ආණ්ඩුව ඇතුළේ මේ දිනවල එකක් හැරුණු කොට එකක් වශයෙන් අර්බුද නිර්මාණය වන තත්ත්වයක් දැකගත හැකිය. එහි ආසන්නතම සිදුවීම වූයේ තෙල් මිල ඉහළ දැමීමේ අර්බුදයය. ඒ හේතුවෙන් පාලක පක්ෂය වන පොහොට්ටුව ප්‍රසිද්ධියේම බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට තනතුරෙන් ඉවත් වන ලෙසට කළ ලිඛිත දැනුම්දීම මේ අර්බුදයට හේතුපාදක වී තිබිණි. එය පොහොට්ටු මහලේකම්වරයාගේ ඍජු වැඩක් ලෙස පෙනෙන්නට තිබුණත් පොහොට්ටුවේ සුළු පක්ෂවල අදහස වී තිබුණේ මෙම අර්බුදය හිතාමතාම ආණ්ඩුව ඇතුළේ කිසියම් පිරිසක් විසින් නිර්මාණය කර ඇති බවත්, විමල්, ගම්මන්පිල විරෝධී පාර්ශ්වය මේ පිටුපස සිටින බවත්ය.
චමල් මැදිහත් වෙයි: රාජපක්ෂවරුන්ගේ රහස් සාකච්ජාවක්..
මේ ආකාරයට ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් නිර්මාණය වෙමින් පැවැතෙද්දී රාජපක්ෂවරුන් අතරද යම් යම් මත ගැටුම් පසුගිය සති කිහිපය තුළ මතු නොවුණාම නොවේ. ඉකුත් කාල වකවානුවලදීද යම් යම් දේශපාලන සිදුවීම් සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල ඇතුළේ මතගැටුම් පැවැතියද ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීම රාජපක්ෂවරුන්ගේ සිරිතය. මෙවරත් යම් යම් දේශපාලන කරුණු මුල් කරගෙන බැසිල් සහ නාමල් සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල ඇතුළේ කිසියම් සංවාදයක් මතුවෙමින් පැවැතිණි. ඒ අනුව මෙවර මෙම සංවාදය විසඳාගැනීමට මැදිහත් වූයේ රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨතමයා වන චමල් රාජපක්ෂය. ඒ අනුව චමල් පසුගිය සතියේ අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පණිවුඩ රැගෙන යන්නාගේ භූමිකාවට පණ පොවනු දැකගත හැකි විය. එසේ පණිවුඩ කිහිපයක් දෙපැත්තට රැගෙන යෑමෙන් පසු රාජපක්ෂ පවුලේ විශේෂ සාකච්ඡාවක් සංවිධාන කිරීමට චමල්ට හැකි විය. එය පැවැත්වුණේ ඉකුත් බදාදා ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි නිවෙසේදීය. ගෝඨාභය, මහින්ද, චමල් හැරුණු විට එම සාකච්ඡාවට වෙනත් කිසිවකුත් සහභාගි නොවූ අතර, අතිශය රහසිගත ආකාරයට එම සාකච්ඡාව තබාගැනීමටද රාජපක්ෂ පවුල පියවර ගෙන තිබිණි.
චමල් ප්‍රශ්න පත්තරය දිගහරියි
මෙහිදී රාජපක්ෂ පවුලේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් විවෘත සාකච්ඡාවක් පැවැත්වී ඇති බවක් නිල නොවන ආරංචි මාර්ගවලින් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට තිබේ. විශේෂයෙන්ම සාකච්ඡාවේ මැදිහත්කරු මෙන්ම පවුලේ ජ්‍යෙෂ්ඨතමයා ලෙස චමල්, ආණ්ඩුව ඇතුළේ මේ වන විට මතුව ඇති අර්බුද ගණනාවක් ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත් අවධානයට යොමුකිරීමට පියවර ගත්තේය. විශේෂයෙන්ම ආර්ථික අර්බුදය, විමල් – ගම්මන්පිල මුල්කරගෙන මතුව ඇති අර්බුදය, ප්‍රධාන පෙළේ ලේකම්වරයකු මුල් කරගෙන අගමැතිවරයාට සහ ආණ්ඩුවේ මැති ඇමැතිරුන්ට මුහුණදීමට සිදුව ඇති ප්‍රශ්න, පොහොර අර්බූදය යනාදිය චමල් එකින් එක මෙහිදී විස්තර කළේය. ඒ සම්බන්ධයෙන් යම් යම් තීන්දු තීරණද ඒ මොහොතේදීම ගැනීමට තිදෙනා සමත් වූහ.
බැසිල්ට කරන්න යන දේ
ඉන් අනතුරුව සාකච්ඡා වූයේ බැසිල් සම්බන්ධ මාතෘකාවය. 23 වැනිදා බැසිල් ලංකාවට පැමිණීමෙන් පසු බැසිල්ගේ ඉදිරි දේශපාලන භූමිකාව සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. මෙහිදී බැසිල් ලංකාවට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දී පූර්ණකාලීනව දේශපාලනය කිරීමට සූදානම් නම් තමා යටතේ පවතින මුදල් අමාත්‍යාංශය බැසිල්ට භාරදීමට සූදානම් බව මහින්ද මෙහිදී ජනාධිපතිවරයාට දැනුම්දී තිබේ. ඊට ජනාධිපතිවරයා දැක්වූ ප්‍රතිචාරය කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි තොරතුරක් නැතත් අගමැතිවරයා තමාගේ බලතල රැසක් බැසිල්ට ලබාදීමට සූදානම් බවට වූ සහතිකයක් මෙහිදී ලබාදී තිබේ. එසේ මුදල් අමාත්‍යාංශය භාරදෙන්නේ නම් දැනට මතභේදයට තුඩුදී ඇති එක්තරා ප්‍රධාන ලේකම්වරයකු ඉවත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී තීන්දුවක් ගෙන ඇති බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම පසුගිය සතිය වන විට දේශපාලන ක්ෂේත්‍රයේ කුණාටුවක් මෙන් පැතිර ගිය තවත් කටකතාවකින් කියැවුණේ ලබන සැප්තැම්බර් මාසයේදී නාමල්ට අගමැති ධුරය ලබාදීමට මහින්ද සැලසුම් කර ඇති බවත්, ඉන් අනතුරුව 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් අභිෂේක ගැන්වීමට සූදානම් කොට ඇති බවත්ය. ජනාධිපතිවරයාද තමන් යටතේ පවතින කාර්යසාධක බළකා තුනකම ප්‍රධාන පුටුව නාමල්ට ලබාදෙමින් සහ ඩිජිටල් අමාත්‍ය ධුරය නාමල්ට පවරමින් ඒ සඳහා සූදානම් කිරීමක් කරමින් සිටින බවද එම කටකතාවලින් වැඩිදුරටත් කියැවිණි.
වියත් මග ජනපතිගෙන් නාමල්ට
මීට අමතරව ඉකුත් සතියේ ජනාධිපතිවරයා තවත් තීරණාත්මක තනතුරක් නාමල්ට පැවරීමට සැලසුම් කර තිබිණි. ඒ වෙන කිසිවක් නොව තමන් බලයට රැගෙන ඒමට විශාල දායකත්වයක් සැපයූ ‘වියත් මඟ’ සංවිධානයේ සභාපති ධුරයය. ඒ අනුව පසුගිය සතියේදී වියත් මග සංවිධානයේ විධායක සභාව කැඳවූ ජනාධිපතිවරයා එහි සභාපති ධුරය නාමල්ට ලබාදෙන ලෙසට ඉල්ලීමක් කිරීමට පියවර ගත්තේය. නමුත් ඒ මොහොතේ රැස්ව සිටි බොහෝ දෙනා ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ එය එතරම් ඥානාන්විත ක්‍රියාවක් නොවන බවත්, අවශ්‍ය නම් ජනාධිපතිවරයා එම තනතුරේ රැඳී සිටිමින් වියත් මග සංවිධානය මෙහෙයවීමේ වගකීම නාමල්ට පැවරීම සුදුසු යැයි කියාය. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් නොගැණින. වියත් මගේ ආරම්භකයා වන නාලක ගොඩහේවා එම සාකච්ඡාවට සහභාගි නොවීමද මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් විය.
නාමල් 2030ට තල්ලු වෙයි
මේ ආකාරයට නාමල්ව ආණ්ඩුව ඇතුළේ ශක්තිමත් කරද්දී ඔහුගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන්ද ගෝඨාභය, මහින්ද හා චමල් අතර මෙහිදී සාකච්ඡා විය. අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක තීන්දුවක් මෙහිදී රාජපක්ෂවරුන් විසින් ගෙන ඇති බවකි. ඒ, 2024 ජනාධිපතිවරණයට නාමල් ඉදිරිපත් නොකිරීමටය. 2024ට නාමල් ඉදිරිපත් කිරීම ඉක්මන් වැඩි බවත්, 2030 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වන විට නාමල් මුහුකුරා ගිය දේශපාලකයකු වශයෙන් සටනට ඉදිරිපත් විය හැකි බවත්, ඒ දක්වා වූ කාලය අතරතුර නාමල් ශක්තිමත් කළ යුතු බවත් මෙහිදී තීන්දු වී ඇත.
එසේ නම් 2024දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රාජපක්ෂ පවුලේ නියෝජිතයා කවුද?
ගෝඨා නැත්නම් 2024ට බැසිල්!
අපට දැනගන්නට ලැබී ඇති තොරතුරුවලට අනුව මහින්ද මෙහිදී පෙන්වා දී ඇත්තේ නැවත වතාවක් ගෝඨා 2024 ජනාධිපතිවරණයට තරග කළ යුතු යැයි කියාය. නමුත් ඊට ගෝඨාභය ස්ථිර වචනයක් දී නැති බවද දැනගන්නට ඇත. ඒ අනුව බැසිල්ගේ නමද එහිදී 2024 අපේක්ෂකයා ලෙස සාකච්ඡාවට ලක්ව ඇති බව දැනගන්නට ඇත. බැසිල් පාර්ලිමේන්තු පැමිණ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඉදිරි වසර දෙක තුන ඇතුළත රට ආර්ථික වශයෙන් ශක්තිමත් කොට පෙන්වුවහොත් ඔහුටද 2024 අපේක්ෂකත්වය විවෘත බව මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත. ඒ අනුව නියත වශයෙන්ම 2024 ජනාධිපතිවරණයට රාජපක්ෂ පවුලෙන් ඉදිරිපත්වීමට නියමිතව ඇත්තේ එක්කෝ ගෝඨාභයය. නැතිනම් බැසිල්ය. නාමල් එන්නේ 2030 ජනාධිපතිවරණයටය.
අරලිය ගහ මැදුරේ විශේෂ කාමරයක් හැදෙයි
ඉකුත් බදාදා පැවැති මෙම සාකච්ඡාවෙන් අනතුරුව ආණ්ඩුව ඇතුළේ වැදගත් තීන්දු තීරණ කිහිපයක්ම ලහිලහියේ ක්‍රියාත්මක වන ආකාරයක් දැකගත හැකි විය. ඉන් එකක් වූයේ අරලියගහ මන්දිරයේ බැසිල් වෙනුවෙන්ම විශේෂ කාර්යාලයක් නිර්මාණය කරන ලෙසට උපදෙස් ලැබීමය. එම කාර්යාලයට යාබදව සම්මන්ත්‍රණ ශාලාවක් ඇතුළු අමාත්‍යාංශයක් මෙහෙයවීමට හැකි සියලු පහසුකම් සපයන ලෙසටද මෙ වන විට ඉහළින් උපදෙස් ලැබී තිබේ. ඒ අනුව ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා වී ඇත්තේ බැසිල් ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය භාරගැනීමෙන් පසු අරලියගහ මන්දිරය ඇතුළේ සිට සිය අමාත්‍යාංශයේ කටයුතු මෙහෙයවනු ඇති බවටය.
නාමල් අඩියක් පස්සට තියයි
මීට අමතරව පසුගිය සති දෙක තුන තුළ නාමල් ආරම්භ කළ වේගවත් දේශපාලන ගමන නැවත වතාවක් යටගොස් ඇති ආකාරයක්ද මෙම සාකච්ඡාවෙන් පසු ඇතිවූ වෙනසක් ලෙස දැකගන්නට පුළුවන. කෙසේ වෙතත් නාමල් සිය දේශපාලන ගමන තරමක් මන්දගාමී කළත් එක්තරා කරුණක් සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාම වැඩි බරක් තබා කටයුතු කළ ආකාරයක් දැකගන්නට තිබිණි. ඒ කරුණ වෙන කිසිවක් නොව මරණ දඬුවම ලබා සිරගතව සිටින දුමින්ද සිල්වා නිදහස් කරගැනීමේ කාර්යයය.
දුමින්දව එළියට ගන්න නාමල් මැදිහත් වෙයි
ඒ අනුව පසුගිය සති තුන පුරාම නාමල්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මනා සම්බන්ධීකරණයක් සිදුකරමින් දුමින්ද නිදහස් කරගැනීමේ කටයුත්තට වැඩි බරක් තබා ක්‍රියා කළ ආකාරයක් දැකගත හැකි විය. මීට පෙර අවස්ථා ගණනාවකදීම දුමින්ද නිදහස් කිරීමේ කටයුත්ත කට ළඟට පැමිණියත් යම් යම් හේතු මත එය ගිලිහී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. වරක් ආණ්ඩුව ඇතුළේ මන්ත්‍රීවරුන් දුමින්ද නිදහස් කළ යුතු බවට අස්සන් කළ ලිපියක් ජනාධිපතිවරයා වෙත ලබාදීමට පියවර ගත්තේය. තවත් වරෙක දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ කමිටුවෙන් දුමින්දව නිදහස් කළ යුතු බවට වූ යෝජනාවක්ද ඉදිරිපත් කර තිබිණි. නමුත් ඒ සෑම අවස්ථාවකදීම යම් යම් හේතු මත දුමින්ද නිදහස් කරගැනීමේ කටයුත්ත පස්සට ගියේය. නමුත් මෙවර දුමින්ද නිදහස් කරගැනීම වෙනුවෙන් වූ ලියවිල්ලට අස්සන් තැබීම සඳහා ජනාධිපතිවරයාගේ විශ්වාසය ගොඩනැගුවේ නාමල්ය.
මීට අමතරව දුමින්දව නිදහස් කිරීම සඳහා බලපෑ තවත් හේතුවක් ද නාමල් ආණ්ඩුවේ ප්‍රධානීන්ට පෙන්වා දී තිබිණි. ඒ, ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් බලයට ගෙන ඒම සඳහා විශාල දායකත්වයක් දැක්වූ හිරු මාධ්‍ය ජාලය ආණ්ඩුව ඉලක්ක කර දැඩි ප්‍රහාරයක් පසුගිය දින කිහිපය පුරා එල්ල කිරීමය. විශේෂයෙන්ම උදෑසන පුවත්පත් කියැවීමේ වැඩසටහන මෙහෙයවන චමුදිත සමරවික්‍රම ආණ්ඩුව ඉලක්ක කර බරපතළ ප්‍රහාරයක් එල්ල කිරීමද ඒ සඳහා බලපා තිබිණි. ඒ අනුව ඉදිරි මැතිවරණවලදී ආණ්ඩුවේ ප්‍රචාරක ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා හිරු නාලිකාවේ ඇති වැදගත්කම සියල්ලන්ටම පෙන්වා දී ඇති නාමල් දුමින්ද නිදහස් කිරීම හරහා මෙම තත්ත්වය සමබර කළ හැකි බවද අවධාරණය කොට ඇත. දුමින්ද ඉකුත් පොසොන් පොහෝ දිනයේ නිදහස් වූයේ එහි ප්‍රතිපලයක් ලෙසය.
වැඩේ බරපතළයි
කෙසේ වෙතත් දුමින්දගේ නිදහස් කිරීම හරහා තවත් අර්බුද ගණනාවක් මේ වන විට නිර්මාණය වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමෙරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක්ම ඊට එරෙහිව දැඩි ප්‍රහාර ඉල්ල කොට තිබීම හරහා ඉදිරි කාල වකවානුව තුළ තවත් ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවනු නොඅනුමානය.
බැසිල්ට වැඩ ගොඩක්
මාස දෙකකට ආසන්න කාලයක් පුරා ඇමෙරිකාවේ ගත කළ බැසිල් රාජපක්ෂ මහතා යළි ලංකාවට පැමිණියේ ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේදීය. බැසිල් සමග මෙම ගමනට ඔහුගේ බිරිය වන පුෂ්පා රාජපක්ෂ මහත්මියද එක්ව සිටියාය. ඇමෙරිකාවේ සිට ඩුබායි බලා පැමිණ ඉන් අනතුරුව ඊ.කේ.650 දරණ එමිරේට්ස් ගුවන් යානයෙන් බැසිල් රාජපක්ෂ යුවළ කටුනායකින් ගොඩබසිද්දී අමාත්‍ය ප්‍රසන්න රණතුංග, නිමල් ලංසා ඇතුළු ආණ්ඩුවේ පසුපෙළ ඇමැතිවරුන් කිහිප දෙනකුද, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකුද ඔවුන් පිළිගැනීමට කටුනායකට පැමිණ සිටිනු දැකගන්නට ලැබිණි.
මෙහිදී ගුවන් තොටුපොළ ඇතුළේ වෙනම ස්ථානයක බැසිල් හා ප්‍රසන්න, ලංසා අතර විශේෂ සාකච්ඡාවක් සිදුවිය. එහිදී මාතෘකාව වූයේ මේ වන විට අර්බුදයකට තුඩුදී ඇති එන්නත්කරණයය. ප්‍රසන්නත්, ලංසාත් එහිදී බැසිල්ට එන්නත්කරණයේ ඇති අඩුපාඩු පිළිබඳ දීර්ඝව පැහැදිලි කිරීමක් කළේය. බැසිල්ද කියා සිටියේ එන්නත් වැඩසටහනේ ප්‍රශ්නයක් ඇති බව තමන්ටද වැටහෙන බවය. එහිදී ඇමැතිවරුන් කියා සිටියේ එන්නත්කරණ වැඩසටහනට මැදිහත් වී එය නිසි මාර්ගයට නොගතහොත් ඉදිරි මාස දෙක තුන ඇතුළත තත්ත්වය වඩාත් බරපතළ විය හැකි බවකි. බැසිල් එය අසා සිටියා විනා ඊට ප්‍රතිචාර දැක්වීමට කටයුතු කර නොතිබිණි.
චන්ද්‍රිකා කලකිරිලා ලන්ඩන් ගිහින්
2015දී පැවැති මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා අලුත් ජනාධිපතිවරයකු බිහිකිරීමටත්, යහපාලන අණ්ඩුව පිහිටුවීමටත් මූලිකත්වය ගත් ප්‍රධාන චරිතයක් වූයේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියය. නමුත් ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ආණ්ඩුව ඇතුළේ මතුවූ යම් යම් ප්‍රශ්න හේතු කොටගෙන චන්ද්‍රිකා සිටියේ දැඩි කලකිරීමකින්ය. අවසානයේදී යහපාලන ආණ්ඩුව බිඳවැටීමෙන් පසු චන්ද්‍රිකා සිටියේ දැඩි නිහඬ චරිතයකට පණ පොවමිනි.

මේ හේතුවෙන් අපි පසුගිය සතියේ චන්ද්‍රිකා මේ දිනවල කරන්නේ කුමක්ද යන්න පිළිබඳ සොයාබැලීමට කටයුතු කළෙමු. එහිදී අපට දැනගන්නට ලැබුණේ ලංකාවේ දේශපාලනය පිළිබඳ දැඩි කලකිරීමෙන් සිට ඇති චන්ද්‍රිකා පසුගිය සතියේ රට හැර ගොස් ඇති බවය. කිසිවකුටත් නොකියා චන්ද්‍රිකා ලන්ඩනයට ගොස් ඇති බවද, ඇය මේ දිනවල ලන්ඩනයේ වීදිවල තනිවම ඇවිදිමින් විවේක සුවයෙන් පසුවන බවද අපට දැනගන්නට ලැබිණ. ඒ බව දැක්වෙන ඡායාරූපයක් සොයාගැනීමටද අපට හැකි විය.
ශ්‍රීලනිපයෙන් කිසිම ආරාධනාවක් නෑ
එසේ නම් චන්ද්‍රිකාගේ මේ කලකිරීමට හේතුව කුමක්ද? ඊට හේතුවී ඇත්තේ වෙන කිසිවක් නොව පසුගිය කාලයේදී සිය පියාණන් විසින් බිහිකරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැසිරුණු ආකාරයය. වත්මන් ආණ්ඩුව පිහිටුවීමෙන් පසු තමන්ට ශ්‍රීලනිපයේ සාකච්ඡාවලට කැඳවීමක් ලැබෙනු ඇතැයි චන්ද්‍රිකා දැඩි විශ්වාසයෙන් පසුවූවාය. නමුත් කිසිදු අවස්ථාවක චන්ද්‍රිකාට පක්ෂයෙන් සාකච්ඡා සඳහා කැඳවීමක් නොලැබීම ඇගේ මේ කලකිරීමට දැඩිව හේතුවී තිබේ.
විමුක්ති එන්න සූදානම්: එන පක්ෂය මොකද්ද?
එමෙන්ම පසුගිය අවස්ථා ගණනාවකදීම චන්ද්‍රිකාගේ පුත් විමුක්ති කුමාරතුංග ප්‍රසිද්ධ දේශපාලනයට එන බවට නිල නොවන ආරංචිද පැතිර ගොස් තිබිණි. ඒ සෑම අවස්ථාවකදීම චන්ද්‍රිකා එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ විමුක්ති ලංකාවේ පවතින දේශපාලනයට නම් සම්බන්ධ නොවනු ඇතැයි කියාය. නමුත් මේ වන විට අපට දැනගන්නට ඇත්තේ විමුක්ති ලංකාවේ දේශපාලනය කිරීමට සිය කැමැත්ත ප්‍රකාශ කොට ඇති බවය. චන්ද්‍රිකාට ඒ බව දැනුම්දී ඇති විමුක්ති කොන්දේසි කිහිපයක්ද ඉදිරිපත් කර තිබේ. එහි පළමු කොන්දේසිය වී ඇත්තේ අලුත් පක්ෂ හදා දේශපාලනය පැමිණීමට ඔහුට නොහැකි බවකි. එම නිසා චන්ද්‍රිකාද සිටියේ සිය පිය උරුමය පවතින ශ්‍රීලනිපය හරහා විමුක්තිව දේශපාලනයට රැගෙන ඒමටය. නමුත් ශ්‍රිලනිපය තවමත් චන්ද්‍රිකාට ප්‍රතිචාර දක්වා නොතිබීම විමුක්තිගේ දේශපාලන ආගමනයට බාධාවක් වී ඇති බවක් දැනගන්නට තිබේ.
කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය තනතුර භාරගැනීමෙන් පසු චන්ද්‍රිකා මුණගැසී කළ සාකච්ඡාවේදී විමුක්තිව දේශපාලනය රැගෙන එන ලෙස ඉල්ලීමක් කළේය. එහිදී සජිත් කියා තිබුණේ විමුක්ති කැමැති නම් සමගි ජන බලවේගය යටතේ දේශපාලනයට පිවිසිය හැකි යැයි කියාය. නමුත් ඊට චන්ද්‍රිකා ඒ අවස්ථාවේදී උත්තරයක් දී තිබුණේ නැත.
මෙවැනි සිදුවීම් මුල් කරගෙන පසුගිය කාලය පුරා චන්ද්‍රිකා කෙතරම් කලකිරීමෙන් සිටියාද කියනවා නම් රනිල්ගෙන් පැමිණි පණිවුඩ කිහිපයකට පවා ප්‍රතිචාර දැක්වීමට චන්ද්‍රිකා පියවර ගෙන නොතිබිණි. ඒ තරමටම රනිල්වත්, රනිල්ගේ දේශපාලනයත් චන්ද්‍රිකාට එපාවී තිබිණි. අවස්ථා කිහිපයකදීම රනිල් චන්ද්‍රිකාගේ දුරකතනය හා සම්බන්ධ වුවත් චන්ද්‍රිකා ඊට පිළිතුරු දීමට ගියේ නැත. එහි අවසන් ප්‍රතිපලය වූයේ කාටත් නොකියා චන්ද්‍රිකා ලන්ඩනය බලා පිටත්ව යෑමය. ටික කාලයකට චන්ද්‍රිකා නැවත ලංකාවට නොඑන බවද දැනගන්නට ඇත.
ශ්‍රීලනිපය ගේමට සෙට්වෙයි
ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාස භංගය මුල් කරගෙන මේ වන විට ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන පොහොට්ටුවට එරෙහිව ආණ්ඩුවේ සුළු පක්ෂ අතර සන්ධානයක් ගොඩනැගෙන ලකුණු පහළ කොට ඇති බවක් දැකගන්නට ඇත. ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය. ශ්‍රීලනිපයටද පසුගිය කාල වකවානුව පුරාම ආණ්ඩුව සමග යම් දේශපාලන ‘ඇරියස්’ එකක් තිබිණි. ඊට හේතු වූයේ පොහොට්ටුව සමග ශ්‍රීලනිපය ඇතුළේ ඇතිකරගෙන තිබූ එකඟතා ආරම්භයේ සිටම කඩා බිඳ දැමීමට පොහොට්ටු පාර්ශ්වය පියවර ගැනීමය. විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍ය ධුරයක් හිමි නොවූ අතර, ශ්‍රීලනිපයට හිමි වූයේ එතරම් වැදගැම්මකට නැති අමාත්‍ය ධුර වීම එක් හේතුවක් විය. අනෙක් අතට ආණ්ඩුවේ වැඩ කටයුතුවලට ශ්‍රීලනිපය සම්බන්ධ කර නොගැනීම තවත් හේතුවක් විය. මේ නිසාම පසුගිය කාලය පුරා ශ්‍රීලනිපය සිටියේ ආණ්ඩුවෙන් වෙන්ව තනිව දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරියට යෑමට තීන්දු කොටය. ඒ සම්බන්ධයෙන් වූ යෝජනාවක් පවා මධ්‍යම කාරකසභාවේදී ශ්‍රීලනිපය සම්මත කොට ගෙන තිබිණ. කොටින්ම ඉකුත් මැයි රැලිය ආණ්ඩුව සමග නොපැවැත්වීමටත්, අනෙකුත් සුළු පක්ෂ එක් කරගෙන වෙනම මැයි රැලියක් පැවැත්වීමටත් ශ්‍රීලනිපය කටයුතු සංවිධාන කොට තිබිණි.
මෛත්‍රී-විමල්-උදය සූම් සාකච්ජාවක
මෙසේ වෙනම ශ්‍රීලනිපයේ ප්‍රධානත්වයෙන් සන්ධානයක් නිර්මාණය කිරීමට සැලසුම් කර සිටි මෛත්‍රිපාලට ගම්මන්පිලට එරෙහිව ආණ්ඩුව ඇතුළෙන් එල්ලවූ ප්‍රහාරය විශාල උත්තේජනයක් විය. ඒ අනුව මේ වන විට ආණ්ඩුවත් සමග යම් විරසකයක සිටින ගම්මන්පිලත්, විමලුත් සමග මෛත්‍රිපාල අන්තර්ජාලය ඔස්සේ ‘සූම්‘ සාකච්ඡාවක පවා නිරත විය. මෙහිදී ඉදිරියේදී වෙනම කණ්ඩායමක් ලෙස ආණ්ඩුව ඇතුළේ කටයුතු කිරීමට ඇති ඉඩකඩ පිළිබඳ තිදෙනා අතර දීර්ඝව සාකච්ඡා වී ඇති බවක්ද දැනගන්නට ඇත.
පසුපෙළ විමල් පිලට බැටේ දෙන්න යයි
තෙල් මිල ප්‍රශ්නය මුල් කරගෙන විමල්, ගම්මන්පිල ඇතුළු පාර්ශ්ව ආණ්ඩුවට එරෙහිව බරපතළ ප්‍රහාර එල්ල කරද්දී ආණ්ඩුවේ පසුපෙළ කණ්ඩායමද සිටියේ විමල්, ගම්මන්පිල පාර්ශ්ව ඉලක්ක කර ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමටය. මීට සති දෙකකට ඉහතදී ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 23 දෙනකු පැවැත්වූ රහසිගත සාකච්ඡාවකදී ඔවුන් තීන්දු කොට තිබුණේ ඊළඟට පැවැත්වෙන ආණ්ඩුවේ පළමු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීම මෙම කැරැලිකාර කණ්ඩායමට උත්තර දෙන්නටය. එම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය සඳුදා දහවල් 2.30ටය. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. නමුත් දහවල් කාලයේ ලැබුණු පණිවුඩයකින් කියැවුණේ ජනාධිපතිවරයා විසින් අදාළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සවස 6ට ජනාධිපති මන්දිරයේ පැවැත්වීමට තීන්දු කර ඇතැයි කියාය.
ඒ අනුව වහාම රැස්වූ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම මෙම රැස්වීමේදී විමල්, ගම්මන්පිල පාර්ශ්වයට පිළිතුරු දෙන ආකාරය සාකච්ඡා කළේය. එහිදී කතා කළ යුතු මන්ත්‍රීවරුන් කවුද, කතා කළ යුතු කරුණු මොනවාද, මන්ත්‍රීවරුන් අසුන් ගත යුත්තේ කොයි කොයි ස්ථානවලද යනාදී සියල්ල පිළිබඳවත් පසුපෙළ මන්ත්‍රීවරු තීන්දුවක් ගත්හ. ඒ අනුව ඔවුන් සඳුදා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වූයේ විමල් පාර්ශ්වයට දුවන්න ගහන අරමුණ ඇතිවය.
විමල් ගම්මන්පිල ඇවිත්
ඒ අනුව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ ඉහළ මාලයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භ වූයේ සවස 6ටය. ඊට ආන්දෝලනයට ලක්ව සිටි උදය ගම්මන්පිල මෙන්ම විමල් වීරවංශ කණ්ඩායමද සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව බොහෝ දෙනා සිතා සිටියේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගිනි විජ්ජුම්බරයක් සිදුවනු ඇතැයි කියාය.
පළමුව කතාකිරීම ආරම්භ කළේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාය. අගමැතිවරයා හරියටම කතා කළේ විනාඩි 5කි. ඒ විනාඩි පහේද අගමැතිවරයා කතා කළේ අඟහරුවාදා දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කටයුතු පිළිබඳවය. ඒ අනුව පසුපෙළ මන්ත්‍රීවරුන් අගමැතිවරයාගේ කතාවෙන් පසුව ගම්මන්පිලට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටියත් කිසිවකුත් නොසිතූ පරිදි අගමැතිවරයා රැස්වීම අවසන් කිරීමට කටයුතු කළේ සියලු දෙනාම අන්දමන්ද කරවමිනි.
මහින්ද ගහපු ගේම
“එහෙනම් හරිනෙ, අපි ඔක්කොම කතා කළා නේ, ජනාධිපතිතුමාගෙ උපන්දිනෙත් ඊයෙට යෙදිල තිබුණු නිසා එතුමාට අපි පල්ලෙහා කේක් එකක් කපන්න ලෑස්ති කරලා තියෙනවා. ඒ නිසා අපි ඔක්කොමලා ඒක කපන්න යං” යනුවෙන් කියමින් අගමැතිවරයා සාකච්ඡාව අවසන් කරමින් ආසනයෙන් නැගිට කේක් ගෙඩිය කැපීමට පහත මාලයට බසිනු දැකගන්නට ලැබිණි. කිසිවක් කරකියාගත නොහැකි වූ පසුපෙළ මන්ත්‍රීවරුද ඒ අනුව අගමැතිවරයා අනුව යමින් සිය අසුන්වලින් නැගිට යන්නට පියවර ගත්හ. එහිදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයා විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කර ඇති බවත්, ඊට සහභාගි වන ලෙස සියලු මැති ඇමැතිවරුන්ට ආරාධනා කිරීමටත් පියවර ගත්තේය.
සර් මාර මැච් එකක් නේද ගැහුවේ
ඒ අනුව කේක් ගෙඩිය කපන ස්ථානයට ගිය ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු වන තිස්ස කුට්ටිආරච්චි මහින්ද අසලට ගොස් ඔහුගෙන් සිනාසෙමින් විමසා සිටියේ අපූරු කතාවකි.
“සර් අද මාර මැච් එකක් නේද ගැහුවේ? අපි ප්ලෑන් කරගෙන ආපු ඔක්කොම වතුරෙ ගියා.” යනුවෙන් කියමින් තිස්ස කුටිටි සිනාසෙද්දී මහින්දද සිනාසෙමින් කියා සිටියේ, “ඔව් ඔව් මටත් ආරංචියි, මටත් ආරංචියි” යැයි කියාය.
සජබෙ තෙල් විරෝධය
සමගි ජන බලවේගය පසුගිය සතියේ විශේෂ උද්ඝෝෂණ ව්‍යාපාර දෙකක් සංවිධානය කිරීමට පියවර ගත්තේය. ඒ ආණ්ඩුව ඉකුත් සතියේ අසාධාරණ ලෙස තෙල් මිල ඉහළ නැංවීමට විරෝධය පාමිනි. ඒ වන විට සංචරණ සීමා පනවා රට වසා දමා තිබූ හෙයින් සජබය සැලැසුම් කළේ රට තාවකාලිකව විවෘත කර පාර්ලිමේන්තුව පැවැත්වූ පළමු දිනයේදීම ආණ්ඩුවට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කිරීමටය. එහිදී සජබෙට අවශ්‍ය වූයේ මින් පෙර විපක්‍ෂයක් විසින් කවරදාකවත් සිදු නොකළ ආකාරයේ උද්ඝෝෂණයක් සංවිධානය කිරීමටය.
අමුතුම තාලේ විරෝධයක්
ඒ අනුව පසුගිය සතියේ සජබය තුළ විශේෂ සාකච්ඡා වට ගණනාවක්ම සජිත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී විවිධ යෝජනා ඉදිරිපත් වූ අතර මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම පෙන්වා දුන්නේ මීට පෙර බයිසිකල්වලින්, ගොන් කරත්තවලින් පැමිණ උද්ඝෝෂණය සිදු කර තිබූ නිසා අලුත් ආකාරයකින් එය සිදුකළ යුතු යැයි කියාය. අවසානයේදී යෝජනා වූයේ රටේ සියලුම ක්‍ෂේත්‍රවල ජනතාවට මෙම තෙල් මිල ඉහළ දැමීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බැවින් වාහන භාවිත කරන සියලුම ක්‍ෂේත්‍රවල ජනතාව නියෝජනය වන පරිදි උද්ඝෝෂණය සිදුකළ යුතු යැයි කියාය. ඒ අනුව කාර්, වාහන, ත්‍රීවීල්, ට්‍රැක්ටර්, අත්ට්‍රැක්ටර්, බස්, වෑන්, බට්ටා ලොරි, යතුරුපැදි, ජීප් ආදී සියලුම වාහනවලින් පාර්ලිමේන්තුවට පෙළපාලියකින් පැමිණ විරෝධය පළ කළ යුතු බවටත්, මන්ත්‍රිවරුන්ම එම වාහන ධාවනය කළ යුතු බවටත් යෝජනා විය. එමෙන්ම උද්ඝෝෂණය පිළිබඳ තොරතුරු ආණ්ඩුව පැත්තට ගියහොත් එය කඩාකප්පල් විය හැකි බැවින් සියල්ල අවසන් මොහොත තෙක් රහසක් ලෙස තබා ගැනීමටද තීරණය කෙරිණි.
නලින් බැකෝවේ
ඒ අනුව අඟහරුවාදා දින පාර්ලිමේන්තුව ආරම්භ වීමට ප්‍රථම කෝට්ටේ සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේ සිට පාර්ලිමේන්තුව දක්වා පැමිණි අමුතුම ආකාරයේ රථ පෙළපාලිය රටේම ජනතාව කතා කළ විරෝධයක් බවට පත්කරලීමට සජබයට හැකියාව ලැබිණ. එහිදී සජිත් මිනි කූපරයක නැඟී විරෝධතාවයේ ඉදිරියෙන්ම ගමන් ගත් අතර, ෆොන්සේකා, රාජිත ත්‍රීරෝද රියක නැඟී පැමිණියහ. තුෂාර ඉඳුනිල්, හර්ෂණ ආවේ යතුරුපැදියකය. රංජිත් – මුජිබර් – රාධක්‍රිෂ්ණන් – තිස්ස බසයක ආහ. නලින් බණ්ඩාර ආවේ බැකෝවක කුල්ලක නැඟය. රෝහිණී කවිරත්න, කිංස් නෙල්සන් ධර්මසේන අත් ට්‍රැක්ටරයක නැඟ පැමිණියහ. බොහෝ දෙනා මෙය ඉතා සාර්ථක උද්ඝෝෂණයක් ලෙස පාර්ලිමේන්තුවේදී කතා කළ ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
ආණ්ඩුවේ කනෙන් රිංගයි
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවෙන් පිටතදී තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණය සාර්ථක වීමත් සමග සජබය ඊළඟට සැලසුම් කළේ පාර්ලිමේන්තුව ඇතුළේ තවත් විරෝධතාවක් සංවිධානය කිරීමටය. නමුත් ඉකුත් වතාවකදී පාර්ලිමේන්තුව ඇතුළේ බෝඩ් උස්සාගෙන සිදු කරන්නට ගිය උද්ඝෝෂණයක තොරතුරු ආණ්ඩුව වෙත වාර්තා වීමෙන් පසුව ආරක්‍ෂක අංශ ලවා සජබ සියලු මන්ත්‍රීවරුන් පරීක්‍ෂා කිරීමෙන් එම උද්ඝෝෂණය අසාර්ථක වීම හේතුකොට ගෙන සජබය සැලසුම් කළේ මෙවර විරෝධය ආණ්ඩුවේ කනෙන් රිංගා ගොස් සිදුකිරීමටය. ඒ අනුව ඉතා රහසිගත ලෙස පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට හෝ නොදැනෙන්නට මෙම කටයුතු සැලැසුම් කිරීමට සජබය පියවර ගෙන තිබිණ. සජබෙ සැලසුම වූයේ පාර්ලිමේන්තුව ඇතුළේ බෝඩ්, කටවුට් උස්සාගෙන ආණ්ඩුවත් පුදුම කරවන ආකාරයේ උද්ඝෝෂණයක් සැලසුම් කිරීමටය.
මරික්කාර් වැඩේ බාරගනී
ඒ අනුව පැවැති පළමු රැස්වීමේදීම පාර්ලිමේන්තුව ඇතුළට බෝඩ්, කටවුට් රැගෙන ඒමේ වගකීම බාර ගත්තේ සජබෙ මාධ්‍ය ප්‍රකාශක මරික්කාර්ය. ඒ අනුව සඳුදා දින පාර්ලිමේන්තුවට පැමිණි මරික්කාර් ඇතුළු කණ්ඩායම එදින බෝඩ් රැගෙන විත් අවශ්‍ය සටන් පාඨ ලිවීමට කටයුතු කළහ. සියල්ල සූදානම් කර අඟහරුවාදා දින සබාගැබේ උද්ඝෝෂණය සිදුකරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ඔව්හු කතිකා කර ගත්හ.
රැස්වීම සජිත්ගේ කාමරයට මාරුවෙයි
ඒ අනුව අඟහරුවාදා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වෙන ස්ථානය වෙනස් කර හදිසියේම එය සජිත්ගේ කාර්යාලය වෙත ගැනීමට පියවර ගැණින. වෙනදා මන්ත්‍රී කණ්ඩායම පැවැත්වූයේ පාර්ලිමේන්තු සභා ගැබට පහත මාලේය. නමුත් අඟහරුවාදා දින එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට නියමිතව තිබුණු බැවින් සජබ මන්ත්‍රිවරුන් සිතුවේ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට රැස්වීම සජිත්ගේ කාමරයේ පැවැත්වීමට සැලසුම් කර ඇතැයි කියාය. නමුත් රැස්වීම සජිත්ගේ කාමරයට ගෙන තිබුණේ රනිල් ගැන කතා කරන්නට නොව එදින සිදුකිරීමට සැලසුම් කර තිබූ උද්ඝෝෂණය ගැන කතා කරන්නටය. මන්ත්‍රිවරුන්ට සජිත් ඒ පිළිබඳ පළමුවරට දැනුම් දුන්නේද රැස්වීමට සහභාගි වීමෙන් අනතුරුවය. එතෙක් දෙතුන් දෙනෙකු හැරෙන්නට කිසිදු මන්ත්‍රිවරයකු ඒ පිළිබඳ හාන්කවිසියක් දැන සිටියේ නැත.
සභාව ඇතුළේ සභාවක්
කෙසේ වෙතත් මෙහිදී පිරිස සාකච්ඡා කළේ රනිල්ගේ දිවුරුම් දීමට කිසිදු අයුරකින් බාධාවක් නොවන පරිදි උද්ඝෝෂණය සිදුකිරීමටය. එමෙන්ම සියලුම මන්ත්‍රිවරුන් සභා ගැබ මැදට පැමිණ උද්ඝෝෂණය කරන අතරවාරයේ විකල්ප පාර්ලිමේන්තුවක් පැවැත්වීමටද සැලසුම් කෙරිණි. ඒ අනුව සාකච්ඡා කරගත් පරිදිම රනිල්ගේ දිවුරුම් දීම අවසන් වනවාත් සමගම ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන්ද පුදුමයට පත්කරමින් සජිත් ඇතුළු කණ්ඩායම විරෝධතා පුවරු ඔසවාගෙන සභාව මැදට පැමිණි ආකාරයක් දැකගත හැකි විය. මෙය කෙතරම් සූක්‍ෂ්මව හා රහසිගතව සිදුවූවාද කියනවා නම් මහින්ද පවා පුදුමයෙන් යුතුව සජබ මන්ත්‍රිවරුන් සභා ගැබට පැමිණ විරෝධය දක්වන ආකාරය දෙස බලා සිටිනු දැකගන්නට ලැබිණ.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුව පැවැත්වෙද්දී මෙම විරෝධතාවය කිසිදු ආකාරයකින් සජීවී විකාශයේ පෙන්වීමට කතානායකවරයා කටයුතු නොකරනු ඇති බව කල්තියාම සාකච්ඡා වී තිබූ හෙයින් පිරිස මනුෂට රාජාකාරියක් බාර දී තිබිණ. ඒ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හැකිතරම් මෙම උද්ඝෝෂණය සජීවීව විකාශය කිරීමය. මනුෂ ඒ රාජකාරිය තිතටම ඉටු කළ ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
ජෝන්ටත් රනිල් එපාවෙයි
මේ සියලු උද්ඝෝෂණ අතරවාරයේ රනිල්ගේ යළි පාර්ලිමේන්තු ආගමනය පසුපසද රසවත් තොරතුරු රැසක් තිබේ. ඉන් පළමු සිදුවීම වන්නේ රනිල් ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයා ලෙසට දිවුරුම් දීමට සූදානම් බවට තීන්දු වීමත් සමග එජාපය ඇතුළේ මතවූ අර්බුදයය. මේ අර්බුදයට මූලික වුණේ පක්‍ෂයේ සිටින ජ්‍යෙෂ්ඨතමයකු මෙන්ම රනිල්ගේ සමකාලීනයකු වූ ජෝන් අමරතුංග මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රබල විරෝධයක් මතු කිරීමත් සමගය. ජෝන් හිටියේ එජාප ජාතික ලැයිස්තුවේ පළමු ස්ථානයේය. එමෙන්ම ජාතික ලැයිස්තුවෙන් මුලින්ම පාර්ලිමේන්තුවට ගන්නා බවට රනිල් ජෝන්ට කල් තියා සහතිකයක්ද දී තිබිණ. සාමාන්‍යයෙන් මැතිවරණයෙන් පරාජයට පත්වූ අපේක්‍ෂකයන් පාර්ලිමේන්තු නොයවන සම්ප්‍රදායක් එජාපයේ පැවැතීම නිසා ජෝන්ද සිටියේ පාර්ලිමේන්තු යන්න දතකට මැදගෙනය. නමුත් ඒ අවස්ථාව මැතිවරණයෙන් පරාජයට පත්වූ රනිල්ට ලබා දීමට තීන්දු කිරීමත් සමග ජෝන්ද නිකම් සිටියේ නැත. මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙමින් රනිල්ව දැඩි ලෙස විවේචනය කිරීමට ජෝන් කටයුතු කළේය. රනිල් තමන්ට පොරොන්දුවක් ලබා දී තිබූ බවත්, මෙවැනි කටයුතු නිසා දේශපාලනය පිළිබඳ තමන් දැඩි කලකිරීමෙන් සිටින බවත්, සජිත්ගේ පිලෙන් ආරාධනාවක් ලැබුණහොත් සලකා බලන බවත් එහිදී ජෝන් කියා සිටියේය.
අනුරට පුටුවේ ප්‍රශ්නයක්
දෙවැනි සිදුවීම වූයේ රනිල් පාර්ලිමේන්තුවට එද්දී ලබා දෙන පුටුව සම්බන්ධයෙන් යම් කලබැගෑනියක් මතු වීමය. මුල සිටම පාර්ලිමේන්තුව එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයා වෙනුවෙන් වෙන් කර තිබූ ආසනය වූයේ විපක්‍ෂයේ ඉදිරි පෙළ අංක 16 දරණ ආසනයය. ඊට යාබද අසුන වෙන්ව තිබුණේ ජවිපෙ නායක අනුර කුමාරටය. මුලින් වෙනත් අයකු පාර්ලිමේන්තු එනු ඇති බව සිතා සිටියත් රනිල් එන බව වාර්තා වීමත් සමග ජවිපෙත්, අනුර කුමාරත් මුහුණ දුන්නේ මහත් අර්බුදයකටය. මන්ද යත් රනිල් හා අනුර අතර යහාපාලන ආණ්ඩු සමයේ සිටම ඉතා සමීප හිතවත්කමක් ඇති බවට වූ චෝදනාවක් සමාජයේ මුල්බැසගෙන තිබීම ඊට හේතුව විය. යහපාලන ආණ්ඩුවේ ආරම්භක සමයේ අනුර අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවලට පවා සහභගි වූ බවටද එකල විපක්‍ෂය චෝදනා කළේය. එමෙන්ම ජවිපෙ ජනාධිපතිවරණයේදී 3%ක ප්‍රතිශතයක් දක්වා පහළ වැටීමටත්, මහ මැතිවරණයේදී ආසන 3 දක්වා පහත වැටීමටත් මේ චෝදනාව දැඩිව බලපා තිබිණ.
මේ නිසාම පසුගිය සඳුදා පාර්ලිමේන්තුවේ පැවැති පක්‍ෂ නායක රැස්වීම අවසන් වීමෙන් පසුව මේ පිළිබඳ කිසියම් කතාබහක් ඇති විය. මනෝ ගනේෂන් මේ පිළිබඳව අනුරගෙන් විමසද්දී අනුර සිනාසී ගයන්ත දෙසට හැරී කියා සිටියේ ‘ඒකනෙ ගයන්ත… ඔන්න රනිල්ව නම් මගේ සීට් එක ළඟට දාන්න එපා…’ යැයි කියාය.
රනිල්ගෙන් පාර්ලිමේන්තුවට ලියුමක්: පුටුව අංක 13
ඒ අනුව රනිල් හා අනුර අතර මේ ආසනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූවාද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරක් නැතත් පසුගිය සතිය ආරම්භයේදී රනිල්ගේ පාර්ශ්වය විසින් පාර්ලිමේන්තු බලධාරීන්ට ලිපියක් යැවීමට කටයුතු කරනු ලැබ තිබිණ. එම ලිපිය මගින් ඉල්ලා තිබුණේ හිටපු අගමැතිවරයකු ලෙසත්, ප්‍රධාන පක්‍ෂයක නායකයකු ලෙසත්, පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රිවරයකු වීම නිසාත් රනිල්ට සුදුසු ඉහළම ඉදිරිපෙළ ආසනය ලබා දෙන ලෙසටය. ඒ අනුව වහාම එම ලිපියට ප්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු බලධාරීන් රනිල්ට ලබා දී තිබූ අනුරට යාබද ආසනය වෙනස් කොට දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතාට කලින් ඇති අසුන ලබා දීමට පියවර ගත්තේය. එම ආසනයේ අංකය 13 විය.
ඉන්පසු රනිල් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙද්දීද අපූරු සිදුවීමක් සිදුවිය. ඒ, රනිල් දිවුරද්දී ආණ්ඩුව පැත්තෙන් ‘ජයවේවා’ යනුවෙන් කියමින් රනිල්ට සුබ පැතීමය.
කිරිඇල්ලට කතා කර වෙලාව ඉල්ලයි
එම සිදුවීමෙන් පසු රනිල් කළ පළමු කතාව සම්බන්ධයෙන්ද රසවත් සිදුවීමක් තිබේ. රනිල් පාර්ලිමේන්තු පැමිණීමට පෙර දින, එනම් අඟහරුවාදා රනිල්ගෙන් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වූ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාට දුරකතන ඇමැතුමක් ලැබිණ. එහිදී රනිල් කිරිඇල්ලට කියා සිටියේ තමන් දිවුරුම් දීමෙන් පසු කතාවක් කිරීමට සූදානමින් සිටින බවත්, ඒ සඳහා වේලාව වෙන් කිරීමට කටයුතු කරන ලෙසත්ය. ඒ අනුව රනිල් දිවුරුම් දීමෙන් පසු ඔහු අසලට ගිය කිරිඇල්ල කතාව සිදුකරන්නේද යන්න විමසද්දී රනිල් ‘ඔව්‘ යැයි කියමින් ඊට ප්‍රතිචාර දැක්වූවේය. නමුත් කිරිඇල්ල කියා සිටියේ විපක්‍ෂය පැත්තෙන් කතා කිරීමට ලබා දිය හැක්කේ විනාඩි 4ක කාලයක් පමණක් බවත්, සජිත් සමග කතා කොට තවත් වේලාවක් ලබා දීමට කටයුතු කළ හැකි බවත්ය.
සජිත්ගෙන් රනිල්ට විනාඩි 10ක්
නමුත් ඒ අවස්ථාවේදී කිරිඇල්ලට සජිත්ව සම්බන්ධ කරගැනීමට අවස්ථාවක් නොලැබිණි. ඒ අනුව රනිල් නැවැතත් කිරිඇල්ලට කතා කොට තමන් කල් තියා පාර්ලිමේන්තුවෙන් පිටව යන බවත්, එම නිසා කතා කිරීමට වේලාව වෙන් කර දෙන ලෙසත් යළි මතක් කිරීමටත් පියවර ගත්තේය. පසුව වහාම කිරිඇල්ල සජිත් සම්බන්ධ කරගෙන මෙම තත්ත්වය දැනුම් දෙද්දී සජිත් කියා සිටියේ රනිල්ගේ කතාව සඳහා විනාඩි 10ක කාලයක් වෙන්කර දෙන ලෙසටය. මේ බව දැනුම් දීමත් සමග කිරිඇල්ලට ස්තුති කළ රනිල් තමන් නිතරම පාර්ලිමේන්තුවේ කතා නොකරන බවත්, ආර්ථිකය සම්බන්ධ කරුණු පිළිබඳ පමණක් අදහස් දැක්වීමට බලාපොරොත්තු වන බවත් කියා සිටියේය. එමෙන්ම තමන් නිතරම පාර්ලිමේන්තුවට නොඑන බවද රනිල් කිරිඇල්ලට කියා සිටියේය.
ෆොටෝ එක ගත්තේ ආණ්ඩුව පැත්තෙන්
කෙසේ වෙතත් රනිල්ගේ පාර්ලිමේන්තු පැමිණීම සමාජය ඇතුළේ ලොකු කතාබහකට ලක්වූ කරුණක් නොවුණත් රනිල්ගේ නැවැත පැමිණීම මහා විශාල ජයක් ලෙස පෙන්වීමට එජාපයට හිතැති සමාජ මාධ්‍ය ජාලාත්, රුවන් විජයවර්ධන මහතා හිමිකාරිත්වය දරන ලංකාදීප පුවත්පත් සමූහයත් විශාල වෙහෙසක් ගත්තේය. නමුත් බොහෝ දෙනාගේ අදහස වී තිබුණේ ජනතාව වෙනුවෙන් රනිල් පාර්ලිමේන්තු එනවාට වඩා රාජපක්‍ෂලා ශක්තිමත් කිරීම සඳහා රනිල් මෙසේ පාර්ලිමේන්තු එන බවකි. ඒ බව යම් තරමකින් තහවුරු කෙරෙන සිදුවීම් 2ක් රනිල් දිවුරුම් දීමෙන් පසු සිදුවිය. ඉන් පළමු වැන්න වූයේ රනිල් දිවුරුම් දීමෙන් පසු දිවා ආහාරය සඳහා පාර්ලිමේන්තුව කල්තැබූ විට හරීන්, හර්ෂ හා ගයන්ත රනිල් අසලට ගොස් ඔහුට සුබ පතමින් කතා කළ ඡායාරූපයක් මාධ්‍යවල පළවීමය. මෙම ඡායාරූපය ගෙන තිබුණේ ආණ්ඩුව පැත්තේ මන්ත්‍රිවරයකු විසිනි. එමෙන්ම ආණ්ඩුව පැත්තෙන් ඊට විශාල ප්‍රසිද්ධියක් ලබා දීමටද පියවර ගෙන තිබිණ.
මහින්දගේ පන්සලට රනිල් යයි
දෙවැනි සිදුවීම වූයේ රනිල් දිවුරුම් දීමෙන් පසුව ආශිර්වාද ලබා ගැනීම සඳහා නාරාහේන්පිට අභයාරාමයට පැමිණෙන බවට විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට කල්තියාම දැනුම් දී සිටීමය. අප දන්නා ඉතිහාසය තුළ අභයාරාමය හා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් යනු රාජක්‍ෂවරුන් නියෝජනය කරන, ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කරන පාර්ශ්වයක්ය. මේ නිසාම රාජපක්‍ෂවරුන් ඕනෑම සුබ කටයුත්තක් සඳහා පළමුව යන්නේ අභයාරාමයටය. ආශීර්වාද ලබා ගන්නේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන්ය.
රාජපක්ෂලාට හිතවත් වජිරත් එයි
මේ ආකාරයටම එජාපයට හිතවත් පන්සල් ලෙස පන්සල් දේශපාලනය තුළ මුල් බැසගෙන තිබුණේ කොළඹ ගංගාරාමයත්, කොල්ලුපිටියේ වාළුකාරාමයත්ය. පසුගිය වතාවන් කිහිපයකදීම රනිල් අගමැති ධුරයේ දිවුරුම් දීමෙන් පසුත්, සුබ කටයුතුවලදීත් ආශිර්වාද ලබා ගැනීම සඳහා මුලින්ම ගියේ එක්කෝ ගංගාරාමයටය, නැතහොත් වාළුකාරාමයටය.
නමුත් මෙවර රනිල්ට වැරැදුණාද, පැටලුණාද, එසේත් නැතිනම් වෙනත් දේශපාලන ගනුදෙනුවක් ක්‍රියාත්මක වූවාද කියන්න තොරතුරු නැතත් රනිල් දිවුරුම් දී සියල්ලන්ම පුදුමයට පත්කරමින් මුලින්ම ආශිර්වාද ලබා ගැනීමට ගියේ අභයාරාමයටය. ඒ රාජපක්‍ෂ පවුලත් සමග අතිශය සමීප සබඳකම් පවත්වන එජාප සභාපති වජිර අබේවර්ධන සමගනි.
ආනන්ද හිමිට රනිල්ගෙන් උපදෙසක්
මෙහිදී පසුගිය දිනෙක සිදුවූ තවත් සිදුවීමක්ද ‘රාජ්‍ය රහස්’ තීරය මෙවර හෙළි කිරීමට සූදානම්ය. ඒ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හා සජිත් සම්බන්ධ සිදුවීමකි. සජිත්ට සහ ජලනිට කොරෝනා සුව වීමෙන් පසු ගංගාරාමයේ ආශිර්වාද පූජාවක් සංවිධාන කොට තිබිණ. මේ සඳහා වැඩම කරන ලෙසට සජිත්ගේ පෞද්ගලික ලේකම්වරයා ප්‍රධාන පෙළේ ස්වාමීන් වහන්සේලා කිහිප නමකටම ආරාධනා කළ අතර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද ඒ අතර විය. කෙසේවෙතත් මේ බව මොහොතක් යෑමට මත්තෙන් රනිල්ටද ආරංචි විය. වහාම මුරුත්තෙට්ටුවේ හිමියන්ට කතා කළ රනිල් ඊට සහභාගි නොවන ලෙසට උන්වහන්සේට දැනුම් දී සිටියේය. අවශ්‍ය නම් සජිත්ට අභයාරාමයට පැමිණෙන ලෙසට දැනුම් දෙන ලෙසද රනිල් මුරුත්තෙට්ටුවේ හිමියන්ට කියා සිටියේය.
පසුව මුරුත්තෙට්ටුවේ හිමියන් කළේ මේ පිළිබඳව මහින්දටද දැනුම් දීමය. මහින්ද කියා සිටියේ රනිල් කී ආකාරයෙන්ම කටයුතු කරන ලෙසටය. පසුව රනිල් කී විදියටම මුරුත්තෙට්ටුවේ හිමියන් සජිත්ට ආසිරි පැතූ පිංකමට සහභාගි නොවීමට වගබලා ගත්තේය.
ආනන්ද හිමි රනිල්ව ආණ්ඩුවටම සෙට් කරයි
සාමාන්‍යයෙන් මුරුත්තෙට්ටුවේ හිමියන් යනු මහින්ද ශක්තිමත් කිරීමට අදහස් ප්‍රකාශ කරන නායක හිමිනමකි. පසුගිය දිනවල ආණ්ඩුව විවේචනය කරන අවස්ථාවලදීත් උන්වහන්සේ ගත් ස්ථාවරය වූයේ ගෝඨාභයගේ දුර්වලකම් නිවැරැදි කරගෙන මහින්දට බලය ලබා දී ආණ්ඩුව ඉදිරියට යා යුතු බවකි. රනිල්ට ආශිර්වාද සිදුකිරීමේ අනුශාසනාවේදීද උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියහ.
‘ඔබතුමා මේ වේලාවේ පාර්ලිමේන්තු ආපු එක හොඳයි. ඔබතුමාට ආර්ථිකය ගැන හොඳ මොළයක් තියෙනවා. දැන් තියෙන්නේ ඔබතුමාගේ මේ මොළයයි, මහින්දගේ ශරීරයයි එකතු කරන එකයි…’ යනුවෙන් උන්වහන්සේ එහිදී කියා සිටියහ.
කෙසේ වෙතත් මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ මේ කතාව මොහොතක් යෑමට මත්තෙන් සමාජ මාධ්‍ය ජාලාවල ලැව්ගින්නක් සේ පැතිර යන ආකාරයක් දැකගන්නට ලැබිණ. දේශපාලන ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙකුද වහාම මුරුත්තෙට්ටුවේ හිමියන්ට ඇමැතුම් ලබා දෙමින් එම ප්‍රකාශයේ ගැඹුර දන්නේද යනුවෙන් උන්වහන්සේගෙන් විමසීමට කටයුතු කර තිබිණ.
කරපු කතාවේ බරපතළකම
‘ඇයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ එහෙම කතාවක් කිව්වේ. ඒකෙ හැටියට මහින්ද කියන්නේ ඔළුවක් නැති කෙනෙක් විදිහටනෙ, ඔබ වහන්සේ අර්ථ දක්වලා තියෙන්නේ…’ යනුවෙන් ඒ කතා කළ පිරිස් කියද්දී තවත් කොළඹ ප්‍රධාන ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේට කතා කොට විමසා තිබුණේ ‘ඔබවහන්සේ මෙච්චර කල් උපදෙස් දුන්නේ ඔළුවක් නැති කෙනෙකුටද’ කියාය.
නමුත් ඒ සියල්ලන්ටම පිළිතුරු දුන් මුරුත්තෙට්ටුවේ හිමියන් කියා සිටියේ තමන් වහන්සේ එවැන්නක් අදහස් නොකළ බවත්, මහින්ද – රනිල් එකතු කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේ කතා කළ බවත්ය.










