මිනීමැරුම් ඇතුළු විවිධ අපරාධ කර මෙරටින් පලාගොස් ඇති දරුණු ගණයේ පාතාල අපරාධ කරුවන් 148 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය (Interpol) රතු නිවේදන නිකුත් කර ඇතැයි අපරාධ සහ නීති දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරකසභාවේදී පැවසීය. (Sri Lanka Latest News)
එම සැකකරුවන් වෙනත් රටවලට පලායෑම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මෙම රතු නිවේදන නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියෙන් කෙරුණු ඉල්ලීමක් අනුව බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.
ඉන් සැකකරුවන් කිහිප දෙනකු දැනටමත් ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇතැයි පැවසූ කරවිට මහතා සැකකරුවන් 12 දෙනකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන එරටේදී නඩු පවරා ඇතැයිද ප්‍රකාශ කළේය.
එම පිරිස දැනට සිටින්නේ එරට බන්ධනාගාරයේ බවද ඔහු පැවසුවේය.
විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරකසභාව මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්විණ.
මේ අතර මරණ දඬුවම නියම වන අපරාධ සිදුකර විදේශගතව සිටින සැකකරුවන් මෙරටට ගෙන්වාගැනීමේ ගැටලූවක් පවතින බවත් බොහෝ රටවල් මරණ දඬුවම ප්‍රතික්ෂේප කරන හෙයින් මේ තත්වය ඇතිවී තිබෙන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.
මරණ දණ්ඩනය නියමවන අපරාධවලට සම්බන්ධ සැකකරුවන් පස් දෙනකු මෙරටට ගෙන්වා ගැනීමට මේ හේතුවෙන් රතු නිවේදන නිකුත් කිරීම ජාත්‍යන්තර පොලිසියෙන් ප්‍රතික්ෂේප කෙරුණු බවද හෙතෙම සඳහන් කළේය.
පාතාල ලෝකයේ සියලුම නායකයන්ගේ නාමලේඛනය සහ ඔවුන්ගේ පදිංචි ස්ථාන ඡායාරූප ඇතුළු සියලු විස්තර සොයාගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ අතර කොන්ත්‍රාත් මිනීමැරුම් කරන පාතාල කණ්ඩායමද හඳුනාගෙන ඇතැයි පැවසූ අසංක කරවිට මහතා මින් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයිද සඳහන් කළේය.
පාතාලකරුවන් වැඩි දෙනකු අපරාධ මෙහෙයවන්නේ විදේශයන්හි සිට බවද ඔහු පැවසුවේය.
lankadeepa








