“සරලත්වය තුළින් වැඩි ආකර්ෂණයක්” යන තේමාව සමඟින් ඔඩෙල් තම වසන්ත ඇඳුම් නිර්මාණ එකතුව ‘Resort to Basics’’ නමින් එළි දක්වා තිබේ. සරල බව සියුම් බව සහ නිසැක සුන්දරත්වය විග්‍රහ කරන ජපානයේ “ෂිබුසා” සංකල්පයෙන් නිර්මාණය වී ඇති මෙම සියලු විලාසිතාවන් උණුසුම් දේශගුණයට ගැළපෙන රෙදි වර්ගවලින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. එසේම මෙම විලාසිතා අලංකාර කර තිබෙන මුද්‍රිත මෝස්තර ජපාන සංස්කෘතියට ආවේණික වූ උණ බම්බු, වාසනාවේ සලකුණක් ලෙස සලකන රතු ඔටුනු කොකා, අලුත් ආරම්භයක් සංකේතවත් කරන පිපෙන චෙරි මල් සහ ජපානයටම විශිෂ්ට වූ සංකේතයක් වන ටෝරි කඩුල්ල (Tori Gate) වැනි මෝස්තර මගින් අලංකාර වී තිබේ.
ඔඩෙල් සමස්ත විලාසිතා එකතුව ඔබට වසන්ත සෘතුවට පමණක් නොව ගිම්හාන සහ සිසිර සෘතුවේදීද භාවිතයට ගත හැකි එකතුවක් වන අතර, මෙම නිර්මාණ එකතුවේ මූලික වර්ණ රටාවන් පැස්ටල් පැහැය, නිලට හුරු ෂැම්බ්‍රේ පැහැය, පිලිස්සු ගඩොල් තැඹිලි පැහැය, සෆාරි කොළ පැහැය, සුදු සහ දුඹුරු මිශ්‍රිත නියුඞ් පැහැය සහ තද කළු පැහැයන්ගෙන් සමන්විත වේ.











