ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ 5 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද, ගරු ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති සහ කොළඹ විශ්ව විද්‍යාලයේ සේවාර්ජිත මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතාද සහභාගි වූහ. මෙම අවස්ථාවට විශාල පිරිසක් එක්වී සිටීම, මෙරට වෛද්‍ය උපකරණ කර්මාන්තයේ ඉදිරිගමන පිළිබඳ සුබ පෙරනිමිත්තක් විය.
වේගයෙන් පුළුල් වෙමින් පවතින වෛද්‍ය උපකරණ කර්මාන්තය නියෝජනය කිරීම සහ කර්මාන්තයේ පවතින ගැටලු සඳහා පිළියම් සෙවීම අරමුණු කරගෙන 2015 වසරේදී ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලය ස්ථාපිත කරන ලදී. ඉහළම ප්‍රමිතියෙන් යුතු වෛද්‍ය උපකරණ මෙරටට හඳුන්වා දීම, සෞඛ්‍ය සේවයේ සියලුම පාර්ශ්වයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම, සාමාජිකයන් අතර සුහදත්වය වර්ධනය කිරීම, වෛද්‍ය උපකරණ ප්‍රවර්ධනය හා අලෙවිය සම්බන්ධ සදාචාරාත්මක මාර්ගෝපදේශ හඳුන්වා දීම යනාදිය එම මණ්ඩලයේ වගකීම් අතරින් ප්‍රධාන තැනක් ගනී.











