සිංහල සිනමාවේ තරුණ කාලේ ඒ විජයගෙ කාලේ. එහෙම කිව්වොත් වරදක් නෑ. ඉතින් ඒ කාලේ විජය කියන නළුවා සමඟ හරි හරියට රිදී තිරයේ නටපු, ගයපු, වයපු අපූරු කෙල්ලො ටිකක් හිටියා. ඒ නම් අතර මුලින්ම කියැවෙන නම් ගොඩක් තිබුණා. ඒ අතර හිටපු තරුණ ලස්සන හැඩකාර, දඟකාර කෙල්ලො තුන්දෙනකුට අපි කතා කළා. ඒ තමයි මැණික් කුරුකුලසූරිය, නීටා ප්‍රනාන්දු, ශ්‍රියානි අමරසේන. හැබැයි අද ඔවුන් ප්‍රවීණ රංගන ශිල්පිනියන්. ඒත් සිය ආදරණීය රංගන ශිල්පියා ගැන එහෙම නැත්නම් තිරයේ මුල්ම පෙම්වතා ගැන කියන්න ඔවුන් පසුබට වුණේ නෑ. මේ කියන්න යන්නේ ඒ කාලේ කෙල්ලො, නළු කොල්ලා ගැන මතකය ආවර්ජනය කරපු විදිය.
නීටා ප්‍රනාන්දු
විජය මට මුලින්ම හමුවන්නේ ‘කේසර සිංහයා’ චිත්‍රපටය හරහා තමයි. ඉන්පසු ‘වාසනා’ චිත්‍රපටයෙත් මම නිෂ්පාදනය කළ ‘සූරියකාන්ත’ චිත්‍රපටයෙත් මා සමඟ ප්‍රධාන චරිත රඟපෑවා. ඒ කාලේ විජය හරිම ලස්සන කොල්ලෙක්. මටත් ඕනෑ කළා ඔහු සමඟ චිත්‍රපටයක් කරන්න. ඒ අදහසත් එක්ක තමයි මම ‘සූරියකාන්ත’ චිත්‍රපටයට ඔහුව සම්බන්ධ කරගත්තේ.
ඔහුට ඒ තරමට හිත ගියා. ඔහු සමඟ මම ආශාවෙන් රඟපෑවේ. පෙම් ජවනිකා රඟපානකොටත් ඒ චරිතය වෙනුවෙන් උපරිම කැප වෙලා මම රඟපෑවා. සිනමාවේ මගේ ප්‍රථම ප්‍රේමය ඔහු. සිනමාවේ ආදරයට වගේම අපි අතර සැඟවුණ ඥාති සම්බන්ධයක් තිබුණා. ඒත් විජය අපේ ඥාති වෙන බව අපි දැනගෙන හිටියේ නැහැ. මගේ මල්ලි කසාද බැන්ද බිරියගේ පැත්තෙන් ඔහු ඥාතියෙක්. ඒ ඇතිවුණ බැඳීමත් එක්ක විජය එක්ක අපි තවත් සමීප වුණා. ඔහු සමඟ කතා කරලා බේරෙන්න බැහැ. හරිම විහිළු තහළුවෙන් තමයි කාලය ගෙවන්නේ. දවසක් මම ඇහුවා අයියේ ඔයා කතෝලිකද කියලා. ඒ වෙලාවේ විජය අපේ අම්මාගෙන් අහනවා මේකිට පිස්සුද කියලා.
විජය කවදාවත් මුදල් පසුපස්සේ හඹාගියේ නැහැ. ඔහුට තිබුණා ඕනෑ තරම් මුදල් උපයන්න. ඒත් ඔහු එකතු කළේ සියලුම දෙනාගේ ආදරය පමණයි. එය ඕනෑවටත් වඩා ඔහුට ලැබුණා. මගේ චිත්‍රපටයට මම ඇහුව මුදල් කීයක් ඕනෑද කියලා. ඔහු ගත් කටටම කිව්වේ මගේ ගාන මෙච්චරයි පුළුවන් නම් දීපන්. නැත්නම් නිකම් හිටපන් කියලා. ඔහු සත පහක් ගත්තේ නැහැ මගේ චිත්‍රපටය වෙනුවෙන්.
ඔහු රඟපෑමට වඩා රටට ආදරය කළා. කලාව රඟපෑම අපි උප්පත්තියෙන් අරගෙන එන දෙයක්. නමුත් දේශපාලනයට යනවා කියන්නේ ජීවිතය පරදුවට තබා කටයුතු කරන්න වෙනවා. ඔහු වැඩ කළේ දුප්පතාගේ දුක නිවන්න හිතාගෙනයි. නමුත් අවසානයේ අපි හැමෝටම කඳුළක් උරුම වුණා පමණයි. අද අපිට ඉතිරිව ඇත්තේ ඔහු සමඟ ගතකළ මතකය පමණයි.
ඔහු මියගිය දවස පුදුම දවසක්. ඔහු එදා නැති වුණේ මගේ තාත්තාගේ මරණයට ඇවිත් අවසන් ගෞරවය දක්වලා යන ගමන්. ඔහු අපේ අම්මට කියලා තියෙනවා ආයේ එන්න බැරිවෙයි. වැඩ වගයක් තියෙනවා කියලා. ඉතින් ඒ ඇවිත් පැය කිහිපයකට පසු ඔහුට වෙඩි තිබ්බා කියලා දැනගන්න ලැබුණා.
ශ්‍රියානි අමරසේන
සුගතපාල ද සිල්වාගේ ‘හිත හොඳ අම්මා’ වේදිකා නාට්‍යයේ පුහුණුවීම් රාජකීය විiාලයේ සිදුකළේ ඒ දවස්වල ඉතින් සුගතපාල ද සිල්වාගේ හොඳ මිතුරෙක් තමයි විජය කුමාරණතුංග. ඒ වෙන කොටත් විජය රඟපාලා නැහැ. හරිම ලස්සන කොල්ලෙක්. ඉතින් එදා මම එක්ක පුහුණුවීම් කරන නළුවා ඇවිත් හිටියේ නැහැ. එනිසා සුගතපාල ද සිල්වා විජයට කිව්වා මම සමඟ රඟපාන්න කියලා. ඔය විදියට තමා අපේ මුල්ම දැනහඳුනා ගැනීම. ඔහු දැක්කට පස්සේ අපට හිතාගන්න බැරි වුණා. මේ තරම් ලස්සන කෙනෙක් ඉන්නවා කියලා ලංකාවේ.
කාලයත් එක්ක පසුකාලීනව ඔහු මගේ ප්‍රථම නිෂ්පාදනය ‘දැයේ මල් පිපිලා’ චිත්‍රපටයේ මා සමඟ ප්‍රධාන චරිතය රඟපෑවා. ඒ වන විටත් ඔහු චිත්‍රපට කිහිපයකම රඟපාලා ජනප්‍රිය වෙලා තිබුණේ. ඒ විතරක් නෙවේ වැඩිම මුදලක් අය කළේ ඔහු. ඒත් මගේ චිත්‍රපටයේ රඟපාන්න සතපහක්වත් ගත්තේ නැහැ. ‘දැයේ මල් පිපිලා’ චිත්‍රපටය කොහොම හරි තිරගත කරන කාල වකවානුවල ඔහු ජීවතුන් අතර නැහැ. හිතට දුකයි. ඒත් මොනවා කරන්නද. ඔහුගේ රඟපෑම බලන්න සිනමා ශාලාවල සෙනඟ පිරිලා. ඔහුගේ රඟපෑමට වගේම හඬට රසික රසිකාවියන් ආදරය කළා.
විජය මාත් සමඟ චිත්‍රපට ගණනාවක මගේ පෙම්වතා විදියට රඟපෑවා. තවත් සමහර චිත්‍රපටවල මගේ සහෝදරයා විදියට රඟපෑවා. ක්‍ෂේත්‍රයේ ඒ කාලේ නිතරම මුණගැහෙන දෙන්නෙක් තමයි අපි දෙන්නා. දුක්විඳලා, නිදිමරාගෙන එකට අපි රඟපානවා. කටුක වුණත් හරිම සුන්දර බවක් දැනුණා. ඔය කාලේ තමයි විජය, ශ්‍රියානි ස්වර්ණමය යුගය උදාවුණ කාලේ. අපි දෙන්නාට එක දිගට නිර්මාණවලින් ආරාධනා ලැබුණා. මම සතුටු වෙනවා අපි දෙදෙනාටත් ස්වර්ණමය යුගයක් උදා කිරීමට වාසනාව උදා වීම ගැන. අදටත් ඒ ස්වර්ණමය යුගය මතකයි. නමුත් ඔහු කලාවට වඩා ලොකු නැඹුරුවක් තිබුණේ දේශපාලනයට. රටේ ජනතාවට පුදුමාකාර විදියට ආදරය කළා. ඔහු කතා කරන්නේම සමාජය ගැන තමයි. අපි හිතින් ගොඩාක් දුක් වුණා. එවැනි පුද්ගලයෙක් කලාවෙන් ඈත්වෙන එකට. ඔහු නැති පාඩුව අපිට තදින් දැනුණේ ඔහු ජීවිතයෙන් සමුගත්තට පස්සේ, සිනමාව පවා කඩා වැටුණා ඔහු අහිමි වීමත් සමඟ.
එදා වත්තල අපේ හිතවත් කලාකරුවෙක්ගේ ගෙදර උපන් දින සාදයක් තිබුණා. ඉතින් ඒකට මමත් ජීවන් කුමාරණතුංගත් ඔහුගේ බිරියත්, තවත් හිතවතුන් කිහිප දෙනකුත් සහභාගි වෙලා හිටියේ. විජයත් එනවා කිව්ව නිසා අප මඟබලා ගෙන හිටියා. එන්න එන්නම පරක්කු වුණා. ඔහු දේශපාලන වැඩකටයුතු නිසා පරක්කු වෙන්න ඇති කියලා අපි හිතුවා. පස්සේ අල්ලපු ගෙදර කෙනෙක් කිව්වා රූපවාහිනියේ විජය මහත්තයා ගැන කියනවා බලන්න කියලා.
ඒ දානවත් එක්ක අපි දැක්කේ ඔහුගේ වෙඩි වැදුණු සිරුර. මුහුණ වහලා තිබුණෙ. ඔහුගේ බාහිර ස්වරූපයෙන් ඇඳුමෙන් තමයි අපි අඳුර ගත්තේ. එදා දවස නම් අපිට පිස්සු වගේ. උන් හිටි තැන් අමතක වෙලා අපි ගියේ කෙළින්ම මෝචරියට. ඒ යන විටත් මහා ජන ගංගාවක් හිටියා. ඒ තරම් සෙනඟක් මම කවදාවත් දැකලා නැහැ. ඔහු වැපුරුවේ මිනිසුන්. ඒ තරමට ඔහුට ආදරය කළා.
ඒ අඩුව පුරවන්න කාටවත් බැහැ. ඔහුගේ තිබුණු ඒ මානුෂික ගතිගුණ දැන් ඉන්න කිසිම කෙනකුට නැහැ. මම හිතන්නෙ නැහැ ඔහු වගේ කෙනෙක් නැවත අපට මේ කලාවේදී හමුවෙයි කියලා.
මැණික් කුරුකුලසූරිය
විජය අයියා රඟපාන්න එන්නත් කලින් ඉඳලා මම එයාව දන්නවා. එයා අපේ අක්කලා සමඟ ගොඩක් හිතවත් වෙලා හිටියේ. ඒ හරහා අපේ පවුලට ගොඩාක් සමීප වුණා. විජය අයියා ගෙදර ආවාම කරන්නේ මාව බයික් එකේ දාගෙන එක්කගෙන යනවා. මම එක්ක සෙල්ලම් කරනවා. මට ඔහු සහෝදරයෙක් වගේ.
ඔහු ජනප්‍රිය වුණා කියලා අපේ පවුලත් එක්ක තිබුණු සම්බන්ධතාව අඩු කළේ නැහැ. ඔහු තමයි මාව ‘අහස් ගව්ව’ චිත්‍රපටයට සම්බන්ධ කළේ. පාසල් චරිතයකට පසු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ‘ගොඞ් කින්’ චිත්‍රපටයේ ඔහු සමඟ මම රඟපෑවා. මට ඔහු නළුවෙක් වගේ දැනුණේ නැහැ. සහෝදරයෙක් විදියට තමයි දැනුණේ. පසුකාලීනව මට චිත්‍රපටවලින් ආරාධනා ලැබුණත් මම රඟපෑවේ නැහැ. බැහැ කියලා සිනමාවෙන් ඈත් වුණා. ඒ නිසා විජය අයියා සමඟ රඟපාන්න තිබුණු සුවිශේෂී චරිත මට මඟහැරුණා. ඒත් පසුකාලීනව මම නැවැත සිනමාවට එකතු වුණා.
විජය අයියා සමඟ රඟපාන කොට අපි පුදුමාකාර එකමුතුවෙන්, සහෝදරත්වයෙන් වැඩ කළා. හරිම විනෝදකාමී සුන්දර හදවතක් ඔහුට තිබුණේ. ඔහු සමඟ රඟපාන්න ලැබීම පූරුවේ කළ පිනක් කියලා කියන්න පුළුවන්.
විජය අයියාගේ අභාවය දවස මට අද වගේ මතකයි. එදා අපේ ගෙදර රවීන්ද්‍ර රන්දෙණිය ඇවිත් හිටියේ ජාතික පුවත්පතක පින්තූර කතාවකට පින්තූර ගැනීමට. ඔය වැඩකටයුතු කරන අතරතුර තමයි අපේ හිතවතෙක් පැවසුවේ රූපවාහිනියෙන් දැනගන්න ලැබුණා විජය අයියා මියගිහින් කියලා. ඒ වචනය ඇසූ සැණින් මට උන්හිටි තැන් අමතක වුණා.
මගේ හිසට පොල්ලකින් ගැහුවා වගේ ලොකු කම්පනයක් මට දැනුණා. මට දරාගන්න බැරිව මම එදා දවසම ඇඬුවා. මට මගේ අයියා අහිමි වුණා වගේ දැනුණා. ගම්පොළ ඉඳල දවස් කිහිපයකට කලින් මමයි, විජේ අයියා අපේ අනෙකුත් ශිල්පීන් සමඟ කඳපොළ කුමාරතුංග අධ්‍යක්‍ෂණය කළ ‘හංස ගීතය’ චිත්‍රපටයේ රූපගත කිරීම් අතරතුර කොළඹ ආවේ, තව දින කිහිපයකින් ආපසු යෑමට සිතාගෙන. ඒත් ඒ සියල්ල වෙනස් වුණා. පසුකාලීනව ඒ චිත්‍රපටය විජය – ගීතා නමින් නම් කර වෙනස් කරලා නැවැත රූපගත කිරීම් සිදුකළා.
ඔහු සහ ජෝතිපාල මහතා නිසා සිනමා ශාලා පිරී ඉතිරී ගියා. ඒත් අද ඒ ස්වර්ණමය යුගය නැහැ. විජය අයියාට තිබුණු ආකර්ෂණීය බව සිනමාවට ගොඩාක් බලපෑවා. හැබැයි ඔහු කිය කියා හිටියේ අපි සමඟ අවුරුද්දකට එක චිත්‍රපටයක් රඟපානවා කියලා. ඔහු අදත් හිටියානම් රඟපායි.
වසන්ත විතාරණගේ










