ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති ආනා පුංචිහේවා මහතාට තර්ජනය කර, අත් මාංචු දමා ඔහු සතුව තිබූ මුදල් සහ තවත් දේපළ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් ගබඩාවේ තරුණයන් දෙදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (3) නියෝග කළාය.
සැකකරුවන් විසින් ඒ මහතා සතුව තිබූ රුපියල් ලක්ෂ දෙකක මුදලක්, ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක් සහ එම වර්ගයේ අත්ඔරලෝසුවක් ඉකුත් පෙබරවාරි මස 15 වැනි දින පැහැරගෙන තිබිණි.අනතුරුව පුංචිහේවා මහතාට ඇමතුමක් දී තිබූ කොල්ලකරුවන් දෙදෙනා කොල්ල කන ලද ජංගම දුරකතනය සහ අත්ඔරලෝසුව දීමට රුපියල් ලක්ෂ 5ක් දෙන ලෙසත්, ඒ මුදල් රැගෙන කොළඹ කොටුවට පැමිණෙන ලෙසත් දැනුම් දී ඇති අතර, පසුව නැවතත් ඇමතුමක් දී, රුපියල් ලක්ෂ 5ක් නොව ලක්ෂ දෙක හමාරක් දෙන ඉල්ලා තිබිණි.
ඒ පිළිබඳ පුංචිහේවා මහතා විසින් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසියේ උපදෙස් මත මුදල් ගැනීමට බොරැල්ල සුසාන භූමිය අසලට පැමිණෙන ලෙස දැනුම් දී තිබිණි.
සැකකරුවන් දෙදෙනා මුදල් ගැනීමට පැමිණීමෙන් අනතුරුව එහි රැක සිටි පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.










