ගෝඨාභය ආරක්ෂක ලේකම් වෙන්න කලින් එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව තිබුණේ ගොඩබිම් හමුදාවක් සහ මුහුදුකොටි බළකාය විතරය. ඒ අංශ දෙකෙන්ම මරාගෙන මැරෙන කළු කොටි හමුදාවක්ද ප්‍රභාකරන් ඒ වන විට නිර්මාණය කරගෙන තිබිණ. 2002 රනිල්ගේ ආණ්ඩු කාලයේ රනිල් යුද්ධය නවත්තල එල්.ටී.ටී.ඊ. එකත් එක්ක සටන් විරාමයක් ගසා සාම සාකච්ඡා ආරම්භ කිරීමට පියවර ගත්තේය. සාම සාකච්ඡා වට කිහිපයක් තායිලන්තයේ පැවැත්විණ. හැමෝම හිතාගෙන හිටියේ ප්‍රභාකරන් අවංකවම මේ සාකච්ඡා පටන් අරන් දේශපාලන විසඳුමකින් මේ ප්‍රශ්නය ඉවර කරගනී කියලාය.
හැබැයි බාලසිංහම්ලා, කරුණා අම්මාන්ලා තායිලන්තයේ ලෝකෙට පේන්න සාම සාකච්ඡා කරද්දී ප්‍රභාකරන් ලෝකෙම ඇස්වලට වැලි ගහල, උතුරට හොර රහසේම යුද උපකරණ පිටරටවලින් අරගෙන ඒමට කටයුතු කළේය. ඒ අරන් ආවේ වෙන මොනවත් නොව එතෙක් ප්‍රභාකරන්ට නොතිබුණු අහසේ බලය අල්ලා ගැනීමට අවශ්‍ය ගුවන් හමුදා බළකායක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය උපකරණය. එහෙම ගෙනාපු උපකරණවලින් ප්‍රභාකරන් සැහැල්ලු ගුවන් යානයක් හැදුවේය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ උතුරේ පැවැත්වූ මහවිරු උත්සවයකදී පළමු වතාවට ප්‍රභාකරන් වන්නි කැලේ මේ හොරෙන් හදපු සැහැල්ලු ගුවන් යානය කාටත් පේන්න කිළිනොච්චියෙන් අහසට නැග්ගුවේය. අහසට නග්ගවා උත්සව පැවැත්වූ මහවිරු සොහොන්වලට ගුවනින් මල් ඉස්සේය. ප්‍රභාකරන් පළමු වතාවට කොටි ගුවන් හමුදාව අත්හදා බැලුවේ එහෙමය. හැබැයි එහෙම වුණා කියා කවුරුවත් ප්‍රභාකරන්ට ගුවන් හමුදා බළකායක් තිබුණ බවක් දැනගෙන හිටියේ නැත.
ප්‍රභාකරන්ගේ මේ ගුවන් හමුදා බළකාය එළියට ආවේ ගෝඨාභය ආරක්ෂක ලේකම් වූවාට පසුවය. ඒකත් ගෝඨාභය ප්‍රභාකරන්ට එරෙහිව යුද්ධය ආරම්භ කළාට පසුවය. එසේ යුද්ධය අවසන් කොට ටික කාලයක් යද්දී ප්‍රභාකරන් කිලිනොච්චියෙන් ගුවන් ගත කළ මේ සැහැල්ලු යානා යොදාගෙන කොළඹ විශාල විනාශයක් කළේය. එක යානයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලේ හප්පා දැමුවේය.
“කොටින්ට ගුවන් හමුදාවකුත් තියෙනවා. කොළඹ කරපු මේ විනාසෙත් එක්ක ෂුවර් එකටම යුද්ධය නවත්තාවි. ආයෙත් ප්‍රභාකරන් එක්ක සාම සාකච්ඡා පටන් ගනීවි. මෙහෙම හයියක් තියෙන කොටිත් එක්ක කොහොමද යුද්ධ කරන්නෙ.”
මේ එදා කොළඹ හිටපු මිනිස්සු විතරක් නොව රටේම හිටපු මිනිස්සු හිතපු හැටිය.
හැබැයි කොටි ගුවන් හමුදාව කොළඹ විනාශ කළා කියා ගෝඨාභය යුද්ධය නැවැත්තුවේ නැත. පටන් ගත්ත සැලැසුමට අනුව යුද්ධය දිගටම කරගෙන ගියේය.
“ගෝඨාභයට පිස්සු. මේ යුද්ධය පරදින්නයි යන්නෙ. එල්.ටී.ටී.ඊ.ය දැන් හුඟක් ශක්තිමත් වෙලා. යුද්ධ කළා කියල එල්.ටී.ටී.ඊ.ය දුර්වල වෙලා නෑ. කලින් ප්‍රභාකරන්ට ගුවන් හමුදාවක් තිබ්බෙත් නෑ. දැන් ඒකත් තියෙනවා.”
යුද්දෙ දිගටම කරන් යන්න අණ දුන්න ගෝඨාභය දැකල සමහරු එහෙමත් කීහ.
ඒ එක්කම කොටි මරාගෙන මැරෙන හමුදාව කොළඹ යුද හමුදා මූලස්ථානයට ඇතුළට ඇවිත් හමුදාපති ෆොන්සේකාට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළේය. ඒ ප්‍රහාරයෙන් ෆොන්සේකා ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් දින ගණනාවක් දැඩිසත්කාර ඒකකයේ පසුවිය.
“කොටි ආමි හෙඞ්ක්වාටස් එක ඇතුළට ඇවිල්ල හමුදාපතිටත් ගැහුව. දැන්වත් යුද්දෙ නවත්තල සාකච්ඡා පටන් ගන්න.”
ප්‍රහාරයෙන් පසු විපක්ෂයෙන් මෙන්ම ආණ්ඩුව ඇතුළෙන්ද ආ බලපෑම් එන්න එන්න වැඩි විය. හැබැයි ගෝඨා යුද්ධය නැවැත්තුවේ නැත.
ඊළඟට පිත්තල හන්දියේදී ගෝඨාභයගේ වාහනයටම කොටි මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළේය. ගෝඨා ඒකෙන් බේරුනේ අනූනවයෙන්ය. හැබැයි තමන්ට ගැහුවා කියාවත් ගෝඨා යුද්ධය නැවැත්තුවේ නැත.
මීට අමතරව පාරමී කුලතුංග වැනි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මහා පාර මැද මරා දැමීමට කොටි පියවර ගත්තේය. කොළඹ තැනින් තැන බෝබ්බ පිපුරුවේය. රට වටේම බස් බෝම්බ පිපුරුවේය. කෝච්චිවල බෝම්බ තිබ්බේය. අනුරාධපුර කෑම්ප් එකට ගැහුවේය.
මේ මොනව වුණත් ගෝඨාභය ඉලක්කයක් ඇතිව යුද්ධය දිගටම කරගෙන ගියේය. ඇත්තම කියනවා නම් 2009 මුල් කාලය වෙනකම්ම ගෝඨාභයට යුද්ධයෙන් මෙතරම් ලොකු ජයග්‍රහණයක් රටට පෙන්වන්න බැරි විය. මේ නිසා හැමෝම හිතුවේ ගෝඨා කරන වැඩෙන් ඔක්කොම ඉවර යැයි කියාය.
“ගෝඨාභය යුද්ධය අනාගන්නවා. මේ වැඩෙන් රට විතරක් නෙමෙයි ආණ්ඩුවත් විනාශ වෙනවා.”
ආණ්ඩුවේම ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පවා විටින් විට ජනාධිපති මහින්ද ළඟට ගොස් එහෙම කීහ. මහින්දත් ඒ වෙද්දි හිටියේ සිද්ධවෙන දේවල් දිහා වික්ෂිප්තව බලාගෙනය.
මේ සියලු කයි කතන්දර මැද ගෝඨා යුද්ධය පටන් අරන් අවුරුදු තුනකට පසු නැඟෙනහිර අල්ලා පෙන්නුවේය. ඊට පස්සෙ උතුරේ සියලුම කොටි මර්මස්ථාන අල්ලගෙන අන්තිමට ගෝඨා ප්‍රභාකරන්ගෙ හදවත වූ කිළිනොච්චියද අල්ලා ගන්නට සැලැසුම් හැදුවේය.
“කිළිනොච්චියට නම් ගහන්න යන්න එපා. ගියොත් කොටි ආපහු හැරිල ගහල මහ විනාශයක් කරන්න පුළුවන්.”
විපක්ෂයේ සමහරු ඒ කාලේ ප්‍රවෘත්ති සාකච්ඡා තියා එහෙමත් කීහ.
හැබැයි ගෝඨා යුද්ධය නැවැත්තුවේ නැත. හමුදාව කිළිනොච්චියට මෙහෙයවා ප්‍රභාකරන්ගේ හදවත වූ කිළිනොච්චිය අල්ලා ගත්තේය.
“කිළිනොච්චිය ඇල්ලුවට ප්‍රභාකරන්ව අල්ලගන්න හම්බුණේ නැහැනෙ. ප්‍රභාකරන්ව අල්ලන්න ගියොත් දෙකක් නෑ ආයෙ හැරිල ගහනවා”
අන්තිම මොහොතේ සමහරු සමච්චලයට වගේ එහෙමත් කීහ.
ගෝඨාභය එතැනින් නැවතුණේත් නැත. ගෝඨාභය යුද්ධය නැවැත්තුවේ ප්‍රභාකරන් මරාදමා ප්‍රභාකරන්ගේ ගෝලබාලයිනුත් මරා සිංහ කොඩිය නන්දිකඩාල් කලපුවේ හිටෙව්වායින් අනතුරුවය.
ගෝඨා මේ යුද්ධ සෙල්ලම කළේ අවුරුද්දකින් නොවේ. ඒ යුද්ධ සෙල්ලම ජයගන්න ගෝඨාට අවුරුදු තුනක් ගියේය. විපක්ෂයේ මඩ කෑවේය. ආණ්ඩුවෙන්ම ආ චෝදනාවලට මුහුණ දුන්නේය. මරාගෙන මැරෙන බෝම්බ කෑවේය. කකුල් මාට්ටු වැටුණේය. ජාත්‍යන්තර ප්‍රජාව විශාල බලපෑම් එල්ල කළේය. මේ සියලු බාධක මැද ගෝඨාභය යුද්ධය දින්නේ මහා මෙහෙයුමක් සිදුකරලාය.
අද රටේ ජනාධිපති පුටුවේ වාඩිවෙලා ඉන්නේ එදා ආරක්ෂක ලේකම් පුටුවේ වාඩිවී යුද්ධය ජයග්‍රහණය කරා ගෙනගිය එහෙව් ගෝඨාභයය. ජනාධිපති වෙලත් තාම ගෙවී ගිහින් තියෙන්නේ අවුරුද්දක් විතරය. එදා යුද්ධයේ පළමු අවුරුද්ද වගේම ගෝඨාභයගේ ජනාධිපති වී ගෙවෙන පළමු අවුරුද්දේත් එදා වගේම ගෝඨාභයට හතර වටෙන්ම ගල්, මුල් එල්ලවෙමින් තිබේ.
“ගෝඨා ෆේල්”
විපක්ෂය අද කියන්නේ එහෙමය.
ගෝඨා ජනාධිපති වී අවුරුද්දකින් ෆේල් නම් එදා ගෝඨා ආරක්ෂක ලේකම් වී යුද්ධය පටන් ගෙන අවුරුද්දක් යද්දීත් හිටියේ විපක්ෂය කියන විදිහටම ෆේල් වෙලාය. හැබැයි ඒ ඇතුළේ තිබුණු ජයග්‍රහණය එදා කාටවත් පෙනුණේ නැත. හැමෝම ඒ ජයග්‍රහණය දුටුවේ අවුරුදු තුනකට පසු 2009 ජනවාරි මාසයේදීය.
අදත් ගෝඨාභය ඉන්නේ එදා යුද්ධය කරද්දී හිටපු පළමු අවුරුද්දේ වගේමය. ජයග්‍රාහී කිසිවක් පේන්න නැත්තේ මුළු ලෝකයම වෙලාගෙන තියෙන කොරෝනා හින්දාය. ඒ නිසා බඩු මිල වේගයෙන් ඉහළ ගිහින්ය. මිනිසුන්ගේ ව්‍යාපාර බින්දුවටම වැටී තිබේ. විශාල පිරිසකට රැකියා අහිමිව ගොස් ඇත. රැකියා කරන අයගේත් පඩි කපා තිබේ. මහින්ද එදා වගේම කිසිත් නොකියා අද ගෝඨා කරන දේ දිහා බලාගෙන සිටී.
“ඒ කියන්නෙ විපක්ෂය කියන විදහටම පළමු අවුරුද්දෙ ගෝඨා ෆේල්ද”
විපක්ෂය මෙහෙම කිව්වත් ගෝඨා ගැන දන්න අය නම් කියන්නේ යුද්දෙ කළා වගේම ගෝඨා අවුරුදු තුනක් යන්න කලින් මේ රට ගොඩදානවා යැයි කියාය. එතකන් ඉවසන්න යැයි කියාය. මොකද සැනසීම ලැබෙන්නේ ඉවසීමෙන් නිසාය.
විමලසිරි ජයලත්










