්වහන්සේ වනයේ භාවනා කරන විට කොටින්, ව්‍යාඝ්‍රයන් වගේ භයානක සතුන් උන්වහන්සේ ඉදිරියෙහි බිම සැතපී සිට තිබෙනවා. කිසිම විටෙක ඒ සතුන් උන්වහන්සේට හිරිහැර කරලා නැහැ. උන්වහන්සේගේ ආශ්චර්යයන් ගැන කතන්දර රැසක් තිබෙනවා. මම එම සෙනසුනේ වසර ගණනාවක්ම ධර්මය හදාරා පසුව මම හදාගත් වෙනත් සෙනසුනකට ආවා. එහි නායකත්වය මම දරනවා.
මාධ්‍යවේදියා
ඔබවහන්සේ බොහෝ අල්පේච්ඡ ජීවිතයක් ගතකරන බව සඳහන් වෙනවා. සසුන්ගත වූ සමයේ සිටම පිඬුසිඟා වඩිමින් ආහාර සොයාගන්න බවයි පැවසෙන්නේ. ඔබගේ මවුපියන් පසුගිය වසර 20ක කාලය තුළදී ඔබගේ සුවදුක් බැලීමට පැමිණියාද?
පූජ්‍ය අජාන් සිරිපාන්යෝ හිමි
ඔව් පැහැදිලිවම. මගේ මවුපියන් වසරකට දෙවතාවක්වත් මගේ සෙනසුනට එනවා සුවදුක් බලන්න. එහෙත් තවමත් මගේ කටයුතු සඳහා මම ඒ අයගේ ධනය කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හින්දු ආගමික පවුලක හින්දු බැතිමතකු විදියට ශ්‍රී ලංකාවේ යාපනයේදී උපන් මගේ තාත්තා, පසුව මැලේසියාවට ඇවිත් බෞද්ධයකු බවට පත්ව තිබෙනවා. ඒ මගේ අම්මා තායි ජාතික බෞද්ධ කාන්තාවක් නිසා. මගේ තාත්තා මැලේසියාවේ දෙවැනි ධනකුවේරයා වුණත් ඔහු හොඳ බෞද්ධයකු හැටියට තමන්ගේ ධනය විශාල ප්‍රමාණයක් ආගමික කටයුතුවලට වැය කරනවා.
කුමක්ද මෙම හැඟුම්බර සංවාදය? මෙයට ටික දිනෙකට පෙරදී මෙම වගතුග අසන්නට ලැබුණේ තායිලන්තයේ ප්‍රකට පුවත්පතක පළවූ විශේෂ ලිපියකිනි. යම් මාධ්‍යවේදියකු විසින් එක්තරා බෞද්ධ භික්ෂුවක සමග සිදුකරන ලද විශේෂ සංවාදයක් එහි සටහන් විය. මෙම භික්ෂුව යම් සුවිශේෂ ජීවිත සටහනක් තැබූ චරිතයකි.
තවමත් තාරුණ්‍යයේ පසුවන ඔහුගේ නම වන්නේ අජාන් සිරිපාන්යෝ (Ven Ajahn Siripanyo) වෙයි. එනම් දැනට 37 වැනි වියෙහි පසුවන ඔහු පැවිදි ජීවිතයට ඇතුළු වන්නේ වයස අවුරුදු 18දී පමණය. ඉහත පුවත්පත් ලිපිය පළව ඇත්තේ උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ වසර 20 සම්පූර්ණ කරන විටදීය. අජාන් සිරිපාන්යෝ හිමියන්ගේ ජීවිත කතාව සැබෑ ලෙසම ඉතිහාසගත එකක් වනු ඇත. එනම් ඔහුගේ පියා වන ආනන්ද ක්‍රිෂ්ණන් යනු දැනට මැලේසියාවේ සිටින දෙවැනි ප්‍රකෝටිපතියාය. ඔහු දැනට දශක කිහිපයක සිට මැලේසියාව තුළ දේපළ වෙළෙඳාම්, තෙල් හා ගෑස් කැණීම්, මාධ්‍ය ක්ෂේත්‍රය, කැසිනෝ ව්‍යාපාර, විදුලි සංදේශ සේවා සහ මූල්‍ය සේවාවලට අදාළ විවිධ ව්‍යාපාර රැසක හිමිකරු වෙයි.
ඇමෙරිකානු ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන ෆෝබ්ස් ප්‍රකාශයනයට අනුව ඔහුගේ මුළු වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 9.5ක් පමණ බව පැවැසෙයි. 85 හැවිරිදි ආනන්ද ක්‍රිෂ්ණන් උපත ලබා ඇත්තේ යාපනයේ ග්‍රාමීය ප්‍රf්දශයක බව පැවැසෙයි. ඔහු කුඩා අවධියේදී තම මවුපියන් සමග මැලේසියාවට පැමිණ ඇත. කාලය ගතවෙද්දී ඔහු හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සහ මෙල්බර්න් විශ්විවිද්‍යාලයෙන් උපාධි දෙකක්ද හිමිකරගෙන ඇත. මේ ආකාරයට ඔහු ව්‍යාපාර ක්ෂේත්‍රයට අදාළව උසස් පරිචයක්ද ලැබූ පුද්ගලයෙකි. ඒ අනුව ඔහු නිතර සාර්ථක ව්‍යාපාර සිදුකරනු ලැබුවේය.
නොයෙකුත් සුවිශාල සුපිරි ගොඩනැගිලි, සුඛෝපභෝගී යාන වාහන, ජෙට් යානා මෙන්ම නාවික යාත්‍රාද මෙම මැලේසියානු ධන කුවේරයා සතුව ඇත. ඔහු මෙලෙස තම ජීවිතය ගතකරමින් සිටින විටදී දිනක් ඔහුගේ තායි ජාතික බිරිය ප්‍රකාශ කර ඇත්තේ තිගැස්සෙන පුවතකි. එනම් ඇය තම ස්වාමියා වන ආනන්ද ක්‍රිෂ්ණන් හට ප්‍රකාශ කර ඇත්තේ තමාගේත්, ඔහුගේත් එකම පුත්‍රයා ගනු ලැබූ ආන්දෝලනාත්මක තීරණයක් ගැනය. ඇය ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ගේ පුත්‍රයා ගිහි ගෙය හැරදා පැවිදි බිමට පිවිසීමට තීරණය කර ඇති බවය.
එම පුවත ඇසූ පියා ඒ අවස්ථාවේ මහත් සංවේගයට සහ සන්තාපයට පත්වූ බව පැවැසෙයි. තමන් සතු මහා ධනය ඉදිරි කාලයේදී පවරන්නේ කාටදැයි ඔහු බොහෝ දුක්බරව තම බිරියගෙන් විමසා ඇත. එවිට ඇය ප්‍රකාශ කර ඇත්තේ තම පුතු පසුගිය කාලයේ කිහිප වතාවක් තමන් සමග තායිලන්තයට ගිය විටදී අතිපූජ්‍ය අජාන් චා හිමියන්ගේ වන සෙනසුනේ තාවකාලිකව බණ භාවනා සිදුකළ බවත්, පසුව වසර දෙකක පමණ කාලයක් ගතවෙද්දී එම සෙනසුනේම පැවිදි වීමට තීරණය කළ බවත්ය. මෙම තීරණය ඔහුගේම ආශාව මත ගත් එකක් හෙයින් එයට විරුද්ධත්වයක් ප්‍රකාශ කළ යුතු නැතැයි ඇය තම ස්වාමියාට ප්‍රකාශ කර ඇත.
මෙම කතාව මුළුමහත් ලෝකයෙන්ම ඉතා දුර්ලභ ලෙස අසන්නට ලැබුණු ඉතිහාසගත එකකි. එහි කිසිදු තර්කයක් නැත. අපගේ රටෙන් පමණක් නොව ලෙව අන් කිසිදු රටකින් හෝ මෙවැනි වගතුගක් අසන්නට ලැබී නැත. ඒ ආනන්ද ක්‍රිෂ්ණන් මැලේසියාවේ දෙවැනි ධනකුවේරයා වීම හේතුවෙනි. මැලේසියාව යනු ඉතා දියුණු ආර්ථිකයක් ඇති ධනවත් රාජ්‍යයකි. මෙම වගතුග සැබෑ ලෙසම නූතන යුගයේ සිද්ධාර්ථ ගෞතම කතාවක් නොවේද?
ප්‍රියන්ත හෙට්ටිගේ










