ආණ්ඩුවේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පසුගිය අඟහරුවාදා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණ. ඒ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ එක් කොටසක් නිකුත් කර තිබූ බැවින් මන්ත්‍රිවරුන් අගමැතිවරයාගෙන් විමසා සිටින්නට වූයේ මේ සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ මතය කුමක්දැයි කියාය. ඒ සඳහා මූලිකත්වය ගත්තේ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්තය. සුසිල් අගමැතිවරයාගෙන් මේ ගැන විමසා සිටිද්දී අගමැතිවරයා වෙනුවෙන් පිළිතුරු දීමට ඉදිරිපත් වූයේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය. එහිදී ජී.එල්. කියා සිටියේ අදාළ වාර්තාව පිළිගැනීමට ආණ්ඩුව බැඳී නැති බවය. එහි සඳහන්ව ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම ආණ්ඩුවේ කටයුත්තක් බවත්, ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කළ හැකි වුවද යම් යම් නිර්දේශයන් ක්‍රියාත්මක කළ නොහැකි බවද ජී.එල්. එහිදී පිරිසට කියා සිටියේය.
සබ්‍රි තියරියෙන් දෙයි
ජී.එල්.ගේ අදහස් දැක්වීමෙන් පසු මහාචාර්ය චරිත හේරත්ද ඒ සම්බන්ධයෙන් අදහස් දක්වනු දැකගත හැකි විය. අවසානයේදී වාර්තාව පිළිබඳව ඉදිරියට කළ යුතු දෑ සම්බන්ධයෙන් මන්ත්‍රිවරුන්ට පැහැදිලි කිරීමක් කළේ අධිකරණ අමාත්‍ය අලි සබි්‍රය. සබි්‍ර කියා සිටියේ ආණ්ඩුවට මින් ඉදිරියට මේ සම්බන්ධයෙන් ඇත්තේ අඩු වගකීමක් බවත්, වැඩි වගකීමක් පැවරී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට බවත්ය.
“දැන් මේ වාර්තාව තියෙන්නෙ නීතිපති දෙපාර්තමේන්තුව යටතේ. නඩු දාන එක හරි නඩු නොදාන එක හරි, ඉදිරි පරීක්ෂණ ගැන හරි තීන්දු තීරණ ගන්න ඕනෙ නීතිපති දෙපාර්තමේන්තුව. මම අහගෙන විපක්ෂ නායකතුමා කියනව පාස්කු ප්‍රහාරයේ වැරැදිකරුවන්ට මරණ දඬුවම දෙන්න ඕනෙ කියල. ඒක අපිට තීන්දු කරන්න බෑ. ඒක තීන්දු කරන්න ඕනෙ උසාවිය. දැන් ඒ වැඩේ තියෙන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවයි, අධිකරණයයි අතේ. නීතිපති දෙපාර්තමේන්තුව මේ වාර්තාව අධ්‍යයනය කරල තවත් සාක්ෂි හොයන්න අවශ්‍ය නම් රහස් පොලිසියට ඒවයෙ පරීක්ෂණ භාරදෙයි. ඊට පස්සෙ නඩු පවරන්න කටයුතු කරයි. ආණ්ඩුවක් විදිහට අපිට තියෙන්නෙ මේ කටයුතු නිවැරැදි ආකාරයෙන් කරන්න කියල උපදෙස් දෙන එක විතරයි.” යනුවෙන් එහිදී සබි්‍ර මන්ත්‍රිවරුන් දැන්වත් කරමින් කියා සිටියේය.
රතන හිමිට යකා නගී
ඉන් අනතුරුව අදහස් දැක්වීම ආරම්භ කළේ අතුරුලියේ රතන හිමියන්ය. රතන හිමි කළ කතාව මෙහිදී දැඩි ආවේගශීලී එකක් වූ අතර, වක්‍රව එය අලි සබි්‍ර ඉලක්ක කර එල්ල කළ එකක් බව බොහෝ දෙනාට හැඟී ගියේය.
“තියරිවලින් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. මිනිස්සු බලන් ඉන්නෙ පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනකම්. මොකද අපි බලයට එද්දි පැහැදිලිවම කිව්ව පාස්කු ප්‍රහාරයේ වැරැදිකරුවන් හොයල ඒ අයට දඬුවම් දෙනව කියල. ඒ හින්ද දැන් අපිට තියරි ගැන කතා කර කර ඉඳල බේරෙන්න බෑ. අපි තේරුම් ගන්න ඕනෙ මේ වෙද්දිත් ආණ්ඩුවට රට ඇතුළෙ ප්‍රශ්නයක් තියෙනව කියල. ඒ හින්ද එක එක කතා කියල අපිට මේකෙන් ගැලවිලා යන්න බෑ. ඒ ගැන ආණ්ඩුවෙ හරි ස්ථාවරය රටට කියන්න ඕනෙ. මුස්ලිම් අන්තවාදය ගැන ආණ්ඩුවේ ස්ථාවරය අපි රටට කියන්න ඕනෙ.” යනුවෙන් කියමින් රතන හිමි ආවේගශීලීව අදහස් දක්වද්දී අගමැතිවරයා තමන්ට කාන්තා දිනය නිමිත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන් විසින් සංවිධාන කර ඇති රැස්වීමට සහභාගි වීමට ඇති බව කියමින් කණ්ඩායම් රැස්වීමෙන් නැඟිට පිටව යන ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව එම කණ්ඩායම් රැස්වීම අවසන් වූයේ පාස්කු වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවසන් ස්ථාවරය පිළිබඳව තීන්දුවක් ගැනීමෙන් තොරවය.
විමල්-ගම්මන්පිල මිසින්
කෙසේ වෙතත් මෙම රැස්වීමේදී දැකගන්නට ලැබුණු තවත් විශේෂ සිදුවීමක් විය. ඒ, මේ දිනවල ආණ්ඩුවත් සමඟ යම් දේශපාලන ආරෝවක පැටලී සිටින විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ආණ්ඩුවේ කණ්ඩායම් රැස්වීමට සහභාගි වී නොසිටීමය. විමල් එදින පාස්කු ප්‍රහාරය සහ මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් විශේෂ දේශනයක් පැවැත්වීම හේතුකොටගෙන රැස්වීමට පැමිණ නොසිටි අතර, ගම්මන්පිල ඒ සඳහා කිසිදු හේතුවක් දක්වා තිබූ බවක් වාර්තා නොවිණ.
විමල් ගැන සාගර මහින්ද එක්ක කතා කරයි
ඒ අනුව තවමත් ආණ්ඩුව ඇතුළේ විමල් හා ගම්මන්පිල ඇතුළු කණ්ඩායම් පිළිබඳව පැනනැගී ඇති ගැටලුව අළු යට ගිනි මෙන් පුපුරු ගසමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. වෙනදා මෙන් විමල්ලා තැන් තැන්වල රැස්වෙමින් සාකච්ඡා පවත්වමින් එළිපිට ප්‍රහාර එල්ල නොකළත් අවස්ථා කිහිපයකදීම ආණ්ඩුවේ කටයුතු විවේචනය කරමින් කටයුතු කළ ආකාරයක් දැකගන්නට ලැබිණ. මේ හේතුව නිසා මුලින්ම විමල් සමඟ වාදයට පැටලුනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුවේ මහලේකම්වරයා වූ සාගර කාරියවසම් මහතා විමල් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අගමැතිවරයාගෙන් වේලාවක් ඉල්ලා තිබිණ. අගමැතිවරයා ඉකුත් ඉරිදා දිනයේ සාගරට ඒ සඳහා අවස්ථාව ලබාදීමට පියවර ගෙන තිබිණ. එහිදී සාගර මහින්ද හමුවීමට ගියේ තනිවම නොවේ. පොහොට්ටුවේ තවත් ඉහළ නිලතලයක් උසුලන රේණුක පෙරේරාද සමඟිනි.
විමල් කඩාගෙන යන්නයි හදන්නේ
පැයක පමණ කාල වේලාවක් පැවතුණු මෙම සාකච්ඡාවේදී පොහොට්ටුව ඇතුළේ මේ වන විට මතුව ඇති අර්බුද රැසක් මහින්දට පෙන්වා දීමට සාගරත්, රේණුකත් කටයුතු කළහ. විශේෂයෙන්ම විමල් ඇතුළු කණ්ඩායම හැසිරෙන ආකාරය පිළිබඳව සහ කරන ඇතැම් ප්‍රකාශ මුල්කරගෙන පොහොට්ටුව ඇතුළේ පමණක් නොව ආණ්ඩුව ඇතුළේ පවා මේ වන විට බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇති බව මහින්දට පෙන්වා දුන් සාගර දැනටමත් විමල් ඇතුළු කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වීම සඳහා අවසන් තීන්දුව ගෙන ඇති බව මහින්දට පෙන්වා දුන්නේය. ඔවුන් මේ වන විටත් ආණ්ඩුවෙන් එළියට ගොස් නව දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සියලු සැලැසුම් සකස් කොට ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය පසුබිම මේ වන විට ආණ්ඩුව ඇතුළේ සකස් කර ගනිමින් සිටින බවත් සාගරත්, රේණුකත් මහින්දට පෙන්වා දුන්හ. ඒ සඳහා ආණ්ඩුව රට ඇතුළේ අපකීර්තියට පත්කළ යුතු බවට සැලසුම් කර ඇති විමල් ඇතුළු කණ්ඩායම දැන් සිදුකරමින් පවතින්නේ එම කොන්ත්‍රාත්තුව ඉටුකිරීම බවද ඔවුහු මහින්දට පැහැදිලි කර දුන්හ.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී මහින්ද ඒ සියලු කරුණු කාරණා අසා සිට කියා සිටියේ මේ සම්බන්ධයෙන් කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කර තීන්දුවක් ගමු යැයි කියාය.
බැසිල් දුන් තීන්දුව
මීට අමතරව විමල් ඇතුළු කණ්ඩායම පිළිබඳව සාකච්ඡා කිරීමටත්, ආණ්ඩුව ඇතුළේ මතුව ඇති ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමටත්, ආණ්ඩුවේ පොහොට්ටුව නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයාවත්, අගමැතිවරයාවත්, බැසිල් රාජපක්ෂ මහතාවත් මුණගැසීම සඳහා අවස්ථාවක් ඉල්ලා තිබූ බව මීට සති දෙකකට ඉහතදී රාජ්‍ය රහස් තීරය ඔස්සේ අපි අනාවරණය කර සිටියෙමු. ඒ අනුව එහි පළමු පියවර වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමට සාකච්ඡාවක් ලබාදුන් බවත්, එහිදී විමල් ඇතුළු කණ්ඩායම සම්බන්ධයෙන් බැසිල් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකළ ආකාරයත් අපි රාජ්‍ය රහස් තීරය ඔස්සේ පළමු වතාවට ඉකුත් සතියේ වාර්තා කර සිටියෙමු. එහිදී අප පෙන්වා දුන්නේ ආණ්ඩුව විනාශ කොට එම පිරිස ආණ්ඩුවෙන් එළියට බැසීමට ප්‍රථම ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවට බැසිල් පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ඉදිරියේ ප්‍රතිඥා දුන් බවකි.
“ගියපාර කට්ටියක් ගල්ලෙන බිඳලා ආණ්ඩුව විනාශ කරලා එළියට බැස්සා. ඒ නිසා අපි පැරදුණා. හැබැයි මේ සැරේ අපි ඒක වෙන්න ඉඩ තියෙන්නෙ නැහැ. මේ සැරේ ඒ අය ගල්ලෙන බිඳින්න ලෑස්ති වුණොත් අපි ඒ අයට ගල්ලෙන බිඳින්නට ඉඩ තියෙන්නෙ නැහැ. ඊට ඉස්සෙල්ලා අපි ඒ අයව ආණ්ඩුවෙන් පන්නනවා.” යනුවෙන් එහිදී බැසිල් අවධාරණය කර සිටි බවද අපි එහිදී පෙන්වා දුන්නෙමු.
විමල්ට එරෙහිව පසුපෙළ 43ක් මහින්ද හමුවේ
කෙසේ වෙතත් බැසිල් සමඟ පැවැති මෙම සාකච්ඡාවෙන් පසුව අගමැතිවරයාද ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සඳහා සාකච්ඡාවක් ලබාදීමට පියවර ගත්තේය. එම සාකච්ඡාව පැවැත්වුණේ ඉකුත් බදාදා දින පාර්ලිමේන්තු සංකීර්ණයේදීය. මෙම සාකච්ඡාවට ආණ්ඩුව නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රිවරුන් 46 දෙනාගෙන් 43 දෙනකුම සහාභාගි වී සිටිනු දැකගත හැකි විය.
මෙහිදී පළමුව පසුපෙළ මන්ත්‍රිවරු ආණ්ඩුව මේ වන විට මුහුණදී ඇති අර්බුද පිළිබඳවත්, මන්ත්‍රිවරුන්ට පෞද්ගලිකව මුහුණදීමට සිදුව ඇති අර්බුද පිළිබඳවත් මහින්දගේ අවධානය යොමුකිරීමට පියවර ගත්හ. එහිදී ප්‍රධානම ප්‍රශ්නය බවට සියලු දෙනාම මහින්දට පෙන්වා දුන්නේ විමල් ඇතුළු කණ්ඩායම ආණ්ඩුව ඇතුළේ සිදුකරමින් සිටින කඩාකප්පල්කාරී වැඩපිළිවෙළය.
ආණ්ඩුවේ ඉදන් විපක්ෂය බෑ
“විමල් කියන්නෙ ආණ්ඩුවේ ඉන්න කැබිනට් ඇමැතිවරයෙක්. හැබැයි ඒ වුණාට විමල් වැඩ කරන්නෙ විපක්ෂයේ ඉන්න මන්ත්‍රි කෙනෙක් වගේ. ආණ්ඩුව ඇතුළෙ දැන් මතුවෙලා තියෙන ප්‍රශ්නය සම්පූර්ණයෙන් හැදුවෙ විමලුයි, එයත් එක්ක ඉන්න කණ්ඩායමයි. ඒ අය හදන්නෙ මේ ආණ්ඩුව සම්පූර්ණයෙන් විනාශ කරල දාන්න. මේක දැනටමත් ලොකු ප්‍රශ්නයක් වෙලා ඉවරයි. අපි ගම්වල ගියාම මිනිස්සු අපෙන් මේ ගැන අහනව. මේ ගැන අහද්දි අපිට මේකට දෙන්න උත්තර නැහැ.” යනුවෙන් එක් පසුපෙළ මන්ත්‍රිවරයෙක් මහින්දට කියද්දී තවත් පසුපෙළ මන්ත්‍රිවරයෙක් ආණ්ඩුවට 2015 දි අත්විඳින්නට වූ ඉරණම පිළිබඳව යළි සිහිපත් කරමින් අදහස් දැක්වීමට පියවර ගත්තේය.
2015න් පාඩම් ඉගෙනගෙන නෑ
“අපිට 2015දිත් සිද්ධවුණේ මේ වගේ දෙයක්මයි. එදත් අපිත් එක්ක ඉඳගෙනම එකට වැඩ කරලා අන්තිම මොහොතේ ආණ්ඩුවත් විනාශ කරගෙන කණ්ඩායමක් එළියට බැස්සා. ඒකෙන් තමයි අපි පැරදුණේ. හැබැයි ඒක සිද්ධවෙනව කවුරුත් දැනගෙන හිටියෙ නැහැ. අන්තිම මොහොතෙ තමයි ඔක්කොම එළිවුණේ. එතකොට වෙන්න ඕනෙ දේවල් ඔක්කොම වෙලා ඉවරයි. දැනුත් මේ වෙන්නෙ ඒ වගේ දෙයක්ම තමයි. හැබැයි මෙතන අපි හැමෝටම සිද්ධවෙන්න යන විනාශය ඇස් දෙකට පේන්න තියෙනවා. අපි 2015 වෙච්ච සිද්ධියෙන් පාඩම් ඉගෙන ගත්තෙ නැත්නම් ආයිමත් ඒ වැරැද්දම මේ සැරෙත් වෙනවා.” යනුවෙන් එම මන්ත්‍රිවරයා කියා සිටියේය.
වීඩියෝ සාක්ෂිත් එළියට
කෙසේ වෙතත් මන්ත්‍රිවරුන් එක් එක්කෙනා මේ ආකාරයට ආණ්ඩුව ඇතුළේ ඇති ප්‍රශ්නය පිළිබඳව කරුණු කියද්දී මහාචාර්ය රංජිත් බණ්ඩාර තමන්ගේ ජංගම දුරකතනය රැගෙන වීඩියෝපට කිහිපයක් මහින්දට පෙන්වමින් එය ප්‍රචාරය කිරීමට පටන් ගත්තේය. එම වීඩියෝපටවල තිබුණේ විමල් ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකු වශයෙන් සිටියදී ආණ්ඩුව දැඩිව විවේචනයට ලක්කරමින් පසුගිය දිනවල සිදුකළ ප්‍රකාශයන්ය. විමල්ගේ මේ ආණ්ඩු විරෝධී කතා මහින්දද බලා සිටියේ දැඩි විමතියකින් යුතුවය. ඒ අනුව පසුපෙළ මන්ත්‍රිවරුන් කියන කතාවේ යම් සත්‍යතාවයක් පවතින බව මහින්දටද වැටහිණ.
අවසන් නිවේදනය ලෑස්තියි
ඒ අනුව අවසානයේදී මහින්ද පසුපෙළ මන්ත්‍රිවරුන්ට දැනුම්දී සිටියේ මේ සම්බන්ධයෙන් ඉතාමත් ඉක්මණින් ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමක් පවත්වා සාකච්ඡා කිරීමට පියවර ගන්නා බවය.
කෙසේ වෙතත් රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන් අතරද විමල් පිළිබඳව කිසියම් සාකච්ඡාවක් පැවැත්වී ඇති බවත්, විමල් ඇතුළු කණ්ඩායමට ආණ්ඩුවේ සාමූහික බව සම්බන්ධයෙන් අවසන් නිවේදනය නිකුත් කිරීමට සැලැසුම් කර ඇති බවත්ය.
බැසිල් තනිවම වැඩ
මේ ආකාරයට ආණ්ඩුව ඇතුළේ අර්බුද මතුවෙද්දී එම අර්බුද සමනය කිරීමේ මහ මොළකරු ලෙස සැලකෙන බැසිල් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව පසුගිය දිනවල ආණ්ඩුව ඇතුළේ බොහෝ දෙනා බලා සිටි ආකාරයක් දැකගත හැකි විය. පසුගිය කාලයේ ආණ්ඩුව කොරෝනා ප්‍රශ්නයට මුහුණදෙද්දී එම ප්‍රශ්නය විසඳාලීම සඳහා පත්කෙරුණු ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානියා වූයේ බැසිල්ය. අනතුරුව ආණ්ඩුව ආර්ථික අර්බුදයකට මුහුණදෙද්දී එය විසඳාලීම සඳහා පත්කළ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානියා වූයේද බැසිල්මය. ඒ දිනවල බැසිල් දිනපතාම පාහේ අරලියගහ මන්දිරයේ මෙම ජනාධිපති කාර්ය සාධක බළකායේ රැස්වීම්වලට සහභාගි වන ආකාරය, සාකච්ඡා කරන ආකාරය, තීන්දු තීරණ ගන්නා ආකාරය පිළිබඳ ඡායාරූපවලින් සහ ප්‍රවෘත්තිවලින් මාධ්‍ය පිරීගොස් තිබිණ. නමුත් ආණ්ඩුව ඇතුළේ මේ වන විට දේශපාලන අර්බුදයක් මතුවෙමින් පැවතියදී හිටිහැටියේම බැසිල්ගෙන් නිහඬ බවක් ප්‍රදර්ශනය වීම බොහෝ දෙනාගේ විමතියට සහ කුතුහලට හේතු වී තිබිණ. කොටින්ම කියනවා බැසිල් පසුගිය සති කිහිපයේදී මාධ්‍ය හමුවේ පෙනී සිටින ආකාරයක් දැකගන්නට නොලැබිණ.
ඒ අනුව රාජ්‍ය රහස් තීරය බැසිල්ට සිදුව ඇත්තේ කුමක්ද යන්න සොයාබැලීමට පියවර ගත්තේය. ඒ අනුව අප කළ සොයාබැලීම්වලදී අපට දැනගන්නට ලැබුණේ කිසිදු ප්‍රසිද්ධියකින් තොරවම බැසිල් මේ දිනවල ආසනයක්, ආසනයක් ගානේ යමින් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලට අත තබා ඇති බවකි. විශේෂයෙන්ම පසුගිය කාලසීමාවේදී පොහොට්ටුව දුර්වල වූ ස්ථාන පිළිබඳව විශ්ලේෂණයක යෙදී ඇති බැසිල් මේ දිනවල එම ස්ථානවලට ගොස් පොහොට්ටුව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කොට ඇති බවක් ඒ හරහා දැනගන්නට ඇත. පසුගිය සතියේදී 2024 ජනාධිපති සටනට බොහෝ දුරට පොහොට්ටුවේ අපේක්ෂකයා වශයෙන් බැසිල් ඉදිරිපත් වනු ඇති බවට පක්ෂ නායකයන් හමුවේ ජනාධිපතිවරයා දැක්වූ ඉඟිය මේ හරහා තහවුරුවෙමින් පවතින බවක් පෙනෙන්නට තිබුණද තවමත් ඒ පිළිබඳව නිශ්චිත වශයෙන් කීමට කල් වැඩිය.
ලෝකයම ඇවිස්සූ දිනේෂ්ගේ මියන්මාර් ලියුම
ආණ්ඩුව ඇතුළේ මේ ආකාරයේ විවිධ අර්බුද මෝදුවෙමින් පවතිද්දී ජාත්‍යන්තරය පැත්තෙන්ද ආණ්ඩුවට මේ වන විට මුහුණදීමට සිදුව ඇත්තේ බරපතළ අභියෝගයන් කිහිපයකටය. ඉන් ප්‍රධාන තැනක් ගෙන ඇත්තේ ජිනීවාහි මානව හිමිකම් කොමිසම ඉදිරියේ මේ වන විට ඉදිරිපත් කොට ඇති ලංකාවට එරෙහි යෝජනාවය. ඒ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම ලබන 22දා සිදුකිරීමට නියමිතය. එසේ තිබියදී ආණ්ඩුව පසුගිය සතියේ සිදුකළ එක්තරා නිවේදනයක් මුල්කරගෙන ජාත්‍යන්තරය ඉදිරියේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබිණ. නිවේදනයෙන් කියැවුණේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් සමුළුව සඳහා මියන්මාරයේ හමුදා පාලනයට ආරාධනා කිරීමට විදේශ අමාත්‍යාංශය කටයුතු කර ඇති බවකි. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අස්සනින් යුතුව මෙම ලිපිය ඉදිරිපත් කර තිබුණු අතර, මියන්මාරයේ විදේශ කටයුතු අමාත්‍යවරයා වන වුන්නා මාවුන් ල්වින්ග් මහතා හට ඊට සහභාගි වන ලෙස ආරාධනා කිරීමටද එම ලිපිය මඟින් දිනේෂ් කටයුතු කර තිබිණ.
සියලු දෙනාම දන්නා පරිදි මේ වන විට මියන්මාරයේ ක්‍රියාත්මක වන්නේ හමුදා කුමන්ත්‍රණයක් හරහා බලය ලබාගත් ආණ්ඩුවකි. පැවැති ප්‍රජාතන්ත්‍රවාදී පාලනය මෙහෙයවූ අවුන්සාන් සුකිගේ ආණ්ඩුව පෙරළා දමා ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට හමුදා නායකයන් විසින් බලය අත්පත් කර ගැනීමට එරෙහිව එරට ජනතාවගේ පමණක් නොව සමස්ත ජාත්‍යන්තරයේම විරෝධය මේ වන විට මියන්මාර රජය වෙත එල්ලවෙමින් තිබේ. විශේෂයෙන්ම පසුගියදා පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී පවා මෙම තත්ත්වය දැඩිව විවේචනයට ලක්වූ අතර චීනය පවා මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගය හෙළාදැකීමට පියවර ගෙන තිබිණ.
ලංකාවට දැඩි විරෝධයක්
එසේ තිබියදී ලංකාවේ විදේශ අමාත්‍යවරයා වන දිනේෂ් ගුණවර්ධන මහතා මියන්මාරයේ විදේශ අමාත්‍ය මාවුන්ග් ල්වින්ග්ට ආරාධනා කිරීමත් සමඟ මියන්මාර වැසියන් බොහෝ දෙනකු සිය ට්විටර් ගිණුම් හරහා ඊට දැඩි විරෝධය පළකරමින් අදහස් දක්වන ආකාරයක්ද දැකගත හැකි විය. විශේෂයෙන්ම ‘ප්‍රොටෙස්ට් ශ්‍රී ලංකා’ යනුවෙන් ටැග් එකක් වෙනම නිර්මාණය කරමින් මෙම විරෝධතාව සිදුකරන ආකාරයක් දැකගත හැකි විය. එහිදී ප්‍රධානම ගැටලුව වී තිබුණේ දිනේෂ් විසින් මියන්මාර හමුදා පාලනයේ විදේශ අමාත්‍යවරයාගේ නම සඳහන් කරමින් එම ලිපිය යොමුකර තිබීමය. සාමාන්‍යයෙන් මියන්මාරය බිම්ස්ටෙක් සමුළුව නියෝජනය කිරීම නිසා නමක් නොදක්වා තනතුර දක්වමින් ඊට ආරාධනා කර තිබුණේ නම් මෙවැනි ආකාරයේ විරෝධතායක් මතු නොවනු ඇති බව බොහෝ දෙනාගේ මතයය.
කෙසේ වෙතත් දිනේෂ්ගේ ලිපියට දසතින් විරෝධය පළවීමත් සමඟ වහාම ප්‍රකාශයක් නිකුත් කළ දිනේෂ් සඳහන් කර සිටියේ බිම්ස්ටෙක් සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාව දරන බැවින් සාම්ප්‍රදායිකව මියන්මාර රජයේ විදේශ අමාත්‍යවරයාටද ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඊට සහභාගි වන ලෙසට ආරාධනා කළ බවය. ඒ හරහා මියන්මාරයේ නව පාලනය ශ්‍රී ලංකා රජය විසින් පිළිගනු ලබන බවක් අර්ථගැන්වෙන්නේ නැති බවත්, මියන්මාරයේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයා වන නලින්ද සිල්වා තවමත් එරට රැඳී සිටිමින් එරට රජය සමඟ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පවත්වන බවත් දිනේෂ් සඳහන් කර සිටියේය.
නමුත් මේ සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියේ ආණ්ඩුව මියන්මාරයට ආරාධනා කිරීම වැරැදි බවත්, එම ආරාධනාව ආපසු කැඳවීමට පියවර ගතයුතු බවත්ය.
බැදුම්කරේ වගේද සීනි
ඉකුත් යහපාලන ආණ්ඩුව පෙරළා දැමීමට බලපෑ ප්‍රධාන කරුණු දෙකක් තිබිණ. ඉන් පළමුවැන්න වූයේ 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවීමත් සමඟ සිදුවූවා යැයි කියන මහබැංකු බැඳුම්කර වංචාවය. එවක විපක්ෂය මේ සම්බන්ධයෙන් රට ඇතුළේ විශාල සංවාදයක් මතුකරමින් ආණ්ඩුව මෙතෙක් ඉතිහාසයේ සිදුකළ විශාලම වංචාව කළ බවත්, රුපියල් බිලියන 11ක් ඒ හරහා වංචා කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවත් කියා සිටියේය. උදේ හවා මාධ්‍යයද මේ පුවත මැතිරීම නිසා බැඳුම්කර ලේබලයෙන් ගැලවීමට යහපාලන ආණ්ඩුවට එදා නොහැකි විය. ඒ හරහා ආණ්ඩුවේ පිරිහීම ආරම්භ වූ අතර, එහි කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් 2018 සිදුවූ පාස්කු ප්‍රහාරය ආණ්ඩුව විනාශ කර දැමීමට සමත් විය. ඒ හරහා ආණ්ඩුව පරායට පත්වුවත් ආණ්ඩුව රට ඇතුළේ අප්‍රසාදයට පත්වීම ආරම්භ වූයේ විපක්ෂය චෝදනා කළ පරිදිම බැඳුම්කර වංචාව හේතුකොටගෙනය. එදා විපක්ෂය තවදුරටත් කියා සිටියේ තමන් බලයට පැමිණි සැණින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිට එම වංචාවට ගෑවුණු සියලුදෙනාම හිරේ දැමීමට කටයුතු කරනවා යැයි කියාය.
පාඩුව බිලියන 15.9යි
කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව බලයට පැමිණ තවමත් ගෙවී ඇත්තේ මාස 8ක් පමණි. බැඳුම්කර වංචාවට ගෑවුණු සියලු දෙනාම හිරේ දමනවා කීවද තවමත් ඒ පිළිබඳව ගෙන ඇති නිශ්චිත ක්‍රියාමාර්ගයක් දැකගන්නට නැත. එසේ වුවත් මාස අටක් ඉක්ම යෑමටත් ප්‍රථම බිලියන 11ක මහ බැංකු බැඳුම්කර වංචාව පවා ඉක්මවා යන ආකාරයේ අතිදැවැන්ත වංචාවක් සිදුව ඇති බවට මේ වන විට මූල්‍ය වාර්තා මඟින් අනාවරණය වී තිබේ. ඒ සීනි ගෙන්වීමේදී බදු අඩු කිරීම හරහා රුපියල් බිලියන 15.9ක අති දැවැන්ත වංචාවක් සිදුව ඇති බවට ආණ්ඩුවට චෝදනා එල්ලවීම හරහාය. මේ සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයකම නියෝජිතයන් පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් අවස්ථා කිහිපයකදීම අදහස් දක්වා තිබුණත් එය ඔප්පු කිරීම සඳහා නිශ්චිත ලිපිගොනු ඔවුන් සතුව තිබුණේ නැත. නමුත් මේ වන විට එම නිශ්චිත සාක්ෂි රටට හෙළිදරව් වී ඇති අතර, බිලියන 15.9ක මුදලක් ඒ හරහා ආණ්ඩුවට අහිමි වී ඇති බව එහි පැහැදිලිවම සඳහන්ව තිබේ.
අනුර යාපා දැඩි තීන්දුවක
ඉකුත් සතියේ පැවැති රාජ්‍ය ගිණුම්කාරක සභාවේදී එහි සාමාජිකයන් කිහිපදෙනකුම එම සභාවේ සභාපතිවරයා වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගෙන් මෙම සීනි ගෙන්වීම සම්බන්ධ සිදුවීමේ මූල්‍ය වාර්තාව ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර තිබිණ. ඒ අනුව අනුර ප්‍රියදර්ශන මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ට කතාකොට මේ පිළිබඳව විමසමින් සඳහන් කර සිටියේ මෙම බද්ද වෙනස් කළ ආකාරය පිළිබඳව මන්ත්‍රිවරුන් අදාළ ලිපිගොනු ඉල්ලා සිටින බැවින් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙසටය. ඒ අනුව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ඊට අදාළ ලිපිගොනු පසුගිය සතියේ ගිණුම්කාරක සභාව වෙත එවා තිබූ අතර, එහි පැහැදිලිවම අදාළ සීනි ආනයනය කිරීමේදී බදු අඩු කිරීම හරහා රුපියල් බිලියන 15.9 අති දැවැන්ත පාඩුවක් ආණ්ඩුවට සිදුව ඇති බව තහවුරු කර තිබිණ. ඒ සමඟම විපක්ෂය මේ පිළිබඳව රට ඇතුළේ දැඩි විරෝධයක් රැගෙන යමින් කියා සිටියේ බැඳුම්කර වංචාව පවා ඉක්මවා යන ආකාරයේ මහා මුදල් කන්දරාවක් වංචා කිරීමට මේ හරහා ආණ්ඩුව කටයුතු කර ඇතැයි කියාය. එපමණක් නොව සමාජ මාධ්‍ය ජාලාවන්වලද පසුගිය සතියේ ප්‍රධානම මාතෘකාව බවට පත්ව තිබුණේ සිදුව ඇති මේ මහා මූල්‍ය වංචාවය.
මම මොනවා කරන්නද
ඒ අනුව පසුගිය සතියේදී ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම අනුර ප්‍රියදර්ශන යාපාට කතාකොට මෙම සිදුවීම පිළිබඳව ඔහුගෙන් විමසා සිටින්නට පියවර ගෙන තිබිණ. එහිද තමන්ට කතා කළ සියලු දෙනාටම සිනාසෙමින් අනුර කියා සිටියේ එය තමන් කළ දෙයක් නොවන බවත්, මන්ත්‍රිවරුන්ගේ ඉල්ලීම අනුව අදාළ ලිපිගොනු ගිණුම්කාරක සභාවට එවන ලෙසට මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම්දීම පමණක් තමන් සිදුකළ බවත්ය.
“මේක ඉතින් මම කරපු දෙයක් නෙමෙයි. කමිටි එකේ සාමාජිකයො ඔක්කොම මගෙන් ඉල්ලුව මේ ගැන රිපෝට් එකක් දෙන්න කියල. ඉතින් මම මුදල් අමාත්‍යාංශයට කතා කරල කිව්ව මේ සීනිවල බදු අඩු කිරීම ගැන වාර්තාවක් එවන්න කියල. මම කළේ ඒක විතරයි. ඉතින් ඔය වාර්තාව හැදුවෙ මම නෙමෙයිනෙ. ඒකෙ තියෙන දේවල් ඔක්කොම හැදුවෙ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්. ඉතින් ඒකෙ තියෙන දේවල්වලට මම මොනව කරන්නද” යනුවෙන් සඳහන් කරමින් එහිදී අනුර ප්‍රියදර්ශන යාපා සිනාසෙමින් කියා සිටි ආකාරයක්ද දැකගත හැකි විය.
ඉන්දියාව වෙනුවට චීනය
කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය මුල්කරගෙන ලංකා ආණ්ඩුව සහ ඉන්දීය රජය අතර මතුවූ අර්බුදය නැඟෙනහිර වරාය ලංකාව සතුව තබාගෙන බටහිර වරාය ඉන්දියාවට පැවරීම හරහා අවසන් වනු ඇති බවක් බොහෝ දෙනා සිතා සිටියද එය තවත් ප්‍රශ්න වැළක ආරම්භයක් වී ඇති ආකාරයක් මේ වන විට දැකගන්නට තිබේ. එහිදී පළමුවෙන්ම ඉන්දියාව නැඟෙනහිර වරාය නොලැබීමෙන් සිදුවූ ලැජ්ජාව වසා ගැනීම සඳහා ආණ්ඩුවට රිද්දන්නට මෙන් ලංකාවට ලබාදී තිබූ රුපියල් මිලියන 400ක ණය මුදලක් පැය 24ක් ඇතුළත නැවත ගෙවා දමන ලෙසට දැනුම්දීමට පියවර ගත්තේය. ඉන්දීය රජය එසේ එම ණය මුදල ගෙවීම සඳහා පැය 24ක කාලයක් ලබාදුන්නේ ලංකා ආණ්ඩුව එම ණය මුදල පියවීම සඳහා වූ කාලය මාස 6කින් දීර්ඝ කර දෙන ලෙසට සකස් කළ ලිපි ඉන්දියාවට යැවීමට ඔන්න මෙන්න කියා තිබියදීය. කෙසේ වෙතත් ණය මුදල පියවීම සඳහා හදිසියේ මුදල් සොයාගත නොහැකි වීම හේතුකොටගෙන ආණ්ඩුව කළේ විදේශ සංචිතයෙන් ඒ සඳහා අවශ්‍ය මුදල් ගෙන එම ණය මුදල පියවා දැමීමය. ඒ හරහා රටේ මුදල් සංචිත පහව ගිය ආකාරයක් එකල දැකගන්නට ලැබිණ.
ඒ අනුව ආණ්ඩුව කළේ විදේශ සංචිත ඉහළ නංවාගැනීම සඳහා චීන රජයෙන් ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ඉල්ලා සිටීමය. ඒ සම්බන්ධව වූ සාකච්ඡා පසුගිය සති කිහිපය පුරාම නොකඩවා පැවැත්වුණු අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් අවසානයේදී පසුගිය බ්‍රහස්පතින්දා චීනය ලංකා ආණ්ඩුවට දැනුම්දී සිටියේ අදාළ ණය මුදල ලබාදීමට සූදානම් බවය. මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඒ බව සිය ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් තහවුරු කිරීමටද පියවර ගෙන තිබිණ. ඒ අනුව ඉන්දියාව සිය ණය මුදල් හදිසියේ ලබාගැනීමෙන් අර්බුදයකට ලක්වීමට ගිය රටේ විදෙස් සංචිත නැවත වර්ධනය කර ගැනීමට ආණ්ඩුවට හැකි වූයේ මේ ආකාරයට චීනයෙන් ලබාගත් ණය මුදල හරහාය. ඒ හරහා තවත් වටයකින් ඉන්දියාව හා චීනය අතර සටනට ලංකාව මැදිවී සිටින බවක්ද මේ වන විට දැකගන්නට ඇත.
ටෙන්ඩර් නැතිව දුන්නේ කොහොමද
කෙසේ වෙතත් බටහිර ජැටියේ ප්‍රශ්නයද පසුගිය සතිය වන විට නැවත වතාවක් කරළියට පැමිණියේ ඉන්දීය විදේශ අමාත්‍යාංශය මඟින් ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයන් නිකුත් කිරීමත් සමඟය. ආණ්ඩුව මීට පෙර කියා සිටියේ ඉන්දීය රජයේ ඉල්ලීමකට අනුව එරට ආයෝජකයකු වන අදානි සමාගමට කොළඹ වරායේ බටහිර පර්යන්තයෙන් සියයට 85ක කොටස් ලබාදීමට පියවර ගත්තා යැයි කියාය. නමුත් ආණ්ඩුවේ මෙම නිවේදනයත් සමඟ ඉන්දීය විදේශ අමාත්‍යාංශය මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ බටහිර පර්යන්තය අදානි සමාගමට ලබාදීම සම්බන්ධ සිදුවීමට ඉන්දීය රජය කිසිදු සම්බන්ධයක් නැතැයි කියාය.
ඉන්දීය විදේශ අමාත්‍යාංශය සිදුකළ මෙම ප්‍රකාශයත් සමඟ මේ වන විට තවත් බරපතළ ප්‍රශ්නයකට මුහුණදීමට මේ වන විට ආණ්ඩුවට සිදුව තිබේ. ඒ, ආණ්ඩුවක් සහ ආණ්ඩුවක් අතර සිදුවූ ගනුදෙනුවක් ලෙසට බටහිර පර්යන්තය ලබාදීම සිදු නොවූයේ නම් ආණ්ඩුව පෞද්ගලික සමාගමකට ටෙන්ඩර් නොකැඳවා මේ ආකාරයේ සියයට 85ක් වැනි විශාල කොටස් ප්‍රමාණයක් ලබාදුන්නේ කෙලෙසකද යන්න කියාය. සාමාන්‍යයෙන් ආණ්ඩු දෙකක් අතර නොමැතිව ආණ්ඩුවක් සහ පෞද්ගලික ආයතනයක් අතර ගනුදෙනුවක් සිදුවන්නේ නම් ඊට විවෘත ටෙන්ඩර් කැඳවීමක් සිදුකළ යුතු නමුත් මෙම ගනුදෙනුවේදී එවැන්නක් සිදුව නොතිබීම මේ වන විට බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ අනුව ඉදිරියේදී මෙය ආණ්ඩුවට එරෙහිව පිපිරීමට නියමිත දේශපාලන බෝම්බයක් යැයි සඳහන් කළහොත් එහිද කිසිදු වැරැද්දක් නැත.
යළි පත්තු වුණු පාස්කු බෝම්බය
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කොට නිකුත් කරනු ලැබූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳව මේ වන විට ඇත්තේ මහත් ආන්දෝලනයකි. බොහෝ දෙනා මෙම වාර්තාව හරහා ප්‍රහාරයට මුල්වූ මහ මොළකරුවන් රටට අනාවරණය කරනු ඇතැයි බලාපොරොත්තු වුවද එවැනි කිසිවක් වාර්තාවේ නොතිබීම මෙම ආන්දෝලනයට හේතුවී තිබේ. විශේෂයෙන්ම බොදුබල සේනා සංවිධානය තහනම් කළ යුතු බවට අදාළ වාර්තාව මගින් නිර්දේශ කර තිබීම හරහා මේ වන විට ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලාත්, ඇතැම් පාර්ශ්වත් සිටින්නේ දැඩි කලකිරීමටත්, කෝපයටත් පත්වය. මේ නිසාම ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේදී කොමිසම් වාර්තාවට එරෙහිව භික්ෂුන් වහන්සේලා සත්‍යග්‍රහයකද නිරත වන ආකාරයක් දැකගත හැකි විය.
මීට අමතරව පාස්කු ප්‍රහාරයට මුල්වූවන්ට දඬුවම් නොකිරීම සම්බන්ධයෙන් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පසුගිය සතියේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ආණ්ඩුවට බරපතළ ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගත්තේය. මෙම මාධ්‍ය හමුවට කටුවාපිටිය දේවස්ථානයේදී සහ කොච්චිකඩේ දේවස්ථානයේදී බෝම්බ ප්‍රහාරයට හසුව මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ද එක්කර ගැනීමට පියවර ගෙන තිබිණ. ඒ හරහා විශාල විරෝධයක් ආණ්ඩුවට එල්ලකර සිටි කාදිනල් හිමිපාණන් වත්මන් ආණ්ඩුව ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට දඬුවම් නොදෙන්නේ නම් එය ජාත්‍යන්තරය දක්වා ගෙනයෑමට සූදානම් බව සඳහන් කර සිටියේය.
පැය 24න් වෙනස් වූ කතෝලික සභාව
මෙම මාධ්‍ය හමුවෙන් පසු කාදිනල් හිමියෝ තවත් දැඩි තීන්දුවක් ගත්හ. ඒ වැරැදිකරුවන්ට දඬුවම් නොදීමට විරෝධය පා කළු ඉරිදාවක් ප්‍රකාශයට පත්කිරීමය. එදින සියලුම දේවස්ථානවල කළු ඇඳුම් හැඳ විරෝධය පළකිරීමටද, දේවස්ථාන ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර පැවැත්වීමටද කාදිනල් හිමිපාණන් සැලැසුම් කර තිබිණ. ඒ හරහා එක් අතකින් එය ප්‍රහාරකයන්ට දඬුවම් නොදුන්නාටත් වඩා ප්‍රහාරයකයන් හෙළිදරව් නොකළ පාස්කු වාර්තාවට විරෝධය පෑමක්ද විය.
තත්ත්වය එසේ වුවද කළු ඉරිදා විරෝධතාවය පවත්වා පැය 24ක් ඉක්ම යෑමටත් මත්තෙන් මෙම පාස්කු වාර්තාව පිළිගන්නා බවට කතෝලික සභාවෙන් නිවේදනයක් නිකුත්විණ. එම වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පියවර ගතයුතු බවද එම නිවේදනයෙන් වැඩිදුරටත් කියැවිණ. මෙය හුදෙක්ම කාදිනල් හිමියන්ගේ අවශ්‍යතාවය මත නිකුත් වූ නිවේදනයක් බවට තහවුරු වීමත් සමඟ ඊට එරෙහිව අනෙකුත් රදගුරුතුමන්ලාගේ දැඩි විරෝධය පළවන ආකාරයක්ද දැකගත හැකි විය.
කෙසේ වෙතත් කාදිනල් හිමිපාණන්ගේ මෙම ක්‍රියාවට අනෙකුත් රදගුරු වහන්සේලාගේ වැඩි ප්‍රසාදයක් මුල සිටම දැකගන්නට ලැබුණේ නැත. විශේෂයෙන්ම පසුගිය බදාදා දිනයේදී පියතුමන්ලා ඇතුළු රදගුරුවරුන් කාදිනල් හිමිපාණන් සමඟ මේ පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ. එම සාකච්ඡාවට රදගුරුවන් තිදෙනෙක් ඇතුළු විසිහය දෙනකු සහභාගිව සිටියහ. මෙහිදී සාකච්ඡාවට ලක්වූයේ කාදිනල් හිමිපාණන් හා ජනාධිපතිවරයා අතර අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව පිළිබඳවය. මෙහිදී රදගුරුවරුන් ඇතුළු පිරිස කාදිනල් හිමිපාණන්ට පෙන්වා දුන්නේ මෙය ජනාධිපතිවරයා හා සමඟ පවත්වන සාකච්ඡාවක් හේතුකොටගෙන පෞද්ගලිකව එම සාකච්ඡාව පැවැත්විය යුතු බවකි. නමුත් කාදිනල් හිමිපාණන්ගේ පාර්ශ්වයෙන් කියැවුණේ ඊට තරමක් වෙනස් කතාවකි. එම පාර්ශවයෙන් කියැවුණේ මෙම සාකච්ඡාවට කටුවාපිටිය සහ කොච්චිකඩේ දේවස්ථානවලදී ප්‍රහාරයට ලක්වූ පවුල්වල ඥාතීන් පවා සහභාගි කරගත යුතු බවකි.
ජනපති හමුවත් කැන්සල්
ජනාධිපතිවරයා හා කාදිනල් හිමිපාණන් අතර මෙම සාකච්ඡාව මුලින්ම පැවැත්වීමට තීරණය වී තිබුණේ කොළඹ අගරදගුරු නිල නිවසේදීය. නමුත් මෙම සාකච්ඡාවට කාදිනල් හිමිපාණන්ගේ පාර්ශ්වයෙන් ප්‍රහාරයට ලක්ව මියගිය පාර්ශ්වයේ ඥාතීන්ද එක්කර ගන්නා බවට තොරතුරු වාර්තා වීමත් සමඟ ජනාධීපති කාර්යාලයද ඒ සම්බන්ධයෙන් නැවත වතාවක් කාදිනල් හිමිපාණන්ට කතාකොට එම කතාවේ ඇත්ත නැත්ත විමසා සිටීමට කටයුතු කළේය. එම පුවත සත්‍යයක් බව දැනුම්දීමත් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලය පැත්තෙන් කියැවුණේ එසේ නම් සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්විය යුතු බවකි. නමුත් ඊට කාදිනල්තුමා එකඟතාව පළකළේ නැත. ඒ අනුව අවසානයේදී එකඟතාවකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් සාකච්ඡාව අවලංගු කිරීමට පියවර ගැනිණ.
ඒ අනුව මේ වන විට කාදිනල් හිමිපාණන් මුහුණදී ඇත්තේ බරපතළ අර්බුදයකටය. මෙතෙක් සිටි කාදිනල් හිමිවරුන් දේශපාලනය නොකළද වත්මන් කාදිනල් හිමිපාණන් ඍජුව දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීම පිළිබඳවද මේ වන විට බරපතළ විරෝධයක් මතුව ඇත. එමෙන්ම බොහෝ දෙනාගේ විරෝධය මැද පාස්කු වාර්තාව පිළිගැනීම පිළිබඳවද මේ වන විට මතුව ඇත්තේ බරපතළ විරෝධයකි. ඒ අනුව ඉදිරියේදී අර්බුද ගණනාවකටම මුහුණදීමට කාදිනල් හිමිපාණන්ට සිදුවනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
නීතිපති 12ක් එක්ක වැඩ
ඒ අතරවාරයේ නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී ඇති පාස්කු ප්‍රහාරයේ වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයා විසින් සිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් දෙළොස්දෙනකු පත්කොට ඇති බවක්ද දැනගන්නට තිබේ. ඒ අනුව මෙම නීතිඥවරුන් දෙළොස්දෙනා මේ දිනවල පාස්කු වාර්තාව අධ්‍යනය කරමින් සිටින අතර, ඒ සඳහා වැඩිදුර විමර්ශන අවශ්‍ය තැන්වලදී ත්‍රස්ත විමර්ශන ඒකකය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය බුද්ධි සේවය යන ආයතන තුනේම සහාය ලබාගැනීමටද තීන්දු කොට ඇත. එමෙන්ම අදාළ වාර්තාවට අධ්‍යයනය කිරීමෙන් පසුව නඩු පැවරිය යුත්තේ කාටද වැඩිදුරටත් පරීක්ෂණ කළ යුතු කරුණු මොනවාද යන්න පිළිබඳව තීන්දු කිරීමට නියමිතය.
කෙසේ වෙතත් අපට දැනගන්නට ඇති ආකාරයට තවමත් සම්පූර්ණ පාස්කු වාර්තාවේ ඉතිරි වෙලුම් 22 නීතිපති දෙපාර්තමේන්තුවට ලබාදීමට ආණ්ඩුව පියවර ගෙන නැත. ඒ අනුව බොහෝ දුරට මෙම වාර්තාවේ අධ්‍යනය කටයුතු අවසන් වීම සඳහා තවත් මාස අට නවයක පමණ කාලයක් ගතවනු ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ මතය වී තිබේ.
මේ සියල්ල මැද පසුගිය අඟහරුවාදා නීතිපති දප්පුල ද ලිවේරා මහතා හදිසියේම පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසීමට පියවර ගත්තේය. සාමාන්‍යයෙන් නීතිපතිවරයකු මේ ආකාරයට පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ ඉතාමත් කලාතුරකිනි. එසේ පැමිණෙන්නේද යම්කිසි විශේෂ කාරණාවකට හෝ අත්‍යවශ්‍ය නීති උපදෙසක් දැනුම්දීම සඳහා පමණි. නිල ආරංචිවලට අනුව නම් පැවසෙන්නේ නීතිපතිවරයා මෙසේ කතානායකවරයා හමුවීමට පැමිණියේ මන්ත්‍රවරුන්ගේ වත්කම් ප්‍රකාශන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යැයි කියාය. නමුත් නිල නොවන ආරංචිමාර්ගවලින් කියැවෙන්නේ ඊටත් වඩා බරපතළ කාරණාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙසේ නීතිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණියා යැයි කියාය.