මහින්දගේ නම බුද්ධි වාර්තාවේ ඉහළටම ඇවිත්!
නාමල් නැවෙන් බහින්න ලෑස්ති වෙයි!
හර්ෂට-කබීර්ට ආයෙමත් රනිල් ලණුවක් කවලා!
පුංචි ඡන්දෙට වෙච්ච දේ!
ඉකුත් පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව විසින් මේ වන විට දින නියමයක් නොමැතිව කල්දමා ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය සහ විපක්ෂය ප්‍රශ්න කරද්දී ආණ්ඩුව ගැලවිජ්ජාවට කියන්නේ අධිකරණය හමුවේ නඩුවක් පවතින බැවින් ඒ එන තීන්දුවට අනුව මැතිවරණය පැවැත්වීමට කටයුතු කරනවා යැයි කියාය. පසුගිය සතිය වන විට මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් දිගටම පෙනී සිටි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතාද මාධ්‍යයට කියා සිටියේ දැන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමිසම සතුව නොව, ආණ්ඩුව සතුව යැයි කියාය. ඒ තරමටම පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වගකිව යුතු ආයතනය වූ මැතිවරණ කොමිසමටද දැන් මැතිවරණය පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති තරම්ය. කෙසේ වෙතත් බොහෝ දෙනා කියා සිටින්නේ මේ අවස්ථාවේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් නියත පරාජයක් අත්විඳීමට සිදුවන හෙයින් ආණ්ඩුව ඡන්දය පැවැත්වීම කල්දමා ඇතැයි කියාය.
එන්නේ හදිසි ජනාධිපතිවරණයක්!
මේ ආකාරයට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බියපත්ව සිටින ආණ්ඩුවේ ප්‍රබලයන් මේ වන විට සූදානම් වන්නේ හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමටය. අවස්ථා කිහිපයකදීම ආණ්ඩුවේ ඉහළ තැන්වලට සම්බන්ධ විවිධ පුද්ගලයන් විසින් මේ බව මාධ්‍ය හමුවේද ප්‍රකාශයට පත්කෙරිණි. ව්‍යවස්ථානුකූලව මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නැති වුවද විපක්ෂය බියගැන්වීම සඳහා පසුගිය සති කිහිපය පුරාම ආණ්ඩුව ගහපු තුරුම්පුව වූයේද මෙම ජනාධිපතිවරණ මාතෘකාවය.
ජ්‍යොතිෂවේදීන්ට කේන්දරය පෙන්වලා!
ඊටද බලපෑ ප්‍රධාන හේතුවක් නොතිබුණා නොවේ. එය ජ්‍යොතිෂමය උපදෙසකි. සාමාන්‍යයෙන් පසුගිය වසර කිහිපය පුරාම ජ්‍යොතිෂයට මුල්තැන දී කටයුතු කළ පවුල් අතර ඉදිරියෙන්ම සිටියේ රාජපක්ෂ පවුලය. රාජපක්ෂ පවුල කුමන කටයුත්තක් කළද ඊට පෙරාතුව ජ්‍යොතිෂ උපදෙස් අනුව සියල්ල කිරීමට වගබලාගෙන තිබිණි. ඒ වෙනුවෙන්ම පත්කොට තිබූ රාජකීය දෛවඥයකුද රාජපක්ෂ පවුලට සිටියේය. එවැනි ප්‍රසිද්ධියක් නොතිබුණද මේ වන විට ආණ්ඩුවේ ප්‍රබල අයකුගේ පවුලට සම්බන්ධ ඥාතීන්ද පසුගිය සති කිහිපය පුරා විවිධ ජ්‍යොතිෂවේදීන් කැඳවා ඉදිරි කාලසීමාව පිළිබඳ ජ්‍යොතිෂ උපදෙස් ලබාගැනීමට කටයුතු කොට තිබිණි. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මෙරට නමගිය ජ්‍යොතිෂවේදීන් පමණක් නොව, ඉන්දියාවෙන්ද ජ්‍යොතිෂවේදීන් ගෙන්වා ගෙන මෙම පවුලේ ඥාතීන් විවිධ ක්‍රමවලට ආණ්ඩුවේ මෙම ඉහළ ප්රබලයාගේ හඳහන බලවා තිබීමය. එම හඳහනට ඉදිරි කාලසීමාව කෙබඳුද, එම හඳහන සහ රටේ හඳහන ඉදිරි කාලසීමාවේදී එකට පෑහේද යනාදී වශයෙන් මෙම පවුලේ ඥාතීන් මෙම ප්රබලයාගේ හඳහන ජ්‍යොතීර්වේදීන් ලවා බලවා ගැනීමට පියවර ගෙන තිබිණි.
මාර්තු පැන්නොත් අමාරුයි!
එහිදී අපට දැනගන්නට ලැබුණු තොරතුරුවලින් කියැවෙන්නේ මෙම සියලු ජ්‍යොතිර්වේදීන් අදාළ ප්රබලයාගේ කේන්දරය බලා යම් පොදු කාරණාවක් විශේෂයෙන් පෙන්වා දී ඇති බවය. එනම්, මේ වන විට මෙම ප්‍රබලයාට ගුරු මාරුව පවතින බවත්, ඒ හේතුවෙන් තරමක් අසීරු කාලසීමාවක් පසුකරමින් සිටින බවත්ය. ඉන් අනතුරුව ලබන සැප්තැම්බර් මාසයේදී සිකුරු මාරුව සිදුවන බවත්, ඉන් පසු කාලසීමාව තවදුරටත් අසීරු වනු ඇති බවත් මෙහිදී ජ්‍යොතිෂවේදීන් මෙම ප්රබලයාගේ පවුලේ ඥාතීන්ට දැනුම් දී ඇති බවක් ආරංචිය. කෙසේ වෙතත් ලබන වසරේ මාර්තුවලින් පසු පවත්වනු ලබන කිසිදු මැතිවරණයකදී ජයග්‍රහණයක් ලැබීම අසීරු බව මෙහිදී පෙන්වා දී ඇති ජ්‍යොතිර්වේදීන් එහි ඇති අපලයන් මකාගෙන කිසියම් හෝ සාර්ථකත්වයක් ලබාගැනීමට නම් අනිවාර්යයෙන්ම ලබන මාර්තුවලට ප්‍රථම ප්‍රධාන මැතිවරණයක් පැවැත්වීම සුදුසු බවද පෙන්වා දී ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මෙම ජ්‍යොතිෂ උපදෙස්වලට අනුව ආණ්ඩුව මේ වනවිට ලබන වසරේ මුල් කාර්තුවේ අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට තීන්දු කොට අවසානය. ඊට අවශ්‍ය කරන සංශෝධන පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා වන වැඩකටයුතුද මේ දිනවල තිරය පිටුපස ලහි ලහියේ සිදුවෙමින් පවතින බවක් දැනගන්නට තිබේ.
ජනාධිපතිවරණය තීන්දුයි!
තිරය පිටුපස සිදුවෙමින් පවතින මෙම ක්‍රියාවලිය පිළිබඳ කිසියම් ඉඟියක් පසුගිය සතියේදී ආණ්ඩුවේ ඉහළම තැන්වලට සම්බන්ධ ඥාතියකු වන රුවන් විජේවර්ධන විසින් එළියට දැම්මේය. ඒ, පක්ෂ ප්‍රතිසංවිධානය නිමිති කොටගෙන පැවැති බලමණ්ඩල රැස්වීමකදීය. එහිදී රුවන් කියා සිටියේ ලබන මාර්තුවට කලින් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සූදානමක් පවතිනවා යැයි කියාය. අප ඉහත සඳහන් කළ ජ්‍යොතිෂමය කරුණු සහ රුවන්ගේ මෙම ප්‍රකාශය අතර ඍජු සම්බන්ධයක් පවත්නවාද යන්න අප නොදන්නා නමුත්, ආණ්ඩුව මේ වන විට හදිසි ජනාධිපතිවරණයකට යෑම සඳහා පිඹුරුපත් සකසමින් සිටින ආකාරය නම් හොඳටම පැහැදිලිය.
සජබය ලෑස්තියි!
මේ සම්බන්ධයෙන් වූ තොරතුරු කල්තියාම ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයටත්, එහි නායකයා වන සජිත් ප්‍රේමදාස මහතාටත් නොලැබුණා නොවේ. ඒ අනුව සජිත් ප්රමුඛ සජබයද මේ වන විට සූදානම් වන්නේ හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් ඊට මුහුණ දීම සඳහාය. දැනටමත් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරි ජනාධිපතිවරණයේදී සජබයෙන් අපේක්ෂකයකු නම් කරන බවටත්, එම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බවටත් යෝජනාවක් සම්මත කොට අවසානය. එමෙන්ම පක්ෂයේ ඡන්ද යාන්ත්‍රණය මෙහෙයවීමේ කටයුතු සජිත් විසින් මේ වන විටත් පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාට භාරකොට අවසන්ය. ඒ අනුව තිස්සගේ සැලැස්ම වී ඇත්තේ සෑම ඡන්දපොළ මධ්‍යස්ථානයකම සාමාජිකයන් 200ක බළඇණියක් නිර්මාණය කිරීමය. දැනටමත් තිස්ස ඡන්ද මධ්‍යස්ථාන 90ක මෙම වැඩකටයුතු සාර්ථකව අවසන් කොට ඇති බවක් දැනගන්නට තිබේ. මීට අමතරව ඉදිරියේදී ඡන්ද ව්‍යාපාරය ආසන මට්ටමින්, ගම් මට්ටමින්, නගර මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, පළාත් මට්ටමින් දියත් කරන ආකාරය සම්බන්ධයෙන් ද සජබය මේ වන විටත් දල සැලසුමක් සකස් කොට අවසන්ය. එමෙන්ම ජනාධිපතිවරණය ලබන මාර්තුවට ප්‍රථම පැවැත්වීමට අවශ්‍ය නම් ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට අවශ්‍ය බැවින් ඊට වුවමනා තුනෙන් දෙකක බහුතරය ලබාදීමට සජබය සූදානම් බවට දැනටමත් ප්‍රකාශයක් සිදුකොටද අවසන්ය.
පොහොට්ටුව මොනවා කරයිද?
ආණ්ඩුව සහ සජබය මේ ආකාරයට හදිසි ජනාධිපතිවරණයකට සූදානම් වෙද්දී පොහොට්ටුව පැත්තෙන් ඒ සඳහා ඇති සූදානම පිළිබඳවද සොයා බැලිය යුතුය. අප මීට ප්‍රථම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කළ පරිදි ඉකුත් අප්‍රේල් 22 වැනි දින බැසිල් සහ ජනාධිපතිවරයා අතර අතිශය රහසිගත සාකච්ඡාවක් පැවැති අතර, එහිදී ජනාධිපතිවරණය සම්බන්ධයෙනුත්, ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙනුත් දෙදෙනා අතර යම් එකඟතාවක් ඇතිවූ බව මෙ තීරය ඔස්සේ අපි අනාවරණ කළෙමු. ජනාධිපතිවරයා බැසිල්ට හිතවත් ආණ්ඩුකාරවරුන් තිදෙනකු පත්කරනු ලැබුවේද දෙදෙනා අතර පැවැති මේ එකඟතාව අනුවය. මෙම එකඟතාවට අනුව පොහොට්ටුව ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටීමට නියමිත බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු.
බැසිල් එක පැත්තකට! නාමල් තවත් පැත්තක!
කෙසේ වෙතත් මේ වන විට මෙම එකඟතාව සම්බන්ධයෙන් රාජපක්ෂ කඳවුර ඇතුළේ සහ පොහොට්ටුව ඇතුළේ යම් මතගැටුමක් මතුව ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා වන නාමල් රාජපක්ෂ, බැසිල්ගේ මතයට එරෙහි මතයක් පක්ෂය ඇතුළේ රැගෙන යෑමට පියවර ගැනීමත් සමගය. නාමල්ගේ මෙම ස්ථාවරය මේ වන විට කෙතරම් දුරට පක්ෂය ඇතුළට ගොස් තිබෙනවාද කියනවා නම් මහින්දද කලින් තමන් සිටි ස්ථාවරය වෙනස් කොට නාමල්ගේ ස්ථාවරයට පැමිණ ඇති බවක් ආරංචිය. එහිදී නාමල් පෙන්වා දී ඇත්තේ තවදුරටත් ජනාධිපතිවරයා සමග මේ ආකාරයට කටයුතු කිරීමට ගියහොත් රාජපක්ෂ ඡන්ද පදනම දරුණු ලෙස නායයෑමකට ලක්විය හැකි බවත්, ඒ අනුව වහාම එම තත්ත්වය වෙනස් කිරීම සඳහා පක්ෂය විසින් යම් යම් තීරණ ගත යුතු බවත්ය. විශේෂයෙන්ම බැසිල් වෙන මතයක සිටිමින් පොහොට්ටුව යම්කිසි දිශාවකට ඇදගෙන යෑමට කටයුතු කරන්නේ නම් මහින්දලා ඊට එරෙහිව වෙනත් තීන්දුවක් ගත යුතු බවට වූ මතයක් මේ වන විට පොහොට්ටුව ඇතුළේ මතුවෙමින් පවතින බවක් දැනගන්නට ඇත. ඊළඟ ජනාධිපතිවරණයේදී නියත වශයෙන්ම රාජපක්ෂවරයකු ඉදිරිපත් විය යුතු බවත්, එසේ නොවුණහොත් පොහොට්ටුවේ මහින්දවාදී ඡන්ද කිසිවක් නොලැබෙනු ඇති බවත් ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.
ඉදිරිය තීරණාත්මකයි!
ජනාධිපතිවරයා සහ රාජපක්ෂවරුන් අතර මතුවෙමින් පවතින මෙම බෙදීම පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති ජනක රත්නායකට එරෙහි ඡන්ද විමසීමේදීද පැහැදිලිව දැකගන්නට ලැබිණි. එහිදී අවසන් මොහොතේ රාජපක්ෂවරුන් ආණ්ඩුවේ මතයට අනුගත වෙමින් ජනක රත්නායකට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළද ඉදිරියේදී පැවැත්වීමට නියමිත තීරණාත්මක ඡන්ද විමසීමකදී මේ තත්ත්වය හාත්පසින්ම වෙනස් වීමට ඉඩ ඇති තත්ත්වයක් මේ වන විට මතුව තිබේ. අප එම අවස්ථාව කුමක්ද යන්න හෙළිදරව් කිරීමට හදිසි නොවන නමුත්, පෙළගැසෙමින් පවතින කරුණු කාරණාවලට අනුව ඉදිරි මාස කිහිපය ආණ්ඩුවට ඉතා තීරණාත්මක කාලයක් වනු ඇති බව නම් හොඳටම පැහැදිලිය.
123 හොයාගත්ත හැටි!
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා තනතුරෙන් ඉවත් කිරීම සඳහා පසුගිය බදාදා පැවැති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 123ක්ද, විපක්ෂව ඡන්ද 77ක් ලැබීම හේතුවෙන් බොහෝ දෙනා සිතුවේ මෙම ඡන්ද විමසීමෙන් ආණ්ඩුව ශක්තිමත් වූවා යැයි කියාය. නමුත් ආරම්භයේ සිටම ආණ්ඩුව සිටියේ මෙම ඡන්ද විමසීමේදී 113ක බහුතරය පෙන්වා දීමේ දැඩි අර්බුදයකය. අප ඉකුත් සතියේ මේ ඡන්ද උණුසුම පිළිබඳ විශේෂ වාර්තාවක් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ගෙන ආ අතර, එහිදී අප කියා සිටියේ ඒ වන විටත් ආණ්ඩුවේ මන්තීවරුන් 10 දෙනකු විදෙස්ගතව සිටීම නිසාත්, නාමල් සහ මහින්ද හමුවීමට පැමිණි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 11 දෙනකුගේ කණ්ඩායමක් මෙම යෝජනාවට සහාය දැක්විය නොහැකි බවට ප්‍රකාශ කර තිබීම නිසාත් 24 වැනි දින ඉතා උණුසුම් තත්ත්වයක් පාර්ලිමේන්තුවේ ඇතිවිය හැකි යැයි කියාය. අප කළ අනාවරණයත් සමග පසුගිය සතියේ ආණ්ඩු පක්ෂය තම යෝජනාව සම්මත කරගැනීම සඳහා අවශ්‍ය 113 සොයාගැනීමේ දැඩි සටනක නිරතව සිටියේය. විපක්ෂයේ දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂ කරවාගැනීම නිමල් ලන්සාට භාරදී තිබූ අතර, ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එක් කරගැනීම භාරදී තිබුණේ නිමල් සිරිපාල අමාත්‍යවරයාටය. මේ නිසා ඡන්ද විමසීම පැවැති බදාදා දිනය දක්වාම තැන් තැන්වල තිරය පිටුපස රහස් සාකච්ඡා වට ගණනාවක්ම පැවැති ආකාරයක් දැකගන්නට ලැබිණි.
දෙමළ සන්ධානය වැට උඩට!
මෙහිදී නිමල් ලන්සා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුටම කතාකර තිබූ අතර, ඉන් දෙතුන් දෙනකු වැට උඩ සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. මේ නිසාම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පසුගිය සඳුදා රාත්‍රියේ දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්දන් මහතා මුණගැසීමට කොළඹ පිහිටි ඔහුගේ නිවෙසට ගියේය. ඒ, දෙමළ ජාතික සන්ධානයේ ඡන්දයද ආණ්ඩුවට විරෝධී ලෙස ප්‍රකාශයට පත්කර ගැනීම සඳහාය. එහිදී සම්බන්දන් සහ සජිත් අතර පැවැති සාකච්ඡාවේදී මතුව ඇති තත්ත්වය පිළිබඳ සජිත්ට දීර්ඝව කරුණු පැහැදිලි කළ සම්බන්දන් ඒ හේතුවෙන් මෙම ඡන්ද විමසීමේදී ඡන්දය දීමෙන් වැළකී සිටීමට පක්ෂය තීන්දුවක් ගෙන ඇති බව සඳහන් කර සිටියේය.
බැසිල්වත් ගෙන්වයි! සුරේන්ට කැනඩාවට කතා කරයි!
මීට අමතරව ආණ්ඩුව පොහොට්ටුවේ සම්පූර්ණ සහාය ඡන්දයට ලබාගැනීම සඳහා බැසිල්ගේ සහායද ලබාගැනීමට තීන්දු කොට තිබිණි. ඒ අනුව ඒ වන විට ඩුබායිහි රැඳී සිටි බැසිල්ට කතාකොට තත්ත්වය පිළිබඳ දැනුම් දී වහාම ඔහුව ලංකාවට ගෙන්වා ගැනීමට ආණ්ඩුවට පියවර ගත්තේය. ඒ අනුව බැසිල්ද පසුගිය සිකුරාදා දින ලංකාවට පැමිණ ආණ්ඩුවට 113ට ලබාදීමේ මෙහෙයුම ආරම්භ කිරීමට කටයුතු කළේය. එහිදී බැසිල් පළමුව කතා කළේ විදෙස්ගතව සිටින පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ටය. ඉන් එක් මන්ත්‍රීවරයකු වූයේ සුරේන් රාඝවන්ය. සුරේන් මේ වන විට කැනඩාවට ගොස් සිටින්නේ මාසයක ශිෂ්‍යත්වයක් ලබා අධ්‍යයන කටයුතු සඳහාය. ඒ අනුව සුරේන්ට කතා කළ බැසිල් කියා සිටියේ ඡන්දය ලබාදීම සඳහා බදාදා දිනයේදී ලංකාවට පැමිණෙන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍ර වියදම පක්ෂය විසින් ලබාදෙනු ඇති බවත්ය. නමුත් සුරේන් බැසිල්ට කියා සිටියේ පවතින තත්ත්වය යටතේ ලංකාවට පැමිණීම ඉතා අසීරු යැයි කියාය. ඒ අනුව සුරේන් ඡන්ද විමසීමට පැමිණ සිටියේ නැත.
අනුර යාපාට පණිවුඩයක්!
එමෙන්ම මේ වන විට පොහොට්ටුවෙන් ඉවත්ව ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් තිදෙනකුටද ආණ්ඩුව පැත්තෙන් විශේෂ පණිවුඩයක් ලැබිණි. ඉන් එක් මන්ත්‍රීවරයකු වූයේ අනුර ප්‍රියදර්ශන යාපාය. ආණ්ඩුව පැත්තෙන් මේ තිදෙනාට ලැබුණු පණිවුඩයෙන් කියැවුණේ යම් හෙයකින් ආණ්ඩුවට 113ක බහුතරය සොයාගැනීමට නොහැකි වුවහොත් ආණ්ඩුවත් සමග එක්ව ඡන්දය පාවිච්චි කරන ලෙසටය. 113 සොයාගැනීමේ ප්‍රශ්නයක් නොමැති නම් ආණ්ඩුවට පක්ෂව ඡන්දය භාවිත කළ යුතු නැති බවද එම පණිවුඩයෙන් කියැවිණි. මෙහිදී අනෙක් මන්ත්‍රීවරුන් දෙදෙනා කෙසේ වුවද, අනුර යාපා නම් ආණ්ඩුවත් සමග ඡන්දය ලබාදීමට පියවර ගෙන තිබිණි.
ජනකට විතරක් බෑ!
මේ අතරවාරයේ ජනකටද තමන් සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය හා ඡන්ද විමසීම දැකබලා ගැනීමට අවශ්‍ය විය. ඒ අනුව ජනක කළේ පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් තමන් සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදය නැරඹීම සඳහා තමන්ටත්, දරු දෙදෙනාටත් අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් කිරීමය. නමුත් ඊට පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් අවසර ලැබුණේ නැත. මහජන ගැලරිය තවමත් බාහිර පුද්ගලයන් හට විවෘත කොට නොමැති බව දැනුම් දෙමින් ජනකගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට පාර්ලිමේන්තු බලධාරීන් එහිදී කටයුතු කොට තිබිණි. නමුත් බදාදා දිනයේ දැකගත හැකි වූ විශේෂම සිදුවීම වූයේ මහජන ගැලරිය වසාදමා ඇති බව කියමින් ජනකට පාර්ලිමේන්තුවේ දොර වැසුවද සිසුන් ඇතුළු වෙනත් කණ්ඩායම් හට එදින මහජන ගැලරියේ සිට විවාදය නැරඹීමට පාර්ලිමේන්තු බලධාරීන් අවස්ථාව ලබාදී තිබීමය.
රහීම්ට හා..!
මේ බව විපක්ෂ නායක සජිත් සිය කතාවේදී මතුකර දැක්වීමටද පියවර ගත්තේය. එහිදී සජිත් කියා සිටියේ ජනකට විවාදය බැලීමට අවසර නොදීමට ආණ්ඩුව කටයුතු කළත් රත්රන් සහ ජංගම දුරකතන හොරෙන් ගෙනැවිත් ඊට පෙර දින හසුවූ ආණ්ඩුවත් සමග කටයුතු කරන අලි සබි්ර රහීම් හට එදින පාර්ලිමේන්තුවට පැමිණ ඡන්දය ලබාදීමට ආණ්ඩුව අවස්ථාව ලබාදී ඇතැයි කියාය. එය ලැජ්ජාවට කරුණක් බවද සජිත් කියා සිටියේය.
රහීම් හිටියෙම රනිල්ලත් එක්ක!
කෙසේ වෙතත් අලි සබි්ර රහීම් ඡන්දය විමසන අවස්ථාව වන විට පාර්ලිමේන්තුවට පැමිණ සිටීම පසුපසද රසවත් කතාවක් තිබේ. අලි සබි්ර රහීම් යනු පුත්තලමෙන් ස්වාධීනව තරග වැද ජයග්‍රහණය කොට 2019 පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරයකු වුවද ඔහු පාර්ලිමේන්තු පැමිණී දිනයේ සිටම සිටියේ ආණ්ඩු පක්ෂය සමගය. විපක්ෂයේ අසුන්ගෙන සිටියද අලි සබි්ර රහීම් ජනාධිපති ධුරයේ බලතල වැඩිකරගැනීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රැගෙන ආ 20 වැනි සංශෝධනයට අත උස්සා ආණ්ඩුව සමග එක්විය. එදා සිට පැවැති සෑම තීරණාත්මක අවස්ථාවකදීම අලි සබි්ර රහීම් ආණ්ඩුවත් සමග එක්ව ඡන්දය ලබාදුන්නේය. ගෝඨා පලායෑමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණීම නිසා අලි සබි්ර රහීම්ගේ ස්ථාවරයේ වෙනසක් නොවීය. ඒත් ඔහු සිටියේ ආණ්ඩුව සමගය.
113 ඉන්නවා! විපක්ෂයට දෙන්න!
කෙසේ වෙතත් ආණ්ඩුව 113 සොයන මෙහෙයුමේදී අලි සබි්ර රහීම්ගේ නමද ආණ්ඩු පක්ෂයේ ගොඩට දමා ගණන් හැදීමට පියවර ගෙන තිබිණි. නමුත් බදාදා සවස වන විට 113 ඉක්මවා යන මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ආණ්ඩුව සමග සිටින බව තහවුරු වීමත් සමග ආණ්ඩුවෙන් අලි සබි්‍රට විශේෂ පණිවුඩයක් ලැබිණි. ඒ, වහාම පාර්ලිමේන්තු පැමිණ ජනකගේ ඡන්ද විමසීමේදී විපක්ෂය සමග එක්ව ඡන්දය ලබාදෙන ලෙසටය. එමෙන්ම මාධ්‍ය මේ පිළිබඳ විමසීමේදී රත්තරන් සම්බන්ධ සිද්ධියේදී ආණ්ඩුව තමන්ට උදව් නොකළ නිසා ජනකට පක්ෂව, ආණ්ඩුවට විරුද්ව ඡන්දය දුන් බව ප්‍රකාශ කරන ලෙසද උපදෙස් ලැබිණි. අඟහරුවාදා දින සිදුවූ සිද්ධිය හේතුවෙන් පාර්ලිමේන්තුවට නොපැමිණීමට අලි සබි්ර රහීම් මුලින් තීන්දු කොට තිබුණද ආණ්ඩුව පැත්තෙන් ලැබුණු මේ පණිවුඩයත් සමග බදාදා පාර්ලිමේන්තුවට පැමිණි අලි සබි්ර රහීම් රටට ලෝකයට පෙනෙන්ට විපක්ෂය සමග එක්ව ඡන්දය ලබාදීමට පියවර ගත්තේය.
මහින්දට මොකද වුණේ?
මෙහිදී දැකගන්නට ලැබුණු අනෙක් විශේෂම කරුණ වූයේ ජනකගේ ඡන්ද විමසීමේදී මහින්ද-නාමල් දැරූ ස්ථාවරයය. විවාදයට දින නියම වීමත් සමග මහින්දවත් නාමල්වත් හමුවූ පොහොට්ටුවේ මන්ත්‍රීවරු 11ක පමණ මන්ත්‍රී කණ්ඩායමක් දැනුම් දී තිබුණේ ජනක යනු පොහොට්ටුවෙන් පත්කළ සභාපතිවරයකු වීම නිසාත්, විදුලි බිල සම්බන්ධ ප්රශ්නයේදී ජනක ජනතාවගේ පැත්තේ හිඳ අදහස් ප්‍රකාශ කිරීම නිසාත් ඔහුට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට තමන්ට නොහැකි බවකි. අප මේ සම්බන්ධයෙන් ඉකුත් සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කිරීමටද පියවර ගත්තෙමු. ඒ අනුව මහින්ද-නාමල් ඇතුළු 15ක පමණ කණ්ඩායමක් ඡන්දය පැවැත්වෙන දින පාර්ලිමේන්තු නොපැමිණීමට තීරණය කොට ඇති බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු.
නාමල් ගිලෙන නැවෙන් බහියිද?
ඒ නිසාම විවාදය ආරම්භ කරන සතිය වන විට නාමල් සිටියේද විදෙස්ගතවය. නමුත් ආණ්ඩුව විශේෂ දැනුම්දීමක් කොට ඉරි තුනේ නියෝග පනවා මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට කැඳවීමට පියවර ගෙන තිබූ හෙයින් නාමල්ද පෙරළා ලංකාවට පැමිණීමට පියවර ගත්තේය. එසේ පැමිණි නාමල්, මහින්ද සමග පාර්ලිමේන්තු වර්ජනය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී නාමල් මහින්දට පෙන්වා දී තිබුණේ මේ ආණ්ඩුව මේ ආකාරයට තවදුරටත් කටයුතු කළහොත් ඉදිරියේදී නැවතත් ජනතාවගේ වෛරයට පාත්‍ර වීම වැළැක්විය නොහැකි යැයි කියාය.
මෙහෙම ගියොත් තවත් අමාරුයි!
‘මේ යන විදිහට ලඟදීම මේ නැව ගිලෙනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ. ආණ්ඩුව මොනවා කිව්වත් මිනිස්සුන්ට ඉස්සරහට තවත් ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් එනවා. ඒ හින්දා අපිට මේ නැවත් එක්ක ගිලෙන්න බෑ. අපි තීන්දුවක් ගන්න ඕනෑ’ යනුවෙන් කියමින් නාමල් ඡන්ද වර්ජනයට යායුතු බව කියා සිටියද මහින්ද ඇතුළු තවත් පිරිසක් පෙන්වා දුන්නේ නාමල්ගේ කතාව ඇත්ත වුවත් මේ මොහොතේ ආණ්ඩුවත් සමග එක්ව ඡන්දය පාවිච්චි කළ යුතු යැයි කියාය. ඒ අනුව ඡන්ද වර්ජනය අත්හිටුවීමට නාමල් තීන්දු කළේ තවත් විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගැනීමෙන් අනතුරුවය. ඒ, ඉදිරි කාලයේ තීරණාත්මක අවස්ථාවකදී ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීමේ එකඟතාව මතය.
රහස් ඔත්තු වාර්තාවක්! මහින්දගේ නම උඩින්ම!
මෙහිදී බදාදා වන විට මහින්දටද ලැබුණු විශේෂ තොරතුරකින් කියැවුණේ ජනාධිපතිවරයා අතට රහස් ඔත්තු නිවේදනයක් ලැබී ඇති බවත්, එහි ඡන්දයට නොපැමිණෙන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් සඳහන් කොට ඇති බවත්, එම නම් ලැයිස්තුවේ ඉහළින්ම මහින්දගේ නමද ඇතුළත් කොට ඇති බවත්ය. මේ තොරතුර දැනගැනීමට ලැබීමත් සමග මහින්දට යකා ආවේෂ වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව මෙවැනි වාර්තා ජනාධිපතිවරයාට ලබා දෙන පුද්ගලයන්ට හොඳ පාඩමක් ඉගැන්විය යුතු බව සිය හිතවතුන්ට කි මහින්ද බදාදා උදෙන්ම පාර්ලිමේන්තු පැමිණීමට පියවර ගත්තේය. එහිදී යම් යම් පිරිස් මේ පිළිබඳ විමසද්දී මහින්ද තරමක් කෝපයෙන් යුතුව අදහස් දැක්වූ ආකාරයක්ද දැකගත හැකි විය.
නන්දසේන ඇම්බියුලන්ස් එකේම ඇවිත්!
කෙසේ වෙතත් ඡන්දය විමසන අවස්ථාවේ තවත් විශේෂ සිදුවීම් කිහිපයක්ද දැකගත හැකිවිය. ඉන් විශේෂ සිදුවීමක් වූයේ අනුරාධපුර පොහොට්ටු මන්ත්‍රී එච්.කේ. නන්දසේන මහතා ගිලන් රථයකින් පාර්ලිමේන්තුවට ගෙන්වීමට පියවර ගෙන තිබීමය. බදාදා වන විටත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් නන්දසේන සිටියේ අනුරාධපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින්ය. නමුත් 113 සොයාගැනීමේ මෙහෙයුම බදාදා දිනය වන විටත් ආණ්ඩුව පැත්තෙන් දියත් කර තිබූ බැවින් නන්දසේනගේ පැමිණීමද ආණ්ඩුවට අත්‍යාවශ්‍ය වී තිබිණි. ඒ අනුව බදාදා පෙරවරුවේ ඒ බව දැනුම් දීමත් සමග විශේෂ ගිලන් රථයකින් නන්දසේනව පාර්ලිමේන්තුවට රැගෙන ඒමේ කටයුතු සම්පාදනය කෙරිණි. ඡන්දය විමසන අවස්ථාව වන විට නන්දසේන පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ ඒ ආකාරයටය.
ලොහොන් වෙඩින් එකක!
මීට අමතරව ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරයකු වූ ලොහාන් රත්වත්තේ මහතා එදින ඡන්ද විමසීමට සහභාගි වී නොසිටීමද විශේෂ සිදුවීමක් විය. ඒ පිළිබඳ සොයා බැලීමේදී අපට දැනගන්නට ලැබුණේ එදින ලොහාන්ට මංගල උත්සවයකට සහභාගි වීමට සිදුව ඇති බවකි. නමුත් සවස් වරුවේ ඡන්ද විමසීමට සහභාගි වීමට ලොහාන් සැලසුම් කර තිබුණද මංගල උත්සවයේදී සිය හිතවතුන් සමග එක්ව කාලය ගතකිරීම නිසා ලොහාන්ට සිදුවූයේ අන්තිම මොහොතේ දී ඡන්ද විමසීමට සම්බන්ධ නොවී සිටීමටය.
වඩිවේල් වැඩි වෙලා!
මේ ආකාරයට ජනකගේ ඡන්ද විමසීම හේතුකොටගෙන යම් යම් අර්බුද මතුවූයේ ආණ්ඩු පක්ෂයේ පමණක් නොවේ. සමගි ජන බලවේගය තුළද ජනකගේ ඡන්ද විමසීම මුල්කරගෙන අර්බුද කිහිපයක්ම මතුව තිබිණි. ඉන් ප්‍රධානතම එකක් වූයේ ජනකට පක්ෂව ඡන්දය ලබාදීමට සජබ මන්ත්‍රී කණ්ඩායමේදී තීන්දුවක් ගෙන තිබුණද එම තීන්දුව නොතකා වඩිවේල් සුරේෂ් ආණ්ඩුව සමග එක්ව ඡන්දය ලබාදීමය. පසුගිය සති කිහිපය පුරාම වඩිවේල් සිටියේ සජබයට වඩා ආණ්ඩුවට සමීපව කටයුතු කරමිනි. වරක් ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට කටයුතු කළ වඩිවේල් මීට පෙර සතියේදී හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සමග රැස්වීමකට එක්වෙමින් කියා සිටියේ තමා සිටින්නේ හරීන් සමග බවත්, හරීන් ගන්නා තීන්දුවත් සමග තමන්ද දේශපාලනය කරන බවත්ය.
රාජිතට-හේෂාට රතු නිවේදන!
ඒ අනුව වඩිවේල් ආණ්ඩුවත් සමග එක්ව ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කිරීමත් සමග බදාදා පස්වරුවේම සජිත් පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් කැඳවීමට පියවර ගත්තේය. එහිදී ආණ්ඩුවට පක්ෂව ඡන්දය දුන් වඩිවේල් පිළිබඳ පමණක් නොව ඡන්ද විමසීමට නොපැමිණි රාජිත සේනාරත්න, හේෂා විතානගේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්ද විශේෂ සාකච්ඡාවක් ඇතිවිය. ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ වඩිවේල් පක්ෂයෙන් නෙරපා හැරීමටය. එමෙන්ම රාජිතටත්, හේෂාටත් අවවාදාත්මක ලිපි යොමුකිරීමටය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සජිත්ද ආණ්ඩුව සමග කටයුතු කරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක පිහිටා කටයුතු කරන බවට විශේෂ ප්‍රකාශයක් කිරීමය.
විපක්ෂය නම් එකමුතුයි!
මේ ආකාරයට ජනකගේ ඡන්ද විමසීම සජබය ඇතුළේ යම් යම් මත ගැටුම් නිර්මාණය කිරීමට සමත්ව තිබුණද සමස්තයක් වශයෙන් ගත් විට විපක්ෂය එක වේදිකාවට රැගෙන ඒමට ජනකගේ සිද්ධිය සමත්ව තිබීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව සජබය, ශ්රීලනිපය, ඩලස්ලාගේ නිදහස ජනතා සභාව, විමල්-උදයලාගේ උත්තර සභාගය, අනුරලාගේ ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ, මුස්ලිම් නායකයන් ඇතුළු සියලු පාර්ශ්ව එක මිටකට ගොනුවීමට ජනකගේ ඡන්ද විමසීම පාර කපා තිබිණි. සජිත්ද විපක්ෂයේ සියලු පක්ෂ නායකයන්ට මේ පිළිබඳ වරින් වර කතා කරමින් ඒ සඳහා විශේෂ උත්සාහයක් ගත් ආකාරයක්ද පසුගිය සතියේ දැකගත හැකි විය.
හර්ෂගේ අවනඩුව!
පසුගිය කාලසීමාව පුරාම සමගි ජන බලවේගයට බරපතළ ප්‍රශ්නයක් වී තිබුණේ මුදල් කමිටුවේ සභාපති ධුරය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට හිමි නොවීමය. සජබය මේ බව අවස්ථා ගණනාවකදීම ආණ්ඩුවේ අවධානයට යොමු කළත් ඒ සෑම අවස්ථාවකදීම ආණ්ඩුව විවිධ කතා කියමින් එම ප්රශ්නය මගහැරීමට කටයුතු කළේය. අවස්ථා කිහිපයකදීම හර්ෂ ද සිල්වා මහතාද ජනාධිපතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළද, අවසන් තීන්දුවකට පැමිණීමට නොහැකි වී තිබිණ. එහිදී විපක්ෂ නායකවරයාත්, විපක්ෂයත් දැඩිව පෙන්වා දී තිබුණේ ආණ්ඩුව යහපාලන ප්රතිපත්තිවලින් ඉවත්ව ප්රජාතන්ත්ර විරෝධී ආකාරයට නීතිරීති උල්ලංඝනය කරමින් රටේ පාලනය ගෙන යනවාය කියාය. මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාලද දැනුවත් කර තිබූ හෙයින් ආණ්ඩුවට මෙය බරපතළ ප්‍රශ්නයක් වන තරමට උඩුදුවා තිබූ ආකාරයක්ද දැකගත හැකි විය.
රනිල් යන්න කලින් හමුවක්!
ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය මේ අතරවාරයේ යෙදී තිබීම හේතුවෙන් ජපානය බලා පිටත්ව යෑමට ප්‍රථම ජනාධිපතිවරයාට මෙම ප්රශ්නය තාවකාලිකව හෝ විසඳා ගැනීමේ අවශ්‍යතාව මතුව තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා කළේ ජපානය බලා පිටත්ව යෑමට ප්‍රථම ඒ සඳහා පොඩි දේශපාලන ගේමක් ගැසීමය. ඒ අනුව ජනාධිපතිවරයා කළේ කබීර් හෂීම්ටත්, හර්ෂ ද සිල්වාටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමන් හමුවීමට පැමිණෙන ලෙස දැනුම් දීමක් සිදුකිරීමය. මෙම දැනුම්දීමත් සමග කබීර් වහාම සජිත් හමුවී මෙවැනි ඉල්ලීමක් ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳවත් විමසා සිටීමට පියවර ගත්තේය. මුදල් කමිටුවේ සභාපති ධුරය පිළිබඳ ප්රශ්නය මෙම හමුව හරහා විසඳා ගැනීමට හැකි නම් එය ගැටලුවක් නොවන බැවින්, සජිත් කියා සිටියේ එසේ නම් ජනාධිපතිවරයා හමුවී මෙම ප්රශ්නය විසඳාගන්නා ලෙසය.
දිනේෂ්-ප්‍රසන්න වෙනස් වෙයි!
එම දැනුම්දීමට අනුව කබීර් හා හර්ෂ ජනාධිපතිවරයා මුණගැසීමට යද්දී එම අවස්ථාවට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතාද එක්ව සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව ආරම්භ වූ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම ගැටලුව පිළිබඳ සාකච්ඡා කරමින් ආණ්ඩුවට ගැටලුවක් නොවන ආකාරයට තේරීම් කාරක සභාවේදී ප්රශ්නය විසඳා ගන්නා ලෙසට දැනුම් දී සිටියේය. ඒ හරහා හර්ෂගේ පත්වීමට කොළ එළියක් දැල්වීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබිණි. ඒ අනුව කබීර් හා හර්ෂ වහාම සජිත්ව දැනුවත් කරමින් ප්රශ්නය විසඳා ගැනීමට හැකි වූ බව දැනුම් දී සිටියේය. ඒ අනුව කබීරුත් හර්ෂත් තේරීම් කාරකසභා රැස්වීමට සහභාගි වූයේ මාස ගණනාවක් පුරා ඇදෙමින් ගිය ප්රශ්නය විසඳා ගැනීමේ අරමුණ ඇතිවය. නමුත් එහිදී සිදුවූයේ කිසිවකුත් නොසිතූ ප්‍රශ්නයකට කබීර්ටත්, හර්ෂටත් මුහුණ දීමටය. ඒ, ප්රසන්නත්, දිනේෂුත් ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී පැමිණි එකඟතාව නොතකා ජනාධිපතිවරයා වෙනත් පක්ෂයක තනි පුද්ගලයකු බවත්, ආණ්ඩුව ගෙන යන්නේ පොහොට්ටුව බවත් කියමින් හර්ෂගේ නාමයෝජනාවට විරෝධය පළ කිරීම නිසාය.
එයා වෙන පක්ෂෙක!
මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාද පාර්ලිමේන්තුවේදී ප්‍රසන්නගෙන් ප්‍රශ්න කරද්දී ප්‍රසන්න යළිත් කියා සිටියේ ජනාධිපතිවරයා වෙනත් පක්ෂයකු අයකු බවත්, ආණ්ඩුව ගෙන යන්නේ පොහොට්ටුව විසින් බවත්ය. ඒ හරහා හර්ෂව සහ කබීර්ව පාර්ලිමේන්තුවේ බාල්දු කිරීමට ප්‍රසන්න කටයුතු කළේය. ඒ අනුව ඇත්තටම එහිදී සිදුව තිබුණේ ජනාධිපතිවරයාට ජපාන සංචාරය අතරතුරදී යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවට පෙන්වීමට තිබූ අවස්ථාව මුල් කරගෙන කබීර්වත්, හර්ෂවත් කඩේ යවා තිබීමය. ඒ අනුව තමන් හර්ෂට මුදල් කමිටුවේ සභාපති ධුරය ලබාදීමට එකඟ නමුත් පොහොට්ටු ආණ්ඩුව ඊට එකඟ නැති බව ජනාධිපතිවරයා එහිදී ලෝකයටම පෙන්වා දී තිබූ කාරණය විය.
සජබ මන්ත්‍රීවරුන්ට යකා නැගලා!
මේ සම්බන්ධයෙන් පසුගිය සතියේදී සජබ මන්ත්‍රී කණ්ඩායම ඇතුළේද විශාල කතාබහක් ඇතිව තිබිණි. පසුගිය බ්‍රහස්පතින්දා මෙම සිදුවීම සිදුවීමත් සමග විපක්ෂ ලොබියේදී හමුවූ සජබ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු මෙම සිදුවීමට විරෝධය පළකරමින් අදහස් දැක්වීමට පියවර ගත් ආකාරයක් දැකගත හැකි විය.
රනිල් ලණුවක් දීලා!
‘මේක මහ විකාරයක්. මේ පාරත් රනිල් කබීර්ටයි, හර්ෂටයි හොඳ ලණුවක් කැවුවා. අන්තිමේදී ඔක්කොම ඉස්සරහා පක්ෂෙත් බාල්දු වුණා. රටේ මෙච්චර ප්‍රශ්න තියෙනවා. අපිත් හැමදාම මුදල් කමිටුවේ තනතුරක් බදාගෙන පාර්ලිමේන්තුවේ කෑගහගන්නවා. රටේ මිනිස්සුන්ට කන්න නෑ. රටේ මිනිස්සුන්ට ඡන්ද නෑ. අයි.එම්.එෆ්. එකේ කොන්දේසි හින්දා මුළු රටම හිරවෙලා. මුදල් කමිටුවේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක වෙන විදිහකට විසඳගමු. ජාත්‍යන්තර පාර්ලිමේන්තුවටයි, පොදුරාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු කමිටුවටයි ලියලා හරි ඒ ප්‍රශ්න විසඳාගන්න ඕනේ. එහෙම නැතුව මේක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන එකෙන් අපට වැඩකුත් නෑ, රටේ මිනිස්සුන්ට වැඩකුත් නෑ….’ යනුවෙන් කී මෙම මන්ත්‍රීවරුන් මේ වන විට සිටින්නේ එළැඹෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මීට එරෙහිව දැවැන්ත සටනක් දියත් කිරීමටය.