කැලණිතිස්ස රජ සමයේ දෙවියන් කෝප වී මුහුද ගොඩ ගලද්දී රට බේරා ගැනීම සඳහා රජ පවුලේ කෙනකු මුහුදට බිලිවිය යුතු යැයි කී නැකැත් ඇදුරන්ගේ උපදෙස අනුව රජුගේ දියණිය “දේවි” කුමාරිය මුහුදේ පා කර යැවීමෙන් මුහුදු දේවතාවගේ කෝපය සංසිඳී සාගරය ද තටු පොරවා ගත් බව අපේ පාසල් පොත්වල තිබිණි.
මුහුද ගොඩ ගැලීමේ සිද්ධිය ඔය අන්දමින් පොතපතේ එදා පටන් අපි කියැවූවත් මුහුද ගොඩගැලීමේ භයානකකම අපට දැනුණේ සුනාමිය ආවාට පසුය. අපේ පොත පතෙහි ඒ විනාශය ගැන එසේ ලඝු කොට සලකා ඇත්තා සේම කාවන්තිස්ස රජු සරණපාවාකරගත් මුහුදෙන් පැමිණි “දේවි” කුමාරිය වැනි ලොකු මහත් වූ දියණියක් සිටිද්දීත් තම බාල මස්සිනා සමඟ අනියම් සම්බන්ධයක් පැවැත්වීමේ නොහොබිනා වැඩක් තමන් කරන බව අද ඇතැම් කාන්තාවන් මෙන් ම එදා රජ බිසවුන් වහන්සේලාද නොසිතන්නට ඇත.
නොකළ වරදකට රහතන් වහන්සේ කෙනකුන් ඝාතනය කිරීමේ පාපයට රටවැසියන්ගේ පවා අප්‍රසාදයට පත් කැලණිතිස්ස රජ මානසිකව ඇදවැටී කාලයාත්‍රා කිරීමෙන් පසුව සිංහාසනාරූඪ වූයේ උත්තිය කුමාරයාය.
රජ වීමෙන් පසුව පාරම්පරික මාලිගය අත් හැර දැමූ උත්තිය කුමරු කැලණියේ නොසිට ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුගම්පොළ ප්‍රදේශයේ නුවරක් ඉදිකර පදිංචි වූවේය. ඔහු එහි මාලිගාවක්ද ඉදිකළේය. රටවැසියන්ගේ යහපත උදෙසා වැව් අමුණු කරවීය. කෙත් වතු සාරු සාර කෙළේය.
උතුරුකරයේ සිට මන්නාරම හරහා සිංහල නොවන ආක්‍රමණිකයන් බොහෝ දුරට පල්ලම් බැස්සේ (දකුණට ආවේ) ඔන්න ඔය හරියෙනි. උත්තිය කුමරු අභිනවයෙන් නුවරක් මාලිගාවක් ඉදි කළත් වැඩිකල් ඒවායේ වසන්නට වාසනාවක් ඔහුට නොවිණි. ඔහු පරසතුරන් විසින් ඝාතනය කරනු ලැබිණි. රාජ්‍යයද පැහැර ගැනිණි. ඒ සියල්ල සිදු වූයේ ක්‍රිස්තු වර්ෂයට පෙරය. ක්‍රිස්තු වර්ෂයට පසුව එනම් කෝට්ටේ යුගය ආරම්භ වන විට උඩුගම්පොළ නුවර පිරිහී තිබුණේය. උත්තිය කුමරුගේ මාලිගය ද ජරාවාස වී තිබිණි. කෙත් වතු පාඑවට ගොස් තිබුණේය.
කෝට්ටේ රජ වූ ධර්ම පරාක්‍රමබාහු රජු උතුරෙන් එන පරසතුරු බලපෑම් අවම කිරීමට නම් අතර මැද ප්‍රදේශයේ සන්නද්ධ පිරිසක් සිටිය යුතුවාක් මෙන්ම ප්‍රදේශය ජනාවාසයක් විය යුතු බවද කල්පනා කෙළේය. ඒ සඳහා තම සොහොයුරු සකලකලා වල්ලභ කුමරු යැව්වේය. ඒ වනවිටත් ප්‍රදේශය දාර උරග, වග වලස් සහ හස්තීන් වැනි වන සතුන්ගෙන්ද ගහන විය. කුමරු සිය පිරිස සමග එක්ව මාලිගය අලුත්වැඩියා කළේය. වල් අලින්ගෙන් මාලිගය රැක ගැනීම සඳහා අඩි පහළොවක් පමණ පළලටද අඩි fදාළහක් තරම් ගැඹුරටද දිය අගලක් මාලිගය වටා ඉදිකළේලු. මාලිගාවේ ප්‍රයෝජනය වෙනුවෙන් ලොකු පොකුණක්ද කරවීය. ඊට ජලය ලබා ගැනීමට උඩුගම්පොළ නුවරට සැතපුම් දෙකක් පමණ දුරින් ගලන ඔය හරස් කර බැම්මක්ද බැන්දේය.
විශාල පිරිසක් යොදවා ශක්තිමත්ව බැම්ම් බැන්දත් එය වරින්වර බිඳීයෑම රජුගේ කනස්සල්ලටම හේතුවිය. හෙතෙම ඒ ගැන දිවා රාත්‍රි කල්පනා කෙළේය. ගලන දිය පහරට කන්‍යාවන් සත්දෙනකු බිලි පිණිස කැප කළහොත් බැම්ම ආරක්‍ෂා වෙතැයි මේ අතරේ රජුට දැන ගන්නට ලැබුණේලු. රාජ පුරුෂයන් යවා ඉතා රුවැති කන්‍යාවන් සත්දෙනකු සොයා ගෙන අවුත් සුවඳ පැනින් නහවා සර්වාභරණයෙන් සරසවා බැම්ම මතට කැටුව ගොස් පුද පූජා පවත්වද්දී කඩුහතකින් එකවරම හත්දෙනාගේ හිස් කඳින් වෙන් කර ගලා යන ජල කඳට වැටෙන්නට සැලැස්සුවේලු.
ඔයේ පහළට පාවී ගිය මළ කඳන් දුටු ගම්මු මළ කඳන් එක ගොඩකටත් ඔවුන් පැලැඳි ආභරණ තවක් ගොඩකටත් යන පරිදි ගොඩවල් දෙකකට ගොඩ ගැසුවේලු. රන් ආභරණ ගොඩ වැසීයන ලෙස කම්පිත ගම්වාසීහු ඒ මත චෛත්‍යයක් සේ පස් ගොඩ කළ බව කියති. ඒ ස්ථානය මිණිවන් ගොඩ යැයි වහරන්නට වූයෙන් පසුව එය මිණුවන්ගොඩ වීය.
එක් තරුණියකගේ හිසක් පාවී ගොස් ගලක් මත රැඳී තිබුණෙන් ඒ ස්ථානය “ගලේ ඔළුව” ලෙස හැඳින්වේ. තවත් අසරණියකගේ මළ කඳ රැඳී තිබූ ප්‍රදේශය “බොක්ක මුල්ල වී” තිබේ.
බිලි පූජාවෙන් පසුව බැම්ම ආරක්‍ෂා වූ බව කියති. මාලිගාව සහ අවට වාසීන් වෙනුවෙන් ඉදිකර තිබූ පොකුණ පසු කලෙක වැවකට පරිවර්තනය විය. වැවේ ආරක්‍ෂාවට මිනිසුන් පදිංචි කරනු ලැබූ ස්ථානය අවට ප්‍රදේශය වැව් ගොව්ව පසුව “වෑගොව්ව” වී ඇත. එසේම වැවේ සෙරොව්ව රැකීමට මිනිසුන් පදිංචි කරවූ ප්‍රදේශය “හොරම්පැල්ල” යැයි කියති. ඈත අතීතය් කෘෂි ආර්ථික පාලනයක් පැවති රටේ බත බුලත සරු කරන්නට සකලකලා වල්ලභ රජතුමා විශාල කැපවීමකින් කටයුතු කර තිබේ. සරුසාර කෙත්වතු නැරඹීමට ඔහු සිය ශ්වේත සෛන්ධවයා (සුදු අශ්වයා) පිට නැඟී සෑම දිනෙකම පාහේ ගම් වටා ගියේලු. මහා පෞරුෂයකින් සහ ආරෝහ පරිනාහ දේහයකින් යුක්ත වූ බව කියන ඔහුගේ ක්‍රියාකලාපය නිසා ඒ සමයේ පර සතුරු ආක්‍රමණද නැත්තටම නැති වූයෙන් වැසියෝ සුඛිත මුදිත වූහයි කියති.
තව තවත් ගොවිතැන් සරු කරන්නට ලස්සන (කළ) සොරොව්වක් (වාන) සහිත වැවක් ඉදි කර තිබේ. ඒ වැව ලස්සන වාන යන අරුත දෙන කලවාන ලෙසින් හැඳින්වූවේලු. මේ වැවේ බැම්මද පෙර සේම කැඩී බිඳී ගොස් තිබේ. ඉන් රජු මහත් කම්පාවට පත් වී පෙර බැම්ම බේරා ගැනීමට කළ ප්‍රතිකර්මයම පූර්වාදර්ශයක් කරගත් රජතුමා රුවැති කන්‍යාවක් වැවට බිලි දුන්නත් බැම්ම බිඳීයෑම නැවතී නැත. මේ ගැනම කල්පනා කරමින් සිටි සකලකලා වල්ලභ රජු වැව් සොරොව්වට පැන සියදිවි නසා ගෙන තිබේ. රජු සුජීවත්ව සිටි සමයේ සෑම දිනෙකම සුදු අශ්වයා පිට නැඟී ගම්මානය වටේ වෙල් එළිය පුරා ගිය අන්දමින්ම මරණින් පසුද ගොම්මන් වෙලාවට ඇතැම් දිනක ගම වටා යන අයුරු ගම්මුන් දැක තිබේ.
තමන්ගේ යහපත උදෙසා කැපවීමෙන් කටයුතු කළ දුකට පිහිට වූ නායකයා මරණින් පසු දෙවියකු වී ඇතැයි සිතූ ගම්වාසීහු ජරාජීර්ණවී වැසී ගිය වැවේ වාන තිබූ ස්ථානයේ පසු කලෙක ඔහු නමින් දෙවොලක් ඉදිකර මල් පහන් පුදා පුද සත්කාර කර තමන් පත්ව ඇති ලෙඩට දුකට පිහිට ඉල්ලන්නට වූහ.
සිය සුදු අශ්වයා පිට නැඟී ගම්මානය සැරිසැරූ අන්දම සිහිපත් වන්නට මිනිස්සු ඔහුගේ වාහනය වූ සුදු අශ්වයාගේ ප්‍රතිමාවක් ද ඒ දෙවොල ඉදිරි පිට ඉදි කළහ.
ඔබ කොළඹ සිට හලාවතට මහා මාර්ගයෙන් යන්නේ නම් සකලකලා වල්ලභ රජතුමා වෙනුවෙන් ඉදි කර ඇති දේවාලයත් ඔහුගේ සෛන්ධවයාත් මාදම්පේ නගරය ආසන්නයේදී දැකබලා ගත හැකිය. සකලකලා වල්ලභ නරේන්ද්‍රයාණන් විසූ උඩුගම්පොළ මාලිගය පිහිටි ස්ථානයේ මාලිගා ගොඩැල්ල නමින් විහාරස්ථානයක් ඇති බවද මාලිගයේ නටබුන් වර්තමානයේ පවා දක්නට ඇති බව ද දැන ගන්නට ලැබිණි.
චන්ද්‍රසේන මාරසිංහ











