මේ විශ්වයේ මානවයා විටින් විට ස්වභාවධර්මයා විසින් පළිගැනීමකට ලක්කරන බව බොහෝ පැරැන්නන් පවසයි. එම මතයන් විද්‍යාත්මකව කෙතරම් දුරට සාර්ථකද යන්නට වඩා එහි ගැබ්ව ඇති කරුණුවල සත්‍යතාවය පිළිගැනීමට අපට සිදුවෙයි. අප දන්නා තරමට මානව පරිණාමය සිදුවූවාය කියා පවසන වසර පන්දහසකට එපිට ගිය හෝමෝ සාපියන්ගේ යුගයේ සිට අද දක්වා මානවයාගේ ක්‍රියාකාරකම් නිසා සිදුවූ බොහෝ කරදර, කම්කටොලු අද දින වන විටද සිදුවෙමින් පවතියි. එය කෙටියෙන් කියතොත් ලෝක විනාශය සිදුවෙමින් පවතින බවය. ලෝක විනාශය යනු මානවයාගේ විනාශයයි. ඒ අනුව අද වන විට මුළු ලෝකයම භීතියට පත්කරමින් මානව විනාශයට අලුත්ම මාතෘකාව වී ඇත්තේ කොවිඞ් 19 හෙවත් කොරෝනාවයි. 2500කට අධික පිරිසක් මියයමින් හා 80,000කට වඩා පිරිසකට ආසාදනය වෙමින් 25000කගේ පමණ තත්ත්වය අවදානම් බවත් ලොව පුරා විද්‍යාඥයන් කරුණු සොයමින් පර්යේෂණවල නිරතවෙමින් සිටින බව අප දනිමු. එහෙත් මේ වනතෙක් කිසිදු සුබදායී විසඳුමක් නොලද බවද සඳහන් කළ යුතුය.
එහෙත් මෙම කොරෝනා හෙවත් කොවිඞ් 19 වෛරසය මුල්වරට ක්‍රි.ව. 500-600 චීනයේ නෑන්ග් (නැන්ජිං) ප්‍රාන්තයේ ඇති වූ බවට කරුණු තිබීම පිළිබඳව කිසිවකුගේ අවධානය යොමු නොවීම හාස්‍යයට කරුණක්. එසේම දෙවැනි වරට එය ක්‍රි.ව. 571-632 අරාබියේද සිදුව ඇති වූ බවටද ඉතිහාසය පිරික්සීමේදී කරුණු අනාවරණය කරගත හැකිය. ඒ ඉතිහාසගත කරුණු මෙසේය.
හතර වැනි සියවසේ අවසන් අගභාගයේ ඉන්දියාව කාංඡිපුරම් අග නගරය කරගනිමින් රාජ්‍ය පාලනය ගෙන ගිය පල්ලව රාජ්‍ය වංශයට අයත් පල්ලව ගන්ධවර්මන් අධිරාජ්‍යයාගේ තුන් වැනි පුත්‍රයා වන බෝධිධර්ම ක්‍රි.ව. 483දී එදා ඉන්දියාවේ කාංඡිපුරම් ප්‍රදේශයේ මදුරාසි ග්‍රාමයේ උපත ලැබීය. වයස අවුරුදු හතේදී පමණ ජීවිතය පිළිබඳව අසාමාන්‍ය විදියට දකින ඔහු ආත්මාරක්‍ෂක සටන් කලාව මෙන් දේශීය වෛද්‍යාවිද්‍යාවද ප්‍රගුණ කරයි. ඒ අතර මනස දියුණු කරන ප්‍රායෝගික අභ්‍යාසවල නිරතවෙමින් සිත දියුණු කරගන්නා අතරම ගෞතම බුදුන් වහන්සේගේ බෞද්ධ දර්ශනයද ප්‍රගුණ කරයි. ඔහුගේ ජීවිතය ඒ තුළින් වෙනත් මඟක් ගනියි. ඒ නිසාම වෙනස් ආකාරයට සිතීමට හා වෙනස් ආකාරයකට ජීවත් වීමටද පටන් ගනියි. පසුව බෞද්ධ ධර්මය තම ජීවිතයට ආදර්ශයක් කරගන්නා බෝධිධර්ම බෞද්ධ භික්‍ෂුවක් වීමට ආස කළේය. ඒ තුළින් ජීවිතයේ මංමුළා වූ අය වෙනුවෙන් තම ජීවිතය කැපකිරීමට අදිටන් කරගත් බෝධිධර්ම, පිය රජුගෙන් ඒ පිළිබඳව විමසුවේ තමන්ට බෞද්ධ භික්‍ෂුවක් වීමට අවශ්‍යතාව නිසාය.
බෝධිධර්මගේ පියා වූ අධිරජ පල්ලව ගාන්ධවර්මගේ කැමැත්ත ගැනීම ඒ තරම් පහසු කාර්යයක් නොවීය.
සියලු සැප පහසුකම් සහිතව රජ මාලිගාවේ ජීවත් වූ තම පුතු වනයට ගොස් කුස ගින්නේ භාවනා යෝගීව සිටීම කෙතරම් දුෂ්කරද, එසේම කෙසේ නම් එය දරා ගන්නද? දැඩි කලබලයට පත් ගන්ධර්ම රජු,
‘මා ආදරණීය පුතුනි, ඔබට හිමි මේ සියලු සැප සම්පත් අතහැර ගොස් ඔබ පතන මේ දුෂ්කර ජීවිතය ගතකිරීමට නොහැකිය. ඒ නිසා ඔබේ අදහස අතහැර දමන්න’යි බෝධිධර්මට අනුශාසනා කළේය.
‘මා මරණය කරා නොයමි පිය රජුනි, මා ජීවිතයට ඔබ්බෙන් ඇති නිවන් මඟ සොයමි. මන්ද උපදින සියල්ලන්ම යම් දිනයක මරණය කරා යා යුතුය. ඒ වෙනුවෙන් මරණයට පෙර කළ යුතු බොහෝ දේ ඇත. ඒ නිසා මට අවසර ලබා දෙනු මැනව පිය රජුනි.’
බෝධිධර්මගේ සංවේදී කරුණු පැහැදිලි කිරීම අසා සිටි අධිරජු පල්ලව ගන්ධවර්ම බෝධිධර්ම දෙස බලා සිටී.
‘ඔබගේ කතාවේ මා නොදකින විශාල ජීවන යථාර්ථයක් ගැබ්වෙලා තිබෙනවා. ඒ නිසා ඔබට ඔබේ කැමැත්ත අනුව යෑමට අවසරය දෙනවා හැර මට වෙන කිසිවක් කළ නොහැකිය’ පිය රජු බෝධිධර්මට ඔහුගේ ගමනට අවසරය ලබා දුන්නේය. ඒ අනුව තම ආදරණීය කුඩා දියණිය හා පුතු මෙන් බිරියද රජ මාලිගයේ නවතා ඔහු පිටත්ව යන්නේ, කංඡිපුරම්හිම ජීවත් වූ ප්‍රසිද්ධ බෞද්ධ විශාරදයකු මෙන්ම 27 වැනි බෞද්ධ කුලදෙටුවන් වන ප්‍රඥාපති ප්‍රජනාධර සොයාය. මරණය පිළිබඳව හා මරණයෙන් පසුව සිදුවන ක්‍රියාවන් පිළිබඳව ඔහුගේ මනසට වද දෙනු කරුණු පිළිබඳව හා බෞද්ධ ධර්මයේ භාවනා ක්‍රමවේදයන් පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනය කිරීමෙන් විසඳුම් ලබාගන්නා බෝධිධර්ම, ගුරුට වඩා දස්කම් පාමින් බෞද්ධ ධර්මයේ 28 වැනි කුල දෙටුවන් බවට පත්වෙයි.
27 වැනි බෞද්ධ කුලදෙටුවන් වන ප්‍රඥාපති ප්‍රජනාධරගේ අවසන් ඉල්ලීම ඉටුකිරීම පිණිස චීනය බලා පිටත්ව යන බෝධිධර්ම, ස්වයං සටන් අභ්‍යාසවල යෙදෙමින් හා භාවනා යෝගීව සිටිමින් වනය මැදින් වසර තුනක කාලයක් ගමන් කරමින් චීනයේ එවකට නෑන්ග් (නැන්ජිං) ප්‍රදේශයට ළංවෙයි. බෝධිධර්ම චීනයට පැමිණීමේ ඒකායන අරමුණු වූයේ බෞද්ධ දර්ශනය චීනයේ සම්ප්‍රේෂණය කිරීමයි.
චීනයේදී අනෙකුත් භික්‍ෂුන් වහන්සේලා වැඩ සිටින ආරාමවල නොනැවතී වෙනම ගුහාවක භාවනා යෝගීව වැඩසිට වසර නවයක කාලයක් ෂැවොලින්හි වැඩ සිටි බෝධිධර්ම චීනයේ බෞද්ධ ධර්මය සම්ප්‍රේෂණ කටයුතු අරඹයි. එහෙත් එය ඔහු සිතූ තරම් පහසු කාර්යයක් නොවීය. දිනෙන් දිනම ප්‍රතික්‍ෂේප කිරීමට ලක්වෙමින් සිටියදී ඒ ප්‍රදේශයේ වැසියන් එකවරම පැතිර යන රෝගයකට ගොදුරු වෙයි. වර්තමානයේ කොවිඞ් 19 හෙවත් කොරෝනාව සේම පැතිර යන මෙම රෝගය නිසා දිනපතා මිනිසුන් මියයමින් හා ශීඝ්‍රයෙන් සැමට බෝවන්නට පටන් ගනියි. නෑන්ග් (වර්තමානයේ නෑන්ජින්) සිට කොවිඞ් 19 හෙවත් කොරෝනාව මුලින්ම වාර්තා වූ වූහාන්වලට ඇති දුර කි.මී. 536කි. හිටි හැටියේ ඇදවැටී මියයන මෙම රෝගයට නෑන්ග් වැසියන් විසින් කළ කිසිදු වෙදකමකට රෝගය සුවකිරීමට තබා පාලනය කිරීමටවත් නොහැකි විය. මේ තත්ත්වය යටතේ අන්ත අසරණ වූ නෑන්ග් වැසියන් රෝගය නිරෝධනය කිරීමක් ලෙස රෝගය බෝවූ සියල්ලන් රෙදි කඩවල ඔතා මහා වනයේ ගල්ගුහා තුළට ගෙන ගොස් දමා ආවේ ඔවුන් මරණයට පත්වීමට ඉඩ හරිමිනි. සත්ව ආහාර වැඩි වශයෙන් ආහාරයට ගැනීම නිසා මෙවැනි වෛරසයක් නිර්මාණය වූ බව නෑන්ග් වැසියන් නොදැන සිටියද, බෝධිධර්ම මෙය අවබෝධ කරගත්තේය. තවදුරටත් මේ දෙස බලා නොසිටි බෝධිධර්ම ගහකොළවල ශාකසාර යොදාගනිමින් ඔහු උගත් වෙදකම් භාවිතයට ගත්තේය. ඒ තුළින් මරු තුරුලට යෑමට ඉඩ හැර වනයේ ගල්ගුහා තුළට හා ජනතාව නොගැවසෙන වනයට ගෙන ගොස් දමා ආ සියලු රෝගීන් සුවපත් වී ගමට පැමිණෙනවිට ගම්මුන් මවිතයට පත්විය. රෝගයෙන් සුවපත් වූවන් බෝධිධර්මට වැඳ නමස්කාර කරද්දී අනෙකුත් රෝගීන් ඔහුගේ සරණ පැතීය. එයින් පැතිර ගිය රෝගය බෞද්ධ භික්‍ෂුවක් වූ බෝධිධර්ම සුව කළ නිසා ඔහු විසින් සම්ප්‍රේෂණ කළ බෞද්ධ ධර්මය ඔවුන් පිළිගත්තේය.
මේ අතර, තවත් සුවිශේෂී කරුණක් ඇත. ෂැවෝලින් කුංෆු සටන් කලාවේ නිර්මාතෘවරයාද වන්නේ චීනුන් නොව ඉන්දියානු බෞද්ධ භික්‍ෂුවක් වූ බෝධිධර්මය. ඒ කතාව මෙසේය.
ඒ කාල වකවානුවේම ආයුධ සන්නද්ධව ගම වදින මංකොල්ලකරුවන් අහිංසක ගම්වැසියන්ගේ දේපොළ සොරකම් කරමින් හා එයට විරුද්ධ වූ අවස්ථාවන්වල ඔවුන් මරා දමමින්, ගම්වදිමින් සිටි එක් අවස්ථාවක බෝධිධර්ම තමා ඉගෙනගත් සටන් කලාව උපයෝගික කරගනිමින් අධිබලයක් සහිත තම මනසින් ඔවුන් සමඟ සටන්කර මංකොල්ලකරුවන් පලවා හැරීමට සමත් වීමෙන් ජනතාවට නිදහසේ ජීවත් වීමට අවකාශය ලැබිණි. ඉදිරියටත් මංකොල්ලකරුවන්ගෙන් ආරක්‍ෂා වීම සඳහා ඔහු උගත් සටන් කලාව චීන ජනතාවට හුරු පුරුදු කළේය. භාවනා ක්‍රමයන්ද ඉගැන්විය. ඒ නිසාම චීන වැසියෝ බෝධිධර්මට පුදපූජා පවත්වමින් වැඳ නමස්කාර කරමින් සිටියෝය. බෝධිධර්ම කෙදිනක හෝ ඔවුන් අතහැර යාවී යන අදහසක් ඔවුන් තුළ නිතරම වද දෙන ගැටලුවක් විය. එසේ ඔහු චීනය අතහැර ගියොත් ඔවුන්ට යළිත් පැරැණි ඉරණම අත්වන නිසා ඔහුව මරා චීන භූමියේ මිහිදන් කළහොත් කිසිදා ඔවුන්ට නපුරක් නොවන බවත් විශ්වාස කළ නිසා ඔහුගේ ආහාරයට වස මිශ්‍ර කර පිළිගැන්වූ බවත්, ප්‍රඥාවන්ත බෞද්ධ භික්‍ෂුවක් වූ බෝධිධර්ම ආහාර බඳුන අතට ගන්නා විටම එය වස මිශ්‍ර කළ ආහාර බව දැනගත්තේය. එහෙත් ඔවුන් එසේ කිරීමට හේතුව ප්‍රඥාවෙන්ම අවබෝධ කරගත් නිසා එම ආහාරය ගෙන ජීවිතයෙන් සමුගත් බවත් චීන හා ඉන්දීය ඉතිහාසයේ සඳහන් වෙයි. වසර තුනකට පමණ පසුව යළිත් ජීවය ලබා හිමාලය බලා පිටත්ව ගිය බවද තවත් මතයක්ද ඇත. මෙම විස්තර සටහනට අනුව චීනයේ මෙම සිද්ධියේ ඉතිහාසගත ස්ථානයේ බෝධිධර්මගේ පිළිරුව හා ඔහු භාවනා යෝගීව සිටි ස්ථාන ආරක්‍ෂා සහිතව ඇත. චීනයේ ෂැවොලින් පන්සලද ඉන් එකකි.
(තොරතුරු හා ඡායාරූප
රැස්කිරීම දමිළ මාධ්‍ය සටහන් හා අන්තර්ජාලයෙන්)
රොෂාන් මාවතගම











