ආණ්ඩුවට අප්‍රේල් තීරණාත්මකයි: පිරිසක් ගැලවෙන ලකුණු
මේ සියල්ල අතරවාරයේ ලබන අප්‍රේල් මාසය ආණ්ඩුවට ඉතා තීරණාත්මක මාසයක් වීමේ ලකුණු මේ වන විට පහළ කරමින් යම් යම් සිදුවීම් කිහිපයක් ආණ්ඩුව ඇතුළේ සිදුවීමේ පසුබිමක් නිර්මාණය වෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. ‘රාජ්‍ය රහස්’ තීරය තවමත් මේ පිළිබඳ විමර්ශනය කරමින් සිටින අතර, දැනට අප වෙත ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ යම් යම් සාකච්ඡා හා හමුවීම් තිරය පිටුපස සිදුවෙමින් පවතින බව පමණි. මෙහිදි යම් යම් කණ්ඩායම් පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට එක්වීමේ සාකච්ඡාද මේ තුළ නැතුවා නොවේ. මෙහිදී පළමු වටයේදී විපක්ෂයට එක් නොවී ස්වාධීන වීම මෙම පිරිසේ සැලැසුම බවත්, ඒ සම්බන්ධයෙන් මේ දිනවල පවතින නීතිමය තත්ත්වයන් සොයා බලමින් සිටින බවත් දැනගන්නට ඇත.
නීතිමය උපදෙසුත් අරන්
මෙහිදී මෙම පිරිසට ලැබී ඇති නීතිමය උපදෙස්වලින් කියැවී ඇත්තේ ඍජුව පොහොට්ටුවේ සාමාජිකයෙක් වී ඡන්දය ඉල්ලා තිබුණි නම් ස්වාධීන වීමේ ඉඩකඩක් පවතින නමුත්, පක්ෂය ගන්නා තීන්දු, තීරණවලට එරෙහිව පාර්ලිමේන්තුව තුළ ඡන්දය භාවිත කිරීම කළ නොහැකි බවකි. නමුත් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය හැකි බවට එහිදී ඔවුන්ට නීති උපදෙස් ලැබී ඇති බවක්ද ආරංචිය.
ආණුව ඇතුළේ කැරැල්ල ගැන අපි කිව්වේ මීට සති 2කට කලින්
මේ ඉකුත් ජනවාරි 31 වැනි දින ‘රාජ්‍ය රහස්’ තීරය හරහා අපි රටට කළ හෙළිදරව්වකි. අප එහිදී පැහැදිලිවම කියා සිටියේ අප්‍රේල් මාසය වන විට ආණ්ඩුව ඇතුළේ කිසියම් කැරැල්ලක් නිර්මාණය වීමේ ලකුණු පහළ කොට ඇති බවත්, දැනටමත් තිරය පිටුපස ඒ පිළිබඳ සාකච්ඡා ගණනාවක්ම සිදුවෙමින් පවතින බවත්ය. බොහෝ දුරට ආණ්ඩු පක්ෂයෙන් සැලකිය යුතු කණ්ඩායමක් ස්වාධීන ලේබලය යටතේ විපක්ෂයේ අසුන් ගනු ඇති බවද අපි එහිදී අනාවරණය කළෙමු.
ආණ්ඩුව ඇතුළේ එළිපිට මතුව ඇති අර්බුද දෙස බලන විට අප කළ එම අනාවරණය සියයට සියයක්ම තහවුරු වන පසුබිමක් මේ වන විට නිර්මාණය වී ඇති ආකාරයක් දැකගන්නට තිබේ. විශේෂයෙන්ම ඒ සඳහා පසුබිම සැකසුණේ කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට ආණ්ඩුව ගෙනගිය ක්‍රියාකලාපය හරහාය. මෙහිදී ආණ්ඩුව ඇතුළේම කැබිනට් ඇමැතිවරයකු වශයෙන් කටයුතු කරන විමල් වීරවංශ මහතා සිය නිල නිවසේ ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 10ක් කැඳවා පැවැත්වූ සාකච්ඡාව මෙම බෙදීමට මූලිකත්වය සපයා තිබිණ. ඒ හරහා ආණ්ඩුවේ ප්‍රධානීහුද පෙරළා විමල් කැබිනට් සාමූහිකත්වය කඩ කරමින් කටයුතු කරන බවට චෝදනා එල්ල කළහ. විශේෂයෙන්ම පොහොට්ටුවේ මහලේකම්වරයා වූ නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා ප්‍රසිද්ධියේම මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව රටට කියා සිටියේය.
විමල් කැරැල්ලට මූලිකත්වය ගනී: අසනීපයෙන් සිටි මාධ්‍යවේදියා ගෙන්වා ගනී
මෙය ආණ්ඩුව ඇතුළේ බරපතළ ගැටුමක් බවට පත්වූයේ විමල් පසුගිය ඉරිදා සතිඅන්ත පුවත්පතකට ලබාදී තිබූ ආන්දෝලනාත්මක පුවත්පත් සාකච්ඡාවත් සමඟය. ඇත්තම කියනවා නම් අදාළ පුවත්පත විසින් විමල්ට මෙම මාධ්‍ය සාකච්ඡාව ලබාදුන්නාට වඩා විමල් අදාළ මාධ්‍ය ආයතනයට කතා කොට ඉල්ලා ගත් මාධ්‍ය සාකච්ඡාවක් විය. මෙම සාකච්ඡාව මෙහෙයවීමට පැමිණ තිබුණේද විමල් සමඟ අතිශය හිතවත් මාධ්‍යවේදියෙකි. පසුගිය දිනවල මෙම මාධ්‍යවේදියා යම් අසනීප තත්ත්වයකින් සිටියද මෙය ඉතා උණුසුම් මාධ්‍ය සාකච්ඡාවක් වූ බැවින් අසනීප තත්ත්වයෙන් පසුවූ එම මාධ්‍යවේදියා කෙසේ හෝ ගෙන්වා ගැනීමටද විමල් සමත් විය.
කෙසේ වෙතත් මෙම මාධ්‍ය සාකච්ඡාවේදී විමල් කළ ඇතැම් ප්‍රකාශ අතිශය ආන්දෝලනාත්මක විය. විශේෂයෙන්ම සාගරගේ කතාවට ඔහු දී තිබූ පිළිතුරු පොහොට්ටුව අවුස්සන්නක් විය.
පොහොට්ටුවේ යකා අවුස්සපු විමල්ගේ කතා
“මට ප්‍රශ්නයක් නැහැ සාගර කාරියවසම්ට කනගාටුදායක වුණාට. මට ප්‍රශ්නයක් වෙන්නෙ අපි ගන්නා ක්‍රියාමාර්ගවලින් රටට, ජනතාවට කනගාටු වෙන්න වෙනව නම් විතරයි. අපි ගන්නා ක්‍රියාමාර්ග නිසා අප විශ්වාස කරන ජනතා බලවේග කනගාටු වෙනවා නම් අපිට ප්‍රශ්නයක්. අපි සංවේදී ඒ පැත්තට විතරයි. ඔය මේ ජාතික ලැයිස්තුවෙන් ඇවිත් මන්ත්‍රිකම් ගත්තු අයට තේරෙන්නෙ නෑ ජනවරමේ අභිලාෂයන් ආරක්ෂා කිරීමේ වැදගත්කම. ඒව ඒගොල්ලන්ට දැනෙන්නෙ නෑ. ඒගොල්ලො කාටහරි බැල මෙහෙවරකම් කරල ඒකට ලැබුණු තෑග්ගක් තමයි ඔය ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය…”
“ගෝඨාභය ජනාධිපතිතුමා මේ රටට විශේෂ සේවයක් කරපු අයෙක්. රාජ්‍ය නායකයා කියන භූමිකාව එතුමා භාරගත්තට පස්සෙ දේශපාලන ක්ෂේත්‍රයේ එතුමා ඉන්නෙ අත්දැකීම් බහුල චරිතයක් ලෙස නෙමෙයි. එතුමට විය යුතුව තිබුණ දේ තමයි පොහොට්ටුව කියන පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂයේ නායකත්වය ලබාදීම. එතුමා එහෙම ගෙන්වන්නෙ නැතිව එතුමා ජනාධිපති ලේකම් කාර්යාලයට තනි කිරීම සුදුසු නෑ. ඒකෙන් වෙන්නෙ මන්ත්‍රිවරු සහ එතුමා අතර තිබෙන සම්බන්ධකම දුර්වල වෙන එක. මට තේරෙන්නෙ නෑ මේ තත්ත්වය වර්ධනය වෙන්න ඉඩදෙන්නෙ කවුද කියල…”
“ආණ්ඩුවේ ගමනේ සතුටු වෙන්න පුළුවන් ගොඩක් පැති තියෙන අතරේ අසතුටු වෙන්න කාරණාත් තියෙනවා. ඇතැම් පුද්ගලයන් තමන්ගේ තනි බල පෙරේතකම මුදුන් පමුණුවා ගැනීම සඳහා ආණ්ඩුවට සිදුකරමින් සිටින විශාල හානිය අපි හොඳින් දකිනවා. ඒ පෞද්ගලික බල පෙරේතකම් සංතෘප්ත කර ගැනීම වෙනුවෙන් සිදුකරමින් සිටින විනාශකාරී බලපෑම අපිට හොඳින්ම පේනාවා. ඒ පිළිබඳව අපිට විශාල කනගාටුවක් තියෙනවා…”
එළියට බහින්න බලාගෙන බඩු ටික පැක් කරගනින්
මේ විමල් එම පුවත්පත් සාකච්ඡාවේදී කළ ඇතැම් ප්‍රකාශයන්ය. කෙසේ වෙතත් මෙම සාකච්ඡාව ලබාදෙද්දී විමල්ගේ හිතවතුන් දෙතුන් දෙන්නෙක් මෙන්ම මාධ්‍ය කණ්ඩායමේ කිහිපදෙනෙක්ද ඊට කන් දීගෙන සිටියහ. විමල් කළ මෙම ඇතැම් ප්‍රකාශ හේතුකොටගෙන ඔවුන්ද සිටියේ තෘෂ්ණිම්භූතවය. ඒ අනුව සාකච්ඡාව අවසන් කළ සැණින් විමල් සිය මාධ්‍ය කණ්ඩායමට සහ එහි සිටි හිතවතුන්ට විශේෂ ප්‍රකාශයක් කිරීමටද වගබලා ගත්තේය.
“මොනව වුණත් එළියට බහින්න බලාගෙන බඩු ටික පැක් කරගනින්…” යන්න එහිදී විමල් සිය හිතවතුන් දුන් උපදේශය විය.
ඉන්ටවීව් එක දුන්නේ සැලසුම් කරලා
ඒ අනුව එක් දෙයක් පැහැදිලිය. ඒ, විමල් මෙම සම්මුඛ සාකච්ඡාව ආවට ගියාට මෙම පුවත්පතට ලබාදුන් එකක් නොවන බවය. ඉතාම සැලැසුම් සහගත ලෙස මෙම සාකච්ඡාව සතිඅන්ත පුවත්පතට ලබාදී ආණ්ඩුව ඇතුළේ දේශපාලනය කලම්බාලීම විමල්ගේ පැහැදිලි අරමුණක් වී තිබිණ. මන්ද යත් සාගර කාරියවසම්ට එල්ල කළ ප්‍රහාරය මුල්කරගෙන සඳුදා (8දා) පැවැත්වීමට නියමිතව තිබුණු ආණ්ඩුවේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමෙදී තමන්ට හතර වටින් ප්‍රහාර එල්ල වන බව විමල් හොඳින්ම දැන සිටියේය. ඒ අනුව මෙම සාකච්ඡාව හරහා ඊට තව උත්තේජනයක් ලබාදීමටත්, තමන් සටනට සූදානම් බවට වූ ඉඟිය මේ හරහා ආණ්ඩු පක්ෂයට ලබාදීමට විමල් කටයුතු කර තිබිණ.
විමල් සිතූ ආකාරයටම අඟහරුවාදා මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම එකම ගාලගෝට්ටියක් විය.
ප්‍රසන්න පත්තර පිටුවත් අරන්ම රැස්වීමට එයි…
ඇමති ප්‍රසන්න රණතුංග මේ රැස්වීමට පැමිණියේම විමල් වීරවංශ ඇමතිවරයාගේ අදාළ ප්‍රකාශය ඇතුළත් පුවත්පතේ පිටුවද රැගෙනය. සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබද සාකච්ඡා කිරීමෙන් අනතුරුව විමල්ගේ කථාව ගැන ප්‍රශ්නය ඇද්දේ රාජ්‍ය ඇමති නිමල් ලාන්සාය.
ලන්සා වෙඩිල්ල පත්තු කරයි
“මට පැහැදිලි කිරීමක් කරන්න ඕනෑ. මම කරපු ප්‍රකාශයක් ගැන පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේදි විමල් වීරවංශ ඇමතිවරයා ප්‍රකාශයක් කරලා තිබෙනවා. මම කථා කළේ රටට ආයෝජන අවශ්‍යයි කියන පදනමේ ඉඳලයි. ජනතා විමුක්ති පෙරමුණයි සමගි ජන බලවේගයටයි තමයි මම මෙතනදී උත්තර දුන්නේ. ඒක නිසා බොරුවට මාව පටලවා ගන්න එපා. මම කියපු දේ ආවරණයක් කර ගන්න එපා කියන එක එතුමාට කියන්න අවශ්‍යයි…” ලාන්සා කීිවේය.
“එයා නෑනේ එයා ඉන්න තැන කථා කරන්න..” යනුවෙන් වාසු කීවේ එවිටය.
“මම නැති තැන එහෙනම් එයත් කථා කළේ. ඒකයි මමත් මේ කථා කරන්නේ. මම කිව්වා යැයි බොරු කියනකොට මට ඒක පැහැදිලි කරන්න පුළුවන්” යනුවෙන් ලන්සා ඊට උත්තර බැන්ඳේය.
අනතුරුව කතා කළේ ප්‍රසන්නය.
ප්‍රසන්න ඉස්සරහට අරන් යයි
“මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ අපේ පරමාදර්ශී නායකයා. එතකොට විමල් ඇමතිතුමා මේ පත්තරේට කියනවා ජනාධිපතිතුමාට අත්දැකීම් අඩුයි කියලා. යූ.එන්.පී. එකත් ජනාධිපතිතුමාට ගහන්නේ අත්දැකීම් නෑ කියලා. එතකොට අපේ ආණ්ඩුවේම ඇමතිවරු පත්තර ලටත් ඒක කියනකොට මොකක්ද තත්ත්වය..” යැයි ප්‍රසන්න කීවේ ඔහු ගෙන ගිය පුවත්පතේ පිටුවද පෙන්වමිනි.
නඩු තියෙන්නෙ විමල්ට විතරද?
“විමල් ඇමතිතුමා මෙතන නෑනේ. එතුමා දැන් මීගමුවේ තියෙන නඩුවකට ගිහිල්ලයි ඉන්නෙ. මේ එතුමට පහුගිය ආණ්ඩුවෙන් එතුමාට දාපු නඩුනෙ…” යනුවෙන් උදය කීවේ හරියට විමල්ට විතරක් පසුගිය ආණ්ඩුවෙන් නඩු වැටුණු ආකාරයටය. ඊට මන්ත්‍රිවරුන්ගේ විරෝධය උදයටද පළවිය.
“විමල්ට විතරක් නෙමෙයි අපිටත් පහුගිය කාලෙ ඒ ආණ්ඩුවෙන් නඩු දැම්ම. අපිත් ඒවට තවම මුහුණ දෙනවා. හැබැයි අපි පාර්ලිමේන්තුවට එන එක නවත්වල නෑ. මොකද මොන නඩුව තිබ්බත් අපිට පාර්ලිමේන්තු එන්න පුළුවන්. ඒක අපිට තියෙන වරප්‍රසාදයක්. එහෙම තියාගෙනත් අද විමල් මේකට ආවෙ නැත්තෙ ඇයි..” යනුවෙන් මන්ත්‍රිවරුන් විමසද්දී ඊට වාසු හෝ උදය උත්තර දෙන්න ගියේ නැත.
“මම කිව්වේ අගමැතිතුමාට. අපේ පක්ෂයේ නායකයාට. අපිට අයිතියක් තියෙනවා මේක මෙතන කියන්න. අපි ඔය එක එක්කෙනා වගේ තැන තැන ගිහින් කියන්නේ නෑ. අපි කියන්න ඕන දේ කියන්න ඕන තැන කියනවා. මුන්ට එළියට ගිහිල්ල ආණ්ඩු විරෝධී ප්‍රකාශ ඕන තරම් කරන්න පුළුවන්. තැන් තැන්වල කල්ලි ගැහෙන්න පුළුවන්. අපිට මේව කතා කරන්න බැරිද…” ලන්සා කිවේය.
විමල් මේක කිව්වේ ජනාධිපතිතුමයි-අගමැතිතුමයි කොටවන්න
“මම කියන්නේ මේක සදාචාරසම්පන්න නෑ එතුමා ඉන්න තැනකයි මේක කියන්න ඕනෑ” යනුවෙන් වාසු යළි කියද්දී “එතකොට විමල් මේ කියල තියෙන ඒවා සදාචාරසම්පන්නද…” ප්‍රසන්න පෙරළා ඇසුවේය.
“මම කියන්නේ අගමැතිතුමනි අපිට ආණ්ඩුවේ ක්‍රියාදාමය ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ගැන කථා කරන්න ඕනෑ එළියේ නෙමෙයි. මේක අතුළේ කථා කරන්න ඕන දෙයක්. 2015 අපි පරාද වුණාට පස්සෙ අපි විකුණුවෙ ඔබතුමාව. හැම ඡන්දයකදිම ඔබතුමාව තමයි අපි වික්කෙ. අපි කිව්වෙ මහින්ද එක්ක නැඟිටිමු කියල. අපි කොහෙවත් කිව්වෙ නෑ විමල් එක්ක නැඟිටිමු කියල. අපට කතා කරන්න තියෙන්නෙ මේ ආණ්ඩු පක්ෂ රැස්වීම විතරයි. විමල් කොහොමද අපේ පක්ෂෙ නායකත්වය ගැන කතා කරන්නෙ. මේක විමල් කිව්වෙ තනිකරම ජනාධිපතිතුමත්, අගමැතිතුමාත් අතර හිතාමතාම ප්‍රශ්නයක් හදන්නයි. ඔබතුමා තීන්දු කරනව නම් නායකත්වය වෙන කාට හරි දෙන්න ඒකෙ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ එළියෙ ඉන්න විමල්ලට ඒක තීරණය කරන්න දෙන්න බෑ…” යනුවෙන් ප්‍රසන්න දිගටම කියාගෙන ගියේ විමල්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමිනි.
වාසුට දැඩි විරෝධයක්
නමුත් වාසුද අත ඇරියේම නැත. ඔහුද නැගිට අවස්ථා කීපයකදීම විමල් ඉන්න තැන මේවා කියන්න යැයි කියමින් ප්‍රසන්නට බාධා කළේය.
“ඇමතිතුමා අපි ඔබතුමාට ගෞරව කරනවා. මේ ප්‍රශ්නයේදි අපට කථා කරන්න දෙන්න. ඒ ගෞරවය නැති කරගන්න එපා…” යනුවෙන් ප්‍රසන්න කියද්දී පසුපෙළ මන්ත්‍රිවරුද වාසුට දැඩි ලෙස වටකරගෙන ප්‍රහාර එල්ල කිරීමට පියවර ගත්හ.
නමුත් වහා මැදිහත් වූ අගමැති මහින්ද මන්ත්‍රීවරුන්ට නිහඬ වන්නැයි කීිවේය.
“මේක ලොකු ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නෑ දැන් මේක නතර කරන්න” යැයි මහින්ද කියද්දී මහින්දගේ ඉල්ලීමට අවනත වූ පිරිස ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම අවසන් කිරීමට පියවර ගත්තේය.
අපි පරිප්පු කන්න… එයා වීරයා වෙන්න
කෙසේ වෙතත් පක්ෂ නායක රැස්වීම අවසන් වීමෙන් පසුවද තැන් තැන්වල විමල් ගැන කතාබහ මතුවිය. විශේෂයෙන් පාර්ලිමේන්තු ලොබියේදී පාර්ලිමේන්තු පසුපෙළ මන්ත්‍රිවරුන් විමල්ගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කරනු දැකගත හැකි විය.
‘විමල් ඉන්නෙ වෙනම ගේම් එකක. ගිය සැරෙත් එයා ඔය විදිහටම වැඩ කරලා ආණ්ඩුව වැට්ටුවා. එයාට ඕනෙ විදිහට මේක ඇතුළෙ වැඩ කරන්න දෙන්න බෑ. අපි කුණු ගාගන්නයි, එයාට වීරය වෙන්නයි වැඩ කරන්න බැහැ…” යනුවෙන් එක් මන්ත්‍රිවරයෙක් කියද්දී පසුපෙළේ ප්‍රබලයකු වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ද අදහස් දක්වමින් කියා සිටියේ අප තවමත් අතීත පාඩම් ඉගෙනගෙන නැතැයි කියාය.
පසුපෙළ බර වැඩකට අතගසයි
“අපේ 2010-2015 ආණ්ඩුව වැටුණෙ ඇතුළෙ තිබ්බ අර්බුද හින්ද. හැබැයි අපි ඒ අතීතයෙන් තාම පාඩම් ඉගෙනගෙන නෑ. ඒ ආණ්ඩුවේ තිබ්බ අර්බුද මේ ආණ්ඩුවෙ ඇතිවෙන්න දෙන්න බෑ…..” යනුවෙන් ප්‍රමිත කියා සිටියේය.
ඒ අනුව පසුපෙළ නවක මන්ත්‍රිවරුන්ද මේ වන විට විශේෂ වැඩකටයුත්තකට අතගසා තිබේ. ඒ ආණ්ඩුව ඇතුළේ පවතින අර්බුද සම්බන්ධයෙන් ආණ්ඩුවේම ප්‍රධානීන් වූ ගෝඨාභය, මහින්ද, බැසිල් සමඟ සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාගැනීමටය. ඒ අනුව විශේෂ ලිපියකට අස්සන් තැබීමද එහිදී සිදුකෙරුණු අතර, අඟහරුවාදා දිනයේදීම එම ලිපිය මහින්ද අතට පත්කිරීමටද පසුපෙළෙ මන්ත්‍රිවරු පියවර ගත්හ. එමෙන්ම බදාදා දින එම ලිපිය ජනාධිපති ලේකම්වරයාටත්, බැසිල්ටත් බාර දීමට පිරිස පියවර ගත්හ. මීට අමතරව බ්‍රහස්පතින්දා දිනයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ තත්ත්වය රටට අනාවරණය කිරීමටද පසුපෙළ මන්ත්‍රිවරු කටයුතු කළහ.
විමල්ට කට්ටිය වට කොට ගහයි
කෙසේ වෙතත් විමල්ට එරෙහිව එල්ලවුණු මේ දැවැන්ත ප්‍රහාරයත් සමඟ ආණ්ඩුව ඇතුළේ විමල්ට එරෙහිව බරපතළ ප්‍රහාරයක් දියත් වන ආකාරයක් දැකගන්නට ලැබිණ. පොහොට්ටුවේ මහලේකම්වරයා වූ සාගර කාරියවසම්, සනත් නිශාන්ත, කෝකිලා ගුණවර්ධන, සංජීව එදිරිමාන්න, ඩිලාන් පෙරේරා වැන්නවුන් දිනපතාම පාහේ මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරමින් විමල්ගේ පලු යවන ආකාරයක් දැකගන්නට ලැබිණ.
නමුත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ආණ්ඩුව පිහිටුවීම සඳහා විශාල දායකත්වයක් දැක්වූ ස්වාමීන් වහන්සේලා විමල් වෙනුවෙන් ප්‍රසිද්ධියේම පෙනී සිටීමට පියවර ගැනීමය. ඒ අතර අභයාරාම විහාරස්ථානාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිද, සුනේත්‍රාදේවි පිරිවෙනේ විහාරාධිපති මැදගොඩ අභයතිස්ස හිමිද වූහ. ආනන්ද හිමියනුත්, අභයතිස්ස හිමියනුත් ප්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් විමල් වෙනුවෙන් පෙනී සිටි අතර, අද ඇතැම් මැති ඇමැතිවරුන් එම තනතුරු දරන්නේ විමල්ට පින් සිද්ධ වෙන්න බවද උන්වහන්සේලා කියා සිටියහ.
උදේ එකක් කී ඇල්ලේ හිමි හවස තව එකක් කියයි
කෙසේ වෙතත් ඇල්ලේ ගුණවංශ හිමියන් මෙහිදී අනුගමනය කළේ තරමක වෙනස් ප්‍රතිපත්තියකි. ඒ අනුව අඟහරුවාදා උදෑසන දුරකතනයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් ඇල්ලේ හිමියන් මුලින්ම විමල්ලේ කතාව විවේචනයට ලක් කළ ආකාරයක් දැකගත හැකි විය. මහින්ද රාජපක්ෂ යනු මේ රටේ පරමාදර්ශී දේශපාලන චරිතය බවත්, මහින්දව පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට කිසිවකුටත් ඉඩ නොතබන බවත් ඇල්ලේ හිමියෝ මෙහිදී සඳහන් කර සිටියහ. එය එක්තරා ආකාරයකට ගෙදර තාත්තා ඉවත් කිරීමට කතා කිරීමක් හා සමාන ක්‍රියාවක් බවද උන්වහන්සේ කියා සිටියහ. එමෙන්ම හිරේ විලංගුවේ පවා වැටී පොහොට්ටුව නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ බවත්, ඒ පිළිබඳ කිසිදු විවාදයක් නොමැති බවත් උන්වහන්සේ එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියහ.
උදේ වරුවේ ඒ ආකාරයට ප්‍රකාශයක් කළ ඇල්ලේ හිමියන් සවස් වරුවේ විමල් වෙනුවෙන් ඊට හාත්පසින්ම වෙනස් ප්‍රකාශයක් නිකුත් කරන ආකාරයක් දැකගත හැකි විය. එහිදී උන්වහන්සේ කියා සිටියේ විමල් යනු ජාතිකවාදී නායකයකු බවත්, ආණ්ඩුව නිර්මාණය කිරීම සඳහා විමල් විශාල කැපකිරීමක් සිදු කළ බවත්ය.
රාජපක්ෂවරුන් යළි එකට
මේ සියල්ල අතරවාරයේ ආණ්ඩුව ඇතුළේ මොන අර්බුද තිබුණත් සෑම අවස්ථාවකදීම රාජපක්ෂවරුන් එකට සිටින බව නැවැත වතාවක් තහවුරු කරමින් ජනාධිපති, අගමැති හා බැසිල් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා සවස් වරුවේ පැවැත්විණ. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවට බැසිල් සම්බන්ධ වූයේ සූම් තාක්ෂණය ඔස්සේය. පැය තුනකට වඩා වැඩි කාලයක් පැවැත්වූ මෙම සාකච්ඡාවේදී මේ වන විට ආණ්ඩුව තුළ මතුව ඇති අර්බුද සහ ආණ්ඩුවට මුහුණදීමට ඇති අර්බුද සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් තිදෙනා අතර සිදුවිය. එහිදී ප්‍රධානම තැනක් ගත්තේ ජිනීවාවලින් ආණ්ඩුවට මතුව ඇති මානව හිමිකම් තර්ජනයය. එම ගැටලුව විසඳාගත යුතු ආකාරය සම්බන්ධයෙන් සහ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව තිදෙනා අතර සාකච්ඡා වූ අතර, තීන්දු කිහිපයක්ද එහිදී ගනු ලැබීණ. ඒ එක් තීන්දුවක් වූයේ හැකි ඉක්මණින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමය.
ජනපති ජිනීවා යන්න සූදානම් වෙයි
මීට අමතරව අඟහරුවාදා දිනයේදීම ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ආණ්ඩුව මුහුණදිය යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තවත් විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. ඊට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු නිලධාරීන් රැසකට ආරාධනා කිරීමටද ජනාධිපතිවරයා තීරණය කර තිබිණ. නමුත් උසාවි කටයුත්තක් හේතුවෙන් විමල් එම රැස්වීමටද සහභාගි වී සිටියේ නැත. ඊට පෙර දින දිනේෂ් විදෙස් රටවල් රැසක තානාපතිවරුන් හමුවී මේ සම්බන්ධයෙන් කළ සාකච්ඡාවේ ප්‍රතිඵල පිළිබඳව පිරිස ඉදිරියේ තැබීමට පියවර ගත්තේය.
චන්ද්‍රප්‍රේම කිව්වෙ බොරුද
“මාව ඊයෙ තානාපතිවරු ඇවිල්ල මේ සම්බන්ධයෙන් දැනුවත් කළා. ඒ අනුව රටවල් පහක් ඉදිරිපත් වෙලා තමයි මේ පාර ලංකාවට එරෙහිව යෝජනාව අරන් එන්නෙ. මට පේන හැටියට මේ පාර යෝජනාව ටිකක් සැර වැඩියි. ඒ හින්ද අපි ඒ රටවල් එක්ක සාකච්ඡා කරලා මේ යෝජනාව පොඩ්ඩක් සැර බාල කරගන්න උත්සාහ කරමු. ඒකට අපි ජිනීවාවල ඉන්න නියෝජිතයො එක්ක කතා කරන්න ඕනෙ. හැබැයි අපේ ජීනිවාවල ඉන්න නියෝජිතයා වෙච්ච සී.ඒ. චන්ද්‍රප්‍රේම මට කිව්ව ඒ අය එයාට හම්බුවෙන්නවත් වෙලාවක් දෙන්නෙ නැහැ කියල…” යනුවෙන් දිනේෂ් කියද්දී එහි සිටි නිලධාරීන් කීවේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. ඔවුන් කියා සිටියේ තමන් මේ පිළිබඳව ජර්මානු තානාපතිවරයාගෙන් විමසූ බවත්, එය කිසිසේත්ම පිළිගත නොහැකි කරුණක් බව ජර්මානු තානාපතිවරයා තමන්ට කී බවත්ය. මේ වන විටත් තම නියෝජිතයන් ඒ ඒ රටවල නියෝජිතයන් මුණගැසී සාකච්ඡා පවත්වන බව ජර්මානු තානාපතිවරයා තමන්ට කී බවද මෙම නිලධාරීහු ජනාධිපතිවරයාටත්, දිනේෂ්ටත් දැනුම්දී සිටියහ. ඒ අනුව ජිනීවා නුවර සිටින අනෙකුත් රටවල තානාපතිවරුන් චන්ද්‍රප්‍රේමව මුණ නොගැසෙන්නේ ඔහුට දැක්වෙන පෞද්ගලික විරෝධයක් නිසාවෙන්දැයි ඇත්තේ විශාල ගැටලුවකි.
ඒ අනුව දිනේෂ් කීවේ තමන් ඒ ඒ රටවල සිටින විදේශ ඇමැතිවරුන්ට කතා කොට ලංකාවේ නියෝජතයන් සමඟ සාකච්ඡා කිරීම සඳහා වේලාවන් වෙන්කර දීමට කටයුතු කරන්නම් යැයි කියාය.
ඉන්දියාව මොන පැත්තට යයිද
අනතුරුව සාකච්ඡාවට ලක්වූයේ මානව හිමිකම් කොමිසමේදී ඉන්දියාවේ සහාය ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන්ය. කොළඹ ජැටියේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදීම හේතුකොටගෙන මේ දිනවල ඉන්දියාව ලංකාවට එරෙහි ස්ථාවරයක සිටියත් කෙසේ හෝ ඉන්දියාව මෙම ප්‍රශ්නයේදී සමබර තැනකට රැගෙන යා යුතු බව සියල්ලන්ගේම මතය විය. ජනාධිපතිවරයාද එය පිළිගත් ආකාරයෙන් කතා කරනු දැකගත හැකි විය. ඒ අනුව ඍජුවම ජනාධිපතිවරයා මැදිහත් වී කතා කළ යුතු රාජ්‍ය නායකයන්ගේ නම් ලැයිස්තුවක් සකස් කරන ලෙස දැනුම් දීමක් කෙරුණු අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සමඟද සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා පිරිසට දැනුම් දී සිටියේය.
ඉම්රාන්ට මෝඩි ගිය පාරේම
මේ ආකාරයෙන් ඉන්දියාව එක් පසෙකින් ලංකාව සමඟ තිරය පිටුපස ගැටුමක සිටිද්දී අනෙක් පසින් ඉන්දියාවට පසමිතුරු රට වූ පකිස්තානයද ලංකා දේශපාලනයට අතපෙවීමට උත්සාහ කරන ආකාරයක් පසුගිය සතිය වන විට දැකගන්නට ලැබිණ. ඒ, පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ලංකා සංචාරය හරහාය. ලබන 22 වැනි දින ඉම්රාන් ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර, දැනටමත් පකිස්තානය පාර්ශ්වයෙන් ආණ්ඩුවට දැනුම් දී ඇත්තේ ලංකා පාර්ලිමේන්තුව තුළ ඉම්රාන්ට කතාවක් කිරීමට අවස්ථාව සලසා දිය යුතු යැයි කියාය.
සාමාන්‍යයෙන් ලංකාවට පැමිණෙන සියලුම රාජ්‍ය නායකයන් පාර්ලිමේන්තුවේ දේශන පැවැත්වීම සිදු නොකරන නමුත් ඉල්ලීමක් කළහොත් පමණක් සම්ප්‍රදායට අනුව යමින් එම අවස්ථාව සලසා දීම සාමාන්‍ය සම්ප්‍රදායය. ඉකුත් වතාවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිත් ලංකා පාර්ලිමේන්තුව ඇමතුයේද ඒ අනුව යමිනි. ඉම්රාන් මෙසේ පාර්ලිමේන්තුවේ කතාවක් ඉල්ලා සිටීමට පියවර ගත්තේ ඒ නිසාවෙන්දැයි කියන්න දන්නේ නැත.
මහින්ද ඉම්රාන්ට කතාව දෙයි
කෙසේ වෙතත් ඉන්දියාව සමග මේ දිනවල මතුව ඇති අර්බුදය හේතුවෙන් දිනේෂ්ගේ මතය වී තිබුණේ පාකිස්තාන අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ කතාවක් ලබා නොදිය යුතුයි යැයි කියාය. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් සඳුදා දින පැවැත්වීමට නියමිතව තිබූ අතර, ඊට කලින් දිනේෂ් අගමැතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් තම මතය දැනුම්දී සිටීමට පියවර ගත්තේය. නමුත් මහින්ද කියා සිටියේ ඒ ආකාරයට කතාවක් ඉල්ලුවහොත් එය ලබාදීම සාමාන්‍ය සම්ප්‍රදායක් බවත්, එම නිසා ඉම්රාන්ටද එම අවස්ථාව ලබාදිය යුතු බවත්ය. ඒ අනුව පක්ෂ නායක රැස්වීමේදී පෙබරවාරි 24 වැනි දින ඉම්රාන්ට ලංකාවේ පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීමට ඉඩ සලසා දීමට තීන්දු විය.
රිෂාඩ් ඉම්රාන්ට යෝජනාවක් කරයි
මේ අතරවාරයේ ආණ්ඩුව ඉම්රාන් ඛාන් ලංකාවට ගෙනැවිත් ඔහුට පාර්ලිමේන්තුවේ කතා කිරීමට අවස්ථාව ලබාදී ජිනීවා සමුළුවේදී මුස්ලිම් රටවල සහාය ලංකාවට ලබාගැනීමේ මෙහෙයුමක් ආණ්ඩුව දියත් කර ඇති බවට මුස්ලිම් පක්ෂවලට තොරතුරු ලැබී තිබිණ. විශේෂයෙන්ම ආණ්ඩුව කොරෝනා වැළඳුණු මුස්ලිම් සිරුරු භූමදානය කිරීමට අවස්ථාව ලබා නොදී මුස්ලිම් රටවල සහාය ලබාගැනීමට සැලැසුම් කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් පක්ෂ හිටියේ තරමක කෝපයකිනි. ඒ අනුව සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ නායකයා වන රිෂාඩ් බදුර්දීන් පසුගිය සතියේ මෙරට පිහිටි පාකිස්තාන මහකොමසාරිස් කාර්ලයට ගොස් මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්තේය. එහිදී රිෂාඩ් හමුවුණේ පාකිස්තාන නියෝජ්‍ය මහකොමසාරිස් තන්වීර් අහමඩ්ය. තන්වීර් මුණගැසුණු රිෂාඩ් ඔවුන්ට අවධාරණය කර සිටියේ ඉම්රාන්ගේ සංචාරයේදී කොරෝනා මළ සිරුරු භූමදානය සම්බන්ධයෙන් ආණ්ඩුවට බලපෑම් කරන ලෙසටය.
පාර්ලිමේන්තුව හොල්මන් කරවපු මහින්දගේ භූමදාන කතාව
එවැනි පසුබිමක් යටතේ පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී අපූරු සිදුවීමක් සිදුවිය. ඒ හිටි හැටියේම සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා අගමැතිවරයාගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාවේදී කොවිඩ් මළ සිරුරු භූමදානය සඳහා අවස්ථාව ලබා නොදෙන්නේ මන්ද යනුවෙන් ප්‍රශ්න කිරීමය. එහිදී ඊට කතානායක මහින්ද යාපාගෙන් අවසරය හිමි නොවුණත් ඒ අවසරයෙන් මහින්ද ඊට පිළිතුරු දීමට නැඟී සිටීමෙන් සියල්ලන්ම පුදුමයට පත්වූ ආකාරයක් දැකගත හැකි විය. එම පුදුමය දෙගුණ තෙගුණ වූයේ මහින්ද දුන් පිළිතුරත් සමඟය. ‘මළ සිරුරු භූමදානයට අපි ඉඩ දෙනවා…’ යන්න මහින්ද එහිදී කියා සිටි කතාව විය.
කට්ටිය ඇහුවාම ඇහැක් ගහලා හිනාවෙයි
මහින්දගේ මේ කතාවෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු පවා සිටියේ ඇස් නළලේ තියාගෙනය. ඒ අනුව මහින්ද මේ කතාව කියා සභා ගැබෙන් පිටව යෑමට පඩිපෙළ නඟිනවාත් සමඟ මහින්ද අසලට පැමිණි ඇමැතිවරුන් කිහිපදෙනකුම ‘මොකක්ද සර් ඒ කියපු කතාව…’ යනුවෙන් විමසා සිටිද්දී මහින්ද ඊටද දුන්නේ අපූරු පිළිතුරකි. ඒ වචනවලින් නොව එක්තරා ඉඟියකිනි. එහිදී මහින්ද සිනාසෙමින් කළේ ඒ ප්‍රශ්නය ඇසූ ඇමැතිවරුන්ට එක ඇසක් වසා ඉඟි මැරීම පමණි.
ඉන් අනතුරුව මහින්ද සිය කාර්යාලයට ගිය පසු ආණ්ඩුවේත්, විපක්ෂයේත් මුස්ලිම් මැති ඇමැතිවරුන් කිහිපදෙනකුම පැමිණ සිරුර භූමදානය සඳහා ඉඩ ලබාදීම සම්බන්ධයෙන් මහින්දට ස්තුතිය පළකිරීමට පියවර ගත්තේය.
සුදර්ශනීගෙන් ජනපතිට කෝල් එකක්: ජනපති එහෙම තීන්දුවක් නොගත් බව කියයි
කෙසේ වෙතත් මහින්දගේ මේ ප්‍රකාශයත් සමඟ කලබලයට පත්වූ ආණ්ඩුවේ ඇමැතිවරුන් කිහිපදෙනකුම වහාම කළේ කොරෝනා මර්දනය සම්බන්ධයෙන් පත් කොට ඇති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගෙන් ඒ සම්බන්ධයෙන් විමසා සිටීමය. මේ සම්බන්ධයෙන් වගකිවයුතු ඇමැතිවරිය තමන් වුවත් තමන් හෝ නොදැනුවත්ව අගමැතිවරයා කළ මේ ප්‍රකාශය පිළිබඳව සුදර්ශනීද සිටියේ කලබලයට පත්වය. ඒ අනුව තමන් ඒ සම්බන්ධයෙන් කිසිදු දෙයක් නොදන්නා බව ඇමැතිවරුන්ට කියා සිටි සුදර්ශනී වහාම කළේ ජනාධිපතිවරයාට ඇමැතුමක් ගෙන මෙවැනි තීන්දුවක් ගත්තේද යන්න සම්බන්ධයෙන් විමසා සිටීමය. පුදුමයට පත් ජනාධිපතිවරයාද කියා සිටියේ එවැනි කිසිදු තීන්දුවක් නොගත් බවත්, වහාම ඒ පිළිබඳව පසු දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන ලෙසත්ය.
තාරක-ජී.එල්. කතාව කනපිට ගහයි
මීට අමතරව මහින්දගේ කතාවෙන් පසු පළමුවෙන්ම ඒ පිළිබඳව සතුට පළ කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කළේ වෙන කවුරුවත් නොව පාකිස්තාන අගමැතිවරයා වන ඉම්රාන් ඛාන්ය. අගමැතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් දැඩි සතුටට පත්වන බව එහිදී ඉම්රාන් දැනුම්දී සිටියේය. ඒ සමඟම බොහෝ රටවල තානාපතිවරු විදෙස් රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරියටද කතාකොට මේ පිළිබඳව විමසා සිටින්නට වූහ. නමුත් ඒ සම්බන්ධයෙන් තාරකද දැනුම්වත්ව නොසිටි නිසා තාරක කළේ වහාම මහින්දගෙන් ඒ පිළිබඳව විමසා සිටීමය. එවිට මහින්ද තාරකට කියා සිටියේ තමන් එසේ කීවේ කොරෝනා සිරුරු පිළිබඳව නොව අනෙකුත් සාමාන්‍ය සිරුරු ගැන යැයි කියාය. එමෙන්ම පෙළක් අමැතිවරුන් මේ සම්බන්ධයෙන් ජී.එල්.ගෙන්ද විමසා සිටිද්දී ජී.එල්. කියා සිටියේ ඕනෑම සිරුරක් භූමදානය කළ හැකි බවත්, අගමැතිවරයා එය කොරෝනා සිරුරු යනුවෙන් කිසිදු සඳහනක් නොකළ බවත්ය.
සබ්‍රිට යකා නැගලා
කෙසේ වෙතත් ජනාධිපතිවරයා කළ දැනුම්දීමට අනුව සුදර්ශනී බ්‍රහස්පතිදා දිනයේදී පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කළාය. ඒ මුජිබර් රහුමාන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. එහිදී සුදර්ශනී පැහැදිලිවම කියා සිටියේ ආණ්ඩුව එවැනි තීන්දුවක් ගෙන නොමැති බවත්, අදාළ තීන්දුව ගතයුත්තේ තාක්ෂණික කමිටුවෙන් බවත්ය. සුදර්ශනී මේ ප්‍රකාශය කරන විට අධිකරණ අමාත්‍ය අලි සබි්‍රද සභාවේ සිටියේය. සුදර්ශනී මේ ප්‍රකාශය කරද්දී විපක්ෂයෙන් විශාල ඝෝෂාවක් නැඟුණු අතර, අලි සබි්‍රද ඊට විරෝධය පළ කරමින් සිය අසුනින් නැඟිට පිටව ගිය ආකාරයක් දැකිය හැකි විය. සබි්‍ර එසේ පිටව ගියේ ‘මේක මහ විහිළුවක්. ආණ්ඩුව මේක සෙල්ලමකට අරගෙන…’ යනුවෙන් කෝපයෙන් කියමින්ය.
මහින්ද දාපු අමුතු කැබිනට් පත්‍රිකාව
මීට සති කිහිපයකට ඉහතදී අගමැතිවරයාගේ අස්සනින් යුතුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම්ව තිබුණු එක්තරා විශේෂ කැබිනට් පත්‍රිකාවක් දුටු කැබිනට් කාර්යාලයේ නිලධාරියෙක් වහාම අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාට කතාකොට විමසා සිටියේ මෙවැනි කැබිනට් පත්‍රිකාවක් අගමැතිවරයා ඉදිරිපත් කරන්නේ පූර්ණ දැනුවත්භාවයකින් යුක්තවදැයි කියාය. ඊට හේතුවී තිබුණේ අදාළ කැබිනට් පත්‍රිකාව මඟින් විදෙස් රටවලින් ණය ගැනීමේදී සහ මූල්‍ය ආධාර ලබාගැනීමේදී මුදල් ඇමැතිවරයා වශයෙන් මහින්දගේ අවසරයක් හෝ අනුමැතියක් නොමැතිව මුදල් අමාත්‍යාංශයේ ලේකමවරයාටද එම මුදල් ලබාගත හැකි ලෙස බලය පවරා තිබීම නිසාය.
ගාමිණී කියනකම් මහින්ද දන්නෙ නෑ
අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා නිවාඩු පිට සිටි දින කිහිපයේදී මෙම කැබිනට් පත්‍රිකාව අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වී තිබීම නිසා ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ගාමිණීද දැන සිටියේ නැත. ඒ අනුව ගාමිණී අදාළ නිලධාරියාට කියා සිටියේ තමන් මේ පිළිබඳව අගමැතිවරයාගෙන් විමසා බලා පිළිතුරක් ලබා දෙන්නම් යැයි කියාය. ඒ අනුව ගාමිණී කළේ අදාළ කැබිනට් පත්‍රිකාව පිළිබඳව මහින්දව දැනුවත් කොට එවැන්නක් පිළිබඳව දැන සිටියාදැයි විමසා සිටීමය. නමුත් මහින්ද වහාම කියා සිටියේ තමන් එතරම් විස්තරයක් ඒ කැබිනට් පත්‍රිකාව පිළිබඳව දැනුවත්ව සිටියේ නැතැයි කියාය. ඒ අනුව ඒ ආකාරයේ කැබිනට් පත්‍රිකාවක් අගමැතිවරයාගේ අස්සන සඳහා ආවේ කෙසේද, එවැන්නක් ඉදිරිපත් කළේ කවුරුන්ද, එවැන්නක් ආවේ කොතැනින්ද යන්න සම්බන්ධයෙන් අගමැතිවරයාගේ පාර්ශ්වය තුළ සංවාදයක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. එමෙන්ම වහාම අදාළ පත්‍රිකාවට සංශෝධන ඉදිරිපත් කිරීමට පියවර ගත් අතර, එම සංශෝධනවලින් කියැවුණේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඒ ආකාරයට ණය මුදල් ලබාගැනීමේදී අගමැතිවරයාගේ අනුමැතියට යටත්ව ගත යුතු බවකි.
ඉහළ තනතුරුවල වෙනසක්
මේ තත්ත්වයත් සමඟ මේ මස අවසානයේදී හෝ ලබන මස මුලදී ප්‍රබල අමාත්‍යාංශ කිහිපයක ඉහළ මට්ටමේ තනතුරුවල වෙනසක් සිදුවීමේ ඉඩකඩක් මතුවී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
මීට අමතරව අගමැතිවරයා යටතේ පවතින රාජ්‍ය බැංකුවක සභාපතිවරයකු යටතේ ඇති පෞද්ගලික ආයතනයකට අදාළ බැංකුවෙන්ම සියයට 4ක අඩු පොළියට දැවැන්ත ණය මුදලක් ලබාදීම සම්බන්ධයෙන්ද පසුගිය සතියේදී අගමැතිවරයාට පැමිණීල්ලක් ඉදිරිපත් වී තිබිණ. ඒ අනුව අගමැතිවරයා අදාළ පැමිණිල්ල පිළිබඳව සඳහන්ව තිබූ ලිපිගොනුව සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදුකොට එය ජනාධිපති ලේකම්වරයාට දැනුම් දුන්නේ ඒ පිළිබඳව වහාම විමර්ශනයක් කරන්න යැයි කියාය. එමෙන්ම අදාළ විමර්ශනය නිමාවන තුරු අදාළ රාජ්‍ය බැංකු සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කරන ලෙසත්, යම් හෙයකින් අදාළ සභාපතිවරයා නිවැරැදි බවට විමර්ශනයේදී තීරණය වුවහොත් එම තනතුරම හෝ වෙනත් තනතුරක් ලබාදිය හැකි බවද අගමැතිවරයා ජනාධිපති ලේකම්වරයාට දැනුම් දීමට පියවර ගෙන තිබිණ.
කෙසේ වෙතත් මෙම රාජ්‍ය බැංකු සභාපතිවරයාගේ ක්‍රියාව සම්බන්ධයෙන් මාධ්‍යවල පුවත් පළවුවත් ඉදිරි ක්‍රියාමාර්ගයක් ගන්නා ආකාරයක් දැකගන්නට නොලැබුණු බැවින් මහින්ද යළිත් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා හට කතා කොට පරීක්ෂණ නිමවන තෙක් මෙම සභාපතිවරයා තනතුරෙන් ඉවත් කරන ලෙස දැනුම් දී සිටීමට පියවර ගෙන තිබිණ.
නාමල්ට අකරතැබ්බක්…
මේ සියල්ල අතරවාරයේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද පසුගිය සතියේ බරපතළ ප්‍රශ්නයකට මුහුණදුන් ආකාරයක් දැකගත හැකි විය. ඒ කලකට පසු රගර් තරගයකට ක්‍රීඩා කරමින් සිටි අතරතුරදීය. පසුගිය සිකුරාදා (05දා) නාමල් ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් සිය අමාත්‍යාංශයට යාබදව පිහිටි රේස්කෝස් පිටියේදී රගර් තරගයකට සහභාගි වීමට පියවර ගත්තේය. එය නීතිඥවරුන් විසින් සංවිධානය කර තිබූ රගර් තරගයක් වූ අතර, කලකට පසු නාමල්ද සිය සහෝදරයා වූ යෝෂිත රාජපක්ෂ සමඟින් එම තරගයට ක්‍රීඩා කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.
මෙම රේස්කෝස් පිටිය පාලනය කෙරෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය මඟිනි. සාමාන්‍යයෙන් මෙම පිටිය තරග සඳහා භාවිත කිරීමේදී නාගරික සංවර්ධන අධිකාරිය වෙත සිදු කළ යුතු ගෙවීම් නියමිත කාලයට ගෙවීමටද වගබලාගත යුතුය. එසේ නොවන්නේ නම් නාගරික සංවර්ධන නිලධාරීන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරමින් ඇතැම් රගර් තරග අතරමගදී නවතා දැමීමට පවා පසුගිය කාලයේදී කටයුතු කර තිබිණ. නමුත් ඉකුත් කොරෝනා සමයේදී මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක නොවුණු අතර, ඇතැම් අවස්ථාවලදී තරගය නිමාවීමෙන් පසුවද මුදල් ගෙවීම සිදුකරන ආකාරයක් දැකගත හැකි විය.
සල්ලි ගෙවන්න අමතක වෙලා
කෙසේ වෙතත් නීතිඥවරුන් සංවිධානය කළ මෙම රගර් තරගයටද නාමල් සහ යෝෂිත සහභාගිව සිටි නිසාදෝ තරගය අවසාන වීමට පෙර අදාළ ගෙවීම් සිදුකිරීමට අදාළ නීතීඥවරුන්ට අවස්ථාවක් නොලැබිණ. ඒ මුදල් නොමැති නිසාවෙන් නොව තරගයේ තිබූ උද්වේගකරභාවය නිසාය. නමුත් ක්‍රීඩා පිටිය භාරව සිටි නාගරික සංවර්ධන අධිකාරියේ එක් නිලධාරියකු සහ නිලධාරිනියක් අදාළ තරගය සඳහා ඒ වන තෙක් මුදල් ගෙවා නොමැති බව කියමින් වහාම පිටිය මැදට පැමිණ නාමල් ක්‍රීඩා කරමින් සිටි එම තරගය නවතා දැමීමට පියවර ගත්තේය. ඒ මොහොතේ නාමල් නිහඬව ඉතාම ඉවසීමෙන් යුතුව එදෙස බලා සිටියද කලබලයට පත් නීතිඥවරු තමන් සතුව මුදල් ඇති බව පවසමින් ඒ මොහොතේම මුදල් ගෙවා දැමීමට පියවර ගත්හ. තත්ත්වය එසේ වුවද ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් නාමල් එහිදී පත්ව සිටියේ දැඩි අසීරුතාවයකටය.
මහින්ද අවසන් නියෝගය දෙයි
මේ නිලධාරියා සහ නිලධාරිනිය මේ ආකාරයෙන් හැසිරී ඇත්තේ වරක් දෙවරක් නොවේ. මීට පෙරද මෙම නිලධාරියාගේ හැසිරීම සම්බන්ධයෙන් අගමැතිවරයාට පවා පැමිණිලි කිහිපයක් ලැබී තිබූ අතර, ඒ හේතුව නිසා අගමැතිවරයාද එම නිලධාරියා ඉවත් කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වූ නිමල් පෙරේරා මහතාට අවස්ථා දෙකකදීම දැනුම්දීමක් කර තිබිණ. නමුත් මෙම සිදුවීම වාර්තා වීමත් සමඟ නිමල්ට කතා කළ මහින්ද කියා සිටියේ වහාම එම නිලධාරියා ඉවත් කරන ලෙසටත්, තමන් මෙම දැනුම්දීම කරන්නේ අවසන් වතාවට බවත්ය.