ශ්‍රී ලංකාවෙන් පළමු රෝගියා වාර්තා වී සතියක් ඉක්ම යන විටත් උතුරු පළාත පැවතියේ කොරෝනා උවදුරෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂිත ප්‍රදේශයක් ලෙසිනි. නමුත් ඒ සියල්ල වෙනස් වීමට ගත වූයේ මොහොතකි. යාපනය අරියාලේ ප්‍රදේශයේ දේවස්ථානයක පැවැති විශේෂ දේව මෙහෙයක් සඳහා පැමිණි දේවගැතිවරයකුට කොවිඞ්- 19 වෛරසය ආසාදනය වී ඇති බව පසුගිය 21 වැනිදා රජය නිවේදනය කළේය. ඒ වන විටද එම දේවගැතිවරයා නැවත ඔහු පදිංචි වී සිටින ස්විට්සර්ලන්තය වෙත පිටත්ව ගොස් තිබූ අතර ඔහුට වෛරසය වැළඳී ඇති බව තහවුරු වී ඇත්තේද එහිදීය. එම පුවත දැන ගැනීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ රජය අදාළ දේව මෙහෙය සඳහා සහභාගි වූ පිරිස සොයා පරීක්ෂණ ආරම්භ කළ අතර එයින් බොහෝ දෙනකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමටද අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළේය. මේ සටහන ලියැවෙන මොහොත වන විට ඒ සඳහා සහභාගි වූ එක් පුද්ගලයකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගැනීමටද වෛද්‍යවරුන් සමත් වී තිබුණි. යාපනයෙන් ලැබෙන ආරංචි මාර්ග අනුව අනාවරණය වූයේ එලෙස වෛරසය ආසාදනය වූ පුද්ගලයා දේවගැතිවරයාගේ සහායකයා ලෙස කටයුතු කර ඇති බවය.
දැනගන්නට ලැබෙන පරිදි පසුගිය මාර්තු 15 වැනිදා පැවැති මෙම විශේෂ දේව මෙහෙය සඳහා 500කට අධික බැතිමතුන් පිරිසක් සහභාගි වී ඇත. තත්ත්වය වඩාත් බරපතළ වන්නේ දේව මෙහෙය අවසානයේ ඒ සියළුම දෙනා සිප වැළඳ ගැනීමට දේවගැතිවරයා කටයුතු කළ බව අනාවරණය වීමත් සමඟය. ඒ අතර වයස් භේදයකින් තොරව ලොකු කුඩා බොහෝ පිරිසක් සිට ඇත. වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඊරට්ටපෙරියකුලම් ප්‍රදේශයෙන් ඒ-9 මාර්ගයේ ගමන් කරන්නන් දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තේ ඉන් පසුවය.
සහායක දේවගැතිවරයාට දැනටමත් හැදිලා

ස්විට්සර්ලන්තයේ පදිංචි වී සිට මෙලෙස විශේෂ දේව මෙහෙය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි දේවගැතිවරයා පෝල් සද්ගුණරාජා ලෙස හඳුනා ගෙන ඇත. “ෆිලඩෙල්ෆියා මිෂනාරි සභාවේ” නිර්මාතෘවරයා ලෙස සැලකෙන ඔහු අදාළ දේව මෙහෙය පවත්වා ඇත්තේද එම සභාවට අයත් යාපනය දේවස්ථානයේදීය. ෆිලඩෙල්ෆියා මිෂනාරි සභාවට අයත් ශ්‍රී ලංකාවේ පිහිටා ඇති එකම දේවස්ථානය වන එය යාපනය-නුවර පාරේ අරියාලෙයි ප්‍රදේශයේ පිහිටා ඇත. 2003 වසරේ කුඩා මඩුවක ආරම්භ කළ මෙම දේවස්ථානය මේ වන විට ඉතා විශාල එකක් බවට පත්ව තිබෙන අතර ඒ වෙත පැමිණෙන බැතිමතුන් ප්‍රමාණයද විශාලය. ෆිලඩෙල්ෆියා මිෂනාරි සභාවේ ප්‍රධාන දේවගැතිවරයාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විශේෂ දේවමෙහෙය සඳහා සහභාගි වීමට ඒ සියළු දෙනා තුළම දැඩි උනන්දුවක් ඇත.
දේවමෙහෙයට ආපු 500ම සිප වැළඳගෙන

1959 දී ශ්‍රී ලංකාවේ හින්දු පවුලක උපන් පෝල් සද්ගුණරාජා ජර්මනිය වෙත පිටත්ව ගොස් ඇත්තේ 1980 වසරේදීය. අනතුරුව ස්විට්සර්ලන්තය වෙත ගිය ඔහු එරට පුරවැසිභාවය ලබා ගෙන ඇත. 1988 වසරේදී ක්‍රිස්තියානි ආගම වැළඳගත් ඔහු පූජකයෙකු ලෙස භෞතීස්ම ලබා ඇත්තේ 1989 වසරේදීය. Tamil Christian Fellowship නමින් 1989 වසරේදීම නව ආගමික සභාවක් ආරම්භ කළ පොල් සද්ගුණරාජා දේවගැතිවරයා එය Philadelphia Church ලෙස වෙනස් කර ඇත්තේ 1992 වසරේදීය. ඉන්පසු 1998 වසරේදී එහි නාමය Philadelphia Missionary Church ලෙස නැවත වරක් වෙනස් කර ඇත. කෙසේ නමුත් සාමාජිකයන් 11කින් ආරම්භ කළ මිෂනාරි සභාව විශාල සාමාජිකයන් පිරිසක් වෙත ගෙන යෑමට පෝල් දේවගැතිවරයා මේ වන විට සමත් වී ඇත. මේ වන විට එහි ශාඛා 19ක් ස්විට්සර්ලන්තයේ පිහිටුවා ඇති අතර දේවගැතිවරුන් 9 දෙනකු යටතේ 550කට අධික පිරිසක් ඒවායේ සාමාජිකත්වය ලබා ඇත. ෆිලඩෙල්ෆියා මිෂනාරි සභාවේ වැඩිම සාමාජිකයන් පිරිසක් ඇත්තේ ඉන්දියාවේය. එහි එම සභාවට අයත් දේවස්ථාන 64ක් පවතින අතර දේවගැතිවරුන් 26 දෙනකු යටතේ 5000කට අධික බැතිමතුන් පිරිසක් එහි සාමාජිකත්වය ලබා ගෙන ඇත.
පෝල් සද්ගුණරාජා ප්‍රමුඛ මිෂනාරි සභාවේ ප්‍රධාන තේමාව වන්නේ දෙවියන් වෙනුවෙන් යාතිකා කිරීම, දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලා සිටීම සහ දෙවියන්ට ස්තුති කිරීමය. විශේෂයෙන් දමිළ ජනතාව කතා කරන ජනතාවට අතරට දෙවියන්ගේ පණිවිඩය ගෙන යෑමද එහි ප්‍රධාන අරමුණක් ලෙස සඳහන්ව ඇත. යක්ෂයා (සාතන්) සමඟ ගනුදෙනු කරන ජනතාව ඉන් මුදවා ඔවුනගේ ජීවිතය යහපත් කිරීමද ඔවුනගේ තවත් අරමුණක් බව සඳහන්ය.
කොයි හැටි වෙතත් කොරෝනා හේතුවෙන් මේ වන විට ලෝකයේ බොහෝ දෙනකු සිටින්නේ ජීවිතයත් මරණයත් අතරය. පෝල් සද්ගුණරාජා දේවගැතිවරයාගේ වර්තමාන තත්ත්වය කෙබඳුදැයි වාර්තා නොවන නමුත් ඔහුට කොවිඞ් 19 ආසාදනය වී ඇති බව පැහැදිලිවම අනාවරණය වී ඇත. ඔහුගේ මූලිකත්වයෙන් යාපනයේ පැවැති දේව මෙහෙයට සහභාගි වූවන්ට කොරෝනා වැළඳී ඇත්දැයි සැක හැර දැන ගැනීමට අඩුම තරමේ තවත් සතියක්වත් බලා සිටිය යුතුය. අවාසනාවට හෝ එසේ වුවහොත් ඔවුන් කොරෝනා යක්ෂයාගෙන් ගලවා ගැනීමේ වගකීම පැවරෙන්නේ මිහිපිට දෙවිවරුන් වන වෛද්‍යවරුන් අතටය. අපට කළ හැක්කේ එසේ නොවේයා යැයි කියා සියලු ආගම්වල නාමයෙන් ප්‍රාර්ථනා කිරීම පමණය.
චන්දන පොන්නම්පෙරුම











