පසුගිය සතිය වන විට ආණ්ඩුව සිටියේ එකවර පෙරමුණු කිහිපයක සටන් කරමිනි. ප්‍රධානම සටන පැවතියේ කොරෝනා පෙරමුණේය. අනෙක් සෑම සටන් පෙරමුණකටම වඩා කොරෝනා පෙරමුණේ සටන මේ වන විට දැඩි අර්බුදකාරී තැනකට පත්ව ඇත්තේ දෛනිකව වාර්තා වන ගණන් හිලව් මුල්කරගෙනය. මේ වන විට දෛනික කොරෝනා මරණ සියය ආසන්නයට පැමිණ ඇති අතර කොරෝනා රෝගීන් වාර්තා වීමේ ප්‍රමාණයද 2,500 ඉක්මවා තිබේ. ප්‍රධාන රෝහල්වල ධාරිතාවද ඇත්තේ ඉක්මවා යමිනි. දැනටමත් ගාල්ල කරාපිටිය රෝහලේ සහ රත්නපුර රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කොට හමාරය. රෝහල්වල ඔක්සිජන් ප්‍රමාණයද හිඟවෙමින් පවතින අතර ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඔක්සිජන් ආනයනය කිරීමටද මේ වන විට බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. සෞඛ්‍ය අංශ දැඩිව පෙන්වා දෙන්නේ තාවකාලිකව මෙම රෝගීන් ප්‍රමාණය සහ මියයන ප්‍රමාණය අවම කරගැනීමට නම් වහාම දැඩි සංචරණ සීමා පැනවීමට පියවර ගත යුතු යැයි කියාය. ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් මේ බව දැනුම්දීමටද පියවර ගෙන තිබිණි.
ආණ්ඩුව පෙරමුණු කිහිපයක සටනේ
ආණ්ඩුව මුහුණ දෙන ඊළඟ සටන් පෙරමුණ බවට පසුගිය සතිය වන විට පත්ව තිබුණේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්මත කරගැනීමය. ආණ්ඩුවේ එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට නියමිතව තිබුණේ සිකුරාදා (06) දිනයේදීය. ඒ සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ගද ආණ්ඩුව විසින් ගෙන තිබිණි.
කොතලාවල සටන් පෙරමුණ
නමුත් කොතලාවල පනත් කෙටුම්පත සටන් පෙරමුණක් බවට පත්වූයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍ය සංගම්, ගුරු විදුහල්පතිවරුන්, විපක්ෂයේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති යනාදී සියලු පාර්ශ්වයන් එක්ව ඊට එරෙහිව යුද ප්‍රකාශ කිරීමත් සමගය. එම යුද්ධය වඩාත් තීරණාත්මක තත්ත්වයට පත්වූයේ ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂය වූ පොදුජන පෙරමුණ හැරුණු විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, නව වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ආදී සියලු පක්ෂ ආණ්ඩුවේ පනත් කෙටුම්පතට සංශෝධන සිදුවිය යුතු බවට දැඩිව ප්‍රකාශ කිරීමය.
චමල් සංශෝධන ඉල්ලයි
මේ නිසා ආණ්ඩුවද මුල් අදියරේදී සන්ධානයේ සියලු පක්ෂවලට දැනුම්දී තිබුණේ කොතලාවල කෙටුම්පතට ඉදිරිපත් කළ යුතු සංශෝධන ලිඛිතව ලබාදෙන්න යැයි කියාය. එමෙන්ම අඟහරුවාදා (03) දිනයේදී ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමැතිවරුන්ට කොතලාවල පනත් කෙටුම්පත පිළිබඳ වැඩමුළුවක් පැවැත්වීමටද ආණ්ඩුව සැලසුම් කර තිබිණි. මීට අමතරව බදාදා (04) දින පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජිතයන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමටද ආණ්ඩුව සැලසුම් කර තිබූ අතර එය පෙරවරු 10ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන බවට විපක්ෂයේ සියලු පක්ෂ දැනුවත් කිරීමටද පියවර ගෙන තිබිණ.
මන්ත්‍රී කණ්ඩායමට අගමැති පරක්කු වෙයි
කොතලාවල කෙටුම්පතට එරෙහිව ආණ්ඩුවට පිටතින් මෙන්ම ආණ්ඩුව ඇතුළතින්ම මේ ආකාරයේ විරෝධයක් මතුවන පසුබිමක පසුගිය සඳුදා (02) අරලියගහ මන්දිරයේ ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය. අඟහරුවාදා දින මහ බැංකු වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීම නිසාත්, කොතලාවල පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය සිකුරාදා පැවැත්වෙන නිසාත් මහබැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීනුත්, කොතලාවල ආරක්ෂක පීඨයේ ප්‍රධානියාත් මෙම කණ්ඩායම් රැස්වීමට එක්ව සිටියේ ඒ පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහාය. රැස්වීම රාත්‍රි 7.30ට ආරම්භ වන බව දැනුම්දී තිබුණද ඒ වන විටත් කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙමින් තිබූ බැවින් අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් ඇමැතිවරුන් නියමිත වේලාවට රැස්වීමට පැමිණ සිටියේ නැත. ඒ අනුව මන්ත්‍රීවරුන් 7.45ට පමණ කණ්ඩායම් රැස්වීම ආරම්භ කිරීමට පියවර ගත්තේ අගමැතිවරයා නොමැතිව, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ අනුව මුලින්ම මහ බැංකු වාර්තාව පිළිබඳ මහ බැංකු අධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායමට දේශනයක් පැවැත්වීය.
චරිත දෙබරෙට ගල ගහයි
ඉන් අනතුරුව චමල් කොතලාවල පනත් කෙටුම්පත පිළිබඳ පැහැදිලි කිරීමක් කරන ලෙස එහි ප්‍රධානීන්ට දැනුම් දුන්නේය. අගමැතිවරයා පෙරටු කරගෙන කැබිනට් ඇමැතිවරුන් බොහෝ දෙනකු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සම්බන්ධ වූයේ එම පැහැදිලි කිරීම අතරතුරදීය. ඒ වන විට වේලාව රාත්‍රී 8.30 පමණ වී තිබිණි. කෙසේ වෙතත් මෙම පැහැදිලි කිරීම අතරවාරයේදීම මුලින්ම ඊට බාධා එල්ල කිරීමට පටන් ගත්තේ මහාචාර්ය චරිත හේරත්ය. චරිත නැගිට මේ සම්බන්ධයෙන් සිය මතය පැහැදිලි කරද්දී චමල් එය නවතන ලෙසට දැනුම්දීමක් කළේය. ඊට අවනතව චරිත පළමු අවස්ථාවේදී සිය පැහැදිලි කිරීම නැවැත්වුවද නැවත වතාවක් කොතලාවල ආරක්ෂක පීඨ ප්‍රධානියාගේ කතාව අතරතුරදී චරිත බාධා කිරීමට පියවර ගත් ආකාරයක් දක්නට ලැබිණි.
සුසිල් වෙනස්කම් පෙන්වයි
කෙසේ වෙතත් චරිතගේ මේ බාධාකිරීමෙන් අනතුරුව කතාව පටන් ගත්තේ ඇමැති සුසිල් ප්‍රේමජයන්තය. සුසිල් කතාව කරගෙන යන ආකාරය දුටු බොහෝ දෙනා කීවේ ඔහු ඉතා හොඳින් පනත අධ්‍යයනය කර ඇතැයි කියාය. සුසිල් මෙම පනතෙහි හොඳ මෙන්ම නරක පැතිද පෙන්වා දීමට පියවර ගත්තේය. ඔහු කියා සිටියේ දැනටමත් මෙම විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන එකක් බවත්, මෙහි ඇති ඇතැම් වචන වෙනස් කළ යුතු බවත්ය. උදාහරණයක් ලෙස පනතේ එක් තැනක විශ්වවිiාලය යන වචනයද, තවත් තැනක පාසල යන වචනයද පවතින බව පෙන්වා දුන් සුසිල් මෙම වචන සංශෝධන විය යුතු බව පැහැදිලිව කියා සිටියේය.
ගෙවිදු දැක්ක යකා…
ඉන් අනතුරුව කතා කිරීම ආරම්භ කළේ ගෙවිඳු කුමාරතුංගය.
“මේ අරන් ඇවිල්ලා තියෙන්නෙ පහුගිය යහපාලන කාලෙ ගෙනාපු පෞද්ගලික විශ්වවිද්‍යාල පනතමයි. අපි මේක 2018දී පරාජයට පත් කළා. මේක ඇතුළෙ යකෙක් ඉන්නවා. ඒ නිසා මේක ගේනවා නම් ගේන්න ඕනෙ ඒ ඉන්න යකා අයින් කරලා. එළියෙ මේකට විශාල විරෝධයක් තියෙන්නෙ….” යැයි කියමින් ගෙවිඳු මෙම පනතට විරෝධය පළකරද්දී චමල් ඊට මැදිහත්ව ගෙවිඳුගේ කතාව නතර කිරීමට පියවර ගත්තේය.
දොළවත්ත එහෙමම තියන්න කියයි
ගෙවිඳුගෙන් පසුව කතා කළේ ප්‍රේමනාත් සී. දොළවත්තය. දොළවත්තද කතා කළේ කොතලාවල පනතට එරෙහි ස්ථාවරයක සිටය.
“දැනටමත් මේ කොතලාවල එක ඇතුළෙ ළමයි ඉගෙනගන්නවා. උපාධි ගන්නවා. එළියෙත් ළමයි ඉගෙන ගන්නවා, උපාධි ගන්නවා. ඉතින් ඇයි මේ දෙකම මෙහෙම කෙරෙද්දි කොහෙවත් යන එකක් අපි ඇඟේ ගාගන්න හදන්නේ. මේ යන විදියට යන්න දුන්නාම ඉවරයිනෙ.” යන්න දොළවත්තගේ ස්ථාවරය විය. අනතුරුව කතා කළේ කොමියුනිස්ට් පක්ෂයේ වීරසුමන වීරසිංහය. වීරසුමනද පෙන්වා දුන්නේ මෙම පනතට සංශෝධන එක්විය යුතු යැයි කියාය.
වීරසුමනගෙන් විරෝධය
“අපි මුලින්ම කිව්වා මේ පනත යූ.ජී.සී. එක යටතට ගේන්න කියලා. ඒක අගමැතිතුමා පිළිගත්තා. ඒ වගේම විශ්වවිද්‍යාල පනතේ සංශෝධනය කළ යුතු තැන් කිහිපයකුත් අපි පෙන්වා දුන්නා. ඒ සියල්ල කරලා මේක ඉදිරිපත් කරන්න. නැත්නම් අපට ඒ ගැන තීන්දුවක් ගන්න වෙනවා…” යනුවෙන් වීරසුමන කියද්දී නැගී සිටි අරුන්දික ප්‍රනාන්දු කොතලාවල පනතට පක්ෂව අදහස් දැක්වීමට පියවර ගත්තේය. අරුන්දික පෙන්වා දුන්නේ මෙම පනත වහාම ඉදිරිපත් කළ යුතු බවත්, එහි යම් සංශෝධන සිදුකිරීමට ඇත්නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එය සිදුකළ හැකි බවත්ය. මේ හරහා රටින් පිටතට ඇදී යන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගත හැකිවාක් මෙන්ම, සිසුන්ට වාසිසහගත තත්ත්වයක් ඇතිවන බවද අරුන්දික පෙන්වා දුන්නේය.
අරුන්දික බෙල්ල දෙයි
කෙසේ වෙතත් අරුන්දිකගේ ප්‍රකාශයත් සමග මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම සිය අදහස් දැක්වීමට උත්සාහ කළත් ඒ සියල්ලම වළක්වමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, “මේ කියන විදියට මේකෙ ප්‍රශ්නයක් තියෙනවනෙ. ඒ ගැන අපි පාර්ලිමේන්තුවෙ තේරීම් කාරකසභාවක් දාලා උවමනා සංශෝධන අරගෙන එමු. එතකන් මේක ඔහොමම තියමු….” යනුවෙන්ය. එසේ කියමින් අගමැතිවරයා සිය අසුනෙන් නැගී සිටියේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් බව ඉඟි කරමින්ය.
ජොනී කියපු ඩිනර් කතාව
ඒ සමගම සියලුම මැති ඇමැතිවරුන් අගමැතිවරයා සමග අරලියගහ මන්දිරයේ සූදානම් කොට තිබූ රාත්‍රී භෝජන සංග්‍රහය භුක්ති විඳීම සඳහා පිටත්ව යනු දැකගත හැකි විය.
ඉන්පසු මැති ඇමැතිවරුන් තැන් තැන්වල රංචු ගැසී අල්ලාප සල්ලාපයේ යෙදී සිටින ආකාරයක්ද දැකගන්නට ලැබිණි. එහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරුන් වටකරගෙන කීවේ මේ ආකාරයට හැම මාසයකම ජනාධිපති මන්දිරයේත්, අරලියගහ මන්දිරයේත් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් පැවැත්විය යුතු යැයි කියාය. එවිට දෙපැත්තෙන්ම මන්ත්‍රීවරුන්ට ‘ඩිනර්’ ලැබෙන බවද ජොන්ස්ටන් කියා සිටියේ සියල්ලන්ගේම සිනා හඬ මැදය.
බන්දුල ගෙදරට බය වෙලා
එමෙන්ම මන්ත්‍රීවරුන් කිහිප දෙනකු බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාවද වටකරගෙන ප්‍රශ්න කරන ආකාරයක් දැකගත හැකි විය. ඒ, වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් තමන්ට හිමි නිල නිවෙස බන්දුල යළි රජයට භාරදීම පිළිබඳවය. ඒ පිළිබඳ මැති ඇමැතිවරු බන්දුලගෙන් විමසද්දී සිනාසෙමින් බන්දුල කියා සිටියේ අපූරු කතාවකි.
“අම්මෝ ඒක මට ඉස්සෙල්ලා පාවිච්චි කළේ හිටපු වෙළෙඳ ඇමැති රිෂාඩ් බදියුදීන්. ඒකෙ කාමර දෙකක් දැනටමත් සීල් කරල තියෙන්නෙ. අනෙක ඕක ඇතුළෙ තව මොන මොන දේවල් වෙලා තියෙනවද දන්නෙ නෑ. ඒ නිසා මම ඒක එපා කිව්වා….” යන්න එහිදී බන්දුල දුන් පිළිතුරය.
ප්‍රමිත කේන්තියෙන් කියපු කතාව
මෙහිදී දැකගන්නට ලැබුණු තවත් විශේෂ සිදුවීමක් වූයේ ආණ්ඩුවේ පසුපෙළ ප්‍රබලයකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මන්ත්‍රී කණ්ඩායමේ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් සිය අප්‍රසාදය ප්‍රසිද්ධියේම පළකර සිටීමය. එහිදී කණ්ඩායම් රැස්වීමෙන් පසු අධ්‍යාපන ලේකම්වරයා හමුවූ ප්‍රමිත, කොතලාවල පනතට විරෝධය පළ කළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකිරීමට පියවර ගත්තේය.
“මේ වගේ එවුන් ඉන්නකන් මේ රට ජීවිතේට හදන්න වෙන්නෙ නෑ…” යනුවෙන් කියමින් ප්‍රමිත රාත්‍රී භෝජන සංග්‍රහයට හෝ නොසිට පිටව ගිය ආකාරයක් දැකගත හැකි විය.
ආණ්ඩුව රිවස් වෙයි
කෙසේ වෙතත් පවතින තත්ත්වය යටතේ කොතලාවල පනත තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බව ආණ්ඩුවේ ප්‍රධානීන්ටද ඒ වනවිට වැටහී ගොස් තිබිණි. ඒ අනුව කොතලාවල පනත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට සංවිධාන කර තිබූ වැඩමුළුවත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සූදානම් කර තිබූ සාකච්ඡාවත් වහාම අවලංගු කිරීමට ආණ්ඩුව පියවර ගත්තේය. එපමණක් නොව සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබූ එහි විවාදයද දින නියමක් නොමැතිව කල් දැමීමටද ආණ්ඩුව පියවර ගත්තේය.
අලුතෙන් බිහිවූ පාර්ලිමේන්තු පොකුර
මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම සිටින්නේ කොරෝනා ආසාදිතවය. සතිය ආරම්භයේදී කොරෝනා ආසාදනය වූ බවට වාර්තා වූයේ ඇමැති මහින්දානන්ද අලුත්ගමගේය. සිකුරාදා වන විට රෝහණ දිසානායක, දිලිප් වෙදආරච්චි සහ තිස්ස කුට්ටිආරච්චි කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබිණි. එමෙන්ම කැබිනට් ඇමැතිවරුන් රැසක්ද මේ වන විට සිටින්නේ නිරෝධායනයට යොමුවය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම සහ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඒ ඇමැතිවරුන්ය.
කොරෝනා අස්සේ ගම්මන්පිලගෙන් ග්‍රෑන්ඩ් ඩිනර් එකක්
මින් උදය ගම්මන්පිල සම්බන්ධයෙන් විශේෂ සිදුවීමක් ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කිරීමට සිදුව තිබේ. ඒ, උදය විසින් පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පිළිබඳවය. උදය මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සැලසුම් කළේ විපක්ෂය විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීමේ ප්‍රීතිය නිමිත්තෙනි. ඒ අනුව තලවතුගොඩ පිහිටි සුපිරි හෝටලයක් වන ‘ග්‍රෑන්ඩ් මොනාර්ක්’ හෝටලය බ්‍රහස්පතින්දා (05) දිනය ඒ සඳහා වෙන් කළ ගම්මන්පිල ‘වට්ස්ඇප්’ පණිවුඩයක් මගින් ආණ්ඩුවේ සියලු මැති ඇමැතිවරුන්ට ඊට සහභාගි වන ලෙස දැනුම්දීමට පියවර ගත්තේය. ගම්මන්පිල සැලසුම් කර තිබුණේ ඉරිදා පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒ සඳහා නිල වශයෙන් ආරාධනා කිරීමටය.
මන්ත්‍රීවරු ‘පිරිත් පැන්’ ඉල්ලයි
ඒ අනුව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වී සිටි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා රැස්වීම අවසානයේදී තමන්ට විශේෂ නිවේදනයක් සිදුකිරීමට ඇති බව පිරිසට දැනුම්දී සිටියේය. ඒ අනුව තමන්ට සුපුරුදු භාෂාවෙන් ගම්මන්පිල කියා සිටියේ බ්‍රහස්පතින්දා (05) දිනයේදී ආණ්ඩුවේ සියලු මන්ත්‍රීවරුන්ට තමන් විසින් රාත්‍රී භෝජනයක් පැවැත්වීමට සූදානම් කොට ඇතැයි කියාය. එය තලවතුගොඩ ‘ග්‍රෑන්ඩ් මොනාර්ක්’ හෝටලයේ පැවැත්වීමට නියමිත බවත්, සියලු දෙනාම ඊට සහභාගි වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ගම්මන්පිල මන්ත්‍රී කණ්ඩායමට කියා සිටියේය. එහිදී පසුපෙළ කටකාර මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම කෑගසමින් කියා සිටියේ ‘පිරිත් පැන් නැද්ද’ යැයි කියාය. ගම්මන්පිල මත්පැන් පානය නොකරන්නකු වුවත්, සිනාසෙමින් ඒ සියලු දෙනාටම කියා සිටියේ, “ඔව් ඔව් පිරිත් පැනුත් තියෙනවා…” යැයි කියාය.
පාටිය කැන්සල්
ඒ අනුව ගම්මන්පිල සඳුදා දින සිටම ඊට අදාළ වැඩකටයුතු වෙනුවෙන් වෙහෙසෙන්නට පියවර ගත්තත් අඟහරුවාදා දිනය වන විට ගම්මන්පිලට අමාත්‍යාංශ නිලධාරීන් විසින් දැනුම්දීමක් කරමින් කියා සිටියේ සේවකයන් කිහිප දෙනකුටම කොරෝනා වැලඳී ඇති බවට තහවුරු වී ඇතැයි කියාය. එම සේවකයන් කිහිප දෙනා අතර ගම්මන්පිල සමග සමීපවම කටයුතු කළ කිහිප දෙනෙක්ද වූහ. ඒ අනුව සෞඛ්‍ය උපදෙස් ලැබුණේ ගම්මන්පිලට වහාම නිරෝධායනය වන ලෙසටය. එම උපදෙස් අනුව වහාම ගම්මන්පිල කළේ තලවතුගොඩ මොනාර්ක් හෝටලයට කතා කොට රාත්‍රී භෝජන සංග්‍රහය අවලංගු කිරීමට කටයුතු කිරීමය. ඒ සමගම සියලුම ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ට තවත් වට්ස්ඇප් පණිවුඩයක් යොමු කළ ගම්මන්පිල කියා සිටියේ තමන් නිරෝධායන කටයුතු ආරම්භ කර ඇති බැවින් රාත්‍රි භෝජන සංග්‍රහය අවලංගු කිරීමට සිදුවන බවකි.
අපි කිව්වා වගේම ඇමැති තටු කැපුණා
පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ප්‍රබල කැබිනට් ඇමැතිවරයකුගේ තටු කැපීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බවට විශේෂ අනාවරණයක් කළේය. අප එහිදී පෙන්වා දුන්නේ පළමු අදියරේදී එම අමාත්‍යවරයාට අයත් ආයතන ඉවත් කිරීමක් සිදුකොට දෙවැනි අදියරේදී අමාත්‍ය ධුරය පවා වෙනස් කිරීමට සැලසුම් කොට ඇති බවකි. අප අනාවරණය කළ පරිදිම පුවත පළවී පැය 24ක් යන්නට මත්තෙන් ජනාධිපතිවරයා විසින් අදාළ ඇමැතිවරයා සතුව තිබූ ප්‍රධාන ආයතන දෙකක් ඉවත් කිරීමට පියවර ගත්තේය. දැන් ඒ අමාත්‍යවරයාට ඉතිරිව ඇත්තේ ආයතන දෙකක් පමණි.
තටු කැපෙන ඊළග ඇමැති
කෙසේ වෙතත් මේ සතියේදී අප අනාවරණ කිරීමට සූදානමින් සිටින්නේ තවත් එවැනිම ආකාරයේ තොරතුරකි. ඒ, තවත් රාජ්‍ය අමාත්‍යවරයකු සම්බන්ධයෙන්ය. ඒ රාජ්‍ය අමාත්‍යවරයාද පළමු වරට පාර්ලිමේන්තුවට පිවිස අමාත්‍ය ධුරයක දිවුරුම් දුන් අලුත් අමාත්‍යවරයෙකි. නමුත් පසුගිය කාලය පුරා මෙම අමාත්‍යවරයා කළ කී ඇතැම් කටයුතු සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩුවේ ප්‍රබලයන්ට බරපතළ විවේචන ගණනාවක් ඉදිරිපත්ව ඇති බව දැනගන්නට තිබේ. එමෙන්ම පැමිණිලි රැසක්ද අදාළ අමාත්‍යවරයාට එරෙහිව අණ්ඩුවේ ප්‍රධානීන්ට ඉදිරිපත් වී ඇති බවක්ද දැනගන්නට තිබේ. මේ නිසාම මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඉකුත් සතියේ අනාවරණය කළාක් මෙන්ම ඉතා වගකීමෙන් යුතුව කියා සිටින්නේ ඉදිරියේදී මෙම අමාත්‍යවරයාගේ විෂයයන් කිහිපයක්ද ඉවත් කිරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීන්දු කර ඇති බවකි.
හරීන් එජාපයට යනවාද?
පසුගිය කාලය පුරාම හරීන් ප්‍රනාන්දු දේශපාලන ක්ෂේත්‍රයේ නිතරම පුවත් මැවූ ආන්දෝලනාත්මක චරිතයක් විය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වරක් ඔහු කළ ප්‍රකාශයක් හේතු කොටගෙන තවමත් ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නට සිදුව තිබේ. එමෙන්ම පාර්ලිමේන්තුවේදීද ඔහු නිතරම පුවත් මවන චරිතයකි. හදවතේ සැත්කම් කිහිපයකට බඳුන්වීමෙන් පසු පළමු වතාවට ඉකුත් සිකුරාදා දිනයේදී පාර්ලිමේන්තු පැමිණි හරීන් එදිනද සරත් වීරසේකර අමාත්‍යවරයාට අභියෝග කරමින් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය.
දුම නගින්න හේතු
කෙසේ වෙතත් පසුගිය කාලසීමාවේදී හරීන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල පළවූ පුවත්වලින් කියවුණේ හරීන් නැවතත් එජාපයට සම්බන්ධ වීමට සූදානමින් සිටිනවා යැයි කියාය. හරීන් හා රනිල් අතර ගනුදෙනුවක් ආරම්භ වී ඇති බවක්ද කියවිණි. මේ පුවත්වලට තටු ලැබුණේ හරීන් රෝහල්ගතව සිටියදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ වජිර අබේවර්ධන රෝහලට පැමිණ හරීන්ගේ දුකසැප විමසීමත් සමගය. එමෙන්ම රනිල් පාර්ලිමේන්තු පැමිණි දිනයේ හරීන් සමග කතාබහ කරමින් සිටින ඡායාරූපද ආණ්ඩුව පැත්තෙන් මාධ්‍යවලට නිකුත් කර තිබිණි. එමෙන්ම හරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටි දිනයේ උදෑසනම රනිල් හරීන්ට කතා කොට උපදෙස් ලබාදුන් බවක්ද මාධ්‍ය වාර්තා කොට තිබිණි. මේ හේතුව නිසාම හරීන් හා රනිල් අතර විශේෂ සබඳකමක් ඇති බවටත්, හරීන් එජාපයට යළි එක්වනු ඇති බවටත්, එජාපය පැත්තෙන් විශාල කටකතාවක් යවන ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
රුවන් දුන් ලණුව
මීට අමතරව එජාපයේ නියෝජ්‍ය නායකයා වන රුවන් විජයවර්ධනද මීට සමගාමීව තවත් මෙහෙයුමක්ද දියත් කරමින් සිටියේය. එහිදී රුවන් පක්ෂයටත්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ටත් පෙන්වා දී තිබුණේ හරීන් තමන්ගේ ඉතා සමීප මිතුරකු බවත්, ඕනෑම අවස්ථාවක හරීන් එජාපයට රැගෙන ආ හැකි බවත්ය. රුවන්ගේ මේ කතාව පිළිබඳවද රනිල් සිටියේ දැඩි විශ්වාසයක් තබාය.
හරීන්ගේ අන්තිම තීන්දුව
කෙසේ වෙතත් මේ සියලු කටකතාවන්ට පිළිතුරු හරීන් පසුගිය සතියේදී ලබාදුන්නේය. ඒ, පෞද්ගලික රූපවාහිනි නාලිකාවක පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී මාධ්‍යවේදීන් මෙම ගනුදෙනු පිළිබඳ හරීන්ගෙන් විමසා සිටිද්දී හරීන් කෙළින්ම කියා සිටියේ තමන්ට එජාපයෙන් කතා කළද තමන් කිසි විටෙකත් යළිත් එජාපයට සම්බන්ධ නොවන බවකි. එමෙන්ම තමන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිද්දී එජාපයේ නායකයා වශයෙන් කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ බව පෙන්වා දුන් හරීන්, අද තමන්ගේ දියණිය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිද්දී පවා එජාපයේ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය. එවැනි පක්ෂයකට අනාගතයක් නොමැති බවද හරීන් කියා සිටියේය.
වත්තල බාර අරන්
එමෙන්ම මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හරීන් සම්බන්ධයෙන් තවත් රහසක්ද හෙළිකිරීමට සූදානම්ය. ඒ, හරීන් දැනටමත් සමගි ජන බලවේගයේ වත්තල ආසන සංවිධායක ධුරය භාරගෙන ඇති බවය. මෙම පුවත නිල වශයෙන් තවම ප්‍රකාශයට පත්ව නැති නමුත් ඉදිරි දින කිහිපය තුළ හරීන් ගම්පහින් සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටින බව ආරංචිය.
සජිත් හොරෙන්ම ගාලු ගියේ ඇයි
පසුගියදා පැවැති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අවසන් වූ වහාම සජිත් අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ලට පැමිණියේය. සජිත් කණ්ඩායම් රැස්වීමෙන් පිටත්වූයේ මනුෂටද තමන් සමග පැමිණෙන ලෙස දැනුම් දෙමින්ය.
පින්නදූව අධිවේගී මාර්ග පිවිසුමෙන් පිටතට පැමිණි ඔවුන් කෙළින්ම ගියේ කරාපිටිය රෝහලටය. ඒ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ගෙනැවිත් සිටි රන්ජන් රාමනායකගේ සුවදුක් විමසීමටය. සජිත් හා මනුෂ, රන්ජන්ගේ සුවදුක් විමසා ඔහු වෙනුවෙන් ගන්නා ඉදිරි පියවර ගැනද සාකච්ඡා කළේය.
“මනුෂ මන්ත‍්‍රීතුමා, එතුමාගේ ගෙදර මට දීලා තියෙනවා. ඒක ලොකු දෙයක්. මම ඒකට ස්තුතිවන්ත වෙනවා…” රංජන් කීවේය.
ගාල්ලෙන් හම්බන්තොටට
එතැන් සිට සජිත් ගියේ හම්බන්තොට බලාය. නිවාස හා ඉදිකිරීම් ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී නිවාස ලබාදුන් පුද්ගලයන්ගේ නිවාස ආණ්ඩුව බලහත්කාරයෙන් ගන්නා බවට සජිත්ට තොරතුරු ලැබී තිබුණි. ඒ අනුව එහි ගිය ඔහු ජනතාවගේ ගැටලුවලට කන් දුන්නේය.
“මේ ගෙවල් නීත්‍යානුකූල නැහැ කියලා කියනවා නම් ගෙවල්වලට විදුලිය, ජලය දුන්නේ කොහොමද? නිවාස ණය දුන්නේ කොහොමද? මේ සරල කාරණාවත් දන්නේ තැනි ආණ්ඩුවක් තමයි දැන් තියෙන්නේ” සජිත් කීවේය.
එතැන් සිට ලුණුගම්වෙහෙර බලා පිටත්ව ගිය ඔහු පසුදා කොළඹ පැමිණියේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය දැක්වීම සඳහා සංවිධාන කර තිබූ විරෝධතාවයකට සහභාගීවීමටය.
පොහොර තහනමත් රිවස්ද?
පසුගිය කාලයේ ආණ්ඩුවේ ප්‍රධාන සටන් පාඨයක් වූයේ රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට කටයුතු කිරීමය. මීට මාස කිහිපයකට ඉහතදී ජනාධිපතිවරයා මෙම තීරණය ප්‍රකාශයට පත්කිරීමත් සමග රට ඇතුළේ ගොවි ජනතාව විශාල වශයෙන් ආණ්ඩුවට එරෙහිව විරෝධතා පළකිරීමට පියවර ගත්තේය. ඔවුන් පෙන්වා දුන්නේ දැනට පවතින තත්ත්වය යටතේ හිටි හැටියේම රසායනික පොහොර භාවිතයෙන් වැළකී සිටීමට නොහැකි බවත්, ක්‍රමානුකූලව එය සිදුකළ යුතු බවත්ය. එතෙක් රසායනික පොහොර ආනයනය කිරීමට ඉඩ ලබාදෙන ලෙසද ඔවුහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ. නමුත් ආණ්ඩුව ඒ සෑම අවස්ථාවකදීම කියා සිටියේ මේ වන විට රසායනික පොහොර සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බැවින් එය අහෝසි කළ නොහැකි යැයි කියාය.
බැසිල් ගහපු ලියුම
කෙසේ වෙතත් මෙවැනි පසුබිමක් යටතේ පසුගිය අඟහරුවාදා (03) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අස්සන යටතේ ලිපියක් ආගමන විගමන පාලකවරයා වෙත නිකුත් කෙරුණු අතර ඉන් පෙන්වාදී තිබුණේ රසායනික පොහොර වර්ග කිහිපයක් ආනයනය කිරීමේ තහනම ඉවත් කිරීමට කටයුතු කරන ලෙසය. ඒ සමගම ඊට පසු දින සියලු මාධ්‍ය පොල් ගෙඩි අකුරින් වාර්තා කර තිබුණේ රසායනික පොහොර තහනම ඉවත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇතැයි කියාය.
“පොහොර තහනම ලිහිල් වෙයි – කෝටා ක්‍රමයට ගේන්න අවසර”, “පොහොර ආනයනයට අවසර” යනුවෙන් එහිදී පුවත්පත් වාර්තා කර තිබූ ආකාරයක් දැකගත හැකි විය. කෙසේ වෙතත් එදිනම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා කියා සිටියේ පවතින තත්ත්වය යටතේ පොහොර තහනමේ යම් ලිහිල්කිරීමක් සිදුකිරීමට ආණ්ඩුව තීන්දු කර ඇති බවකි. ඒ සමගම රටම සිතා සිටියේ ආණ්ඩුව පොහොර තහනමද යළි රිවර්ස් කරගැනීමට කටයුතු කර ඇති බවකි.
ජනපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්!
නමුත් එය එසේ නොවන බවක් දැකගන්නට ලැබුණේ එදිනම ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කෙරුණු නිවේදනයක් සමගය. එම නිවේදනයෙන් අවධාරණය කොට තිබුණේ රජය කිසිසේත්ම රසායනික පොහොර තහනම ඉවත් කර නොමැති බවත්, තවදුරටත් එම තහනම ක්‍රියාත්මක බවත්ය. මෙහි පළවන්නේ ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ එම නිවේදනයය.
කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නෑ – රජය අවධාරණය කරයි
දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබාදී නැති අතර දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිත කළ යුතු බවට ජනාධිපතිතුමා විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනසක් සිදුකොට නැති බව ද ඉදිරියේදී එම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව ද රජය දන්වා සිටී.
කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් 2021 මැයි මස 31 දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ස්වභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක යොදාගනිමින් සැකසූ ශාක පෝෂක ආනයනය කිරීමට වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබුණි.
ඉහත කී ස්වාභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක මේ වන විට අංක 2226/48 දරන ගැසට් පත්‍රය මගින් ආනයනය කිරීම තහනම් කර තිබූ සංකේතාංක :්‍යී ක්‍දාැ* යටතේ ආනයනය වන බැවින්, ඉහත දක්වන ලද, කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට ලබාදී තිබූ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ක්‍රියාත්මක කිරීම සඳහා අංක 2226/48 ගැසට් පත්‍රය සංශෝධනය කරන ලදී.
ඒ අනුව මුදල් අමාත්‍යවරයා විසින් 2021 ජූලි 30 වැනි දින නිකුත් කර ඇති 2021 අංක 11 දරන ආනයනය හා අපනයන (පාලන) නියමයන් :ඍැටමක්එසදබි* අනුව පහත සඳහන් වර්ගවල විශේෂිත වූ පොහොර ආනයනය සඳහා පමණක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා අදාළ අනෙකුත් ආයතන හා විශේෂ වූ බලපත්‍ර ක්‍රමවේදයක් යටතේ අවසර ලබාදී ඇත. කෘෂිකර්මාන්තය සඳහා භාවිත කළ හැකි පොහොර වන්නේ අන්තර්ජාතික කාබනික පොහොර ප්‍රමිතීන්වලට අනුකූල අනුමැතිය ලබාදී ඇති කාබනික පොහොර පමණක්ම වනු ඇත.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකතුත් රාජ්‍ය ආයතන විසින් සිදුකරන ලද සංගණනයන්ට අනුව එම ආයතනවල ඍජු අධීක්ෂණය යටතේ මාස 6ක කාලයක් සඳහා නිකුත් කරන බලපත්‍ර මගින් හරිතාගාර තුළ සංරක්ෂිත කෘෂිකාර්මික කටයුතු සඳහා ලියාපදිංචි ආයතන වෙත සහ ජල පෝෂක වගා හා වායු පෝෂක වගා සහ විසිතුරු මල් වගා කටයුතු සඳහා පමණක් නයිට්‍රජනීය ඛනිජ හෝ රසායනික පොහොර සහ කිලේටකරණය කරන ලද ඛනිජ සහ ශුද්‍ර පෝෂක ආනයනය සඳහා අවසර ලබාදී ඇත.
එමෙන්ම ඉහත සඳහන් බලපත්‍ර මගින් ඛනිජ හෝ රසායනික නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් යන ශාක පෝෂක තුනම අඩංගු මිශ්‍රිත පොහොර ඒවායින් දෙකක් අඩංගු මිශ්‍රණවලින් සකස් කරන ලද පොහොර කරල් හෝ එවැනි නිෂ්පාදන අඩංගු බර 10නට හෝ ඊට වඩා අඩුවෙන් සකස් කරන ලද පැකට් සඳහා අවසර ලබාදී ඇත.
මෙම සියලු පොහොර ආනයනය අදාළ අවශ්‍ය ආයතන මගින් අවශ්‍යතා අනුව හෝ එම අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ප්‍රමාණයන් සඳහා පමණක් නිකුත් කරන විශේෂ වූ බලපත්‍ර යටතේ පමණක් ආනයනයට අවසර ඇත.
මීට අමතරව නයිට්‍රජන් නිස්සාරණ (කාබනික) හා ඛනිජ ගණයේ පොටෑසියම් ආනයනය කළ හැකි අතර, ඒවා රසායනික පොහොර ලෙස වර්ග නොකෙරේ.
“නිරෝගිමත් සහ ඵලදායී පුරවැසියෙක් බිහිකිරීමට රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදාගැනීමට එම නිෂ්පාදන වේගවත් කළ යුතුය” යන්න ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දුව වේ.
ජනාධිපති මාධ්‍ය අංශය
2021.08.04
දෙමළ ඩයස්පෝරාව සූම් එකෙන් ගත් තීන්දුව
පසුගිය සතියේ දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත. සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වී ඇති මෙම සාකච්ඡාවට ඉන්දියාවේ ප්‍රබල එල්.ටී.ටී.ඊ. හිතවාදීන් වන නෙදුමාරන් හා කාසි ආනන්දන් ඇතුළු ප්‍රබලයන් කිහිප දෙනකු සහභාගි වී සිට ඇති අතර දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් සීමාමායිම් රහිත දමිළ රාජ්‍යයේ නායකයා වශයෙන් සැලකෙන වී. රුද්‍රකුමාරන් ඇතුළු ප්‍රබල සාමාජිකයන් පිරිසක් සහභාගි වී සිට ඇති බව දැනගන්නට ඇත. මෙහි රුද්‍රකුමාරන් සහ නෙදුමාරන් යන එවකට එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් සමග මුහුණට මුහුණ සාකච්ඡා කර ඇති පුද්ගලයන්ය.
කෙසේ වෙතත් මෙහිදී සාකච්ඡා වී ඇත්තේ වඩුක්කෝඩෙයි ප්‍රකාශය ඉදිරියට ගෙන යෑම පිළිබඳවය. වඩුක්කෝඩෙයි ප්‍රකාශය සම්මත කරගත්තේ 1976 මැයි 14 වැනි දිනය. ඒ, එවක සිටි දමිළ නායකයකු වූ එස්.ජේ.වී. චෙල්වනායගම්ගේ ප්‍රධානත්වයෙන් උතුරේ වඩුක්කෝඩෙයිහිදීය. මෙය 1977 පැවැති මැතිවරණයටද ඉදිරිපත් කෙරුණු අතර ඊට 77 මහමැතිවරණයෙන් ජනවරමක්ද ලැබිණි. එම යෝජනාවෙන් කියවුණේ දමළ ජනතාව විසින් උතුරු නැගෙනහිර පළාත්වලට වෙනම පාලනයක් හිමිවිය යුතු යැයි කියාය.
ඒ අනුව පසුගියදා දෙමළ ඩයස්පෝරා නායකයන් හා එල්.ටී.ටී.ඊ. හිතවාදීන් අතර පැවැත්වී ඇති සූම් සාකච්ඡාවේදී මෙම වඩුක්කෝඩෙයි යෝජනාව නැවත වතාවක් කරළියට ගෙන ඉදිරියට ගෙන යෑමට තීන්දු කොට ඇත. එම යෝජනාව ඉදිරියේදී ඉන්දීය නායකයන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට ඉදිරිපත් කොට ඒ හරහා ආණ්ඩුවට බලපෑම් සිදුකිරීමටද ඩයස්පෝරාව විසින් එම සාකච්ඡාවේදී තීන්දු කර ඇති බවද දැනගන්නට තිබේ.










