ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් අද (27) දිනයේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවසේ පැවැති රැස්වීමේදී බැසිල් රාජපක්ෂ මහතා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට පිවිසිය යුතු බවට ඒකමතික තීන්දුවක් ගෙන ඇත.
පැය එකහමාරක කාලයක් පුරා පැවැති මෙම රැස්වීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 36 දෙනකු සහභාගී වී තිබේ.
පසුපෙළ මන්ත්‍රීවරුන් 7 දෙනකු ඊට සහභාගී වී නැති නමුත් එම හත්දෙනාද දුරකතනයෙන් සම්බන්ධ වී මෙම තීන්දුවට සිය එකගතාව ලබා දී ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී සිය නිවෙසට පැමිණි මන්ත්‍රීවරුන් පිළිගනිමින් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පළමුව බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.
අනතුරුව අදහස් පළ කොට ඇති සංජීව එදිරිමාන්න මහතා මේ මොහොතේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම පක්ෂයේ පමණක් නොව රටේම බලාපොරොත්තුව වී ඇති බව පෙන්වා දී ඇත.
ඊට අමතරව තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම අදහස් පළ කොට ඇති බව දැනගන්නට තිබේ.










