ක්‍රිකට් ගැන විතරක් නෙවෙයි කතරගම දේවාලේ ගැනත් විගණන වාර්තාවක් ඇවිත්… කතරගම නිලමෙලා හිටු කියලා ඉඩම් බෙදපු හැටිත් එළියට එයි…
‘රුහුණු මහා කතරගම දේවාලය සතු වත්කම් සහ දේවාලය සතු ඉඩම් හා ඉඩම් අයිතිය ප්‍රකාශ කිරීම’(Sri Lanka Latest News)
‘දේවාලයේ ඉඩම් නිලධාරීන් විසින් විගණනය වෙත ලබාදුන් ලිඛිත ප්‍රකාශයට අනුව දළ වශයෙන් දේවාලය සතු ඉඩම් අක්කර 16,000ක් පමණ පවතින බව ප්‍රකාශ වුවද ඉඩම් පිළිබඳ විධිමත් පරිදි සමීක්ෂණයක් සිදුකර ලේඛනගත කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් නිශ්චිත වශයෙන් දේවාලය සතු ඉඩම් අක්කර ප්‍රමාණය විගණනයටද සනාථ කර ගැනීමට නොහැකි විය.
එසේම දේවාලය සතු ඉඩම්වලින් ජනිතවන ආදායම් නිසි පරිදි වාර්තා කර නොතිබුණු අතර, ඉඩම්වලින් ජනිතවන ආදායම් මහ බෙත්මේ ලේකම් විසින් ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුමකට රැස්කර පසුව පෞද්ගලික ගිණුමෙන් දේවාලයට අයත් බැංකු ගිණුමට මුදල් බැරකර තිබුණු බවද විවිධ පුද්ගලයන්ගෙන් ලබාගත් ප්‍රකාශවලට අනුව නිරීක්ෂණය විය.
දේවාලය සතු ඉඩම් අනවසරයෙන් අත්පත් කරගැනීම, ගිවිසුම්වලට නොඑළඹ ඉඩම් බදු දීම, බදු ගිවිසුම් යාවත්කාලීන නොකිරීම, ඉඩම් තක්සේරු නොකිරීම ආදී තත්ත්වයන් පවතින බව දේවාලයේ වර්තමාන තාවකාලික භාරකරු විසින් ප්‍රකාශ කර තිබුණද ඊට අදාළ විස්තර කිසිවක් රැස්කර විගණනයට ඉදිරිපත් නොකෙරුණු අතර, ඒවා රැස්කර ඇති බවද තහවුරු නොවිණි.’
රුහුණු මහා කතරගම දේවාලය ගැන නොදන්නා කෙනෙක් මෙරට නොමැත. එම ස්ථානය මෙරට ජාතීන් වර්ග කිහිපයකම පූජනීයත්වය ගෞරවනීයත්වය හිමිකර ගෙන ඇති ප්‍රධානතම සිද්ධස්ථානයකි. වසර සිය දහස් ගණනක් පුරා දිවෙන දීර්ඝ ඉතිහාසයක් ඇති රුහුණු මහා කතරගම දේවාලය පුරාවෘත්තය ඉතා දීර්ඝ එකකි. කෙසේ හෝ මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ එම පුරාවෘත්තයක වගතුග ඔබට කියා සිටින්නට නොවේ.
දැන් එසේ නම් මෙම ලිපියේ ඉහත ඔබට යම් වගතුගක් ලියා තැබුවේ කුමන හේතුවක් උදෙසාද? ඔබට එසේ ලියා තැබුවේ සම්පූර්ණ පිටු 18කින් සමන්විත රාජ්‍ය ලේඛනයක ඇති කෙටි වගතුගක් පමණි. මෙය 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශයට පත්වුණු සුවිශේෂ ලේඛනයකි. එනම් රුහුණු මහා කතරගම දේවාලයේ සිදුවූ යම් අක්‍රමිකතා සම්බන්ධයෙන්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් කරන ලද ඉල්ලීමකට අනුව විගණකාධිපතිවරයා විසින් සිදුකරන දීර්ඝ පරීක්ෂණයක ප්‍රතිඵල එසේ පිටු 18ක වාර්තාවක් හරහා ප්‍රකාශ වී තිබිණි.
එකල විගණකාධිපති ඩබ්.පී.සී, වික්‍රමරත්න මහතා මෙම විමර්ශන වාර්තාව සඳහා අස්සන් තබා තිබිණි. රාජ්‍ය විගණන නිලධාරීන් රැසක් මෙම පරීක්ෂණය සඳහා ඉතා පුළුල් අයුරින් සහභාගි වූ බව ප්‍රකාශ වී ඇත. මෙම සුවිශේෂ විමර්ශන වාර්තාවේ සඳහන්ව ඇති දේවාලය සතු ඉඩම් පිළිබඳ වගතුගක් මූලික කරගෙන අද ඔබට මෙම ලිපිය සකස් වෙයි.
මෙයට හරියටම වසර 04කට ඉහතදී එලෙස සකස් කෙරුණු රුහුණු මහා කතරගම දේවාලයේ සිදුවූ අක්‍රමිකතා ගැන වූ විමර්ශන වාර්තාව අදටත් සුවිශේෂ වැදගත් ලියවිල්ලක් ලෙස සැලකෙයි.
මෙම විමර්ශන වාර්තාව පරිච්ඡේද 12ක් ආශ්‍රිත කරගෙන සැකසී ඇති ආකාරයද පෙනී යයි. එනම් පිටු 18ක් වූ එම ලියවිල්ල මගින් දේවාලය සතු වත්කම්, දේවාලය සතු ඉඩම්වලින් ලැබෙන ආදායම් දේවාල භාරකරුවන්ගේ පුද්ගලික බැංකු ගිණුම්වල තැන්පත් කිරීම, දේවාලයේ බැංකු ගිණුමෙහි පෞද්ගලික මුදල් තැන්පත් කිරීම, ඇසළ පෙරහැර වෙනුවෙන් දරන ලද වියදම්, දේවාලයට ලැබෙන රන් භාණ්ඩ, දේවාලයේ කාර්යාලයට ලැබෙන මුදල්, දේවාලයේ කපු මහත්වරුන් වෙත ලැබෙන මුදල් හා තුටුපඬුරු මෙන්ම අවිධිමත් ලෙස සිදුකරන ලද ගෙවීම් හා නොපියවූ අත්තිකාරම් වැනි විෂයන් ගණනාවකම පැහැදිලි විස්තර අන්තර්ගත වෙයි.
එසේම මෙම වාර්තාව එම පුළුල් විමර්ශනයේ අවසාන වාර්තාව ලෙසින්ද සැලකෙයි. මෙම වාර්තාවේ විධායක සාරාංශය මෙසේ ගෙනහැර දැක්වෙයි.
‘ රුහුණු මහා කතරගම දේවාලය අනාදිමත් කාලයක සිට සර්වාගමික ශ්‍රී ලාංකික ජනතාව විසින් පුද සිරිත් සහ වන්දනාමාන පැවැත්වීම සඳහා වර්ෂය පුරා පැමිණෙන පුදබිමක් වන අතර මෙම දේවාලය 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 4(1) වගන්ති විධිවිධාන ප්‍රකාරව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ පාලනයට යටත් වෙයි. මෙහි 43 වැනි වගන්තියට අනුව දේවාලයේ පාලන කටයුතු සඳහා බෞද්ධ කටයුතු විෂය භාර අමාත්‍යවරයාට ව්‍යවස්ථා පැනවිය හැකි අතර, තවද 25, 35(1) හා 35(2) වගන්ති ප්‍රකාරව දේවාලයේ මූල්‍ය හා වත්කම් පාලන කටයුතු සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් නියමයන් පැනවිය යුතු වෙයි. මෙම පරීක්ෂණය සිදුවන්නේ ඒ අනුවය.’
මෙම සුවිශේෂ විමර්ශන වාර්තාවේ විධායක සාරාංශයේ අවසානයෙහි මෙසේද සඳහන්ය.
‘එම පරීක්ෂාවන්ට අනුව කතරගම දේවාලයේ මූල්‍ය පාලනය විධිමත් අයුරින් සිදු නොවන බවත්, ඉඩම්, වාහන, රත්‍රන් භාණ්ඩ වැනි වත්කම් සම්බන්ධයෙන්ද පවත්නා අභ්‍යන්තර පාලනය ශක්තිමත් නොවන බවත්, අදාළ කාලය තුළ සිටි බස්නායක නිලමේවරයා විසින් සිදුකර ඇති ඇතැම් ගනුදෙනු විනිවිදභාවයකින් තොර බවත් හඳුනාගන්නා ලදී.’
රුහුණු මහා කතරගම දේවාලය ආශ්‍රිතව මෙම විශේෂිත වගතුග දැන් ඔබට යම් අයුරකින් පැහැදිලි වනවා ඇතැයි සිතමි. මෙලෙස මෙම ලිපියේ මුලින්ම මෙම පැහැදිලි කිරීම සිදුකළේ අද වන විට රුහුණු මහා කතරගම දේවාලය ආශ්‍රිත කරගෙන ඇති යම් අර්බුදකාරී වටපිටාවක් හේතුවෙනි. මෙම වගතුග කුමක්ද? මෙය දේවාලයට අයත් ඉඩම් පිළිබඳ පැනනැගී ඇති අර්බුදයකි. කතරගම දේවාලයට අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් පසුගිය දශක ගණනාවක කාලයේ සිට විවිධ පාර්ශ්ව සඳහා බදු දීම සාමාන්‍යයෙන් සිදුවූ ක්‍රියාවලියකි.
ඒ අනුව විවිධ පුද්ගලයන් සහ පාර්ශ්ව විසින් එම ඉඩම් දේවාලයෙන් බදුගෙන විවිධ කෘෂිකාර්මික සංවර්ධන කටයුතු සඳහා යොදවයි. මේ අනුව එම බොහෝ ඉඩම් රාශියකම විවිධ පලතුරු භෝග සහ ධාන්‍ය වර්ගද වගා කිරීම සිදුවිය. මෙය කාලයක් පුරා කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන අයුරින් සිදුව ඇති අතර, එහෙත් දැනට වසර 2, 3ක පමණ කාලයක සිට විශාල අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත. එනම් මෙම ඉඩම් සමහරක් එම අදාළ නීතිමය බදු පාර්ශ්වකරුවන් නොදැනුවත්වම වෙනත් පාර්ශ්ව වෙත කතරගම මහ දේවාලයේ බලධාරීන් විසින් ලබාදී තිබීමය. එම වගතුග සොයා බලමු.
මෙම අර්බුදය මතුව ඇත්තේ රුහුණු මහා කතරගම දේවාලයට අයත් තණමල්විල, නිකආර නමැති ප්‍රදේශයෙහි පිහිටා තිබෙන ‘කළුවරකන්දවත්ත’ නමැති අක්කර 89ක විශාලත්වයකින් යුත් ඉඩමක් ආශ්‍රිත කරගනිමිනි. මෙම ඉඩමට අමතරවද තවත් ප්‍රමාණයෙන් අඩු ඉඩම් කිහිපයක් සඳහාද මෙම අර්බුදය මතුව ඇත. මෙලෙස අක්කර 89කින් යුත් කළුවරකන්දවත්ත නමැති ඉඩම මුලින් පැවතී ඇත්තේ අක්කර 92ක ප්‍රමාණයකින් වන අතර, මේ සඳහා 2003 වසරේ සිටම බදුකරුවන් දෙදෙනකු විසින් කතරගම මහා දේවලයට බදු ගෙවීම සිදුකර ඇත. එහෙත් පසුව මෙයට මාස කිහිපයකට ඉහතදී හදිසියේම මෙම ඉඩමෙන් අක්කර 89ක් කතරගම දේවාලයේ පාලනාධිකාරිය විසින් වෙනත් පාර්ශ්වයකට පවරා දී ඇත.
ඒ අනුව මුල් පාර්ශ්වය සඳහා ඉතිරිව ඇත්තේ අක්කර 3කට ආසන්න සුළු ප්‍රමාණයක් බව පැවැසෙයි. මෙම ක්‍රියාවලිය පසුගියදා සිදුව ඇත්තේ අවුරුදු 20ක කාලයක් දීර්ඝ ලෙස කිසිදු අතපසු කිරීමකින් තොරව බදු ගෙවන ලද බදුකරුවන්ගේ අනුදැනුමකින් තොරව බව පැවැසෙයි. මෙම යටකී අර්බුදයට මැදිවුණු තණමල්විල, සූරියආර, කළුවරකන්දවත්ත පදිංචි සුනේත්‍රා දෙල්ගොඩ සහ ජී. යමුනා රංජනී යන බදුකරුවන් දෙදෙනා තමන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයේ පසුගියදා නඩුවක්ද ගොනුකරන ලදී.
ප්‍රාථමික අධිකරණ පනතේ 66(ආ) යන වගන්තිය යටතේ මෙම නඩුව පවරා ඇත. මෙම නඩුව පවරා ඇත්තේ රුහුණු මහා කතරගම දේවාලයේ වත්මන් බස්නායක නිලමේ වන ඩිෂාන් වික්‍රමරත්න මහතා සහ තවත් පාර්ශ්ව දෙකකට එරෙහිවය. අනෙක් පාර්ශ්ව දෙක ලෙස මොරගොඩ හේවගේ විමලතිස්ස සහ ඇග්‍රොමැට් කන්සෝටියම් පුද්ගලික සමාගමද සඳහන්ව ඇත.
මෙසේ රුහුණු මහා කතරගම දේවාලය සතු නිකආර ගමට අයත් කරුවලකන්දවත්ත යන අක්කර 92ක ඉඩම ඇග්‍රොමෙට් කන්සෝටියම් පුද්ගලික සමාගම වෙත බදු ඔප්පුවකින් නිකුත් කරන තෙක් සංවර්ධනය කරමින් කෘෂිකාර්මික වගා කටයුතු සඳහා පැවරීමට තමන් අවසර ලබාදෙන බව පවසමින් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් නිල ලේඛනයක් එම සමාගමේ සභාපතිවරයා වෙත ඉදිරිපත් කර තිබිණි.
මෙහිදී මෙම ඉඩමෙහි මුල් පාර්ශ්වකරුවන් චෝදනා කර සිටියේ තමන් මෙම ඉඩමෙහි විවිධ බෝග වගා සිදුකළ බවත්, එසේම ඉඩම සඳහා අදාළ වන බදු මුදල් සියල්ලම 2025 වසර දක්වාම ගෙවා ඇති බවත්ය. එම ලිඛිත ලේඛන සියල්ලම එම පාර්ශ්වය සතුව තිබෙන ආකාරයද නිරීක්ෂණය කළ හැකිය. මෙවැනි වටපිටාවක් යටතේ තමන්ට මෙසේ සිදුව ඇත්තේ අතිශය බලවත් අසාධාරණයක් බව එම පාර්ශ්ව අධිකරණය වෙත කරුණු දක්වා තිබිණි.
වැල්ලවාය අධිකරණයේ මහෙස්ත්‍රාත් චතුර ඊ. දිසානායක මහතා විසින් නඩු විභාග කර 1 සහ 2 යන විත්තිකරුවන්ට (මොරගොඩ හේවගේ විමලතිස්ස සහ ඇග්‍රොමෙඩ් කොන්සෝටියම් සමාගම) එම අදාළ ඉඩමෙහි කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුනොකරන ලෙසට වාරණ ආඥාවක්ද නිකුත් කර තිබිණි. තමන්ට සිදුව ඇති අසාධාරණය ගැන මුල් පාර්ශ්වය විසින් මේ වන විට ජනාධිපතිවරයාට සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාටද පැමිණිලි කර ඇත. එම ලේඛන සියල්ලක්ම ඔවුන් සතුව ඇත.
ඉහත වසර 20ක් පුරා වෙනත් මුල් පාර්ශ්වයක් විසින් රුහුණු මහා කතරගම දේවාලයට නිසි ලෙස බදු ගෙවමින් සංවර්ධනය කළ ඉඩම (අක්කර 92) තවත් වෙනත් පුද්ගලික සමාගමකට පසුගියදා පවරා ඇත්තේ තෙවතාවකට රුපියල් ලක්ෂ 70ක බදු මුදල් ලබාගනිමින් බවට කරුණු ප්‍රකාශ වී ඇත.
ප්‍රියන්ත හෙට්ටිගේ










