එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරග වැදීම සඳහා යෙදූ සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් මෙවර මැතිවරණයේදී වෙනම තරග වැදීම සඳහා නාම යෝජනා භාර දීමට සමඟි ජන බලවේගය පසුගිය 19 වැනිදා කටයුතු කළේය. ඒ අනුව ඉදිරි මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ පාර්ශ්වය තරග වදින්නේ දුරකතනය ලකුණ යටතේය. එලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ තරග වැදීමට නාම යෝජනා ලබා දුන් මන්ත්‍රීවරුන් අතර පසුගිය පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ බොහෝ දෙනකු ඇත. ඒ අතරින් බහුතරය තරුණ නවක මන්ත්‍රීවරුය.
කෙසේ නමුත් එක්ව තරග වැදීම සඳහා සිදු කළ සාකච්ඡා දිනෙන් දින අසාර්ථක වෙද්දී එක්සත් ජාතික පක්ෂය පාර්ශ්වයෙන් ජාතික සමඟි ජන බලවේගය පිළිබඳ විවිධාකාරයේ කතාබහ ඇසෙන්නට විය. ඒ අතර බහුල වූයේ සමඟි ජන බලවේගයේ නීතිමය තත්ත්වයන් පිළිබඳව වූ මතයන්ය. ජාතික සමඟි ජන බලවේගය නිර්මාණය වූයේ ආචාර්ය සේනක සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු වූ අපේ ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව වෙනස් කිරීම හරහාය.
අලුතෙන් බිහිවූ සමඟි ජන බලවේගයේ නීතිමය තත්ත්වය පිළිබඳ මතවාද ඇතිවී ඇත්තේද අපේ ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව මුල් කර ගෙනය. මෙම කතාබහ වඩාත් වැඩි වූයේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවූ සමඟි ජන බලවේගයේ නීත්‍යානුකූල බව සම්බන්ධයෙන් අදහස් විමසමින් ඕෂල හේරත් මහතා මැතිවරණ කොමිසමෙන් විමසා සිටීමත් සමඟය. ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා ඕෂල හේරත් මහතා විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කර තිබුණු අතර ඔහු විසින් දෙවරක් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී සභාපතිවරයා හමුවී පෞද්ගලිකවම කරුණු විමසා ඇති බවද පසුව අනාවරණය විය.
සමඟි ජන බලවේගයේ නීතිමය තත්ත්වය පිළිබඳව ඕෂල හේරත් මහතා විමසූ කරුණුවලට අදාළව ලිපියක් මඟින් පිළිතුරු සැපයීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කටයුතු කළේ ඉන් දින දෙකකට පසුවය. එම ලිපියේ අඩංගු වූ පිළිතුරු මෙසේය.
- අපේ ජාතික පෙරමුණ නමින් පැවැති දේශපාලන පක්ෂයේ නම “සමඟි ජන බලවේගය” ලෙස වෙනස් කර ඇති අතර එය පිළිගත් දේශපාලන පක්ෂයකි.
- එයට වෙනත් දේශපාලන පක්ෂ එක්වී පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකෙන සන්ධානයක් බවට පරිවර්තනය වී නැත. එමෙන්ම එය හා සන්ධානගතව ක්‍රියා කරන දේශපාලන පක්ෂ පිළිබඳවද දන්වා නැත.
- “සමඟි ජන බලවේගය” සඳහා නව ව්‍යවස්ථාවක් සම්මත කර ඇති අතර එය 2020 මාර්තු 13 වැනි දින මැතිවරණ මහලේකම් කාර්යාලයට ලබා දී තිබේ. නිලධාරි මණ්ඩලය පත් කිරීම පිළිබඳ වාර්තාද ලැබී තිබේ.
- පුවත්පත් දැන්වීම් පළකිරීම පිළිබඳව නොදනී.
- 2020-03-02/03 දින පැවැත්වූ රැස්වීම්වලදී පත්කර ගන්නා ලද නව නිලධාරීන් වෙනත් පක්ෂයක සාමාජිකයන්ව සිටීම නොසලකා හැර ක්‍රියා කිරීමේ තීන්දුවක් ගෙන ඇති අතර එය නව ව්‍යවස්ථා සංශෝධනයක් හරහා අනුමත කර ඇති බව දන්වා තිබේ.
- පිළිගත් දේශපාලන පක්ෂයකට, පිළිගත් දේශපාලන පක්ෂයක් වූ සන්ධානයක් බවට පරිවර්තනය විය හැක්කේ පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමෙනි.
- අපේ ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව ඔබ ලබා ගෙන ඇති බැවින් සමඟි ජන බලවේගයේ ව්‍යවස්ථාවේ පිටපතක් සතියේ දිනක පැමිණ ලබා ගත හැකි බවද කාරුණිකව දන්වමි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් යොමු කළ ලිපියේ අඩංගු වූ කරුණු එසේය.
එහෙත් එතැනින් පසුවද මේ සංවාදයට නිමාවක් නොලැබුණු අතර සමඟි ජන බලවේගයේ නීත්‍යානුකූල බව පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් විවිධාකාරයේ අදහස් මතු වන්නට විය. එබැවින් එක්සත් ජාතික පක්ෂයේ නීති උපදේශක නිශ්සංක නානායක්කාර මහතා ඇමතීමට අප අදහස් කළේ ඒ පිළිබඳව එම පාර්ශ්වයේ මතය දැන ගැනීම සඳහාය. එහිදී ඒ මහතා සඳහන් කළේ අපේ ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව අනුව සමඟි ජන බලවේගය පිහිටුවූ ආකාරය සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවය.
“අපේ ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව අනුව එම පක්ෂයේ ඕනෑම ආකාරයක ව්‍යවස්ථාමය වෙනසක් කරන්න නම් පක්ෂයේ සමස්ත ලංකා සම්මේලනයක් කැඳවන්න ඕනෑ. ඒ බව ලිඛිතව ඒ අයට දන්වන්න ඕනෑ. ඒ වගේම මධ්‍යම කාරක සභාව කැඳවලා ඒ තීරණය සම්මත කරන්න ඕනෑ. නමුත් මෙතැනදී එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. අපේ ජාතික පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් 74ක් ඉන්නවා. නමුත් ඒ සමහර අය මේ සිද්ධ වුණු දේ ගැන දන්නෙවත් නැහැ. ඒ හින්දා එම පක්ෂයේ නම සහ නිලධාරීන් මාරු කිරීම නීත්‍යානුකූල නැහැ.”

එමෙන්ම සමඟි ජන බලවේගයේ මහලේකම්වරයා ලෙස රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පත්වීමද නීත්‍යානුකූලව සිදු වී නැති බව නානායක්කාර මහතාගේ අදහසය.
“අපේ ජාතික පෙරමුණේ ව්‍යවස්ථාවේ 22 වැනි වගන්තිය අනුව වෙන පක්ෂයක සාමාජිකත්වය දරන කෙනකුට ඒ පක්ෂයේ සාමාජිකයෙක් වෙන්න බැහැ. ඒ වගේම ඒ පක්ෂයේ සාමාජිකත්වය ගන්න නම් කලින් පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් වෙලා මාස 3ක් ඉන්නත් ඕනෑ. ඒත් රන්ජිත් මද්දුම බණ්ඩාර මහත්මයා තාමත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක්. ඉතින් එහෙම තත්ත්වයකදී කොහොමද එතුමා සමඟි ජන බලවේගයේ මහලේකම් විදියට කටයුතු කරන්නේ. මෙතැන ලොකු නීතිමය ගැටලුවක් තියෙනවා කියලා අපි කියන්නේ ඒකයි. මේ සම්බන්ධයෙන් කවුරුහරි විරෝධතාවක් ඉදිරිපත් කළොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.” නිශ්සංක නානායක්කාර මහතා අප සමඟ අදහස් දැක්වූයේ එසේය.
මෙවැනි ආකාරයේ නීතිමය ගැටලුවක් ඇති වන බවට මත පළවුණද, සමඟි ජන බලවේගය හා සම්බන්ධ වූ කිසිවකු ඒ පිළිබඳ උනන්දුවක් දැක්වූ ආකාරයක් දක්නට නොලැබිණි. එබැවින් එක්සත් ජාතික පක්ෂය පාර්ශ්වයෙන් මතු කෙරෙන මෙම නීතිමය බාධාවන් සමඟි ජන බලවේගයේ අදහස දැන ගැනීම සඳහා අප ඇමතුවේ කොළඹ දිස්ත්‍රික් හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතාටය. අප කළ විමසීමට පිළිතුරු දුන් සේනසිංහ මහතා ප්‍රකාශ කළේ නිශ්සංක නානායක්කාර මහතාගේ ප්‍රකාශ කිසිම පදනමක් නැති ඒවා බවය.

“නිශ්සංක නානායක්කාර මහත්තයා කියන්නේ මේ ට්‍රැෆික් නඩු කතා කරන නීතිඥයෙක් කියලා මම කලිනුත් කියලා තියෙනවනේ. ඒ හින්දා ඒ ගොල්ලෝ කියන ඒවා ඒ තරම් ගණන් ගන්න ඕනෑ නැහැ. සමඟි ජන බලවේගය පිහිටුවූ ආකාරයේවත් එහි ව්‍යවස්ථාවෙවත් කිසිම නීතිමය ගැටලුවක් නැහැ. අපේ පක්ෂය නීත්‍යානුකූල බව මැතිවරණ කොමිෂන් සභාව විසිනුත් පිළිගෙන තියෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනෑ කෙනකුට පුළුවන් නාම යෝජනා භාර දීමෙන් පස්සේ ඒවට විරෝධතා ඉදිරිපත් කරන්න. එහෙම නැතුව බොරුවට තැන් තැන්වල කතා කෙරුවට වැඩක් වෙන්නේ නැහැ. දැන් අපි නාමයෝජනා භාර දීලා අවසන්. විරෝධතා ඉදිරිපත් කරනවා නම් ඒ සඳහා වෙන් කළ වෙලාව තුළ විරෝධතා භාර දෙන්න පුළුවන්. හැබැයි එහෙම කරන්නේ නැතුව පස්සේ මේ ගැන කතා කරලා වැඩක් නැහැ.” සේනසිංහ මහතා අදහස් දැක්වූයේ එසේය.
මේ සියලු මතවාද මධ්‍යයේ ඉදිරි මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක 22ක් වෙනුවෙන් සමඟි ජන බලවේගය නාමයෝජනා භාර දුන් අතර නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට ලබා දුන් කාල සීමාව අතරතුර ඊට එරෙහිව කිසිදු විරෝධතාවක් ඉදිරිපත් වූ බවක් වාර්තා වූයේද නැත. කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ මෙම මතවාද පිළිබඳ අදහස් දැක්වූ බොහෝ දෙනකු පැවසුවේ, එම නීතිමය කාරණා හුදෙක් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බිය ගැන්වීම සඳහා නිර්මාණය කළ ඒවා පමණක් වන බවය. එම අදහස සත්‍ය බව තහවුරු වන්නේ නාම යෝජනා භාර දීමෙන් පසු සමඟි ජන බලවේගයේ නාම යෝජනාවන්ට එරෙහිව එකදු විරෝධතාවක් හෝ ඉදිරිපත් නොවීම හරහාය.
චන්දන පොන්නම්පෙරුම











