කොච්චර අතුගෑවත් ඉවරයක් නෑ
ඒවා සමහර විට කැරකෙන බයිසිකල් රෝදයක ස්පෝක් අතුරුදන් වෙන තරමේ සරල සිදුවීම්ය. නමුත් මිනිස්සු එය මුලින්ම දුටුදා පුදුම වන්නට ඇත. සමහරවිට ලෝකේ අසිරිමත් සැමරුම් ලෙස පිළිගැනෙන ටාජ් මහල් වැනි විශාල ගොඩනැගිලි විනාඩි කීපයකට අතුරුදන් කරන්නට දක්ෂ මැජික් ශිල්පීන් ලෝකයේ සිටී. එහෙම නම් විශ්වාස කරන්නට බැරි හුඟක් දේවල් ලෝකයේ සිදු නොවෙනවා නොවේ. අප මේ කතා සොයා යන්නේ ඒ වෙනුවෙනි.
කොණ්ඩදෙණිය හාමුදුරුවො සහ චුට්ටේගේ කතාව මෙසේ ලියවෙන්නේ ඒ වෙනුවෙනි. මේ චුට්ටේ අපට කී කතාවය. මේ සියල්ල ඔප්පු කරන්න අපි ළඟ ඔහුගේ රූපය සහිත වීඩියෝ සාක්ෂි තිබේ.
“මට මේක මුල දී කියන්න අමතක වුණා..”
ඔහු තවත් කතාවකට මුල පුරන්නේ ඒ අයුරෙනි. එහි රස සමහර විටක පෙර කතාවට වඩා වෙනස්ය.
ඊළඟ කතාව ඊට වඩා වෙනස්ය. වැඩි රස කෝකදැයි නිශ්චය කිරීමෙන් වැඩක් නැත. රස විඳීම ඔබට අයිති වැඩකි. රස හොයා දීම අපේ රාජකාරියයි.
“මුලින්ම ගිහිල්ලා, උන්නාන්සෙ හමුවුණ වේලාවෙ. සමහර විට මම මේක කියන්නත් ඇති. උන්නාන්සෙ බැලුවෙ කකුල් දෙකේ ඉඳලා ඔළුවටම එක බැල්මයි…”
“මට කිව්වනෙ අතුගාන්න කියලා. මම පොඩි එකා වුණාට ඕවා ටික ටික දන්නවා. හැබෑවටම ඒ වංගියෙ පුංචි එවුන් දැන් වගේ නෙමෙයි. වැඩට පළට දක්ෂයි.
දැන් මං අතුගානවා. හෝගාලා අතුගානවා.
හාමුදුරුවො බලාගෙන ඉන්නවා. කොළ එහෙන් එනවා. මෙහෙන් එනවා. මට ඕක තේරෙන්නෙ නෑ. මොකක්දෝ එකක් වෙනවා කියලා. මම ඉතින් අතුගානවා…”
හාමුදුරුවො මොනවාවත්ම කියන්නෙ නෑ. හැබැයි බලාගෙන ඉන්නවා.
“කොයි ලෝකෙන් මේ තරම් කොළ ගොඩක් එනවද මන්දා කියලා මට හිතෙනවා. ඒත් ඉතින් මොනවා කරන්නද කියලා හිත හදාගෙන අතු ගෑවා…”
“ඔහොම රවුමක් අතුගාලා ආපහු එන කොට, මෙන්න බොලේ ආයෙමත් අර කතන්දරේම වෙලා. කොළ වැටිලා යමරෙට, මං උඩත් බැලුවා ගහ මැරිලද කියලා. අනේ නෑ ගහ එහෙම්ම තියෙනවා. ඊට පස්සෙන් පහු මං හිතුවා, කාරියක් නෑ, ගහේ කොළ එක්කෝ ඉවරයක් වෙන්නෙ නැතෑ කියලා”
“මං අර උඩ බලන කොට නායක හාමුදුරුවො මයෙ දිහා බලාන හිනැහුණා, මං හොර ඇහැට දැක්කා. ඒත් මට තරහ ඩිංගකුත් ගියා. යකොඩෝ මට මෙන්න මේ මෙච්චර නස්පැත්තියක් වෙලා උන්නාන්සෙ හිනා වෙනවා කියලා”
“මෙහෙම කොච්චර වෙලාවක් අතු ගෑවද දන්නෙ නෑ. අන්තිමට උන්නාන්සෙ මට කතා කළා”
“අතුගාලා ඉවරයැ?, කියලා”
“මං කිව්වා තව ඩිංගක් තියෙනවා හාංදුරුවනේ, කියලා”
“ආ ඒකෙ කාරි නෑ, එන්ටකො මෙහාට කිව්වා”
“මං ඉදල එහෙම්ම දාලා, උන්නාසෙ ළඟට ගියා”
“මොකෝ කොළ ගොඩගැහෙනකොට හිතුණෙ ඇහුවා, මං කිව්වා මොනවත් නෑ කියලා”
“තරහ ගියෙ නැද්ද, ඇහුවා”
“මං කිව්වා අප්පෝ නෑ, කියලා”
“ආ එහෙනම් බොහොම අගෙයිනෙ, කියලා උන්නාන්සෙ හිනැහුණා”
“මං අතුගාලා එන්නම් හාංදුරුවනේ, කියලා ඕං පැන ගෙන ආවා”
“හැබැයි ඇවිල්ලා බලන කොට කුණු රොඩු මොකොවත් නෑ, මං වට පිට බලලා පිටිපස්ස බලන කොට උන්නාන්සෙ පිටිපස්සෙ හිටන් ඉන්නවා.
“ආ ඕක බණ්ඩයියා අහක් කරන්ට ඇති. චුට්ටා ඕන් ඔහෙන් ඉන්ඩ කිව්වා”
“චුට්ටො, ඉවසීම හුඟාක් වටිනවා. ඔය කොළ කන්ද දැකලා ඉවසීම තිබුණා නම් ජීවත් වෙන්ඩ පුළුවන්, කියලා උන්නාන්සෙ කිව්වා”
“එදා ඒ කොළ ආවෙ ඉබේ නෙමෙයි, ඒක උන්නාන්සෙගෙ වැඩක්. ඒක තමයි මාව පරීක්ෂා කරපු විදිය. ඒ බැලුවෙ මගේ ඉවසීම…”
ජීවන පහන් තිළිණ











