ලෝකය වෙනස් වී තිබේ. බොහෝ සේ අලුත් වී තිබේ. බොහෝ රටවල් සංවර්ධනයේ සීමා මායිම් පැන ගොස් අවසන්ය. මිනිස්සු යන්ත්‍ර බවට පත්වය. සොබාදහම අභිභවා ගොස්ය. ලෝකයේ බොහෝ රාජ්‍යයන් උන්නේ සියල්ලට ඉහළින්ය. නමුත් 2020 උදාවෙන්නේම මේ සියල්ල උඩු යටිකුරු කරමිනි. ඒ අපි කවුරුත් දන්නවා පරිදි ‘කොවිඞ් 19’ රෝගය නිසාය. චීනයෙන් ඇරඹුන මේ බරපතළ වසංගතය අපි මේ ලියනා මොහොත වනවිට ලෝකයේ රටවල් සිය ගණනක් සම්පූර්ණයෙන් වසා දමනා තත්ත්වයට ගෙන විත් තිබේ. චීනය හති අරිමින් හිඳී. ඉතාලිය හඬා වැටෙයි. යුරෝපයේ බොහෝ සංවර්ධිත රාජ්‍යයන්ගේ තත්ත්වයත් ඒකය. ඔබ මෙය කියවනා මොහොත වනවිට රෝගීන් ලක්ෂ 6ට කිට්ටුව තිබිය හැක. මරණ ගණන ගැන අනුමාන කරන්නට තරම් අපට පහතට වැටිය නොහැක. නමුත් දැන් එය පහළොස් දහසකට ඉක්මවා ගොසින්ය.

නමුත් මේ කතාව අතුරු කතාවකි. මේ ලියනා මොහොත වන විට කොවිඞ් 19 සඳහා යම් තරමක සාර්ථක යැයි හිතා බෙහෙතක් හඳුනාගෙන අවසන්ය. ඒ ගැන නිශ්චිත නිගමනවලට එළඹෙන්නට අපි දන්නේ නැත. ඒ මැලේරියාවට දුන්න බෙහෙතයි. අපේ මිනිස්සුන්ට මේ පෙත්ත සමග යම් තරමක යාළුකමක් තිබේ. නමුත් මේ ගැන මුලින්ම කීවේ ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ය. ලංකාවත් ඒකට සූදානම් වන බවට ඉඟි තිබේ. නමුත් ඒ පිළිබඳ වගකිවයුතු නිලධාරීන් කියන්නේ මේ බෙහෙත් නිර්දේශයකින් තොරව භාවිතය නොකළ යුතු බවය.
මේ සියල්ල අතර අපි මෙවැනිම බරපතළ ව්‍යසනයකට අප රටක් ලෙස මුහුණ දුන් ඉතිහාසය සොයා යමු. ඒ අර පෙර කී මැලේරියා සමයයි. මැලේරියාවෙන් දහස් ගණනක් මිය ගිය වගක් අප අසා තිබේ. මේ ඒ පිළිබඳ කියන්නෙ මැලේරියා මර්දන ව්‍යාපාරයේ එවක කටයුතු කළ ලෙස්ලි ජිනදාස මහතාය. ඒ මතකයන් අවුස්සන්නේ මේ සිදුවෙමින් යන බොහෝ දේ සමග එදා සිදුවීම් යම් තරමකට සමාන නිසාය.
“ඉස්සර ඒ වෙලාවෙ මේ වගේ නෙමේ. ඉස්පිරිතාල සම්පූර්ණයෙන්ම පිරිලා. මැලේරියාව හැම තැනකම. මිනිස්සුන්ට යන්න ඉස්පිරිතාල නෑ. ඒ නිසා මැලේරියාව හොයන්න කට්ටියව ගත්තා. ඒ අයගෙ වගකීම වෙන්නෙ මැලේරියාව හොයාගෙන යන එක. ලේ ගන්නෙ ගෙවල්වලට ගිහිල්ලා.

ඒ විදියට බලන සමහර ලේ සාම්පල් සීයකින් සීයකම මැලේරියාව. සමහර තැන්වල ගම් පිටින් මැලේරියාව හැදිලා. කර ගන්න දෙයක් නැති තැනකට පත්වෙලා.
සමහර වෙලාවට අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, තිස්සමහාරාම, මොනරාගල. ඈත පිටිසර ගම් හොයාගෙන යනවා. සමහර වෙලාවට හේන්වලට යන්න කිලෝමීටර විස්සක් විතර යන්න වෙනවා. ඒ කියන්නෙ යන්න විස්සයි එන්න විස්සයි. එක දවසක් නෙමෙයි. දෙතුන් පාරකට වඩා යන්න වෙනවා.
මේ සටන කාලයක් තිස්සෙ කරගෙන යන්න වුණා. ඒක ලොකු වැඩක්. විශාල පිරිසක් වැඩ කළා. ඒ අය දිවා රෑ නැතිව කරපු මෙහෙවර නිසයි මේ විදියට මැලේරියාව මර්දනය කරගන්න පුළුවන් වුණේ”
ඔහු තවත් අපූරු කතාවක් කියයි.
“මේ වෙලාවෙ එදා වැඩ කරපු අයගෙ උදව්ව ගත්තා නම් ඒක සාර්ථක වෙයි.
මම නං කැමතියි කතා කරනවා නං ආයෙ වැඩ කරන්න”

මේ වෙලාවේ කරළියට පැමිණ ඇති මැලේරියා පෙත්ත ගැන ද ඔහු අප සමග කීවේය. හැබෑවටම ඒ කතාව දන්නේ මේ අයයි.
“මුලින්ම ලෙඩ වෙන අයට දෙන්න ගත්තා කැමෝක්වීන්, පයිරමෙතමයින් කියන පෙතිවර්ග දෙක. පස්සෙ ඒ එක වර්ගයක අතුරු ආබාධ වැඩියි කියලා පයිරමෙතමයින් එක්ක ක්ලෝරොක්වීන් දෙන්න පටන් ගත්තා. මේ බෙහෙත හරියටම නියමිත මාත්‍රාව ගත්ත අයට සනීප වුණා. ඒවෙලාවෙ අපිට වුණා මිනිස්සුන්ට බෙහෙත් පොවන්න. කෙලින්ම කට අරින්න කියලා කටට පෙති අහුර දැම්මා. බෙහෙත් දුන්න අයව බලන්න හැමදාම ෆීල්ඞ් විසිට් ගියා. සමහර වෙලාවට මුලු ගමම ලෙඞ්ඩු නිසා, මුලු ගමේම ඇවිදින්න ඕන. හරියට මාත්‍රාව ගත්තේ නැත්නම් වැඩක් නෑ.
ඒ ඒ වයස්වල අයට ඒ ඒ විදියට දෙනවා.
ඒකට චාට් එකක් අපිට දීලා තිබුණා.
පළවෙනි වඩිය මට මතක විදියට පෙති හයක්. ක්ලෝරාක්වීන් හතරයි, පැරමෙතමයින් දෙකයි. මේ අවුරුදු පහළොවට වැඩි අයට. පහළොවට අඩු අයට ඊට වඩා වෙනස්.
මේක හරියම කරන්න ඕන. දවස් හතරක් නැත්නම් පහක් ඇතුළත මේ ලෙඬේ සම්පූර්ණයෙන්ම සුවයි. හැබැයි හරියට ගත්තේ නැත්නම් ප්ලීහාව ඉදිමෙනවා. අරවා මේවා අතුරු ආන්තරා වැඩියි…”
ඔහු කියනා පරිදි මේ පෙත්ත ද නිවැරදිව භාවිතා නොකරයි නම් ගැටලු සහගතය.
මේ වතාවේ ප්‍රශ්නය එතෙක් දුර දිග නොයා යුතු යැයි අපි ප්‍රාර්ථනා කරමු. නමුත් සියල්ලටම පෙර සූදානම වැදගත්ය. මැලේරියා මර්දන ව්‍යාපාරයෙන් පාඩම් ඉගෙන ගත යුතුය. එදා කළ කැපකිරීම කරන්නට පිරිසක් උවමනාය. ඒ පිරිස හොයා ගැනීමට අසීරු නොවනු ඇත.

මේ රටේ මිනිස්සු ඒ තරම් පොහොසත්ය. නමුත් ඔහු ඉතාම වැදගත් කතාවක් කීවේය.
“මේ බෙහෙත් වර්ග දොස්තර කෙනෙක්ගෙ උපදේසෙකින් තොරව බොන්න හොඳ නෑ. මේවයෙ එක එක මාත්‍රාව වෙනස්. ඒවා හරියටම නොදැන බිව්වොත් වෙන වෙන ප්‍රශ්න එනවා”
ඒ නිසාම මේ වර්ෂ ගණනකට ඉහළ මැලේරියා මර්දන ව්‍යාපාරයට අදාළ ලිය කියවිලිවල ඡායාරූප පළකරමු. ඒ එදා මතකයන් සඳහාය. මේ මැලේරියාවෙන් එදා විශාල පිරිසක් මිය ගියේය. නමුත් මේ මැදිහත් වීම මත විශාල පිරිසකගේ ජීවිත බේරුණේය. මේ ඒ වෙනුවෙන් එදා භාවිතයට ආ ලිය කියවිලිය. මේ ඔබට ක්ලෝරාක්වීන් භාවිතයට උපදේශයක් නොවනා බව තරයේ සිහි තබා ගත යුතුය. මේ මාත්‍රාවන් මැලේරියාව මිස කොරෝනා සඳහා නොවේ. මැලේරියාවෙන් හානි වෙන්නේ මොළයටය. කොරෝනාවේ හානිය ඊට හාත්පසින්ම වෙනස්ය. ඒ නිසා සිහියෙන් කටයුතු කළ යුතුය.
ජීවන පහන් තිළිණ











