පසුගිය සතියේ ආණ්ඩුව ඇතුළේ ලොකුම මාතෘකාව බවට පත්ව තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වූ බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියය. මේ සම්බන්ධයෙන් අප මීට සති කිහිපයකට පෙරාතුව සිටම වරින් වර එම සිදුවීමේ අලුත් තොරතුරු ‘රාජ්‍ය රහස්’ පාඨකයන් වෙත රැගෙන ඒමට පියවර ගත්තෙමු. පසුගිය සතිය වන විට අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණය කළ පරිදිම බැසිල්ගේ පාර්ලිමේන්තු ගමන ලියැවී තිබුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව මුදල් අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමටය. පසුගිය සතිය වන විට බැසිල්ගේ පාර්ලිමේන්තු ගමනද නිශ්චිත වී තිබිණි. ඔහුට මුදල් අමාත්‍ය ධුරය හිමි වීමටද නියමිතව තිබිණි. බැසිල්ට ඉඩ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරය බැසිල්ට පැවරීමටද නියමිතව තිබිණි.
මහින්ද බලය අතහරින්න සූදානමින්
නමුත් පසුගිය සතියේදී මේ හා සම්බන්ධ සිදුවීම් කිහිපයක් ආණ්ඩුව ඇතුළේත්, රාජපක්ෂ පවුල ඇතුළේත් පෙළගැසෙමින් තිබිණි. අවස්ථා කිහිපයකදීම මහින්ද සිය හිතවතුන් සමග සඳහන් කොට තිබුණේ තමන් මෙම මුදල් අමාත්‍ය ධුරය අතහරින බවත්, එය බැසිල්ට ලබාදීමට තීන්දු කර ඇති බවත්ය. පසුගිය සතියේ මහින්ද සිය මහ ගෙදර වූ කාල්ටන් නිවෙසට සිය බාල පුතුන් දෙදෙනා සහ ශිරන්ති සමග පිටත්ව ගියේත් මෙවැනි පසුබිමක් මතුව තිබියදීය. එමෙන්ම පොසොන් පොහෝ දින කාල්ටන් නිවෙසේදී මහින්ද බොහෝ කලකට පසු පෙහෙවස් සමාදන් වූයේද මේ තනතුරු අතහැරීම පිළිබඳ කිසියම් ඉඟියක්ද ලබාදෙමිනි. මීට අමතරව ශිරන්තිද ‘මෙත් මල් පිබිදේවා’ යන බොදු බැති ගීය ගායනා කරමින් වීඩියෝවක්ද නිකුත් කළාය. ඊට සමාජ මාධ්‍ය ජාලවල ඉතා ඉහළ ප්‍රතිචාර ලැබී තිබෙන ආකාරයක්ද දැකගත හැකි විය. මේ සිදුවීම් දෙකෙන්ම පෙන්නුම් කළේ රාජපක්ෂ පවුලේ දේශපාලන ප්‍රබලයා වූ මහින්ද සිය බලතල අතහැරීමට සැලසුම් කරමින් සිටින ආකාරයකි.
බැසිල් ගන්නවා නම් මම දෙනවා…
මේ ආකාරයට සිදුවීම් පෙළගැසී තිබුණත් කාල්ටන් නිවෙසේ නිවාඩු පාඩුවේ ගත කළ දින කිහිපයේ අගමැතිවරයා සිය බිරිය හා දරුවන් සමග මේ සම්බන්ධයෙන් කිසියම් සංවාදයක නිරත වී ඇති ආකාරයක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහිදී විවිධ අදහස් සාකච්ඡා මේසයට පැමිණ ඇති බවක්ද දැනගන්නට ඇත. නමුත් එහිදීද පැහැදිලිවම අගමැතිවරයා සිය පවුලේ උදවියට දැනුම් දී ඇත්තේ බැසිල් මුදල් අමාත්‍ය ධුරය භාරගන්නවා නම් එය භාරදීමට තමන් සූදානම් යැයි කියාය. බැසිල්ට ඒ සඳහා හැකියාව ඇති බවද මහින්ද එහිදී සියල්ලන්ටම පෙන්වා දී ඇත. එම සාකච්ඡාවලදීද අවසන් තීන්දුව වී තිබුණේ අගමැතිවරයා බලතල අතහැරීමට සූදානමින් සිටින බවකි. අගමැතිවරයා සිය නිවාඩුව අවසන් කොට කාල්ටන් සිට කොළඹ බලා පැමිණෙන තෙක්ම දේශපාලන ක්ෂේත්‍රයේ සාකච්ඡා වෙමින් තිබුණේ මෙම තීන්දුවය.
දේශපාලන අනාගතය ගැන නාමල්ගෙන් සාකච්ජා වටයක්
මීට අමතරව අපට ලැබුණු තවත් ආරංචියකින් කියැවුණේ මෙම සාකච්ඡාවලට අමතරව නාමල් රාජපක්ෂ මහතාද වෙනම සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවකි. පොසොන් නිවාඩුවට නාමල් තංගල්ලට නොගොස් කොළඹ රැඳී සිටි අතර, එහිදී බදාදා බ්‍රහස්පතින්දා යන දෙදින තුළ ජනාධිපතිවරයා සමගත්, බැසිල් සමගත් ඊට පෙර අගමැතිවරයා සමගත් වෙන වෙනම සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන තිබිණි. මෙම සාකච්ඡාවලදී නාමල් විශේෂයෙන්ම අවධානය යොමුකොට තිබුණේ මේ වන විට රට තුළ මතුව ඇති දේශපාලන තත්ත්වය ඔහුගේ දේශපාලන අනාගතයට බලපාන ආකාරය පිළිබඳවය. එහිදී ජනාධිපතිවරයා සහ බැසිල් සමග පැවැති සාකච්ඡාවේදී සිය දේශපාලන අනාගතය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡ කිරීමට නාමල් පියවර ගෙන ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
මහින්ද නාමල්ගේ අනාගතය ගැන ගත් තීන්දුව
අනෙක් අතට නාමල් සහ අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී අවසන් තීන්දුව වී තිබුණේ ද මුදල් අමාත්‍ය ධුරය බැසිල්ට ලබාදීමටය. එහිදී අගමැතිවරයා නාමල්ට අවධාරණය කොට තිබුණේ දැන් අවශ්‍යව ඇත්තේ ඇමැතිකම් තියාගන්නවාට වඩා රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය වහාම සමතයකට පත්කරගෙන ජනතාවට සහන ලබාදීමටත්, ආර්ථිකය නිසි මාර්ගයට ගැනීම බවත්ය. එසේ නොවුණහොත් එය වක්‍රාකාරව නාමල්ගේ දේශපාලනයට අහිතකර ලෙස බලපානු ඇති බවත්, එම නිසා අනිවාර්යයෙන්ම බැසිල් ආණ්ඩුව ඇතුළට ගෙන මුල්‍ය බලතල ඔහුට පවරා දිය යුතු බවත් අගමැතිවරයා මෙහිදී නාමල්ට පෙන්වා දී ඇත. මහින්ද කාල්ටන් බලා ගොස් තිබුණේද මෙම සාකච්ඡා සියල්ල අවසන් කිරීමෙන් අනතුරුවය.
ආණ්ඩුවේ පත්තරය බැසිල් ගැන දුන් තීන්දුව
කෙසේ වෙතත් පසුගිය සතිය ආරම්භ වන විට මේ පිළිබඳ යම් යම් වෙනත් තොරතුරුද දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යන ආකාරයක් දැකගන්නට විය. එසේ ගිය එක් ආරංචියකින් කියැවුණේ මුලින් මුදල් අමාත්‍ය ධුරය බැසිල්ට ලබාදීමට මහින්ද එකඟතාව පළකොට තිබුණත් පසුව එම තත්ත්වය වෙනස් වී බැසිල්ට ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය නමින් බලගතු අමාත්‍යාංශයක් නිර්මාණය කොට එය පවරා දීමට තීන්දු කර ඇතැයි කියාය. ඒ පිළිබඳ විවිධ කටකතා දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යද්දී එහි යම් සත්‍යතාවක් ඇති බව දැකගන්නට ලැබුණේ පසුගිය අඟහරුවාදා දින ආණ්ඩුවේ නිල පුවත්පත වන ‘දිනමිණ’ පුවත්පත සිය මුල් පිටුවේම පළකර තිබූ පුවතක් හේතුකොට ගෙනය. එම පුවතින් කියැවුණේ බැසිල්ට මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට සැලසුම් කර ඇති බවකි.
මහින්ද මුදල් ඇමැතිකමේම
සාමාන්‍යයෙන් ආණ්ඩුවේ පුවත්පත වන ‘දිනමිණ’ පුවත්පතෙහි ආවාට ගියාට ආණ්ඩුවේ ඉහළට සම්බන්ධ පුවත් පළවන්නේ නැත. සාමාන්‍යයෙන් රාජපක්ෂවරයකුට ලැබෙන තනතුරක් පිළිබඳ එක එක්කෙනාගේ හිතළු මත ‘දිනමිණ’ පුවත්පතේ මුල් පිටුවේ පුවත් පළවන්නේද නැත. එක්කෝ එවැනි පුවතක් ජනපති මාධ්‍ය ඒකකය මගින් හෝ අගමැති මාධ්‍ය ඒකකය මගින් පුවත්පතට ලැබිය යුතුය. ඒ නිසා බැසිල්ට ලැබෙන අමාත්‍ය ධුරය පිළිබඳ කලින්ම රටට යම් දැනුවත් කිරීමක් කරමින් ‘දිනමිණ’ පුවත්පත කියා සිටියේ මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරය බැසිල්ට හිමිවනු ඇතැයි කියාය. මහින්ද තවදුරටත් මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු කරනු ඇති බව එමගින් තහවුරු කොට තිබිණි.
කෙසේ වෙතත් බැසිල් ලංකාවට පැමිණීමත් සමග එම පාර්ශ්වයෙන් මුලින්ම කියැවුණේ ලබන 06 වැනිදා බැසිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙනු ඇතැයි කියාය. නමුත් නව නිරෝධායන නීති අනුව 06 වැනිදා වන විටත් බැසිල් සිටිනුයේ සිය නිරෝධායන කාලසීමාවේ අවසන් දින කිහිපය ගතකරමිනි. එම කාලසීමාව අවසන් වනුයේ ජූලි 08 වැනි දිනය. ඒ අනුව 08 හෝ 09 යන දින දෙකෙන් එකක බැසිල් බොහෝ දුරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙනු ඇත. නමුත් ඒ පිළිබඳ තවමත් නිල ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත හෝ මැතිවරණ කොමිසම වෙත හෝ යැවීමක් සිදුකොට නැත.
බැසිල් උඩ එයි: ගම්මන්පිල යට යයි
මේ ආකාරයට බැසිල්ගේ අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් වන කතාව දේශපාලන කරළියේ ප්‍රධාන මාතෘකාව බවට පත්වෙද්දී එහි රස්නයෙන් යට ගිය තවත් ප්‍රධාන මාතෘකාවක්ද තිබේ. ඒ, බැසිල් හා ආණ්ඩුවේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අතර මීට සති දෙකකට ඉහත සිට ආරම්භ වී තිබූ තෙල් සටනය.
මෙම සටන ආරම්භ වූයේ ආණ්ඩුව රුපියල් 20කින් තෙල් මිල ඉහළ දැමීමත් සමගය. එහිදී පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා අසාධාරණ ලෙස තෙල් මිල වැඩිකිරීමේ වගකීම භාරගෙන ඇමැතිකමෙන් ඉල්ලා අස්වන ලෙස ගම්මන්පිලට පක්ෂයේ ලිපි ශීර්ෂය යටතේ ලිපියක් යැවීමත් සමග වැඩේ පත්තු විය. ඉන් අනතුරුව ගම්මන්පිලගේ පාර්ශ්වයෙන් සාගර කාරියවසම් ඇතුළු පොහොට්ටුවටත්, පොහොට්ටුව පාර්ශ්වයෙන් ගම්මන්පිල පාර්ශ්වයටත් වාග් ප්‍රහාර එල්ලවන ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අතරවාරයේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ම බැසිල් ආණ්ඩුවේ සිටියා නම් තෙල් මිල අඩුකරන බවත්, බැසිල් වහාම පාර්ලිමේන්තු පැමිණිය යුතු බවත් කියමින් ප්‍රකාශ නිකුත් කරන ආකාරයද දැකගත හැකි විය. එම ගැටුමේදී ජනාධිපතිවරයා කියා සිටියේ තෙල් මිල ඉහළ දැමීම ආණ්ඩුවේ තීන්දුවක් බවත්, කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩුව එක්ව එම තීන්දුව ගත් බවත්ය.
ගම්මන්පිලත් කැබිනට්ටුවේදී දේශපාලන ගේමක් ගහයි
මේ අතරවාරයේ පසුගිය සතිය වන විට ගම්මන්පිලද කිසියම් දේශපාලන උපක්‍රමයක් ක්‍රියාවට නංවන ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී ගම්මන්පිල කළේ පසුගිය සඳුදා (26) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙදී හදිසි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් තෙල් මිල අඩුකළ යුතු බවට දැනුම් දී සිටීමය. එම පත්‍රිකාව හරහා තෙල් මිල වැඩිවීමේ ඉතිහාසය පෙන්වා දී තිබූ ගම්මන්පිල එය පසුගිය කාලය පුරාම මහා භාණ්ඩාගාරයට බරක් වූ ආකාරයත්, තෙල් ආනයනය කිරීමට ඩොලර් හිඟ වූ ආකාරයත් පෙන්වා දීමට කටයුතු කළේය. එමෙන්ම මෙම තෙල් මිල ඉහළ නැංවීමේ යෝජනාව ජීවන වියදම් කමිටුවට ඉදිරිපත් වූ වහාම තමන් එය කොටස් වශයෙන් මිල ඉහළ දැමීමක් කළ යුතු බවට යෝජනා කළ බවත්, ඒ අවස්ථාවේ ඊට සහභාගි වී සිටි භාණ්ඩාගාර නිලධාරීන් එම යෝජනාවට එරෙහි වූ ආකාරයත් පෙන්වා දී තිබිණි. ඒ අනුව තෙල් මිල ඉහළ නැංවීමට තීන්දු වූ බව පෙන්වා දී තිබූ ගමමන්පිල ඉන් අනතුරුව ආණ්ඩුවේම පාර්ශ්වයන් තමන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ ආකාරයත්, විපක්ෂය තමන්ට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ ආකාරයත් පෙන්වා දී තිබිණි. මේ හේතුවෙන් තමන් ඊට තනිවම මුහුණ දුන් බවද ගම්මන්පිල සිය හදිසි කැබිනට් පත්‍රිකාව මගින් සඳහන් කර තිබිණි. ඒ අනුව තෙල් මිල අඩුකිරීමට තමන්ද එකඟ බවත්, එසේ කළ නොහැකි නම් සහන ලබා දිය යුතු පිරිස් ඉලක්ක කොට සලාක ක්‍රමයක් ඇතිකිරීමට තමන් යෝජනා කරන බවත් ගම්මන්පිල මෙම කැබිනට් පත්‍රිකාව හරහා කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබිණි.
අගමැති මුලින්ම විරුද්ධ වෙයි
ගම්මන්පිලගේ මෙම හදිසි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමත් සමග වහාම ඊට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් පියවර ගත්හ. අගමැතිවරයා කියා සිටියේ සලාක ක්‍රමයක් ඇතිකිරීමට ගියහොත් ජනතාව තවත් අපහසුතාවට පත්වී ඒ හරහා නැවතත් ආණ්ඩුවට බැණුම් ඇසීමට සිදුවනු ඇතැයි කියාය. එමෙන්ම ජනාධිපතිවරයාද මෙම කැබිනට් පත්‍රිකාව දුටු වහාම ඊට ප්‍රතිචාර දැක්වීමට පියවර ගත්තේය.
ජනපති සියල්ලන්ගේම කටවල් වහයි
“මේක අනවශ්‍ය කැබිනට් පත්‍රිකාවක්. අපි මුලින් තීන්දු කළා තෙල් මිල වැඩිකරන්න. ඒක අපි ආණ්ඩුවක් විදියට කැබිනට් මණ්ඩලයම එකතුවෙලා ගත්ත සාමූහික තීරණයක්. ඒ හින්දා ඒක ආපහු හරවන්න ඕනෙ නෑ. ඒ වගේම මම මෙතැනදි එකක් කියන්න ඕනෙ. මේ තෙල් මිල ගැන ආයෙ කතා කරන එක වහාම මේ සියලු දෙනාම නවත්තන්න ඕනෙ. අපි ඒ ගැන දැන් තීන්දුවක් අරන් ඉවරයි…” යනුවෙන් කියමින් ජනාධිපතිවරයා තෙල් මිල සම්බන්ධයෙන් සිය අවසන් තීරණය කැබිනට් මණ්ඩලයට දැනුම් දීමට පියවර ගත්තේය.
ජනාධිපතිවරයාගේ මෙම තීන්දුවෙන් පසු සිදුවූයේ කුමක්ද? වෙනදා නම් යම් යම් ඇමැතිවරු කැබිනට් මණ්ඩලයේ සිදුවන සිදුවීම් පිළිබඳ තැන් තැන්වල කතාබහ කළත් මෙම සිදුවීමෙන් පසු ඒ පිළිබඳ කිසිදු කැබිනට් ඇමැතිවරයකු වචනයක්වත් කට හොල්ලන්න ගියේ නැත. අවම වශයෙන් ගම්මන්පිලවත් තමන් එවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව හෝ නොකීමට ප්‍රවේසම්සහගත විය. මෙම කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර විවිධ මැති ඇමැතිවරුන් බැසිල්ට එරෙහිවත් ගම්මන්පිලට එරෙහිවත් තැන් තැන්වල ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කළද මෙම නියෝගයෙන් පසු ඒ සියලු දෙනාම කටවල් වසාගන්නා ආකාරයක් දැකගන්නට හැකි විය. විමල් – ගම්මන්පිල පාර්ශ්වයෙන් පොහොට්ටුවේ බැසිල් පාර්ශ්වය ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල වූයේත් නැත. බැසිල් වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කළ ප්‍රසන්න රණතුංග, නිමල් ලංසා, පියල් නිශාන්ත වැනි මැති ඇමැතිවරුන් පවා වහාම නිහඬ වූ ආකාරයක්ද දැකගත හැකි විය.
ගම්මන්පිල වීරයෙක් වෙයිද?
ඒ අනුව ආණ්ඩුව ඇතුළේ තිබූ බැසිල් – ගම්මන්පිල සටනටද තිත වැටී තිබිණි. ඒ අනුව දැන් ඉතිරිව ඇත්තේ ගම්මන්පිලට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පමණි. මේ වන විට සමගි ජන බලවේගය විසින් විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදී ඇති අතර ඉදිරි සතියේ පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී ඒ සම්බන්ධ විවාදයට දින තීන්දු කිරීමට නියමිතය. එහිදී පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් ඇතුළු ගම්මන්පිලට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කළ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ගම්මන්පිලගේ විශ්වාසභංගයට විපක්ෂයත් සමග එක්ව ඡන්දය භාවිත කොට ගම්මන්පිලට පාඩමක් උගන්වයිද? එසේත් නැත්නම් ගම්මන්පිලගේ විශ්වාසභංගයට එරෙහිව ආණ්ඩුවත් සමග එක්ව ඡන්දය ලබාදී ගම්මන්පිලව ආණ්ඩුව ඇතුළේ වීරයකු කරයිද? ඒ සඳහා තවත් ටික දිනක් බලා සිටීමට සිදුවනු ඇත.
ගම්මන්පිලගේ ඇමැතිකම ගැලවෙයි!
මීට අමතරව බැසිල්ගේ පාර්ලිමේන්තු ආගමනයත් සමග තවත් වැඩකටයුතු කිහිපයක්ම ආණ්ඩුව ඇතුළේ සිදුවනු ඇති බවටද මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ කනින් කොනින් ආරංචි පැතිර යමින් තිබේ. ඉන් එකක් වන්නේ බැසිල්ගේ පැමිණීමත් සමග ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදුවීමට නියමිත බවය. එම සංශෝධනයේදී ගම්මන්පිලගේ බලශක්ති අමාත්‍ය ධුරය වෙනස් වනු ඇති බවට රාවයක්ද මේ වන විට ආණ්ඩුව ඇතුළේ පැතිර යමින් තිබේ. ඉන් අනතුරුව මේ බව කතානායකට දැනුම්දීමත් සමග ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය විසිවනු ඇති බව ආණ්ඩුවේ මතය වී තිබේ. ගම්මන්පිලගේ ප්‍රශ්නය බේරාගැනීමට ආණ්ඩුව ඒ හරහා කටයුතු කරනු ඇති බව දැනගන්නට ඇත.
විමල්ගේත් කෑලි ගැලවෙයි!
කෙසේ වෙතත් ජවිපෙත්, විපක්ෂය නියෝජනය කරන ආකාරයට ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින රනිලුත් මුල සිටම කියා සිටියේ මෙම විශ්වාසභංගය ආණ්ඩුවට එරෙහිව රැගෙන ආ යුතු යැයි කියාය. ගම්මන්පිලට එරෙහිව මෙම විශ්වාසභංගය ගෙන ඒම ඔවුන් විග්‍රහ කළේ ආණ්ඩුව ශක්තිමත් කිරීමට ගෙන ආ එකක් ලෙසටය. නමුත් රටම විශ්වාස කරන කාරණාවක් වන්නේ ආණ්ඩුව ඇතුළේ මේ බෙදීම එළියට ආවේ ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංගය ගෙන ආ නිසා යැයි කියාය. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආවේ නම් සියලු දෙනාම එක්ව ආණ්ඩුව බේරාගැනීමට විපක්ෂයට තඩිබානු ඇති බවත්, ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංගය ගෙන ආ බැවින් ආණ්ඩුව පැහැදිලිවම දෙකට බෙදුණු බවත් ඔවුන්ගේ මතය වී තිබේ. විශේෂයෙන්ම ආණ්ඩුව අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුරකන තැනට තල්ලු වී ගියේද විශ්වාසභංගය ගම්මන්පිලට එරෙහිව ගෙන ඒම නිසා බව ඔවුන්ගේ මතය වී තිබේ. ඒ අනුව බොහෝ දුරට ඉදිරියේදී ගම්මන්පිලගේ අමාත්‍ය ධුරය වෙනස් වීමත් සමග විමල්ගේ අමාත්‍යාංශයේද තවත් ආයතන කිහිපයක් ගැළවී යනු ඇති බවක්ද දැනගන්නට ඇත. ඒ අනුව අර්බුදය තවමත් ඇත්තේ අළු යට ගිනි මෙන් දුම් දමමිනි.
එළියෙන් ඇතුළට එන ප්‍රශ්න
ආණ්ඩුව රට ඇතුළේ ප්‍රශ්න රැසකින් කර වටක් ගිලී සිටින අතරවාරයේ ජාත්‍යන්තර ප්‍රශ්න ගණනාවකටද මේ වන විට මුහුණදීමට සිදුව ඇති බවක් රටට පිටින් සිදුවන සිදුවීම් කිහිපයක් මුල් කරගෙන පැහැදිලිවම දැකගන්නට ඇති කාරණයකි. ඒ අනුව මෙතෙක් සිදු නොවුණු බරපතළ සිදුවීම් කිහිපයක්ම ලංකාව මුල් කරගෙන ජාත්‍යන්තරය තුළ වර්ධනය වෙමින් ඇති ආකාරයක් පෙනෙන්නට ඇත. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුළ ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත වීමත් සමග ජාත්‍යන්තර ප්‍රජාව ලංකාවට එරෙහි සටන දෙගුණ තෙගුණ කර ඇති ආකාරයක් දැකගන්නට ඇත.
ආණ්ඩුවටද මෙම ජාත්‍යන්තර ප්‍රශ්නය නොදැනුණා නොවේ. ඒ අනුව පසුගිය සති කිහිපය පුරාම මේ පිළිබඳ තීරණාත්මක සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇති ආණ්ඩුව මෙතෙක් සිදු නොකළ ආකාරයේ තීන්දු තීරණ රැසක් ගැනීමටද තීන්දු කර ඇත. ඒ ඇතැම් තීරණ අංශක 360ක් ආපසු හැරී ගත් ඒවා බවක්ද දැකගන්නට ඇත.
ආණ්ඩුව රනිල්ගේ පාරට වැටෙයි
ඉන් පළමුවැන්න වී ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කිරීමට ආණ්ඩුව තීන්දු කොට තිබීමය. මීට සති දෙකකට ඉහතදී යුරෝපා සංගමය ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත කරමින් කියා සිටියේ කලින් පොරොන්දු වූ පරිදි දෙමළ සිරකරුවන් නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ආදිය සිදු නොකරන්නේ නම් ජී.එස්.පී. ප්ලස් සහනය ලංකාවෙන් ඉවත් කිරීමට පියවර ගන්නවා යැයි කියාය. දැනටමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ෆේස්බුක් පිටුවල අදහස් දැක්වූ පුද්ගලයන් ඇතුළු සිය ගණනක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, එක්කෝ ඔවුන්ට නඩු පැවරිය යුතු බවත්, එසේත් නැතිනම් ඔවුන් නිදහස් කළ යුතු බවත් යුරෝපා සංගමයේ ස්ථාවරය වී තිබේ.
ඒ අනුව ආණ්ඩුව පසුගිය සතිය වන විට වැඩි සද්දයක් බද්දයක් නැතිවම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කොට යළිත් ප්‍රති ත්‍රස්ත පනත රැගෙන ඒමට සැලසුම් කර ඇති ආකාරයක් දැනගන්නට තිබේ. එහිදී ආණ්ඩුවේ සැලසුම වී ඇත්තේ ඉකුත් යහපාලන රජය හඳුන්වා දී නීතිපතිවරයා විසින් අනුමැතිය ලබාදී තිබූ ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමටය. මෙම පනත ඉකුත් යහපාලන රජය සමයේ ගෙන එන විටදී එවකට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ සිටි මෙම කණ්ඩායම එකී පනතම නැවත රැගෙන ඒමට කටයුතු කිරීම එක්තරා ආකාරයකට දෛවයේ සරදමක් හා සමානය. එවකදී ඒකාබද්ධ විපක්ෂය කියා සිටියේ මෙම පනත සම්මත වුවහොත් එල්.ටී.ටී.ඊ. සැකකරුවන් සියලු දෙනාම නිදහස් කිරීමට සිදුවනු ඇතැයි කියාය. ඒ හරහා ජාතික ආරක්ෂාව බින්දුවට වැටෙනු ඇතැයි කියාද ඒකාබද්ධ විපක්ෂය එදා කියා සිටියහ. ඒ අනුව එදා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම විරෝධය හමුවේ අදාළ පනත ගෙන ඒම අත්හිටුවීමට තීරණය කර තිබිණි.
කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව මේ වන විට තීන්දු කර ඇත්තේ නැවත වතාවක්, ඔවුන්ගේම විරෝධය හමුවේ එදා හකුළා ගනු ලැබූ ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමටය. ඒ පිළිබඳ සියලු කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාට භාරදී ඇති බවද ආරංචිය. ඒ අනුව බොහෝ දුරට එය ආණ්ඩුවට දේශපාලන බෝම්බයක් වනු ඇති ලකුණුද මේ වන විට පහළ කොට ඇති බව දැකගන්නට තිබේ.
ආණ්ඩුව අයි.එම්.එෆ්.-ලෝක බැංකුව දෙසට…
මීට අමතරව ආණ්ඩුව මේ වන විට මුහුණදී ඇති මුල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා නැවත වතාවක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ ඇමෙරිකානු ණය දෙන ආයතන වෙත යොමුවීමේ සූදානමක් ඇති බවද ආණ්ඩුව පැත්තෙන් මේ වන විට කියැවෙන කාරණාවකි. තවදුරටත් විවිධ රටවලින් ණය ගැනීමේ අවස්ථාව මේ වන විට ඇහිරී ඇති බැවින් බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුව ඇතුළට ආ විගසම මෙම ණය දෙන ආයතන සමග සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ. මේ තත්ත්වය කල් තියාම වටහාගෙන ඇති නිසාදැයි කියන්නට නොහැකි නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද පසුගිය සතියේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ලංකාවට උපකාර කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සූදානමින් සිටින බවය. නමුත් තවමත් ආණ්ඩුවෙන් ඒ සම්බන්ධයෙන් වූ ඉල්ලීමක් ලැබී නොමැති බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එහිදී කියා තිබිණි.
සල්ලි ආපු ගමන් ජිනීවාවලින් වැඩ පටන් ගනී
මීට අමතරව මේ දිනවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සැසිවාරයක්ද පැවැත්වෙමින් තිබේ. ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා නොවන නිසා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මාධ්‍යවලින් නොකියවෙන නමුත් ලබන සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත සැසිවාරය ලංකාවට ඉතා තීරණාත්මක එකක් බවට පත්වනු ලකුණු මේ වන විටත් පහළ වී තිබේ. එය බොහෝ දුරට අතිශය භයානක තත්ත්වයකට ශ්‍රී ලංකාව ඇද දමනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී ඇත. අවසන් වරට පැවැති මානව හිමිකම් සැසිවාරයේදී ලංකාව පිළිබඳ සොයාබැලීම සඳහා කාර්යාලයක් පත්කිරීමට තීන්දු කළ නමුත් තවමත් ඊට ප්‍රතිපාදන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයෙන් ලබාදී නොමැත. එම කටයුතු මේ වන විට ඇත්තේ අවසන් අදියරේය. එම මුදල් සම්මත වූ වහාම කාර්යාලය විවෘත කොට ලංකාවට එරෙහිව ඇති චෝදනා විමර්ශනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වනු ඇති බව ජිනීවාවලින් ලැබෙන ආරංචි මාර්ගවලින් කියැවේ.
ආණ්ඩුව ගහන්න යන ගේම
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේද අවධානය යොමුවී නැතිවා නොවේ. ඒ අනුව ආණ්ඩුව ඇතුළේ පැවැති සාකච්ඡාවලදී විශේෂඥයන් කිහිප දෙනකුම පෙන්වා දී ඇත්තේ මෙම කාර්යාලය විවෘත කිරීම පමා කරගතහොත් ලංකාවට කිසියම් කාලයක් තව වැඩිපුර ලබාගත හැකි යැයි කියාය. එසේ නොමැති නම් මානව හිමිකම් කාර්යාලය සනසාලීම සඳහා යුද අපරාධ චෝදනා විමර්ශන කිරීම සිදුකළ යුතුය. ඒ අනුව වැඩි අවධානයක් යොමුව ඇති උපක්‍රමය වී ඇත්තේ කාර්යාලය විවෘත වීම හැකි තරම් කල් දමාගැනීමටය. එසේ කල් දමාගත හැකි වුවහොත් ලබන සැප්තැම්බරය පමණ වන විට කොරෝනා තත්ත්වය පාලනය කරගෙන කිසියම් සහනයක් ලබාගැනීම ආණ්ඩුවේ අපේක්ෂාවය.
මාස 22යි: ඉන්දියාවට තාම මහකොමසාරිස්වරයෙක් යවා නෑ
ඊළඟ ප්‍රශ්නය මතුව ඇත්තේ ඉන්දියාවෙනි. සාමාන්‍යයෙන් ඉන්දියාව යනු ලංකා දේශපාලනයේ දිශානතිය තීන්දු කරන ප්‍රධාන සාධකයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ආණ්ඩු බිහිකිරීම හෝ වේවා ආණ්ඩු පෙරළීම හෝ වේවා ත්‍රස්තවාදය ආරම්භ කිරීම හෝ වේවා ත්‍රස්තවාදය අවසන් කිරීම හෝ වේවා ඒවාට නවදිල්ලියේ සෙවනැල්ල වැටී ඇති බව පසුගිය කාලයේ සිදුවූ සිදුවීම්වලින් නැවත නැවත තහවුරු කොට තිබිණි. එම නිසා ලංකාවේ ජාත්‍යන්තර සබඳතා පැත්තෙන් ගත් විට නවදිල්ලිය යනු අංක එකය. නමුත් ඛේදවාචකය වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව අවුරුදු එකහමාරකට වැඩි කාලයක් ගතව තිබුණත් තවමත් ඉන්දියාවට ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරයකු යවා නොතිබීමය. පෝර්ට් සිටිය සම්බන්ධයෙන් සහ නැගෙනහිර වරාය පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බරපතළ මතගැටුම් මතුව ඇති මෙවැනි කාල වකවානුවක තවමත් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් පුටුව හිස්ව තිබීම බොහෝ දෙනාගේ විමතියට හේතුවී තිබේ. එහි වඩාත්ම බරපතළ කරුණ වන්නේ මිලින්ද මොරගොඩ මහතා ඉන්දීය මහ කොමසාරිස්වරයා බවට කැබිනට්ටුවෙන් නම් කොට පාර්ලිමේන්තුවෙන් පවා අනුමැතිය ලබාදී තිබියදී තවමත් ඒ මහතා එම ධුරය භාරගෙන නොතිබීමය.
අමෙරිකාව කරපු අලුත්ම පත්වීම
නමුත් ලංකාව පැත්තෙන් මෙසේ සිදුවුවද ලංකාවට එරෙහිව ජාත්‍යන්තරය නම් සිටින්නේ මේ වන විට බළමුළු තර කරමිනි. ඒ අනුව එක්වරම ඇමෙරිකාව පැත්තෙන් ඉන්දියාවේ තානාපති කාර්යාලයට විශේෂ පත්කිරීමක් සිදුවිය. ඒ, ඉන්දියාවේ ඇමෙරිකානු තානාපතිවරයා නොමැති විට එම තනතුරේ වැඩබැලීමට අතුල් කේෂප් මහතා පත්කිරීමය. එම තනතුරේ නාමය වන්නේ ‘චාර්ජ් ඩි අෆෙයාර්ස්’ය.
මේ කේෂප් යනු ලංකාවට ඉතා සමීප පුද්ගලයෙකි. 2015 යහපාලන ආණ්ඩුව පැමිණීමත් සමග ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති වශයෙන් පත්කර එව්වේද මේ කේෂප්ය. එම නිසා ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන්, චීන ප්‍රශ්නය සම්බන්ධයෙන්, පෝර්ට් සිටිය සම්බන්ධයෙන් හසල දැනුමක් කේෂප්ට තිබේ. ලංකාවට මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා මුදල් ලබාදීමට ආරම්භය ලබාදෙන ලද්දේද කේෂප් විසිනි. ඒ අනුව මේ වන විට කේෂප් ඉදිරියට පැමිණිම හරහා බොහෝ දෙනා කියා සිටින්නේ වොෂින්ටනයෙන් හදිසියේම කේෂප්ව ඉන්දියාවට එව්වේ එතරම් හොඳකට නොවේ යැයි කියාය.
එමෙන්ම වොෂින්ටනය මේ වන විට තවත් තීන්දුවක්ද ගෙන තිබේ. ඒ මෙතෙක් කල් මාලදිවයින සහ ලංකාවට එක් තානාපතිවරයකු පමණක් පත්කර තිබුණද මෙතැන් සිට එම රටවල් දෙකට වෙන වෙනම තානාපතිවරුන් පත්කිරීමටය. ඒ අනුව කේෂප්ගේ පැමිණීමත්, තානාපතිවරුන් දෙදෙනෙකු පත් කිරීමට තීන්දු කිරීම හරහාත් ඉදිරියේදී ලංකාවට බරපතළ ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුවනු ඇති බව නොඅනුමානය.
බැසිල් එන්නේ ජන්ද සිතියම දිග හරින්නද
බොහෝ දෙනා මේ වන විට සිතා සිටින්නේ බැසිල් ආණ්ඩුව ඇතුළට පැමිණෙන්නේ ආර්ථිකය සංවර්ධනය කිරීමට පමණක් යැයි කියාය. නමුත් අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ බැසිල් එන්නේ ආර්ථිකය හැදීමට පමණක් නොව තවත් විශාල වැඩකටයුත්තකට ආණ්ඩුව සූදානම් කිරීමට යැයි කියාය. ඒ අන් කිසිවක් නොව ඊළඟ මැතිවරණයට ආණ්ඩුවේ යාන්ත්‍රණය සකස් කිරීමටය. මේ වන විට ඡන්දය යන මාතෘකාවට කිසිදු වැදගැම්මක් හිමින නැති අතර ඡන්ද ගැන කියන විට බොහෝ දෙනා කියන්නේ මිනිස්සුන්ට කන්න නැති වෙලාවේ මොන ඡන්දදැයි කියාය. තවත් සමහරු කියන්නේ දැන් ඡන්ද තියන්න ගියොත් ආණ්ඩුව පරදිනවා යැයි කියාය. තවත් අය කියන්නේ මේ කොරෝනා අස්සේ මොන ඡන්දදැයි කියාය.
බොහෝ දෙනා එවැනි කතා කීවත් රාජපක්ෂවරුන් ඡන්ද ගැන පිළිබඳ සිතන්නේ එසේ නොවේ. ඔවුන් ඡන්ද පිළිබඳ ගණන් හදන්නේ වෙනස්ම ආකාරයකටය. රාජපක්ෂලා කැමැති ඕනෑම අවස්ථාවකදී ඡන්ද පැවැත්වීමටය. ඡන්ද සිතියම් වෙනස් කිරීමට, ඡන්ද හකුළා දැමීමට රාජපක්ෂලා සූදානම් නැත. කොටින්ම කියනවා නම් රාජපක්ෂලා ප්‍රසිද්ධව සිටින්නේ ද ඡන්දවලට බය නැති ජාතියක් ලෙසටය.
ජන්ද 2ක් එක ළග
ඒ අනුව ව්‍යවස්ථානුකූලවම පළාත් පාලන ඡන්දය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරියේදීය. එය අවුරුද්දකින් කල් දැමීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය ලබාදී ඇති බැවින් එසේ වුවහොත් එය බොහෝ දුරට පැවැත්වෙනු ඇත්තේ 2023 මාර්තුවලට පෙරාතුවය. ඒ අනුව ආණ්ඩුව ඇතුළේ පෙළක් කණ්ඩායමක් මෙම පළාත් පාලන මැතිවරණය 2023ට කල් තබා ඒ සමගම මහ මැතිවරණයත් පැවැත්විය යුතු බව මේ වන විටත් දැනුම්දී ඇති අතර, එහිදී මැතිවරණ දෙකම ජයග්‍රහණය කිරීමේ හැකියාව ඇති බව ඔවුන් පෙන්වා දී තිබේ.
නමුත් එසේ නොවීමටද ඉඩ නැතුවා නොවේ. ඊට හේතුව වන්නේ පළාත් පාලන ඡන්දය බලයේ සිටින ආණ්ඩුව දිනන බවට මතයක් තිබුණද පසුගිය පළාත් පාලන මැතිවරණය ඉතිහාසයේ පළමු වතාවට විපක්ෂයේ සිටි පොහොට්ටුව ජයග්‍රහණය කරමින් එම මතය බිඳහෙළීමට පියවර ගෙන තිබීමය. ඒ අනුව තවත් කල් යන්න යන්න ආර්ථික ප්‍රශ්න උග්‍ර වී, ජාත්‍යන්තර ප්‍රශ්න උග්‍ර වී ආණ්ඩුව අප්‍රසාදයට පත්වුවහොත් 2023 පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීම අසීරු වනු ඇති බවත්, එසේ වුවහොත් එය මහ මැතිවරණයට ඉතා අහිතකර ලෙස බලපානු ඇති බවත් තවත් පිරිසකගේ මතය වී තිබේ.
පොහොට්ටුවට ෆුල් සුද්දයක්
ඒ අනුව ආණ්ඩුවට මේ වන විට ඉතිරිව ඇත්තේ විකල්ප දෙකකි. ඒ, නියමිත පරිදි ලබන වසරේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා පොහොට්ටුව ප්‍රතිසංවිධාන කිරීමය. දෙවැන්න පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කලින් සුළු ජාතිකයන් සහ ඉන්දියාව දිගින් දිගටම ඉල්ලා සිටින ආකාරයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමය. ආණ්ඩුවේ බහුතර මතය වී තිබෙන්නේ මෙම විකල්ප දෙකට යොමුවිය යුතු යුතු බවකි. බැසිල් එන්නේ ආර්ථිකය ගොඩනැගීමට අමතරව මෙම විකල්ප දෙකම ක්‍රියාත්මක කිරීම සඳහා බව ‘රාජ්‍ය රහස්’ තීරය ඉතා වගකීමෙන් යුතුව මෙවර වාර්තා කිරීමට සූදානම්ය. ඒ අනුව පාර්ලිමේන්තුවට පැමිණීමෙන් අනතුරුව බැසිල්ගේ පළමු කාර්යය වනු ඇත්තේ රට පුරාම යළිත් පොහොට්ටුව පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කිරීමය. අනෙක් අතට ආණ්ඩුව ගණන් හදා ඇත්තේ ලබන සැප්තැම්බර් ඔක්තෝබර් වන විට කොරෝනා තත්ත්වය පාලනය කොට ජනතාවට ආර්ථික වශයෙන් පහසු වටපිටාවක් නිර්මාණය කර ජනප්‍රිය අයවැය ලේඛනයක් ජනතාවට ඉදිරිපත් කිරීම හරහා මැතිවරණ සිතියම යළි දිගහැරීමටය.
කපිල පුංචිමාන්නගේ