ජුනි 07 දක්වා පමණක් මීට පෙර සංචරණ සීමා
පැනවීමට තීන්දු කර තිබුණද ගෙවුණු දින කිහිපය
පුරා කොවිඩ් රෝගීන් දෛනිකව 3,000 ඉක්මවා
වාර්තා වීම හේතුකොට ගෙන ජුනි 14 දක්වා සංචරණ
සීමා දීර්ඝ කිරීමට ආණ්ඩුව පසුගිය සතියේදී තීන්දු
කළේය. මේ අයුරින් රට ඇතුළේ සංචරණ සීමා
පනවා තිබියදීත් රෝගීන් විශාල ලෙස වාර්තා වීම
බරපතළ තත්ත්වයක් බවට සෞඛ්‍ය අංශ විසින් දිගින්
දිගටම කරුණු පැහැදිලි කර දී තිබීම මෙම තීන්දුව
ගැනීමට බලපා තිබිණ. ඒ අනුව ආණ්ඩුව සැලසුම්
කර ඇත්තේ ඉදිරි දින කිහිපය ඇතුළත හැකි තරම්
ජනතාව නිවෙස්වල රඳවා මතුව ඇති තත්ත්වය
පාලනය කරගැනීමටය.
සංචරණ සීමා අස්සේ ෂැංග්‍රිලා පාටිය!
එහෙත් මේ දැඩි සංචරණ සීමා පැනවීම් මධ්‍යයේ
වුවද පසුගිය සතියේ සුවිශේෂී ඒකරාශී වීම් දෙකක්
සිදුවූ ආකාරයක් දැකගන්නට තිබිණ. ඉන් පළමුවැන්න
වූයේ දේශපාලනඥයන් සහ ප්‍රභූ පුද්ගලයන් රැසක්
සහභාගි කර ගනිමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ
සංවිධානය කර තිබූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල්
ජයසිංහගේ උපන් දින සාදයය. දැනට වාර්තා වන
ආකාරයට එම උත්සවයට උදෑසන සිට කණ්ඩායම්
වශයෙන් 200කට ආසන්න පිරිසක් සහභාගි වී ඇති
බවත්, ඇතැම් දේශපාලඥයන් ෂැංග්‍රිලා හෝටලයේ
කාමර පවා වෙන්කරගෙන ඊට සම්බන්ධ වී ඇති බවත්
දැනගන්නට ඇත. එහිදී මතුවන බරපතළම ගැටලුව
වන්නේ රටම ආවරණය වන පරිදි සංචරණ සීමා
පනවා තිබියදී සහ උත්සව පැවැත්වීම තහනම් කොට
තිබියදී ෂැංග්‍රිලා හෝටලය මෙවැන්නක් සඳහා ඉඩකඩ
ලබා දීමය. (මේ සම්බන්ධයෙන් අතිවිශේෂ තොරතුරු
රැගත් ලිපියක් වෙනත් පිටුවක පළවේ.) අනෙක් අතට
ප්‍රභූ පුද්ගලයන් ඇතුළු 200ක පමණ කණ්ඩායමක්
විවිධ පළාත්වලින් වරින් වර මෙම සාදයට සම්බන්ධ
වී තිබීමද ගැටලු සහගතය. කෙසේ වෙතත් දැන්
සාදය සංවිධානය කළ බව කියන පියුමි හංසමාලි
ඇතුළු 20ක පමණ කණ්ඩායමක් නිරෝධායනය
සඳහා බණ්ඩාරවෙල පිහිටි මධ්‍යස්ථානයකට යැවීමට
බලධාරීන් කටයුතු කොට ඇත. එසේ කළේද සමාජ
මාධ්‍ය ඇතුළු ජනතාවගෙන් එල්ල වුණු දැඩි බලපෑම්
හමුවේ වීම විශේෂ සිදුවීමකි.
රනිල්ටත් ආණ්ඩුවෙන් විශේෂ සැලකිල්ලක්…
දෙවැනි සිදුවීම සිදුවූයේ වෙන කොහේවත් නොව
එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය වූ සිරිකොතේදීය.
රට පුරාම සංචරණ සීමා පනවා තිබියදී වුවද පක්‍ෂ
නායක රනිල් වික්‍රමසිංහ මහතා හදිසි කෘත්‍යාධිකාරී
මණ්ඩල රැස්වීමක් සංවිධාන කළේ පසුගිය මහ
මැතිවරණයෙන් එජාපයට හිමිවූ එකම ජාතික ලැයිස්තු
මන්ත්‍රි ධුරය සඳහා සිය නම යෝජනා කර ගැනීම
සඳහාය. ඒ සඳහා ආණ්ඩුවේ සහාය ලබා ගැනීමටද
රනිල් කටයුතු කළේය. මන්ද යත් කිසිවෙකුටත් රැ
ස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර නොමැති
පසුබිමක් යටතේ රනිල් ඒ සඳහා සිය පිරිස කැඳවා
ගැනීමට විශේෂ අවසර බලපත්‍රයක් ලබා ගැනීමට
පියවර ගෙන තිබිණ. විශේෂයෙන් ඈත පළාත්
නියෝජනය කරන සිය හිතවතුන් වූ කුරුණෑගල
අකිල විරාජ් කාරියවසම් සහ හම්බන්තොට ආනන්ද
කුලරත්න වැනි කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්
පමණක් ඊට සහභාගි කරවා ගැනීමට රනිල් මෙම
විශේෂ අවසරය යටතේ කටයුතු කොට තිබිණ. ඊට
අමතරව මෙම විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැ
ස්වීමට සහභාගීව සිටියේ කොළඹ නියෝජනය කරන
කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් පමණක් වීමද
විශේෂ සිදුවීමකි.
ආපු ඔක්කොටම රනිල්ගෙන් බුරියානි
ඒ අනුව රනිල් මෙම රැස්වීම කැඳවා තිබුණේ
අඟහරුවාදා දහවල් 1ටය. හරියටම දහවල් 1 වන
විට සියලු දෙනාම පාහේ සිරිකොතට රැස්ව සිටියත්
සිය හිතවතුන් කිහිප දෙනෙකු සමග පැවැති
සාකච්ඡාවකින් අනතුරුව රැස්වීම පස්වරු 4 දක්වා
කල් තැබීමට රනිල් පියවර ගත්තේය. ඒ අනුව පැමිණ
සිටි සියලු දෙනාටම දහවල් ආහාරය ලෙස ‘බුරියානි’
සංග්‍රහයක් කිරීමටද රනිල් කටයුතු කළේය. රැස්වීම
4 දක්වා කල් තැබුණු හෙයින් කෘත්‍යාධිකාරී මණ්ඩල
සාමාජිකයන් රනිල්ගේ බුරියානි සංග්‍රහය බුක්ති විඳ
සවස් වන තෙක්ම අල්ලාප සල්ලාපයේ යෙදෙමින්
ගතකරනු දැකගත හැකි විය.
එජාපයේ රාජපක්ෂ හිතවතුන් වැඩ පටන් ගනී
පසුව සවස 4 වන විට රනිල් කෘත්‍යාධිකාරී
මණ්ඩල රැස්වීමට පැමිණ අසුන් ගත්තේ සිය හිතවතුන්
කිහිප දෙනෙකු හටම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී
කළ යුතු වැඩ රාජකාරි කිහිපයක් පවරාය. ඉන් එක්
අයකු වූයේ එජාප සභාපති ලෙස කටයුතු කරන
වජිර අබේවර්ධනය. වජිර සාමාන්‍යයෙන් ප්‍රචලිතව
සිටින්නේ එජපායටත් වඩා රාජපක්‍ෂලා සමග
ගනුදෙනු කරන අයකු ලෙසටය. අනෙක් කෙනා
වූයේ හම්බන්තොට ආනන්ද කුලරත්නය. ආනන්ද ද
හම්බන්තොට දේශපාලනය කිරීම හේතු කොට ගෙන
රාජපක්‍ෂවරුන් සමග සමීප සබඳකම් පවත්වන්නෙක්
ලෙස ප්‍රකටය. ඒ අනුව රැස්වීමට පෙර වජිර හා
ආනන්ද සමග කතා කළ රනිල් ඔවුන්ට එදින රැස්වීමේ
සැලසුම කල්තියාම දැනුම් දීමට පියවර ගත්තේය.
සජිත්ගෙ මූණ දෙක වෙයි නේද?
ඒ අනුව රැස්වීම ආරම්භ වී සුළු මොහොතකින්
පසු රනිල්ගේ සැලසුම ක්‍රියාත්මක වූයේ වජිර නැඟිට
කළ යෝජනාවත් සමගිනි. වජිර කියා සිටියේ ‘එක්සත්
ජාතික පක්‍ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය
සඳහා පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම
යෝජනා කරනවා’ යැයි කියාය.
වජිර එසේ කියා වාඩිවෙනවාත් සමගම නැඟී සිටි
ආනන්ද කුලරත්න වජිරගේ යෝජනාව ස්ථිර කිරීමට
පියවර ගත්තේය. ඒ සමගම රැස්ව සිටි සුළු පිරිස
අත්පොළොසන් දුන් අතර කිසිවෙකුත් ඊට එරෙහිව
වචනයක් හෝ කියන්නට ඉදිරිපත් වූයේ නැත. පෙළක්
අය රනිල් සතුටු කරන්නට රනිල් පාර්ලිමේන්තු
ගිය විට මතු විය හැකි වාතාවරණය පිළිබඳව පවා
උජාරුවෙන් යුතුව සඳහන් කරනු දැකගත හැකි විය.
‘දැන් සර් පාර්ලිමේන්තු ගියාම සමගි ජනබලවේග
යේ අය ඔබතුමා එක්ක කතා කරන කොට,
පාර්ලිමේන්තුව ඇතුළේ එහෙ, මෙහෙ යන කොට,
මීටින් තියන කොට සජිත්ගෙ මූණ දෙක වෙයි
නේද…’ යනුවෙන් ඔවුන් හිනාවෙමින් කියද්දී රනිල්ද
ඒවා සිනාසෙමින් අසා සිටිනු දැකගත හැකි විය.
ආණ්ඩුව ඇතුළෙත් රනිල් ගැන විශේෂ සාකච්ජාවක්
මෙසේ රනිල්ගේ නම එජාප ජාතික ලයිස්තු ධූරයට
යෝජනා වෙද්දී රනිල් පාර්ලිමේන්තු පැමිණීම හරහා
ආණ්ඩුව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්
සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක්ද පසුගිය සතියේ ආණ්ඩුව ඇතුළේ පැවැත්විණි. මෙම රැ
ස්වීම පැවැති ස්ථානය සහ ඊට සහභාගි වූ පුද්ගලයන්
කවුරුන්ද යන්න සම්බන්ධයෙන් සියලු තොරතුරු
‘රාජ්‍ය රහස්’ තීරය සතුව ඇතත් මේ මොහොතේ
අප එය හෙළිකරන්නට හදිසි වන්නේ නැත. මේ
මොහොතේ අප හෙළි කරන්නේ එම සාකච්ඡාවේදී
ගත් තීන්දු, තීරණ පිළිබඳ පමණි.
රනිල්ගේ ප්‍රතිරූපය ඉහළ නංවන්න ආණ්ඩුවේ පසුපෙළෙන් මෙහෙයුමක්
ඒ අනුව මෙම රැස්වීමේදී ගත් පළමු තීන්දුව වූයේ
සමගි ජනබලවේගයේ ඇතුළේ ප්‍රශ්න නිර්මාණය
කිරීමට නම් රනිල්ගේ වැටී ඇති ප්‍රතිරූපය ඉහළ
නැංවීමට කටයුතු කළ යුතු බවකි. එහිදී එක් මන්ත්‍රිවරයකු
යෝජනා කර සිටියේ සමගි ජනබලවේගය ඇතුළේ
ප්‍රශ්න ඇති කිරීමට නම් රනිල්ගේ ප්‍රතිරූපය ඉහළට
ඔසවා තැබිය යුතු බවත්, ඒ සඳහා සැලසුමක් සකස්
කළ යුතු බවත්ය. ඒ අනුව තීන්දු වූයේ පළමු වටයේදී
රනිල්ට පාර්ලිමේන්තුවේදී වාචිකව හොඳ හැටි ප්‍රහාර
එල්ල කිරීමටය. පසුපෙළ මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු
ලවා එය සිදුකිරීමටද සැලසුම් කෙරිණි.
සජබය කඩන්න රනිල්ව යොදා ගන්න හැටි
ඉන් අනතුරුව යෝජනා වූයේ පළමු දින කිහිපය
ඇතුළත පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව දැඩිව
විවේචනය කරන ලෙසට රනිල්ට දැනුම් දීමටය. ඒ
හරහා රනිල් පාර්ලිමේන්තුවට පැමිණියේ ආණ්ඩුවේ
වුවමනාව මත නොව ආණ්ඩුව පෙරළා දැමීමට බව
රටට පෙන්විය හැකි බව එහිදී ප්‍රකාශ විය. එම
යෝජනාව රනිල්ට දැනුම් දීම එක්තරා ඇමැතිවරයකුට
බාර දීමට පිරිස කටයුතු කළහ.
මේ හරහා තවත් අරමුණක් ඉටුකර ගත හැකි
බව එහි සිටි තවත් මන්ත්‍රිවරයෙක් පිරිසට පෙන්වා
දුන්නේය. ඒ, රනිල් ආණ්ඩුව දැඩිව විවේචනය කරද්දී
ආණ්ඩුවේ පසුපෙළ රනිල්ට පහර දෙන විට සමගි
ජනබලවේගයේ මන්ත්‍රිවරු කිහිප දෙනෙකු නිසැක
වශයෙන්ම රනිල්ව බේරා ගැනීමට රනිල් වෙනුවෙන්
කතා කරනු ඇති බවත්, ඒ හරහා සමගි ජනබලවේගය
දෙකඩ වී ඇති බවට රටට පෙන්වා දිය හැකි වනු
ඇති බවත්ය.
හිටපු ඇමැති කෙනෙක් බාරගත්ත වැඩේ
කෙසේ වෙතත් මේ ආකාරයට රනිල්
පාර්ලිමේන්තුවට පැමිණීමට කෘත්‍යාධිකාරී
මණ්ඩලයේදී යෝජනා සම්මත කිරීමත් සමග තිරය
පිටුපස තවත් දේශපාලන පෙරළි ගණනාවක්ම සිදුවූ
ආකාරයක් දැකගත හැකි විය. ඉන් එක් සිදුවීමක් වූයේ
යහපාලන ආණ්ඩු සමයේ ප්‍රබල කැබිනට් අමාත්‍ය
ධුරයක් දරා මේ වන විට මන්ත්‍රිකමක්වත් නොමැතිව
එළියේ සිටින පුද්ගලයකු, රනිල් පාර්ලිමේන්තුවට
පිවිසීමෙන් පසු සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන්
කඩා රනිල්ට පක්‍ෂ මන්ත්‍රි කණ්ඩායමක් පාර්ලිමේන්තුව
ඇතුළේ නිර්මාණය කර දීම බාර ගැනීමය.
දැනටමත් එක්කෙනෙක් ග්‍රීන්පාත්හිදී හමුවෙලා
මීට
අමතරව සමගි ජනබලවේගය ඇතුළේ සිටින එක් එක්
මන්ත්‍රිවරුන් රනිල් හා මුණගැස්වීමද මේ වන විට
තිරය පිටුපස සිදුවෙමින් තිබේ. එහි එක් හමුවීමක්
පසුගිය සතියේ කොළඹ ග්‍රීන්පාත්හි පිහිටි රනිල්ගේ
සමීපතමයකුගේ නිවෙසේ පැවැත්විණි. ඒ සඳහා
සහභාගි වී සිටියේ මෑතකදී සුළු පක්‍ෂයකින් ඉවත් වූ
කණ්ඩායමක ප්‍රධානියෙකි.
මේ සියලු හමුවීම්වල තොරතුරු හා ඊට සහභාගි
වූ සියලු පුද්ගලයන්ගේ නම්, ගම් සියල්ල ‘රාජ්‍ය රහස්’
තීරයට දැනගන්නට ඇති නමුත් මේ අවස්ථාවේදී හෙළි
නොකොට සුදුසු අවස්ථාවකදී හෙළි කිරීමට ‘රාජ්‍ය
රහස්’ තීරය සූදානම්ය.
විමල් – කබ්රාල් රුසියාවේ
පසුගිය සතියේ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන්
දෙදෙනෙක්ම රුසියාව බලා පිටත්ව ගියහ. එසේ
පළමුවෙන්ම පිටත්ව ගිය අමාත්‍යවරයා වන්නේ
රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ය. අජිත් පසුග
ිය ඉරිදා (10දා) දිනයේ රුසියාව බලා පිටත්ව ගියේ
ස්පුට්නික් එන්නත ලංකාවට ලබා ගැනීමේ හැකියාව
සොයා බැලීම සඳහාය. මන්ද යත් මේ වන විට
ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ජනතාවට ලබා දී
ඇති නමුත් දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා අවශ්‍ය
එන්නත් ප්‍රමාණය සෞඛ්‍ය බලධාරීන් සතුව නොමැති
බව දැනගන්නට ඇත. ඒ අනුව රුසියානු බලධාරීන්
සමග සාකච්ජා කොට අදාළ එන්නත් ප්‍රමාණය ලබා
ගත හැකිද යන්න සොයා බැලීම කබ්රාල්ගේ රුසියා
ගමනේ අරමුණය.
ඊළඟට රුසියාව බලා පිටත්ව ගිය අමාත්‍යවරයා
වූයේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාය.
ඉකුත් බදාදා (2දා) දින සිට සෙනසුරාදා (5දා) දින
දක්වා පැවැත්වුණු 24 වැනි ශාන්ත පීටර්ස්බර්ග්
අන්තර්ජාතික ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා
මෙසේ විමල් රුසියාව බලා පිටත්ව ගොස් තිබිණ. එම
සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඇතුළු
ලොව පුරා රටවල් 120ක ඉහළ පෙළේ නිලධාරීන්
සහභාගි වීමට නියමිතය. මුලින් ස්පුට්නික් එන්නත
ලංකාවට ලබා ගැනීම පිළිබඳව සාකච්ජා කළ කබ්රාල්
පසුව විමල් සමග මෙම සමුලුවටද සහභාගී වීසට
පියවර ගත්තේය.
උඳුගොඩගේ කොළඹ රැස්වීම!
රාජ්‍ය අමාත්‍ය කබ්රාල් රුසියාව බලා පිටත්ව
ගිය දිනම කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැ
ස්වීම පැවැත්වුණේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි
මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙනි. ඊට
කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩුවේ
මැති, ඇමැතිවරුන් පමණක් නොව විපක්‍ෂය
නියෝජනය කරන චම්පික රණවක, මරික්කාර් ඇතුළු
කණ්ඩායමක්ද එක්ව සිටියහ.
මරික්කාර් ස්පුට්නික් ප්‍රශ්නය අදී
එහිදී මරික්කාර් මේ රුසියානු ස්පුට්නික් එන්නත්
හිඟකම පිළිබඳව ප්‍රශ්න කර සිටියේය. එහිදී ඊට
පිළිතුරු දුන් ආණ්ඩුවේ මන්ත්‍රී මධුර විතානගේ
කියා සිටියේ ස්පුට්නික් එන්නත සම්බන්ධයෙන්
යම් ගැටලුවක් පැන නැඟී ඇති බවත්, එදින සවස
පැවැත්වීමට නියමිතව ඇති ඉහළ පෙළේ රැස්වීමකදී
ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවත්ය.
සමන්ලාල්ට දැඩි විවේචනයක්
ඉන් අනතුරුව සාකච්ඡා වූයේ කොළඹ ජනතාවට
එන්නත් ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳවය. එහිදී
මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා
සිය නම සහ පොහොට්ටුවේ සලකුණ සහිත ටෝකන්
එකක් ජනතාවට ලබා දී ඊට අනුව එන්නත් කරන
ලෙසට කළ බලපෑම විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි
විවේචනයට ලක්විය.
ඊට පිළිතුරු දුන් මේජර් උඳුගොඩ කියා සිටියේ
ටෝකන් හෝ වෙන නමක් හෝ යොදා ජනතාව
එන්නත් කළ යුතු බවත්, එම ක්‍රමවේදය සාර්ථක
බවත්ය. නමුත් ඊට විපක්‍ෂ මන්ත්‍රිවරුන්ගේ විරෝධය
එල්ල වීමත් සමග දෙපැත්තටම වාද විවාද සිදුවන
ආකාරයක් දැකගත හැකි විය.
කොළඹ රෝගීන් 50% පන්නයි!
එහිදී ජවිපෙ වෙනුවෙන් ඊට සහභාගි වූ හිටපු
පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්‍ෂ්මන් නිපුණආරච්චි කියා
සිටියේ එන්නත්කරණයට පෙර නිසි අයුරින් පී.සී.ආර්.
කොට ආසාදිතයන් හඳුනා ගැනීමට වැඩපිළිවෙළක්
සකස් කරන ලෙසටය. එහිදී ඉකුත් කාලසීමාවේ
කොළඹ පී.සී.ආර්. කළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව විමසා
සිටියදී රැස්වීමට සහභාගි වී සිටි සෞඛ්‍ය බලධාරීන්
කියා සිටියේ ඉකුත් දින 15 ඇතුළත කොළඹ 11,000කට
පී.සී.ආර්. කළ බවත්, ඉන් 6,000ක් රෝගීන් ලෙස
හඳුනාගෙන ඇති බවත්ය.
එම පිළිතුරත් සමග විපක්‍ෂ මන්ත්‍රිවරුන් පෙන්වා
දුන්නේ එසේ නම් පරීක්‍ෂා කරන ලද සංඛ්‍යාවෙන්
50%කටම වඩා ආසාදිතයන් ලෙස හඳුනාගෙන
ඇති බැවින් තත්ත්වය ඉතා භයානක යැයි කියාය.
ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගන්නා ආකාරය සහ
සමාජයේ සිටින ආසාදිතයන් හඳුනාගන්නා ආකාරය
පිළිබඳව මෙහිදී දිගින් දිගටම විපක්‍ෂය ප්‍රශ්න කරද්දී
පැමිණ සිටි සෞඛ්‍ය බලධාරීන්ටත්, ආණ්ඩුවටත් ඒ
සම්බන්ධයෙන් දිය හැකි නිශ්චිත පිළිතුරක් තිබුණේ
නැත. ඒ අනුව සාකච්ඡාව අවසන් වූයේ අවසන්
විසඳුමකින් තොරවය.
නාමල්ට ජනපතිගේ සැලකිල්ල වැඩිවෙයි
පසුගිය සතියේ ජනාධිපතිවරයා විසින් නාමල් හට තවත් අලුත් අමාත්‍ය ධුරයක් ලබාදීමට පියවර
ගත්තේය. ඒ, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන
රාජ්‍ය අමාත්‍ය ධුරයයි. ජනාධිපතිවරයා බලයට පත්වී
වසර 2කට ආසන්න කාලයක් මේ වන විට ගතවී
ඇතත් ඒ කාලය පුරාම මෙම අමාත්‍ය ධුරය පැවැතියේ
ජනාධිපතිවරයා යටතේය. එය කිසිවකුටත් ලබාදීමට
ජනාධිපතිවරයා මෙම කාලය තුළ කටයුතු කර තිබුණේ
නැත.
මාස 2ක් සාකච්ජා
කෙසේවෙතත් ඉකුත් බදාදා දිනයේදී ජනාධිපතිවරයා නාමල්ට මෙම අමාත්‍ය ධූරය ලබා දුන්නේ ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා ඇතුලු
රාජපක්ෂවරුන් සමග විශේෂ සාකච්ඡා කිහිපයකටම
එක්වීමෙන් අනතුරුවය. ඒ අනුව පසුගිය මාස දෙක පුරා රාජපක්ෂ පවුලේ සියලු සාමාජිකයන් අතර
මේ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් මතුව තිබිණි.
ඊට වරින් වර රාජපක්ෂ පවුලේ සියලු සාමාජිකයන්
එක්වී සිටින ආකාරයක් දැකගත හැකි විය. මෙම
සාකච්ඡාවලදී බැසිල් මෙන්ම ජනාධිපතිවරයාත් දැඩිව
අවධාරණය කොට තිබුණේ ඉදිරියේදී රට වේගයෙන්
ඩිජිටල්කරණය කරා ඇදී යන බවත්, එහිදී ඊට අනුගතව
ප්‍රචාරක මෙහෙයුම්, රාජ්‍ය ව්‍යාපෘති දියත් කළ හැකි, ඒ
පිළිබඳ දැනුම් තේරුම් ඇති පුද්ගලයකුට මෙම අමාත්‍ය
ධුරය භාර දිය යුතු බවත්ය.
හොඳම ටීම් එක් ඉන්නෙ නාමල්ට…
එහිදී කියැවුණු කරුණක් වූයේ දැනට සිටින හොඳම
ඩිජිටල් ප්‍රචාරක බළකාය නාමල් සතුව පවතිනවා යැයි
කියාය. පසුගිය කාලයේදී ඔස්ට්‍රේලියාවේ ජීවත් වූ ලාංකික තරුණයකුද මෙම බළකායට එක්ව ඇති බවත්,
හෙතෙම ඩිජිටල් ප්‍රචාරක ක්ෂේත්‍රයේ දැවැන්තයකු බවත් එහිදී වැඩිදුරටත් කියැවී තිබිණි. ඒ අනුව එම
අමාත්‍ය ධුරයට හොඳම සුදුස්සා නාමල් බව තීරණය
කළ රාජපක්ෂවරුන් එම අමාත්‍ය ධුරය ඔහුට ලබාදීමට
පියවර ගත්තේය.
නාමල්ගේ ලොකු ඉලක්කය
ඒ අනුව දැනටමත් නාමල් මෙම අමාත්‍යාංශය හරහා
සිදුකිරීමට බලාපොරොත්තු වන විශාල ඉලක්කයන් පිළිබද ජනාධිපතිවරයා දැනුවත් කිරීමටද පියවර
ගෙන ඇත. ඒ, මුළු ලංකාවම ආවරණය වන පරිදි අතිදැවැන්ත දත්ත ජාලයක් පළමු වතාවට නිර්මාණය කිරීම හරහාය. ඒ සඳහා අවශ්‍ය පදනම නාමල් විසින්
දැනටමත් දමා අවසන්ය.
ඩී.එස්. ඉඩමේ කාර් පාක් ප්‍රශ්නය!
පසුගිය සතියේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් පැනනැඟුණු අතර එම විදුහලේ භූමියෙන් කොටසක් රැගෙන රථ
ගාලක් ඉදිකිරීමට සූදානම් වන බවට මාධ්‍ය වාර්තා කොට තිබීම ඊට හේතු විය. ඒ අනුව මුලින්ම සමාජ මාධ්‍ය ජාලාවල විරෝධය පළ වූයේ ඩී.එස්. විදුහලේ ආදි සිසුන් ලෙස ආණ්ඩුව ඇතුළේ සිටින ඇමැති උදය ගම්මන්පිල, රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ සහ මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්තටත්ය. ඒ අනුව ඩී.එස්. ආදි
ශිෂ්‍ය සංගමයත් මේ සටනට එක්ව සිටියේ විදුහලේ
ඉඩම බේරාගැනීම අරමුණු කරගෙනය.
ජනපතිට ඔළුවට ආවේ ගෙදර සිට කාර්යාලයට යද්දී
කෙසේ වෙතත් පසුගිය සතියේ අදාළ ඉඩම පිළිබඳ
ප්‍රශ්නය කරළියට ආවත් ඒ පිළිබඳ මුලින්ම සාකච්ඡා වී
තිබුණේ මීට වසරකට පමණ ඉහතදී සිටය. ඒ, දිනක්
ජනාධිපතිවරයා මිරිහානේ සිය නිවෙසේ සිට ජනාධිපති
ලේකම් කාර්යාලය දක්වා ගමන් කරන අතරවාරයේදී
දුටු දර්ශනයක් හේතුකොටගෙනය. එහිදී ඩී.එස්. එක
අසලින් ගමන් කරමින් සිටියදී ජනාධිපතිවරයා දැක
තිබුණේ පාසලටත්, ඊට යාබදවත් පවතින පන්සලටත් අයත් බිම් කොටසක අවලස්ස ආකාරයෙන්අ වෙළෙදසැල් කිහිපයක් ඉදි කර ඇති ආකාරයකි. ඒ
අනුව සිය රථයේ සිටම ආණ්ඩුව නියෝජනය කරන
ඩී.එස්. විදුහලට සම්බන්ධ මන්ත්‍රීවරයකුට කතා කළ
ජනාධිපතිවරයා, විදුහල අසල මෙම කඩ පේළිය
පාරට අවලස්සනට පෙනෙන බවත්, ඒවා ඉවත් කොට
පාසලේ විදුහල්පතිවරයා සමග සාකච්ඡා කර එම
ස්ථානයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට
පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නේය.
හදන්න කිව්වේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්
ඒ අනුව මෙම මන්ත්‍රීවරයාද ඩී.එස්. විදුහල්පතිවරයා
හා පන්සලේ නායක හිමිවරුන් සමග සාකච්ඡා කොට
ඉඩම් කොටසක් ලබාගෙන එහි වෘත්තීයපුහුණු
මධ්‍යස්ථානයක් ඉදිකිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව
නීතිපති දෙපාර්තමේන්තුව වෙත යැවීමට පියවර ගෙන
තිබිණි. ඒ, ඉකුත් 2020 වසරේ මැයි මාසයේදීය. නමුත්
කොතැනක හෝ සිදුවූ වැරදීමකින් මෙම පත්‍රිකාව
එළියට පැමිණෙන විට එහි සඳහන්ව තිබුණේ වෘත්තීය
පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකරනවා වෙනුවට රථ ගාලක්
ඉදිකරනවා යැයි කියාය.
කාර් පාක් එකක් ආවේ කොහොමද?
මේ තත්ත්වය වාර්තා වීමත් සමග ජනාධිපතිවරයාද
මහත් කලබලයට පත්විය. ජනාධිපතිවරයා වඩාත් කෝපයට පත්වූයේ තමන් නොකී කරුණක් එම
වාර්තාවට ඇතුළත් වී තිබීම පිළිබදවය. ඒ අනුව
වහාම අදාළ පාර්ශ්වයන්ට කතා කළ ජනාධිපතිවරයා,
ඒ පිළිබද සොයා බලන ලෙසට උපදෙස් දුන්නේය.
එමෙන්ම ඩී.එස්. ආදි ශිෂ්‍ය සංගමයත් මේ පිළිබඳ වහාම
සොයාබැලීමට පියවර ගත්තේ ඉහළින් ලැබුණු මෙම
තොරතුරත් සමගය.
ඒ අනුව පසුව ඩී.එස්. ආදි ශිෂ්‍ය සංගමය හා විදුහල්පතිවරයා අතර විශේෂ සාකච්ජාවක් පසුගිය
සතියේ පැවැත්විණි. එහිදී අදාළ තැන්වල නිලධාරීන්
කැඳවා සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදි කිසියම්
තැනකින් මෙම වෙනස සිදුකර ඇති බව ඔවුන්ට දැනගැනීමට ලැබිණි. ඒ අනුව සියලු කරුණු ජනාධිපතිවරයා
වෙත වාර්තා කිරීමත් සමග කෝපයට පත්ව සිටි
ජනාධිපතිවරයා වහාම එම ව්‍යාපෘතිය නවත්වන
ලෙසට උපදෙස් ලබාදීමට පියවර ගත්තේය.
රමේෂ් පොහොර තහනමට එරෙහි වෙයි
ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ විශාලතම
කාර්යසාධක බළකාය වූ දේශගුණික විපර්යාසයන්ට
තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට
ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා වූ කාර්ය සාධක බළකායේ
විශේෂ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්
ඉකුත් බදාදා (02) දින පැවැත්විණි. ජනාධිපති ලේකම්
කාර්යාලයේ පැවැති මෙම රැස්වීමේදී වැඩිපුරම
සාකච්ඡාවට ලක්වූයේ මේ වන විට රට ඇතුළේ මතුව
ඇති පොහොර ප්‍රශ්නය පිළිබඳවය. විශේෂයෙන් වැවිලි
කර්මාන්ත අමාත්‍යවරයා ලෙස රමේෂ් පතිරණ මෙහිදී
දැඩිව අදහස්ප්‍රකාශ කළ අතර හෙතෙම පෙන්වා දුන්නේ රසායනික පොහොර ගෙන්වීම අත්හිටුවීම
හේතුවෙන් ගාලු දිස්ත්‍රික්කයේ තේ වතු හිමිකරුවන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවයි.
පාදෙණිය රමේෂ්ට විරුද්ධ වෙයි
නමුත් රමේෂ්ගේ කතාවට ප්‍රතිවිරුද්ධ අදහස් දැක්වීම ආරම්භ කළේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ
පාදෙණියය. පාදෙණිය පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා
රසායනික පොහොර තහනම් කිරීමට ගත් ක්‍රියාමාර්ගය
අගය කළ යුතු බවත්, ගොවි ජනතාව ක්‍රමක්‍රමයෙන්
කාබනික පොහොර භාවිතයට හුරු කළ යුතු බවත්ය. එය සිදුකළ හැකි එකක් බවද පාදෙණිය
ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය.
ජනපති ලාච්චුවෙන් ගත් ලියුම
පාදෙණිය මෙසේ කියනවාත් සමගම ඊට හොඳින්
සවන්දී සිටි ජනාධිපතිවරයා සිය මේසයේ ලාච්චුව
හැර විශේෂ ලියුමක් එළියට ගැනීමට කටයුතු කළේය.
එම ලියුමේ සඳහන්ව තිබුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගත් ආයතනයක් මගින් සංවිධාන
කරනු ලබන විශේෂ රැස්වීමක මුඛ්‍ය දේශනය පැවැත්වීම
සඳහා ජනාධිපතිවරයාට කර තිබූ අරාධනාවකි. එය
සියල්ලන්ටම පෙන්වූ ජනාධිපතිවරයා, “පේනවා නේද…
මේ රසායනික පොහොර තහනම් කරලා කාබනික
පොහොරවලට යන්න අපි තීන්දු කළාට පස්සේ යූ.එන්.
එකෙන් මට ලියුමක් එවලා තියෙනවා ඒක අගය කරලා.
ඒ වගේම ඒ අය තියන සමුළුවක ප්‍රධාන දේශනය
කරන්න එන්න කියලා. ඒකෙන්ම පේනවා මේ තීන්දුව
ජාත්‍යන්තරයත් අගය කරලා කියන එක. ඒ නිසා අපි
ඒ තීන්දුව අමාරු වුණත් ආපස්සට හරවන්නේ නැතිව
ඉස්සරහටම යන්න ඕනේ…” යනුවෙන් කියා සිටියේය.
රමේෂ්ගේ යෝජනාව කුණුකූඩෙට
බොහෝ දෙනකු ජනාධිපතිවරයාට එවැනි
ආරාධනාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලැබී
ඇති බවක් දැනගත්තේ ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයත් සමගය. ඒ අනුව සාකච්ඡාව අවසන් වූයේ
රමේෂ් පතිරණ, රසායනික පොහොර තහනම් කිරීමට
එරෙහිව පළ කළ අදහස් කණු කූඩයට තල්ලු කරමිනි.
සජිත් ගෙදරයයි
කොරෝනා ආසාදිතව සිටි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනි ප්‍රේමදාස මහත්මිය
පසුගිය සති දෙක පුරාම රෝහල්ගතව ප්‍රතිකාර ලැබ
මේ සති අන්තයේ නිවෙස බලා යෑමට නියමිතය. ඉකුත්
සතියේ ප්‍රේමදාස යුවළ නිවෙස් බලා යෑමට නියමිතව
තිබුණත් වෛද්‍ය උපදේශය වී තිබුණේ විවේකීව තව දින කිහිපයක් රෝහලේ ගත කරන ලෙසය. සියලු
දුරකතන විසන්ධි කරන ලෙසද වෛද්‍ය උපදෙස් ලැබී තිබිණ. ඒ අනුව සජිත් පසුගිය සතියම ගත කළේ විවේකී සුවයෙන් යුතුව දුරකතනය පවා භාවිතයෙන්
තොරවය.
සජිත්ගේ මව කලබල වෙලා
මෙහිදී සජිත් කිසිසේත්ම නොසිතූ දෙයක්ද සිදුවිය.
ඒ, සජිත්ගේ මව වූ හේමා ප්‍රේමදාස මැතිනිය මහත්
කලබලයට පත්ව තිබීමය. මන්ද යත් සෑම දිනෙකම
උදේ සවස කිහිප වතාවක් සජිත් පසුගිය දින කිහිපය
පුරාම සිය මවට කතා කොට තමන්ගේත්, බිරියගේත්
සුවදුක් පැවසීමට පියවර ගෙන තිබිණි. නමුත් වෛද්‍ය
උපදෙස් මත දුරකතන භාවිතය අත්හිටුවීමට සිදුවීමත්
සමග සිය මවට එම පණිවුඩය දීමට සජිත්ව නොහැකි
විය. ඒ අනුව මහත් කලබලයට පත් හේමා මැතිනිය දිනක් පුරාම
හතර වටේටම කතා කරමින් සජිත් පිළිබද තොරතුරක් දැනගැනීමට මහත් වෙහෙසක්
ගත් ආකාරයක් දැකගන්නට ලැබිණි.
නමුත් දිනකට
පසු සජිත් සිය මවට කෙටි පණිවුඩයක් තබමින් මතුව
ඇති තත්ත්වය පැහැදිලි කිරීමට කටයුතු කර තිබිණි.
එමෙන්ම සජිත් සිය ජංගම දුරකතනයට කතා කොට
තිබූ බොහෝ දෙනකුට කෙටි පණිවුඩ තබමින් සජිත්
කියා සිටියේ වෛද්‍ය උපදෙස් මත තමන් දුරකතනයට
පිළිතුරු නොදෙන බවත්, ඒ පිළිබඳ වරදවා තේරුම්
නොගන්නා ලෙසත්ය. නමුත් සුවවී පැමිණීමෙන් පසු
සියල්ලන්ටම ඇමතුම් ලබාදෙන බව දැනුම් දීමටද සජිත්
එහිදී පියවර ගෙන තිබිණ.










