ලංකා හොස්පිටල්ස් ස්වකීය සමාජ සත්කාර ප්‍රවේශයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද සැත්කම් පෝලිම අඩු කිරීම සඳහා දායක වෙයි. කොළඹ මහ නගරයේ රොටරි සමාජය, අමෙරිකාවේ නිව් ජර්සිහි නිව්ටන් රොටරි සමාජය සහ ගිෆ්ට් ඔෆ් ලයිෆ් ඉන්ටර්නැෂනල් ආයතනය මේ සද්කාර්යය උදෙසා ලංකා හොස්පිටල්ස් සමඟ අත්වැල් බැඳ ගනී. සංජානීය හෘද රෝග සුව කිරීමේ ශල්‍යකර්ම අවශ්‍ය දරුවන් 1500ක් පමණ රිජ්වේ ආර්යා රෝහලේ පොරොත්තු ලේඛනයෙහි සිටින අතර ලංකා හොස්පිටල්ස් ඔවුන්ට ස්වකීය සේවා නොමිලේ සපයයි. දැනට වසරක් පාසා සංජානීය හෘද රෝග ඇති දරුවන් 3000ක් පමණ උපදින අතර ඔවුන්ගෙන් 2000කට පමණ ශල්‍යකර්ම අවශ්‍ය වේ. කෙසේ වෙතත් අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා ගැනීමට නොහැකි වීම නිසා මේ දරුවන්ගෙන් විශාල පිරිසක් මරු මුවට පත් වන අතර තවත් පිරිසක් ජීවිත කාලය පුරා පවතින සංකූලතාවලට ලක්වෙති.











