හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 78 වැනි උපන්දිනය යෙදී තිබුණේ පසුගිය 18 වැනිදාටය. මෙවර හිටපු ජනාධිපතිවරයාට උපන් දිනය සැමරීමට සිදුව තිබුණේ රට බංකොලොත් කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාජපක්ෂවරුන් ඇතුළු කිහිප දෙනකුට එරෙහිව ලබාදී තිබූ නඩු තීන්දුවක් සමග වීම විශේෂය. මහින්දගේ උපන් දිනය දවසේ ජනාධිපතිවරයා සිටියේ මාලදිවයින් ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියට සහභාගි වී යළි ලංකාවට පැමිණෙමිනි. ඒ අනුව මහින්දගේ උපන්දිනය වෙනුවෙන් සිය නිවසේ කෙටි සාදයක් සූදානම් කළ නාමල් ඊට සහභාගි වන ලෙස ජනාධිපතිවරයාටද ආරාධනා කොට තිබිණි. එම ආරාධනාවට අනුව ලංකාවට පැමිණි වහා ජනාධිපතිවරයා කළේ වජිර අබේවර්ධන සමග කෙළින්ම මලලසේකර මාවතේ පිහිටි නාමල්ගේ නිවෙසට පැමිණීමය. නාමල් මේ වන විට ජීවත් වන්නේ මලලසේකර මාවතේ පිහිටි මෙම ආණ්ඩුවේ නිල නිවෙසේ වන අතර, මහින්ද වාසය කරන්නේ ඊට තරමක් එපිටින් පිහිටි විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසේය.Sri Lanka Latest News
ගෝඨාටත් ආරාධනා
පසුගිය කාලසීමාවේදී රාජපක්ෂ පවුලේ පැවැති උත්සවවලදී සියලු රාජපක්ෂවරු එක තැනකට එක්වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. විශේෂයෙන්ම විජේරාම මාවතේ මහින්දගේ නිවෙසේ පැවැති යම් යම් උත්සවවලට ආරාධනා කළද සියලු දෙනාම එක් වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. කොටින්ම කියනවා නම් හිටපු ජනාධිපති ගෝඨාභයට මහින්දගේ නිවෙසේ පැවැති උත්සවවලට ආරාධනා නොලැබුණු තරම්ය. ඒ අනුව නාමල් තීරණය කළේ මහින්දගේ මෙවර උපන්දින සාදය මලලසේකර මාවතේ පිහිටි සිය නිල නිවෙසේ පැවැත්වීමටය. ඊට පැමිණෙන ලෙසට මහින්දටත්, ශිරන්තිටත්, රෝහිත රාජපක්ෂටත් ආරාධනා කළ නාමල්, ගෝඨාටද ඊට සහභාගි වන ලෙස දැනුම් දී සිටියේය. නමුත් ගෝඨාට නාමල් ආරාධනා කර තිබූ බවක් එම නිවෙසට පැමිණෙන තෙක්ම මහින්ද හෝ ශිරන්ති හෝ රෝහිත දැන සිටියේ නැත.
ඒ අනුව ජනාධිපතිවරයා පැමිණි වහා සියලු දෙනා එක්ව මහින්දට උපන් දින කේක් ගෙඩිය කපන ලෙස ආරාධනා කළහ. එම ආරාධනාවට අනුව මහින්ද උපන් දින කේක් ගෙඩිය කපද්දී ජනාධිපතිවරයාත් ගෝඨාත් ශිරන්ති ඇතුළු සියලු දෙනාම ‘හැපි බර්ත් ඩේ ටු යූ’ කියමින් මහින්දට උපන්දින සුබ පැතුම් එක් කිරීමට කටයුතු කළහ. එම වීඩියෝව එහි සිටි කිසිවකු විසින් සමාජ මාධ්‍ය ජාලවලට එක්කර තිබුණු නිසා පසුගිය සතියේ ඊට විශාල වශයෙන් ප්‍රතිචාර ලැබී තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
නාමල් ඩබල් ඇක්ටින්?
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ නාමල් විසින් මේ දිනවල ජනාධිපතිවරයාත්, ජනාධිපතිවරයාගේ අයවැයත් දැඩිව විවේචනය කරමින් සිටියදී මහින්දගේ උපන්දින සාදයට සහභාගි වන ලෙසට ජනාධිපතිවරයාටද ආරාධනා කර සිටීමය. මහින්ද මෙවර අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළද, නාමල් එම අවස්ථාවට සහභාගි නොවී සිටීමද විශේෂ සිදුවීමක් විය.










